සිරිපා කරුණාවේ අතීතය
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ
ඉතිහාසය අධ්‍යයන අංශයේ
මහාචාර්ය
හඟුරන්කෙත ධීරානන්ද හිමි
මලය, මලල දේශය, මලය මණ්ඩලය යනුවෙන් හඳුන්වනු ලැබු ශ්‍රී ලංකාවේ මධ්‍ය කඳුකරයේ මනරම්
පූජනීය ස්ථානයක් ලෙසින් වන දුර්ග, ගිරි දුර්ග හා ජල දුර්ග වලින් ගහන වූ සමනොලගිර
හෙවත් ශ්‍රී පාදය සඳහන් කළ හැකි ය. බුදුරදුන්ගේ පා පහස ලද ස්ථානයක් වන බැවින්
අතීතයේ සිට දෙස් විදෙස් ජනයාගේ ආකර්ෂණය දිනා ගැනීමට සමත්වූ ස්ථානයක් බව මූලාශ්‍ර
තුළින් පැහැදිලිවන කරුණකි.
මුහුදු මට්ටමින් මීටර් 2230 පමණ උස්වන මධ්‍යම කඳුකරයේ නිරිතදිග භාගයේ පිහිටි මෙම
ස්ථානය මධ්‍යම කඳුකරයේ උන්නතාංශයට අනුව පස්වැනි කඳු ශිඛරය ලෙසින් සැලකේ. පූර්ව
අවධිවල දී රෝහණ පාලන කලාපයට අයත් වූ මේ ස්ථානය ‘රෝහණ පබ්බත’ නමින් ද මූලාශ්‍රවල
දැක්වේ. රෝහණයේ ශුද්ධ වූ කන්ද යන අරුතින් ඉස්ලාම් බැතිමතුන් සමන්තකූටය හඳුන්වන
ලද්දේ ‘අල්රහුන්’ යන නාමයෙනි. ශ්‍රී ලංකාව බලා යාත්‍රා කරමින් සිටි නාවිකයන් මේ රටට
ගොඩ බැසීමට දින විස්සක පමණ පෙර සිටම සමනොල කඳුමුදුන දර්ශනය කළ බව ඉබන් ඛුර්දාද්බේ
සඳහන් කරයි. ඉබන් බතුතා ලක්දිවට ගොඩ බැසීමට දින නවයකට පෙර සමනොල කන්ද දුටු බව සඳහන්
කරයි. ලංකා පබ්බත නමින් ද වජ්‍රබෝධි හිමියන් මෙම කඳු ශිඛරය හඳුන්වා ඇත.
සිරිපා කරුණාවේ අතීතය ගැන සලකා බලන විට මේ කලාපයේ ඓතිහාසිකත්වය බලංගොඩ මානවයා ජීවත්
වූ ප්‍රාග් මානව යුගය දක්වා ඈතට ගමන් කළ ද සාහිත්‍ය මූලාශ්‍රවලට අනුව සමන්තකූටය හා
එහි ඓතිහාසිකත්වය පිළිබඳ ඉතිහාසය බුදුරදුන්ගේ පළමු හා තෙවැනි ශ්‍රී ලංකා ගමනට
සම්බන්ධ වන අතර පළමු ගමනේ දී බුදුරදුන් හමුවන සුමන සමන් දෙවියන් සමන්තකූට වැසියෙකු
ලෙසින් වංශකතාව සඳහන් කරයි. කැලණියේ මණිඅක්ඛිත රජුගේ ආරාධනයෙන් වැඩම කළ බුදුරදුන්
කැලණීයේ සිට සමන්තකූටයට වැඩම කොට කඳු මස්තකයෙහි වම් පාදය තබා සිය සිරිපතුල සනිටුහන්
කළ බවත් පසුව උන්වහන්සේගේ ශ්‍රාවක සමූහයා සමඟ දිවා භාගය සමනල කඳු පාමුල
දිවාගුහාවෙහි වැඩ විසූ බවත් මහාවංශය තවදුරටත් විස්තර කරයි. පූජාවලිය ද මේ පිළිබඳ
දක්වන තොරතුරුවලදී සුමන සමන් දෙවියන් කැලණියට ගොස් බුදුරදුන් වැඳ ඇදිලි බැඳ තම වාස
භවනය වන සමන්තකූටයට වැඩම කරවන ලෙසට ආරාධනය කළ පුවතක් එහි දැක්වේ. එමෙන්ම සමන්තකූට
