නොලස් සමන් දෙවිඳුට පින් දීලා
යසස් එසිරි පා වඳිමුව මෙකලා
ආචාර්ය
ඊ.ඇම්. රත්නපාල
සමන්තකූටය මත ශ්‍රී පාද ලාංඡනය පිහිටුවන ලෙස මුනිඳුනට ආරාධනා කළ මේ සමන් දෙවියන්
කවුරුන්ද අදත් බැතිමතුන් සිරිපා වන්දනාවෙහි යෙදෙන්නේ “සමන් දෙවිඳු කරුණාවයි. සමන්
දෙවිඳු කරුණාවයි.” කියමින් සමන් දෙවියන් කෙරෙහි ඉමහත් භක්තියක් තම සිත් තුළ ජනිත
කැර ගනිමිනි. සමන් දෙවියන් ක්‍රි.පූර්ව සවැනි සියවසේ ලංකාවේ රුහුණු දේශය පාලනය කළ
රාජ්‍ය නායකයා ලෙස සැලැකිය හැකිය. පසු කලෙක දේවත්වයට පත් වූයේ සුමනකූටයේ සමන් නමැති
මේ පාලකයාය
මේ සිරිපා වන්දනා සමයයි. හැම වසරකම උඳුවප් පුර පසළොස්වක පොහෝ දා සිට ඊළඟ වසරේ වෙසක්
පුර පසළොස්වක් පොහෝ දිනය තෙක් පවත්නා සා මසක කාලය තුළ ලක්ෂ ගණන් බැතිමත්හු සමන්ගිර
තරණය කොට එහි මුදුනට නැඟ ඒ මත පිහිටි සිරිපදලස බැතියෙන් යුතුව වන්දනා කරති.
බෞද්ධයන් විශ්වාස කරන්නේ බුදුන් වහන්සේගේ වාම ශ්‍රී පාද ලාංඡනය සමන්තකූටයෙහි
පිහිටුවා ඇති බවයි.
දෙවියන් වහන්සේ විසින් මවන ලද ප්‍රථම මිනිසා ලෙස බයිබලයේ සඳහන් වන ආදම්ගේ පා සටහන
මෙහි පිහිටියේ යැයි කිතුනු හා ඉස්ලාම් බැතිමත්හු විශ්වාස කරති. හින්දුන්ගේ අදහස ශිව
දෙවියන්ගේ පා සටහන සමන්තකූටය මත පිහිටි බවයි. ඓතිහාසික හා සාහිත්‍ය මූලාශ්‍රයන්ගෙන්
ද ජනශ්‍රැතීන්ගෙන්ද පැවැසෙන තොරතුරු විමර්ශනය කරන කල නිගමනය කළ හැක්කේ සමන්තකූටයේ
ශ්‍රී පාදස්ථානය පිළිබඳ අනන්‍යතාව බෞද්ධ සංස්කෘතිය හා බැඳී පවත්නා බවයි. එහි ආගමික
වතාවත් හා පරිපාලන සංවිධානය සෘජු ලෙස බැඳී තිබෙන්නේ බෞද්ධාගම සමඟ ය. තම තමන්ගේ
විශ්වාසය පරිදි සෙසු බැතිමතුනට ශ්‍රී පාදය වන්දනා කිරීමේ නිදහස පවතී. බෞද්ධයන් හා
ඔවුන් අතර පවත්නේ අහිංසක භක්ති පූර්වක සංවේදී ආගමික බැඳීමෙකි.
සමන්තකූටයෙහි මුනි සිරිපා සටහන පිහිටුවන ලද්දේ බුදුන් වහන්සේ ලක්දිවට වැඩම කළ තුන්
වැනි ගමනේ දී බව මහාවංශය කියයි. එම අවස්ථාවෙහි කැලණියට වැඩම කළ බුදුන් වහන්සේ
හමුවීමට පැමිණි සමන්තකූට වාසී සුමන දෙවියන් තම වාසස්ථානය පිහිටි සමනොළ සිරසෙහි
අතිශයින් පිවිතුරු වූ සිරිපා සටහනක් තබන ලෙස මුනිඳුනට ආරාධනා කළ හැකියි සමන්තකූට
වණ්ණනා නමැති පාලි කාව්‍යයෙහි සඳහන් වේ. සමනොළ කන්දේ මුනිසිරිපා සටහන පිළිබඳව
මහාවංශය, පූජාවලිය ආදී දේශීය මූලාශ්‍රයන්හි සඳහන් වන්නා සේම විදේශීය කෘතීන්හිද
සඳහන් වෙයි. ද්‍රවිඩ සාහිත්‍යයේ ප්‍රකට කාව්‍යයක් වන මණිමේඛලාවෙහි ද, චීන ජාතික
ෆාහියන් ස්වාමින් වහන්සේගේ චාරිකා විස්තරයෙහි ද බුදුන් වහන්සේගේ ශ්‍රී පාද ලාංඡනය
සමනොළ කන්දේ පිහිටුවා තිබෙන බව සඳහන් වේ.
