සිරිපා කරුණාවයි බස් වහරේ වෙනසයි
සම්මානිත මහාචාර්ය
ජේ.බි. දිසානායක
ශ්‍රී පාදස්ථානය නැතහොත් සිරීපාදය . සිංහල බෞද්ධ පුදබිම් අතර මුදුන් මල් කඩක් සේ
සැළකිය හැකිය. ලංකාවේ කඳු පන්ති අතරින් තෙවැනි උසම කඳු නිම්න මිටියාවතේ පිහිටි
ශ්‍රී පාදස්ථානය මුහුදු මට්ටමේ සිට අඩි 7360 උසකින් පිහිටා ඇත. සිංහල බෞද්ධයා
විශ්වාස කරන ආකාරයට ශ්‍රී පාදස්ථානයේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පතුල සේම
කකුසඳ, කෝණාගම, කාශ්‍යප, බුදුරජාණන් වහන්සේලාගේ ශ්‍රී පාදයන්ද පිහිටා ඇත. මුනි
සිරිපා වන්දනාව සඳහා සිරිපා කරුණා කිරීම ඈත අතීතයේ සිංහල රජසමයේ පටන්ම පැවතෙන
චාරිත්‍රයකි. සිරිපා වන්දනාව, අනෙකුත් වන්දනා චාරිකාවලින් ඔබ්බට ගිය විශේෂ
සූදානමකින් හා විශේෂයෙන් කට පරිස්සම් කරගෙන යායුතු වන්දනාවක්. මේ සම්බන්ධයෙන්
සම්මානිත මහාචාර්ය ජේ.බී. දිසානායක මහතා ‘බුදුසරණට’ අදහස් දැක්වීය.
“අපේ හැඟීමක් තියෙනවා මහ පොළවේ සමහර කොටස් ශුද්ධ භූමි කියලා. ගමේ පන්සල වගේම කමතත්
ශුද්ධ භූමියක්. බෞද්ධයෝ කියන්නේ පුන්‍ය ක්ෂේත්‍ර කියලා. කමත (කෙත) වගේම පන්සල
පිංකෙත යනුවෙන් හඳුන්වනවා. කෙතේ වී වපුරනවා සේම, පන්සලේ පින් වපුරනවා. දෙකින්ම
අස්වැන්නක් ලැබෙනවා ලංකාවේ දෙවියන් අරක්ගත් අඩවි තියෙනවා. මැණික් ගඟින් එතෙර වුනාම
කතරගම දෙවියන්ගේ අඩවිය, මෙන්ම සීත ගඟුලෙන් එගොඩ වුනාම, සමන් දෙවියන්ගේ අඩවිය ශුද්ධ
භූමි ලෙස ගැනෙනවා.
ශුද්ධ භූමි, දේව අඩවිවල හැසිරෙන ආකාරය වගේම කතාබහ කරණ භාෂාවත් වෙනස්. නිතරම ඇඳීමේදී
රෙදි කිළිටි වෙනවා සේ නිතරම භාවිතයේදී වචනත් කිලිටි වෙනවා. සිරිපා වන්දනාවට සූදානම්
වෙන්නේ නඩයක් නැත්නම් පිරිසක් සමඟ නඩයේ මූලිකත්වය ගන්නා නඩේ ගුරා, සිරිපා වන්දනාවේ
ආදීනව, කළ යුතු නොකළ යුතු දෑ හොඳින් දන්නා කෙනෙක්.
ශ්‍රී පාද වන්දනාවේදී භාවිතා කරනා බස් වහරත් වෙනස්. සිරිපා කරුණා කිරීමේදී කට
පරිස්සම් කරගැනීම මූලික අංගයක්. දෙවියන්ගේ අඩවියේදී දේව අණසක නොතකා කථා බහ කළොත්
ක්‍රියා කළොත් දේව උදහසට ලක්වී විවිධ කරදරවලට මුහුණ පෑමට සිදුවෙනවා.
සිරිපා අඩවියේදී අපි ගිහින් එන්නම් කියනවා මිස ආපසු එන දිනය කියන්නේ නෑ. අපි ඒක එන
හැටියකට බලාගමු කියලා තමයි කියන්නේ.
සිරීපාදේ කරුණා කරන්න ප්‍රධාන මාර්ග තුනක් තියෙනවා. හැටන් නල්ලතන්නිය පාර, පලාබද්දල
පාර, කුරුවිට එරත්ත පාර, ආදි වශයෙන්.
