සමනළ විස්තරයට ඇත්තේ දිගු ඉතිහාසයක්
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ
කථිකාචාර්ය
අත්තනායක එම්. හේරත්
සිරිපා සමය ඇරැඹෙද්දී අපට අමතක කරන්නම බැරි ජනකවි පොතක් තමයි “සමනළ විස්තරය”. 1800
ගණන්වලදී පමණ ලියැවෙන්නට ඇතැයි සිතිය හැකි “සමනළ විස්තරය”ට ඇත්තේ දිගු ඉතිහාසයක්.
“සමනළ හෑල්ල” නමින් කවි සම්ප්‍රදායක්, සැහැලි සම්ප්‍රදායක් අපේ රටේ තිබුණා. “සමනළ
විස්තරයයි”, “සමනළ හෑල්ලයි” පරීක්ෂා කරද්දී , සිංහල ගැමි සම්ප්‍රදාය මහා
සම්ප්‍රදායට වඩා කොපමණ වෙනස් ද කියලා දැනගන්නට පුළුවන්.
හැටන් පැත්තෙන් නැතිව රත්නපුර පලාබද්දල පැත්තෙන් සිරිපාදය තරණය කළොත් අපට හමුවෙන්නේ
ලිහිණිහෙල, දොඩම්බැබිල, සීත ගඟුල , ඉදිකටුපාන, මහගිරි දඹ, හැරමිටිපාන කියන ස්ථානයි.
එදා අපේ මුතුන් මිත්තන් සිරිපා කරුණා කරල ආවේ හරිම අසීරුවෙන්. බදුල්ල පළාතේ එහෙම
වැඩිහිටි ඇත්තෝ සිරිපාදෙ කරුණා කළ අත්තම්මගේ යටි පතුල් තැව්වේ උණු උණු කොණ්ඩ කැවුම්
වලින්. එදා මේ සිදුවීම ගමම බලා ඉද්දී පුංචි අපට දැනුනේ සිරීපාදෙ යන එක ජීවිතයටම
වටිනා ඓතිහාසික සිද්ධියක් වගෙයි.
|
කැලණි රජ මහා විහාරයේ සිතුවමකි |
ගැමියෝ ලිහිණිහෙල, ඉදිකටුපාන, දොඩම්බැබිල ආදී වශයෙන් නම් කර ඇති ස්ථානයන්ට ජන
කවියෙන් කිසියම් අර්ථ කථනයක් දී තිබෙනවා. ඒ තමයි අපේ බුදුරජාණන් වහන්සේ මහියංගණයට
වැඩම කරලා මහියංගණයේ හිටපු සුමන උපාසකත් සමඟ සිරිපතුල තබන්න ඇවිත් තියෙනවා. බුදුන්
වහන්සේ, සුමන සමන් දෙවියන්ට සිරිපතුල රැකගන්න කියලා පැවරුවලු. මේ නිසා සුමන සමන්
දෙවියෝ මහියංගණය රැකබලාගන්න පැවරුවේ තමන්ගේ සහෝදරියටයි. අදත් ඇය මහියංගණ පෙදෙසේ පුද
ලබන දේවතාවියක් බව ජනවහරේ සඳහන් වෙනවා.
මේ සමනළ හෑල්ලේ තවත් විශේෂ වැදගත්කමක් තිබෙනවා. බුදුන් වහන්සේ රත්නපුරයට වැඩම කරල
පලාබද්දල, කුරුවිට හරහා ලිහිණිහෙල, දොඩම්බැබිල පසු කරමින් පාද තබ, තබා කඳු මුදුනට
නැග්ගා කියන සිදුවීම. නමුත් එහෙම දෙයක් අපේ සම්ප්‍රදායෙහි අහන්නට, දකින්නට නැහැ.
නමුත් ජනයාගේ කවි පොත වූ සමනළ හෑල්ලෙ පමණක් මෙහෙම දෙයක් තියෙනවා. පලාබද්දල හරහා උඩට
වඩින බුදුන් වහන්සේට පිපාසයක් දැනෙනවා. බුදුන් වහන්සේ ඒ අසල ඇති දොඩම් ගසක තිබුණු
ගෙඩියකට අත දිගු කළ පමණින් මේ දොඩම් ගෙඩිය බුදුරදුන්ගේ අතට ලැබෙනවා. උන් වහන්සේ උඩට
වඩින්නේ දොඩම් වළඳලයි. නෝනා අම්බලමට උඩින් ඇති දොඩම් බිබිල ස්ථානගතවන හේතුවක් සපයන
එකම ස්ථානය මේ සමනළ හෑල්ලයි.