සමන්තකූටය මත ශ්‍රී පාද ලාංඡනය පිහිටුවන ලෙස මුනිඳුනට ආරාධනා කළ මේ සමන් දෙවියන්
කවුරුන්ද අදත් බැතිමතුන් සිරිපා වන්දනාවෙහි යෙදෙන්නේ “සමන් දෙවිඳු කරුණාවයි. සමන්
දෙවිඳු කරුණාවයි.” කියමින් සමන් දෙවියන් කෙරෙහි ඉමහත් භක්තියක් තම සිත් තුළ ජනිත
කැර ගනිමිනි. සමන් දෙවියන් ක්‍රි.පූර්ව සවැනි සියවසේ ලංකාවේ රුහුණු දේශය පාලනය කළ
රාජ්‍ය නායකයා ලෙස සැලැකිය හැකිය. පසු කලෙක දේවත්වයට පත් වූයේ සුමනකූටයේ සමන් නමැති
මේ පාලකයාය. සුමන සමන් සුරිඳුන් ලෙස ඔවුන් හැඳින්වෙන්නේ එබැවිනි. එදා රුහුණට අයත්
වූ භූමි ප්‍රදේශය විශාලය. එක් පසෙකින් කළු ගඟෙන් ද අනෙක් පසින් මහවැලි නදියෙන් ද
සීමා වූ සමනොළ කඳු වැටියේ සිට මහා සමුද්‍ර තීරය දක්වා විහිදුණු භූමි ප්‍රදේශය
රුහුණට අයත් විය. සමන්කුළ හෙවත් ශ්‍රී පාදය පිහිටි කන්ද අයත් වූයේ රුහුණටය.
වර්තමානයෙහි එය අයත් වන්නේ රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට කෝරළයටය. රුහුණේ පාලකයා
වූ සමන් දෙවියන් තම වාහනය ලෙස භාවිත කෙළේ හස්තියෙකි. ‘රුහුණු ගැටයන්’ නමින්
හැඳින්වෙන ශරීර ප්‍රමාණයෙන් තරමක් කුඩා හස්ති විශේෂයක් සමන්තකූටයෙහි වනය තුළ
වෙසෙති. කුරුවිට යන ග්‍රාමනාමය නිපැදී ඇත්තේ ද මේ හස්තීන් නිසා ය.
බුදුන් වහන්සේ ප්‍රථම වරට ලක්දිවට වැඩම කෙළේ මහියංගනයටය. ඒ අවස්ථාවේ සුමනකූටවාසී
සමන්දෙව්රජ එහි පැමිණ මුනි බණ අසා සෝවාන් වූ පුවත ඉතා ප්‍රකටය. බුදුන් වහන්සේගෙන්
ලද කේශධාතු තැන්පත් කොට මහියංගණයේ ප්‍රථම වරට චෛත්‍යයක් ඉදි කෙළේ ද සමන් දෙවියන්ය.