හැටන් පාරෙන් ගමන් කළොත් නල්ලතන්නිය මකර තොරණ, රතු පාලම, ජපන් සාම චෛත්‍යය, නිස්සංක
ලෙන, ගඟුලතැන්න (සාමි මඩම) සීත ගඟුල රතු අම්බලම, ගෙත්තම්පාන, ඉඳිකටුපාන, භගවා ලෙන,
මහගිරි දඹය, අහස් ගව්ව හරහා උඩ මළුවට කරුණා කළ හැකියි.
දෙවන මාර්ගය ලෙස, පලාබද්දල විහාරය ගල්කණු මඩම, පවනැල්ල දොරල කඩේ, කෙකටිය කඩේ,
ලිහිනිහෙළ, කටුකිතුල අම්බලම, ගැටහැටැල්ල,කඩේ, කොඩිය කඩේ ගෙත්තම්පාන,
ඉඳිකටුපාණ,ධර්මරාජගල සීත ගඟුල ආසන්නයට පැමිණ කුරුවිට පාරට එක්වේ.
තෙවන මාර්ගය කුරුවිට පාර සැකසෙන්නේ එරත්න නැගෙනහිර මකර තොරණ, මෑල්ල මළ කඳුර, ආඬියා
මළතැන්න ඇහැළ කණුව , මහගිරි දඹේ, හුළංකපොල්ල, උඩමළුව දක්වා වැටී තියෙනවා. සිරිපා
ගමනට මුලින්ම එක්වන කුඩා දරුවන් හදුන්වන්නේ කිරිකෝඩු නමින් මුලින්ම එක්වන
වැඩිහිටියන් දඬුකෝඩු නමින් හඳුන්වනවා.
ශ්‍රී පාද වන්දනාව සඳහා අවශ්‍ය ද්‍රව්‍ය කෑම බීම දමාගෙන යන ඔලොගුව හඳුන්වන්නේ
සැහැල්ලුව නමින්, ගමන් කරනවා යනවා යන්නට කියන්නේ කරුණා කරනවා කියලා .මේ ගමනේදි
වරින්වර නවතින තැන් තියෙනවා. එතනින් පිටත් වී යනවා වෙනුවට කියන්නේ අපි ඉස්සරහා බලමු
කියලා. සිරිපාදේ උඩට යන අයට හා පහළ බසින අයට සුබ පතා ගන්නා විශේෂ ගායනා ක්‍රමයක්
තියනවා.
“වඳින්න යන මේ නඩේට
සුමන සමන් දෙවි පිහිටයි” යනුවෙන් එක් නඩයක් ගායනා කරද්දි වැඳලා බහින මේ නඩේට...
සම්මා සම්බුදු සරණයි...ලෙසට අනිත් නඩය පිළිතුරු දෙනවා. මුලින්ම සිරිපා ගමනට එක්වෙන
කිරිකෝඩු හෝ දඬු කෝඩු අය ඉඳිකටුපානෙදි නූල් ඉඳිකටු පූජා කිරීම සිරිතක්. බුදුරජාණන්
වහන්සේ, සිරිපා වන්දනා කරද්දී සිවුර ඉරිලා මසාගත් ස්ථානය. සිහිපත් කරමින් තමයි
ඉඳිකටු නූල් පූජා කෙරෙන්නේ. ලිහිණි හෙළ කියන්නේ කලු ගඟ දෙපැත්තේ ඇති. කඳු බෑවුම්
දෙකක්, සිරිපා වඳින්න අවසර ගන්න බැරි වු කාන්තාවක්, මෙම කඳු බෑවුමින් පැනලා
දිවිනසාගෙන තියෙනවා එදා පටන් එතනට ලිහිණි හෙළ කියලා කියනවා. වන්දනා නඩයේ අය මෙතනින්
යද්දි.
ලිහිණි අක්කේ අපි යනවෝ...
අපි ගිහින් එනෝ...කියලා කෑගහනවා.
හැරමිටිපාණෙදි වන්දනා නඩය මෙහෙම ගායනා කරනවා.
සමන් දෙවිඳුගෙන් පිහිට ලබනවා
උතුම් බුදුන් අපි වඳින්න යනවා
හැරමිටිපාණේ අපි නවතින වා
ඔතනදි සමහරු පඬුරු බඳිනවා
ගමනේ වෙහෙස නිවාගන්නත්, ගායනා කරන්නේ යහපත් සංවර වචන ඇතුළත් බවයි.