ඊළඟට බුදුන් වහන්සේ තවත් ටිකක් උඩට වැඩම කරලා ලිහිණිහෙල ළඟට වඩිනවා. එතන “ලිහිණි”
නම් කාන්තාව තමන්ට දරුවෙක් ලැබෙයි ද කියලා බුදුන් වහන්සේගෙන් විමසනවා. එවිට බුදුන්
වහන්සේ වදාළේ ඔබට දරුවෙක් ලැබෙන්නේ නැහැ කියලයි. ඒ සැනින්ම “ලිහිණි” මේ හෙළෙන් පහළට
පනිනවා. අදත් කුරුවිට පැත්තෙන් යද්දී අපේ ගැමියො “ලිහිණි හෙළ” ළඟදි කෑකෝ ගසන්නේ
“ලිහිණි” කියලයි. අපේම කටහඬ දෝංකාර දෙන්නෙ අපටම උත්තර දෙනවා වගෙයි.
බෞද්ධ සම්ප්‍රදායෙහි බුදුරජාණන් වහන්සේ ගැන අප දන්න කාරණාවන් හැටියට නම් කෙනෙකු
තමන් මිය යනවද කියලා ඇහුවහම, දරුවකු ලැබෙනව ද ඇහුවහම එකවරම “නැහැ” කියල ඇයට මිය
යන්නට සලස්වන බව අපට කොහෙත්ම පිළිගන්නට බැහැ.
මොකද, බුදුන් වහන්සේ බොහොම අවිහිංසාවාදී උත්තමයෙක් , උන් වහන්සේ අවිහිංසාවේ
ප්‍රතිමූර්තියයි. ඒ වුණත් 1800 ගණන්වල ලියුවුණු සමනළ විස්තරය ගැමි කවි පොතේ “සමනළ
හෑල්ලේ “ එවන් සිද්ධියක් ලේඛන ගතවී තිබෙනවා.
ඊළඟට තවත් උඩට වැඩම කරන බුදුන් වහන්සේගේ සිවුර මේ කන්දේ පිහිටි ලඳු කැළෑවල කටුවල
ඇණිලා ඉරෙනවා. ඊටපසුව උන්වහන්සේ ඉදිකටුවක් අරගෙන සිවුරේ ඉරුණු තැන් මහනවා. එතැන
හැඳින්වූවේ ඉදිකටුපාන කියලයි. ඉඳිකටු ගණන් කරන්න බැරි තරමේ හරිම රමණීය නූල් ජාලාවක්
එතැන තිබෙනවා. ඉදිකටුපාන, ගෙත්තම්පාන යන වදන්වල “පහණ” කියන්නේ ගල කියන අදහසයි. ඒ
අනුව , ඉදිකටු පහණ, “ඉදිකටු පාන” නමිනුත්, ගෙත්තම් පහණ “ගෙත්තම් පාන වශයෙනුත්
හැඳින්වෙනවා.
එතනින් උඩට යද්දී හමුවෙන්නේ “හැරමිටි පානයි.” බුදුන් වහන්සේට දැන් හොඳටම විඩාබරයි.
උන්වහන්සේ ලී කෝටුවක් අරගෙන ඒක බිම ඇන, ඇනා ධර්ම රාජ ගල කියලා අද හඳුන්වන කොටසට
වැඩම කළා.
මේ අනුව බලද්දී ස්ථාන නාමයන්ට යොදා තිබුණු නාමයන්ට ගැමියො දුන්නෙ අර්ථ කථනයක්. මේක
ඇත්තද? මේක ඓතිහාසිකද? කියල හොයල බලනවට වැඩිය මේ ශුතිය රැක ගැනීම වඩා වැදගත්.
මේ රමණීය වූ සෞන්දර්යාත්මක විචිත්‍රවත් චිත්‍රය කුඩුපට්ටම් කරනවාට වඩා එය මතු
පරපුරට දායාද කරදීම වඩාත්ම උචිතයි.
- ජම්මික ප්‍රබෝධනී වැලිකල |