සමන් දෙවියනට වැඩිමහල් සහෝදරියක් වූවා ය. ‘මහලොකු – මහලොකු අක්කා’ යන නමින්
හැඳින්වෙන ඇය මහියංගනයේ සමන් දේවාලයේදී බැතිමතුන්ගෙන් පූජා ලබයි. ඇය ඉතා බලගතු
දේවතාවියක බව මහියංගණයේ ආදිවාසීහු ද පවසති. සමන් දෙවියන් ඉතා සාමකාමී දැහැමි කෙනෙකු
වුවද ‘මහලොකු’ ඊට වඩා ප්‍රබල බව ඔවුන්ගෙ අදහස ය. සමන් දෙවියනට බිසොවක හා දරුවකු
සිටි බව සැවුල් සන්දේශය කියයි. මහනුවර ලංකාතිලක විහාරයේ මේ සමන් දෙවි පවුල සිතුවම්
කොට තිබේ. මෙම සාධක සියල්ල අපට පවසන්නේ සමන් දෙවියන් එදා රුහුණේ පාලකයා ලෙස සැලැකිය
හැකි බවයි. මහියංගණයේ චෛත්‍යය ඉදිකිරීම, බුදුන් වහන්සේට ශ්‍රී පාදය පිහිටුවන ලෙස
ආරාධනා කිරීම, වාහනය ලෙස හස්තියකු යොදා ගැනීම යන කරුණු එම අදහස තහවුරු කිරීමට සමත්
වේ. ප්‍රතිමා ශිල්පීන් සමන්දෙවියන්ගේ රූපය නිර්මාණය කිරීමේ දී ඔවුන්ගේ සිරුර
වර්ණවත් කෙළේ සුදු පැහැයෙන් නොහොත් ඇත්දළ පාටිනි. ඒ සමන් දෙවියන්ගේ දැහැමි බවත්
සෝවාන් ඵලයට පත්වීමත් සංකේතවත් කරනු පිණිසය. ශ්‍රී පාද වන්දනාව පිළිබඳව සඳහන්
කිරීමේ දී සමන් දෙවියන් අමතක නොකළ හැක්කේ මේ නිසා ය.
ශ්‍රී පාදස්ථානය පිහිටි සමනොළ කඳු මුදුනට ළඟා විය හැකි පාරවල් කිහිපයක්වේ. රත්නපුර
පාර කුරුවිට පාර, හා හැටන් පාර යනු එම ප්‍රධාන මාර්ග වේ. සපුගස්තැන්න පාර, දරණියගල,
මාලිබොඩ පාර, හා මාරතැන්න පාර යන අතුරු පාරවල් කිහිපයක් ඇතත් ඒවා සමනොල කන්දේ එක්
එක් තැන්වලදී ප්‍රධාන මාර්ග හා සම්බන්ධ වේ. අන්තිමේ දී සිරිපා මළුවට විවෘතව
තිබෙන්නේ මාර්ග දෙකකි. ඒ වූ කලි රත්නපුර පාර හා හැටන් පාරය. චූලවංශයේ සඳහන් වන
ආකාරයට මෙම පාරවල් අතීතයේදී හැඳින්වී තිබෙන්නේ. කදලිගම මග්ග, දුග්ග මඤ්ජස, හූව
රට්ඨඤ්ජස යන නම්වලිනි. කැදලිගාම වග්ග නමින් එකල හැඳින්වුණේ අඹගමුව, උලපනේ,
කෙහෙල්ගමුව ආදී ගම් ඔස්සේ විහිදුණු රජරට පාර හෙවත් වර්තමාන හැටන් පාරයි. ගිලීමලය,
පලාබත්ගල, ලිනී හෙළ ආදී ගම් පසු කැරගෙන යන වර්තමාන රත්නපුර පාර දුග්ගමඤ්ජස නමින්
හැඳින්විණ. එය නැඟීම් බැසීම් දුෂ්කර මාර්ගයක් වන හෙයින් මෙසේ හැඳින්වෙන්නට ඇති.
කොළඹ, රත්නපුර මහා මාර්ගයේ පිහිටි කුරුවිට නගරයේ සිට එරත්න ඔස්සේ විහිදෙන ශ්‍රී පාද
මාර්ගය කුරුවිට පාර නම් වේ. මෙය හැරමිටිපාණේ දී රත්නපුර පාරට සම්බන්ධ වෙයි. කුරුවිට
නගරයේ සිට දැන් එරත්න දක්වා වාහනයෙන් ගමන් කළ හැකිය. කොළඹ සිට ඕපනායක දක්වා දුම්රිය
මඟ පැවැති සමයෙහි දහස් ගණන් බැතිමතුන් කුරුවිටට ළඟ වූයේ එම දුම්රියෙනි. සිරිපා
වන්දනා සමයෙහි කුරුවිට නගරය බැතිමතුන්ගෙන් පිරී පැවතුණි. දැන් එවැන්නක් දක්නට නැත.
එදා බැතිමතුන් කුරුවිට සිටම සමන්තකූටය දක්වා බැති සිතින් යුතුව පා ගමනින් ගිය අයුරු
පැරැණියෝ තවමත් සිහිපත් කරති.
