Print this Article


නමදිමු සම්බුදු සිරිපා

නමදිමු සම්බුදු සිරිපා

පුරාතනයේ පටන් සමන්තකූටය ජගත් ආකර්ෂණයට ලක්වූයේ එහි ස්වභාව අලංකාරය නිසාම නොව බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද ලාංඡනය මෙම ගිරි ශිඛරය මත පිහිටුවා තිබීම නිසාය. උඳුවප් මස පුර පසළොස්වක පොහොය උදාවත් සමඟම ශ්‍රී පාද වන්දනා සමය ආරම්භ වෙයි.

වෙසක් පුර පසළොස්වක පොහොය දක්වා කාලය ශ්‍රී පාද වන්දනා සමයයි. මෙම වන්දනා සමය ආරම්භ වන්නේ චිරාගත සම්ප්‍රදායානුකූල ආගමික වතාවත් රාශියක් ඉටු කිරීම තුලිනි. ඒ අතර පැල්මඩුල්ලේ ගල්පොත්තාවල පන්සලේ සිදුකෙරෙන ආගමික වතාවත්, සමනළ කන්දේ සිදුකරන ආගමික වතාවත් නියමිත ඒ ඒ අවස්ථාවන්හිදී අනුපිළිවෙළින් සිදු කෙරේ.

ශ්‍රී ලාංකේය බෞද්ධ ජන ජීවිතය හා සබැඳි විශේෂ අංගයක් වනුයේ වන්දනා ගමන් යාමයි. අද වැනි වාහන පහසුකම් නොතිබුණ එකල පාගමනින්ම වන්දනා ගමන්යාමට මෙරට සැදැහැවත්හු හුරුපුරුදු වී සිටියහ. ශ්‍රීපාද වන්දනා ගමනට අනෙකුත් වන්දනා ගමන්වලට වඩා විශේෂත්වයක් හිමි විය. සමන් දෙවියන්ට භාරහාර වී ශ්‍රී පාද වන්දනා ගමන ආරම්භ කරන ජනතාව ඇතැම් විට තම ඉඩකඩම් පවා ඤාතීන්ට පවරා දී ශී‍්‍රපාද වන්දනාවේ යෙදුණාහ. මෙරට ජනතාව වන්දනාවේ යන සිද්ධස්ථාන අතුරෙන් වැඩිම දුරක් පයින් යා යුතු එකම සිද්ධස්ථානය වන්නේ ශ්‍රී පාදස්ථානය යි. එම දුෂ්කරතාව නිසාම ශ්‍රී පාද වන්දනාගමන තුළින් ලැබෙන කුසලය සෙසු වන්දනා ගමන් වලින් ලැබෙන කුසලයට වඩා උසස් යැයි වන්දනාකරුවෝ අදහති. එබැවින් පිරිවර ජනයා ද සමඟ වන්දනා නඩ වශයෙන් සංවිධානය වී මහත් උනන්දුවකින් සැදැහැවත්හු සිරිපා තරණය කරති. එහිදී ඔවුහු ගමන් විඩාව සංසිඳුවා ගැනීම පිණිස මෙවැනි කවි ගායනා කළහ.

ගමනේ වෙහෙසක් සිතට නොගල්ලා
ගමනට ඉනිමඟ කවි පවසල්ලා
බුදුගුණ කියමින් ගමන යමල්ලා
දෙනෙතට වැඳ සිරිපා වැඳ ගල්ලා

කවි පමණක් නොව සිරිපා වන්දනාවටම ආවේණික වූ සැහැලි ස්වරූපයේ කියමන් රාශියක්ද පවතියි. මේවා ගැමි ජනතාව විසින් නිර්මාණය කරන ලද “වාගාලාප” ලෙස නම් කල හැකිය. වන්දනා නඩය කොටස් දෙකක් වශයෙන් බෙදී මෙම වාගාලාප ගැයීම සිදු කෙරේ මෙහි මුල් පේළිය වන්දනා පිරිසේ නායකයා හෝ ඒ පිළිබඳ දක්ෂතා ඇති වෙනත් කෙනෙකු හෝ හඬනඟා කියයි. ඒ අනුව, සෙස්සෝ සාමූහිකව අනෙක් පේළිය හඬ නගා කියති. එවැනි වාගාලාප කොටසක් මෙසේ පෙන්වාදිය හැකිය.

අපේ බුදුන් - අපි වඳින්ඩ
පෙරලි පෙරලි -අපි වඳින්ඩ
එරන් පතුල – අපි වඳින්ඩ
මැණික් පතුල – අපි වඳින්ඩ
වම් සිරිපා -අපි වඳින්ඩ
කෝඩු සමඟ – අපි වඳින්ඩ
දොහොත් නඟා – අපි වඳින්ඩ
සමන් දෙවියො – වඳින්ඩ
කිරි කෝඩුට – කරුණාවයි
දඬු කෝඩුට – කරුණාවයි
සමන් දෙවිඳු – කරුණාවයි

මෙම වාගාලාප වන්දනා කරුවන්ගේ මුවින් නික්මෙන්නේ සමන්ගිර නැග යන කලය. සිරිපා වැඳගෙන පහළ බසින සැදැහැවත්තු ඉහළ නගින්නන් හමුවන කල මෙසේ කියති.