අග්ගලා කං ඩෝං පුතා
හෙලේ නගින් ඩෝං පුතා
කියලා එක් අයෙක් ගයද්දි තවකෙක් මෙසේ කියනවා.
මෙන්න මෙතන තැනිතලාව
කෝපි බොන්න හොඳ වෙලාව ...
වන්දනා ගමනට සූදානම් වෙනවා
කියන්නේ පේ වෙනවා කියලයි , මස් මාංස පවා අනුභව නොකර කල් ඇතුවම පේවෙන්නේ සිරිපා
වන්දනාවේ අනුසස් හොඳින්ම දන්නා අයයි.
සිරිපාදේ යන කොයි කවුරුත් සීත ගඟුලෙන් ස්නානය කිරීම, කෙසේ වෙතත් අඩුම තරමින් මුව කට
දොවා ගැනීම සිදුකරන්නේ චාරිත්‍රයක් ලෙසින්.
සීත ගඟුලේ නවතින් නේ
වෙහෙස ටිකක් ඇරලන් නේ
ගත පිරිසුදු කර ගන් නේ
පන්සිල් ගෙන නික්මෙන් නේ
සීත ගඟුලේ ජල නාදෙ ඇසෙන වා
සුදු මල් අරගෙන වඳින්න යන වා
සාදු සාදු අර මළුව පෙනෙනවා
සමන් දෙවිඳුනේ අප රැක දෙනවා
මේ වගේ සංවරශීලිව ශ්‍රද්ධාවන්තව කරුණා කළොත්, කිසිඳු කරදරයකින් තොරව සිරිපා කරුණා
කර ආපසු පැමිණෙන්න හැකියි.
අතීතයේ සිරිපා ගමනේ වෙහෙස, නිවාගන්න ඉවහල් කරගත්තේ තුන්සරණේ කවි, හිමගත වරුණ
කාව්‍යයන් තමයි. ඒ මගින් ගමනේ විඩාව සංසිඳුනා පමණක් නොවෙයි ආරක්ෂාවක් සැළසෙනවා.
වන්දනා ගමනට ඉන්දියාවේ කියන්නේ “තීර්ථ යාත්‍රා” කියලා. එහි අදහස තොටුපලකට ගමන්
කරනවා යන්නයි.
මේ ගමනෙදි බොහෝ විට භාවිතා කරන බස්වහර වෙනස්. කෑම කනවා යන්නට, රස්සා වෙනවා, ඉස්සරහට
යමු වෙනුවට ඉස්සරහා බලමු. ජලය යන්නට ගඟුල යනවා. වෙනුවට කරුණා කරනවා. සුදු ඇඳුමට
පිරුවටය ආදි වශයෙන් තමයි භාවිතා වෙන්නේ.
සමනල කන්ද හැඳින්වීමට සමන්තකූටය , සමන්කුළ සමනාල ශ්‍රී පාදය සිරිපා කන්ද යන නම්
යෙදෙනවා. කන්ද මුදුනේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පතුල පිහිටි ස්ථානය උඩ මළුව
යනුවෙන් හැඳින්වෙනවා.
සිරිපතුලේ මඟුල් ලකුණු 108 ක් (අටෝරා සියක්) පිහිටලා තියෙනවා . සිරි පතුල
සම්පූර්ණයෙන්ම වැහිලා තියෙනවා.
අපේ බුදුන් අපි වඳීන්න
පෙරලි පෙරලි අපි වඳින්න
කියමින් සැදැහැවතුන් සිරිපතුලේ
නළල තබා වන්දනා මාන කරනවා
ශී‍්‍ර පාද වන්දනා කාලෙට තමයි සමන් දෙවියන්ගේ පින්තූරයක් සිරිපාදයට වැඩමවන්නේ.
අවාරෙට එම දේව රූපය පැල්මඬුල්ල විහාරයක තැන්පත් කරනවා. අවාරෙට සිරිපා වඳින්න යාමෙන්
බොහෝ කරදරවලට පත්වෙන්න ඉඩ තියෙනවා. එම නිසා සිරිපා කරුණා කිරීම කියන්නෙ දැනගෙන
ගියොත් කතරගම නොදැන ගියොත් අතරමග වගේ බොහොම කල්පනාකාරීව සිදුකළ යුතු වන්දනාවක්.
නිශානී හේරත් බන්නැහැක |