රත්නපුර පාරෙන් සමනොළ කන්ද තරණය කරන කල පලාබත්ගල, ලීනි හෙළ, කටුකිතුල, ආදී ස්ථාන
හමුවෙයි. ලීනි හෙළේ විශාල අම්බලමක් හෙවත් විශ්‍රාම ශාලාවක් ඉදි කරනු ලැබ තිබේ.
ගජමන් මෝනාගේ අම්බලම, හා සීත ගඟුල ඊළඟට හමුවෙන තැන්ය. බැතිමත්හු සීතගඟුලේ ගිලී
ස්නානය කොට පිරුවට ඇඳ පිරිසුදු වී ඉඳිකටුපාණේ දී ගෙත්තම් කිරීමේ චාරිත්‍රය ද සිදු
කරති. එයින් මඳ දුරක් යන විට ධර්මරාජගල හමුවෙයි. මෙහි වාසය කළ ධර්මරාජ නමැති
තාපසතුමා, වෙදවනප්පෙරුමාල් නමැති ආරච්චි කෙනෙකුගේ සහායෙන් මෙම පියගැටමාලාව කැප්පවූ
බව එහි ඇති සෙල්ලිපියෙන් පැවසෙයි. මෙම සෙල්ලිපිය දැන් බොහෝ දුරට ගෙවී ගොස්ය.
හැරමිටිපාණට ළඟා වන්නේ ඉනික්බිතිය. කුරුවිට පාර රත්නපුර පාරට එක්වන හෙයින් මෙය
මංසන්ධියකි. විශාල අම්බලමක් මෙහි ද තිබේ. සමන්තකූටය කරා නැඟ යන කෙනකුට තමන් ඊළඟට
තරණය කළ යුතු කේතුරූපාකාර ගිරි ශිඛරය ඉතා අලංකාර ලෙස මෙතැනට දර්ශනය වෙයි.
හැරමිටිපාණ පිහිටියේ මුහුදු මට්ටමෙන් මීටර 1909 ක් උසිනි. කූටය මුදුනට ළඟාවීම සඳහා
තවත් මීටර 321 ක් නැඟ යා යුතුය. එම කොටස තරණය කිරීම ඉතා දුෂ්කරය. මහගිරිදඹයේ තැන
තැන කූඤ්ඤ ගසා අතීතයේ දී සවිකරන ලද යකඩ දම්වැල්වල ශේෂ වූ කොටස් තවමත් දකින්නට තිබේ.
එදා බැතිමතුන් මහගිරි දඹය නැංඟේ මෙම දම්වැල්වල එල්ලෙමින් ඉතා අසීරුවෙනි.
හැටන් පාර කුරුවිට පාරටත් – රත්නපුර පාරටත් වඩා පහසු මඟෙකි. එමඟින් යන කළ පා ගමන
ඇරඹෙන්නේ නල්ලතන්නියේ සිටයි. පියගැට මාලාව සිමෙන්තියෙන් බැඳ ඇති නිසා නැඟීම පහසු
වෙයි. ඉඳිකටුපාණ, සීතගඟුල, මහගිරිදඹය ආදී ස්ථාන මෙහි ද තිබේ. ස්වාමි මඩම, මකර තොරණ,
ගඟුල තැන්න, නිශ්ශංක ගුහාව යන ස්ථාන හැටන් පාරේදී හමුවන ස්ථාන කිහිපයකි. හැටන්
පාරේදී හමුවෙන භගවා ලෙන ඉතා වැදගත් ඓතිහාසික ස්ථානයකි.
අනුරාධපුර යුගයේ සිටම ශ්‍රී පාද වන්දනාව ගැන අසන්නට ලැබේ. එළාර රජුගේ යුද සෙබළකු වූ
දීඝඡන්තු යෝධයා සුමනගිරි විහාරයේ ආකාශ චේතියට රතු පාට වස්ත්‍රයක් පූජා කිරීම පිළිබඳ
පුවතක් මනෝරථ පූරණී නම් අටුවා ග්‍රන්ථයෙහි සඳහන් වෙයි. රතු පැහැති වස්ත්‍ර ශ්‍රී
පාදයට පූජා කිරීම හින්දු බැතිමතුන්ගේ සිරිතකි.