අපේ බුදුන් – අපි වැන්දා
නළල තබා – අපි වැන්දා
වඳින්ඩ යන මේ නඩේට
සුමන සමන් දෙවි පිහිටයි

එවිට සමනොළ නගින පිරිස මෙසේ කියති

වැඳල බහින මේ නඩේට
සුමන සමන් දෙවි පිහිටයි
කරුණාවයි – කරුණාවයි

සමනළ ගිර නැගීමේදීත් බැසීමේ දීත් වන්දනාකරුවන් මෙම වාගාලාප කියනුයේ වෙහෙස නිදිමත ආදිය දුරුකර ගැනීමටත්, ආගමික සද්ධාව දියුණුකර ගැනීමටත්ය. සිරිපා වන්දනාවේ දී තුන් සරණයි, නමැති ජන කාව්‍යයේ එක කවි ගායනා කිරීමද සාම්ප්‍රදායික සිරිතකි.

තවද සිරිපා වන්දනාව හා ආවේණික වූ විශේෂ වචන මාලාවක්ද තිබේ. මේ වචන මාලාව සිංහල ජන ජීවිතයේ අන් කවර හෝ අවස්ථාවක වත් භාවිත වන බවත් දැකිය නොහැකිය. මෙම වචන මාලාව අතුරින් හිමිදිරි පාන්දර පෙරදිගින් සූර්යයා උදාවීම සිරිපා පුදබිමේ දී හඳුන්වන්නේ “ඉර සේවය” යන නමිනි. වන්දනාකරුවන් ඔවුනොවුන් හමුවන අවස්ථාවන් හිදී ආශිර්වාද කරගන්නේ ‘කරුණාවයි’ කියමිනි. එය වෙනත් අවස්ථාවක ‘ආයුබෝවන්” යැයි කීම හා සමානය. ජීවිතයේ ප්‍රථම වතාවට සිරිපා වන්දනාවේ යන තරුණයා’ කෝඩුකාරයා ‘ නමිනුත්, ප්‍රථම වරට සිරිපා වන්දනාවේ යන වැඩිහිටි ‘දඬුකෝඩු’ නමිනුත් කුඩා දරුවෙකු හෝ දැරියක “කිරිකෝඩු” නමිනුත් හැඳින්වේ. තද අඳුර සහිතව වළාකුළු පැතිරයාම සිරිපා වන්දනාවේදී ‘කෝඩේ’ නමිනුත් වැසි වසින බව හැඟවීම “ගඟුල බානවා” නමිනුත් ව්‍යවහාර වේ.

සිරිපා වන්දනාවේ දී ‘ගෙත්තම් කිරීම” නමින් සිදු කෙරෙන අභිචාර විධියක් පවතියි. ඉඳිකටු හා නූල රැගෙන ඒවා ගසක අත්තක දවටා යාම මෙයින් අදහස් වේ. ජන වහරේ එන පරිදි බුදුරදුන් සිවුරු ඉරුණු තැන් එතැන දී මසා ගත් බව සිහිපත් කරමින් ගෙත්තම් කර දෙවියන්ට පින්දීම සිදු කෙරෙයි. ඉන්දියාවේ සිට පැමිණි ධර්මරාජ නම් බ්‍රාහ්මණ පුත්‍රයෙකු සිරිපා මාර්ගයේ කොටසක ගල් පඩි ඉදිකොට සිරිපා අඩවියට පුජා කළ වග ජනශ්‍රැතියේ සඳහන්ය. ‘ධර්මරාජ ගල’ යනු එම කොටසයි. මෙම ධර්මරාජ ගල නගිනවිට එහි පඩි ගණන් කිරීම සිරිතකි. හත්දින්නත් තරු ගණන් කළ නොහැකි මෙන් මෙම ධර්මරාජ ගලේ ගල් පඩිද ගණන් කළ නොහැකි බව ජන මතයකි.

සිරිපා කරුණා කරන්නන් පළමුව පැමිණෙනුයේ පාත මලුවටයි. එම ප්‍රදේශය වන්දනාකරුවන් බෙහෙවින්ම ගැවසෙන විශ්‍රාම ශාලා සහිත ප්‍රදේශයයි. මෙම ප්‍රදේශයේ සිට වන්දනාකරුවන් දැක ගැනීමට අපේක්ෂා කරනුයේ ඉර සේවයයි. උදෑසන සූර්යයා උදාවීගෙන ඒම සිරිපා අඩවියේදී ඉරසේවය නමින් හැඳින්වේ. මෙය සිරිපා මලුවට පමණක් පෙනෙන ඉතා චමත්කාරජනක දර්ශනයකි. දොළොස් මහේ පහන ද ශ්‍රී පාද ස්ථානයට පමණක් ආවේණික වූවකි. සිරිපා සමය තුළ පමණක් මෙය දැල්වීම සිදු වුව ද සැදැහැවත්හු මෙය දොළොස් මහේ පහන ලෙස සලකති.

ශ්‍රී පාදස්ථානයෙහි ආගමික සේවාව භාරව සිටින භික්ෂූන් වහන්සේලා දෛනිකව උදේ සවස ශ්‍රී පාද පත්ම වහන්සේ අබියස සහ සමන් දේවාලය තුළ සෙත් පිරිත් දේශනා කරති. කපුරාළවරුන් ගේ යාතිකාවන්ද සිරිත් පරිදි පැවැත්වේ.

මෙම පුද පූජා හා උත්සවවලට අමතරව වසරේ මැදින් පුර පසළොස්වක පොහොය දිනයේ සිරිපා මලුවේ සිදු කෙරෙන සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනය ඇතුලු පුණ්‍යෙීත්සව මාලාවද විශේෂ වැදගත්කමකින් යුක්තය.