ශ්‍රී පාද වන්දනාව වඩාත් ජනපි‍්‍රය වූයේ පොළොන්නරු යුගයේ සිටය. මහා විජයබාහු, මහා
පරාක්‍රමබාහු හා කීර්ති ශ්‍රී නිශ්ශංකමල්ල යන රජවරුන් තිදෙනාම පොළොන්නරු යුගයේ දී
ශ්‍රී පාදස්ථානයට අනුග්‍රහ දැක්වූ අයුරු සෙල්ලිපි හා චූලවංශ ආදී මූලාශ්‍රයන්ගෙන්
හෙළි වෙයි. මහා විජයබාහු රජතුමා ශ්‍රී පාද වන්දනාව සඳහා පැමිණි පුවත අඹගමු
සෙල්ලිපියේ සඳහන් වෙයි. සොලීන්ගෙන් ලංකාව නිදහස් කැර ගත් විජයබා රජතුමා තමන් රජ
පදවියට පත් වී වසර තිස් අටක් (38) ගත වන අවස්ථාවේ එළඹුණු මැදින්මස පුර සතවක් දා
ශ්‍රීපාද වන්දනාවට ආ බව එතුමාගේ අඹගමු සෙල්ලිපියේ සඳහන් වේ. ශ්‍රී පාදයේ ආරක්ෂාව
සඳහා එය දැලකින් වැසූ රජතුමා මළුයෙන් පවුරක් බඳවා අගුලු සහිත දොරටු දෙකක්
පිහිටෙව්වේය. සිරිපා වඳින්නට යන බැතිමතුන්ට දාන මානාදිය දීම සඳහා ගම් ද වෙන් කොට දී
තිබිණ. රත්නපුර පාරෙන් යන අයට ද මෙම පහසුකම් සලසා දී තිබුණු බව ගිලීමලේ
සෙල්ලිපියෙන් පැහැදිලි වෙයි.
මහා පරාක්‍රමබාහු රජතුමා (ක්‍රි. ව. 1153 – 1186 ) ශ්‍රී පාද වන්දනාවේ ගිය බව සඳහන්
වන්නේ රාජාවලියෙහිය. පැරකුම්බා රජතුමා සමනොළයට ගොස් එහි සමන් දේවාලයද ඉදි කැරවූ බව
රාජාවලිය කියති. ඉනික්බිති ශ්‍රී පාද වන්දනාවේ ගිය අනෙක් පාලකයා කීර්ති ශ්‍රී
නිශ්ශංකමල්ල රජතුමා ය. සිවුරඟ සේනාව සමඟ සමන්තකූටයටම පැමිණි නිශ්ශංකමල්ල රජතුමා
සිරිපදලස වැඳ භගවාලෙනෙහි සෙල්ලිපි දෙකක් පිහිටුවා එහි ගල් බිත්තියෙහි තම රුව ද
කොටවා තැබීමෙන් ඔහුගේ සිරිපා ගමනේ ඓතිහාසිකත්වය මතු වී පෙනේ. භගවා ලෙනේ බිත්තියෙහි
ඇති ලිපියේ මෙසේ සඳහන් වෙයි.
“නිශ්ශංක පරාක්‍රමබාහු චක්‍රවර්ති ස්වාමීන් වහන්සේ පදලස් දා වැඳ බැස සිටි නියායි”
රජතුමා දෑත් එක් කොට වැඳගෙන සිටින අයුරු මෙම ලිපිය සමඟ ඇති රේඛා චිත්‍රයෙන් විදහා
දැක්වෙයි. කෙසඟ සිරුරක් ඇති හෙතෙම සළුවක් ඇඳ සිටී. උඩුකයට ඇඳුමක් නැතත් අත්වල ආභරණ
පැළඳ සිටින අයුරු පෙනේ. ජටාවකුටයක් නොහොත් ඔටුන්නක් හිසෙහි පැළඳ සිටින අයුරින් රූපය
ගල් බිත්තියේ කොටා තිබේ.
පොළොන්නරු යුගයේ රජ කෙනකුගේ විලාසය තේරුම් ගැනීමට මෙම රූපය හොඳ නිදසුනකි. එදා
නිශ්ශංකමල්ල රජු ද එකල සිටි මාධ්‍යකරුවන් වන සෙල්ලිපි ගලේ කොටන ශිල්පීන් කැටුව ගොස්
තම සිරිපා ගමන මෙසේ සටහන් කොට තබන්නට ඇතැයි සිතිය හැකිය. එම ශිල්පීන් තම අවශ්‍යතාවට
ගැළපෙන සියුම් වානේ කටු, මිටි ආදිය රැගෙන රජු සමඟ ගොස් ඔහුගේ උපදෙස් පරිදි රජ
රූපයත් සෙල්ලිපිත් කොටා තබන්නට ඇතැයි සිතමු. මේ සමඟ ඇති අනෙක් ලිපියෙන් පැවසෙන්නේ
නවම් පොහෝදා ඔහු සමනොළ වන්දනාවේ ගිය බවයි. නිශ්ශංකමල්ල රජතුමා රත්නපුර පාරෙන්
ගිලීමලය ඔස්සේ සමනොළ නැඟ අඹගමු පාරෙන් ආපසු ගොස් ඇති බව ඔහුගේ විස්තරවලින් හැඟෙයි.
දඹදෙණි යුගයෙහි රජ කළ කලිකාල සාහිත්‍ය සර්වඥ පණ්ඩිත දෙවැනි පැරකුම්බා රජුගේ
අමාත්‍යවරයකු වූ දේවප්‍රතිරාජයන්ද ශ්‍රී පාදයට දැක්වූ අනුග්‍රහ පිළිබඳව පූජාවලියෙහි
සඳහන් වේ. මූලාශ්‍රයන්ගෙන් හෙළිවන තොරතුරු සාධක වශයෙන් ගන්නා කළ නිගමනය කළ හැක්කේ
වසරක් පාසා ශ්‍රී පාදස්ථානයට වැඩම කරන සඳුන් දැවමුවා සමන් දේව රූපය මෙම දේව
ප්‍රතිරාජයන් විසින් තනවන ලද්දක් බවයි. පූජාවලියේ සඳහන් වන අන්දමට මෙම රූපය සාදවා
තිබෙන්නේ ගම්පොළය. එහි සිට රන්සිවිගෙයක තබා රූපය ශ්‍රී පාදයට වැඩම කරන ලද්දේ
පෙරහරකිනි. ශ්‍රී පාදයට සෙවණ පිණිස මණ්ඩපයක් ඉදි කළ හෙතෙම එය යදම්වලින් බැඳ තැබීය.
හේ තම රජු වෙනුවෙන් විසිතුරු පහන් පූජාවක් සිරිපා මළුයෙහිදී සිදු කළේ ය.
කුරුණෑගල යුගයේ දී – එනම් ක්‍රි.ව. 1340 දී විදේශීය සංචාරකයෙක් ශ්‍රී පාදය කරා ගියේ
ය. ඉබන් බථුතා නමැති මුස්ලිම් ජාතිකයකු වන ඔහු නැව් නැඟී ලංකාවට පැමිණියේ සෙරන්දිබ්
කන්දේ පිහිටුවා ඇති ආදම්ගේ පා සටහන නැරඹීමටය. බටුතා සෙරන්දිබ් කන්ද යැයි කීවේ සමනොළ
කන්දටය. බථුතා සමනොළ කන්දත් ශ්‍රී පාදයත් ගැන කරන දීර්ඝ විස්තරයෙන් පැවැසෙන සමහර
ස්ථාන හඳුනා ගැනීම දුෂ්කරය. තමන් දුටු ශ්‍රී පාදය එකොළොස් වියතක් දිග යැයි හෙතෙම
පවසයි. මේ වූකලි ආදම්ගේ පා සටහන යැයි ද බථුන සඳහන් කරයි.
ලංකාවට ළඟා වීමට පෙර දින නවයකට පෙර තමන් මුහුදේදීම සමන්තකූටය දුටු බව පවසන ඉබන්
බථුතා තමනට මෙම වන්දනා ගමන යෑමට අනුග්‍රහ දැක්වූයේ ආර්යචක්‍රවර්ති නමැති පාලකයා
විසින් බව ද සඳහන් කරයි. බථුතාගේ ගමන් විස්තරය කියවන විට අපට සිතෙන්නේ ඔහු රත්නපුර
පාරෙන් ශ්‍රී පාදය කරා ගොස් හැටන් පාරෙන් ආපසු පැමිණි බවයි. පර්වතයේ පඩි පෙළවල් කපා
ගලේ කූඤ්ඤ ගසා දම්වැල් සවිකැර ඇති බවත් මිනිසුන් ඒ දම්වැල්වල එල්ලී සමන්කුළට නඟින
බවත් බථුතා වාර්තා කරයි. මෙවැනි දම්වැල් දහයක් වී යැයි හෙතෙම කියයි. ඉබ්න් බථුතා
රත්නපුර පාර හඳුන්වන්නේ බබා පාර යන නමිනි. හැටන් පාර මමා පාර නමින් හඳුන්වයි. මමා
පාරට වඩා බබා පාර අසීරු බවද හෙතෙම සඳහන් කරයි. ලාංකික බෞද්ධයන් ශ්‍රී පාදයට රන්
රුවන් මුතු ආදිය පූජා කළ බවද බථුතා කියයි. මේ අන්දමට ශ්‍රී පාදස්ථානය පිළිබඳ විස්තර
වාර්තා කළ ලේඛකයෝ බොහෝ දෙනෙකි. එයින් සමහරු කිතුනු පූජකවරුය. සමහරු සංචාරකයෝය.
පෘතුගීසි නාවික හමුදාවේ සිටි කපිතන්වරයකු වූ රිබෙයිරෝ ද පූජකවරයකු වූ ක්වේරෝස්තුමන්
ද සඳහන් කරන තොරතුරු යටත්විජිත සමයේ ශ්‍රී පාදස්ථානයේ ආගමික තත්ත්වය දැන ගැනීමට
ඉවහල් වෙයි.
විහාරය භාර භික්ෂූන් වහන්සේ නමක විසින් බෞද්ධයන් විසින් පිරිනමනු ලබන භාරහාර බාරගෙන
ඔවුනට දහම් දෙසන බව රිබෙයිරෝ පවසයි. ඔහුගේ විස්තරය සහමුලින්ම ලියා ඇත්තේ බෞද්ධාගමික
මතය විවේචනය කරමින් සිය මතය මතුකැර දක්වන විලාසයෙනි. එහෙත් ඓතිහාසික වාර්තාවකින්
ලැබෙන ප්‍රයෝජනය අපට එයින් ලබාගත හැකිය.
අප්‍රේල්, මැයි මාසවල සබරගමුව ඔස්සේ බැතිමතුන් ශ්‍රී පාදයට නැඟෙන බව පවසන ක්වේරෝස්
එහි කඳු මුදුනේ වියත් හයක් දිග වියත් දෙක හමාරක් පළල මනුෂ්‍ය පාද ලාංඡනයක් ඇතැයි
සඳහන් කරයි. ඉටිපන්දම් හා තෙල් දල්වා බැතිමතුන් මෙම පාද ලාංඡනයට පූජා පවත්වන බවත්
හෙතෙම පවසයි.
මේ අන්දමට කලින් කල විවිධ ලේඛකයෝ ශ්‍රී පාදස්ථානය පිළිබඳව හා එහි සිදු කැරෙන පුද
පූජා විධි පිළිබඳව වාර්තා කැර තැබූහ. නූලක මල් අමුණා මල් මාලාවක් තනන්නා සේ ඒ සියලු
කරුණු පෙළ ගස්වා ගත් කළ ශ්‍රී පාදයේ සමස්ත කතන්දරය දීර්ඝ වශයෙන් හෙළි කැර ගත හැකිය.
එමර්සන් ටෙනන්ට්, ජෝන් මාර්ෂල්, ජෝන් ස්ටීල් ආදීහුද මෙසේ ශ්‍රී පාදය ගැන ලියූ
ලේඛකයෝ ය. ඒ සියල්ල සඳහන් කිරීම මෙහිලා අපහසු වේ.
සමන්තකූටයේ ශ්‍රී පාදය පිළිබඳ ආරංචිය ලෝපුරා පැතිරුණේ මුහුදේ යාත්‍රා කරමින් මෙරටට
පැමිණි වෙළෙන්දන්ගෙන් හා සංචාරකයන්ගෙනි. තම තමනට අසන්නට ලැබුණු ආගමික දෘෂ්ටීන් අනුව
මේ පා සටහන තම ශාස්තෘවරයාගේ යැයි ඔවුහු විශ්වාස කළහ. මේ සියලු දෙනා සමන්ගිර කරා ළඟා
වී ශ්‍රී පාදය වන්දනා කළේ ඒ ආගමික විශ්වාසය පදනම් කැරගෙනය. සමනොළ කන්දේ ආකර්ෂණීය
දර්ශනයක් කේතු රූපාකාර කූටයේ ප්‍රතාපවත් බවත් නිසා නිතැතින්ම ඔවුන් ඒ කරා ඇදී ඒමට
හේතු විය. එබැවින් ආගමික දෘෂ්ටියත් සොබා සුන්දරත්වයත් එකට කැටි වූ සමනොළ කන්ද විවිධ
ආගම් අදහන්නන්ගේ පූජනීය ශුද්ධ භූමියක් බවට පත් විය.
වසරේ සමසක කාලය තුළ පමණක් පවත්නා ශ්‍රී පාද වන්දනාව ආරම්භ වන්නේ චිරාගත ආගමික
චාරිත්‍ර හා පුද පූජා පවත්වමිනි. උඳුවප් පුර පසළොස්වක් දිනට පෙර දින හිමිදිරියේ
පැල්මඩුල්ලේ ගල්පොත්තාවෙල පුරාණ විහාරස්ථානයේ තැන්පත් කොට තැබෙන පෙරකී සඳුන්දැවමුවා
සමන්දේව ප්‍රතිමා හා ධාතු කරඬු ආදී අනෙකුත් පූජා වස්තු ශුභ මුහුර්තයෙන් ඉවතට ගන්නේ
පිරිත් සජ්ඣායනා කොට පහන් දල්වා කපුමහතාගේ යාතිකාවක්ද පවත්වමිනි. මෙම කාර්යයන්හි
නායකත්වය හොබවන්නේ ශ්‍රී පාදස්ථානයේ නායක ස්වාමීන් වහන්සේය. ඒ සමඟ ශ්‍රී පාදස්ථානයට
සම්බන්ධ අනෙකුත් භික්ෂූන් වහන්සේද එම වතාවත්වලට සම්බන්ධ වෙති. බැතිමත්හු ද උදෑසන
සිට ම පූජා පැවැත්වීමටත් පඬුරු පූජා කිරීමටත් සැදී පැහැදී සිටිති. ඒ සඳහා ඔවුනට ඉඩ
ලැබේ. මෙම පූජා සිදු කිරීමෙන් අනතුරුව පූජා වස්තු පවිත්‍ර ධවල වර්ණ පිරුවටවලින් ඔතා
රිය පෙරහරින් වැඩමවාගෙන ගොස් රත්නපුර සමන්දේවාලයේ මඳකට නතර වී එහිදී ද පූජා පවත්වා
යළි රිය පෙරහර පිටත් වේ.
පූජා වස්තු සමන්ගිර කරා වැඩම කරවන්නේ හැටන් පාරෙනි. පා ගමන ඇරඹෙන්නේ නල්ලතන්නියේ
සිටය. පෙරහර යන අතරමඟ සීත ගඟුලේ නතර වී චිරාගත ව දේව ප්‍රතිමාව නැහැවීමේ
චාරිත්‍රයක් පැවැත්වේ. එසේම සමන්දේව ප්‍රතිමාවට නව පඬුරක් පූජා කිරීමේ සිරිතක් ද
පවතී. ඉනික්බිති පිරිත් සජ්ඣායනා කොට හේවිසි ශබ්ද පූජා පවත්වා සමන් දෙවියන්ට පින්
දී පෙරහර කූටය බලා පිටත් වේ.
උඳුවප් පුර පසළොස්වක් දා උදෑසන ශූභ මුහුර්තයෙන් සමන් දේව ප්‍රතිමාව දේවාලයයෙහි
තැන්පත් කිරීමද ශ්‍රී පාදය සුවඳ ජලයෙන් දෝවනය කොට පිරිසුදු කිරීමද ඊට පසුව
බුද්ධපූජාව පවත්වා සෙත්පිරිත් සජ්ඣායනා කොට සමන්දෙවියන්ට පින් අනුමෝදන් කිරීමද සමඟ
අභිනව වසරේ ශ්‍රී පාද වන්දනාව ආරම්භ වෙයි. ඒ සිරිපා සමය ඊළඟ වෙසක් පුර පසළොස්වක් දා
තෙක් පැවැත්වේ.
යළිත් පූජා වස්තු පෙරහරින් වැඩම කරවා ගල්පොත්තාවෙල විහාරස්ථානයේ දේව කුටියෙහි
තැන්පත් කරනු ලැබේ. |