වර්ණනාවද මේ අදහස එලෙසින්ම සඳහන් කළත් ක්‍රි.ව. දෙවන සියවසේ රචිත මෙණිමේඛලා නම්
දමිළ කාව්‍ය ග්‍රන්ථයේ රත්නදීපය නම් ලස්සන දීපයක් ඇති බවත් එහි සමන්තකූට නම් පූජනීය
පර්වතයක් ඇති බවත් එහි මුදුනෙහි පළිඟු ගලෙක බුදුරදුන්ගේ සිරිපා ලකුණ ඔබ්බවා ඇති
බවත් සඳහන් කරයි. ඉන් අනතුරුව සමන්තකූටයේ ඉතිහාස වංශකතා කතුවරයා සම්බන්ධ කරනුයේ
විජය පුරාවෘත්තයටයි. මෙරටට පැමිණි විජය කුමරු පළමුව කුවේණිය නම් යක්ෂ කාන්තාවක්
විවාහ කරගත් බවත් පසුව මධුරාපුරයෙන් ගෙන එනු ලැබූ කුමාරිකාවක් විවාහකර ගැනීමෙන්
අනතුරුව කුවේණිය හා දරුවන් දෙදෙනා පළවාහැරී බවත් ජීවහත්ත, පෙල්ලා නම් වූ එම දරු
දෙදෙනා සමනොල වන පෙදෙසට පලාගොස් අඹු සැමියන් වශයෙන් ජීවත් වූ බවත් ඔවුන්ගෙන් වැදි
පරපුර ආරම්භ වූ බවත් විශ්වාස කෙරේ.
ක්‍රි.පූ. තෙවැනි සියවසට අයත් බ්‍රාහ්මීය අක්ෂරවලින් යුතු ලිපි කීපයක් තමන්වහන්සේ
කිය වූ බව කිරිඇල්ලේ ඥාණවිමල හිමියෝ සඳහන් කරති. නමුත් අද එම අක්ෂර මැකී ගොස් ඇති
බව පැහැදිලිය. නැවතත් දුට්ඨගාමිණී පාලන සමයට සම්බන්ධ තොරතුරු කීපයක් සමන්තකුටය
ඇසුරින් මතුකර ගත හැකි වේ. දුටුගැමැණු මහ රජුගේ දසමහ යෝධයන්ගෙන් කෙනෙකු වන
ථෙරපුත්ථාභය සුමනකූටයට නැඟ ශ්‍රී පාද ලාංඡනය සුවඳ මලින් පුදා මරුකන්ද නම් ජනපදයට
ගොස් එහි විසූ පාලත්ථි නම් ද්‍රවිඩ පාලකයා හා ඔහුගේ පිරිස මරා ඛාල්හගාමතලකයේ
රජමැදුරක් කර වූ බව සහස්සවස්තුප්පකරණය සඳහන් කරයි. එමෙන්ම දුටුගැමුණු රජ දවස විසූ
මලියදේව තෙරුන් දන් වශයෙන් රජුගෙන් ලබා ගත් තණහාල් කැඳ සුමනකුට වැසි නවසියයක්
භික්ෂූන් වෙත වැළඳ වූ බව මහාවංශය දැක්වෙන අතර මනෝරථපූරණිය දක්වන විස්තරයකට අනුව
එළාර රජුගේ සෙබළෙකු වන දීඝජන්තු යෝධයා සුමනගිරි විහාරයේ ආකාස චේතියට රතු වස්ත්‍රයක්
පූජා කර තිබේ. ඉන් පසු අවධියේ ලක්දිවට පැමිණෙන ෆාහියන් සහ හියුංසාන් යන භික්ෂූන්
දෙනමත් වජ්‍ර බෝධි හිමියනුත් සමන්තකුටය පිළිබඳව වාර්තා තබා තිබේ. බුදුන්වහන්සේ
විසින් සමනොල කන්දේ සිරිපා සටහනක් පිහිට වූ බව ෆාහියන් හිමියන්ගේ වාර්තාවේ දැක්වේ.
ශ්‍රී ලංකාවට නොපැමිණියත් ලංකාව ගැන අසා දැනගත් තොරතුරු මත සමනොලගිර පිළිබඳව
තොරතුරක් හියුංසාන් භික්ෂුවගේ වාර්තාවේ අන්තර්ගතය. ගිනිකොණ දිසාවෙන් ලංකා පර්වතය
හෙවත් සමනොල ගිර පිහිටි බවත් බුදුන් වහන්සේ එහිදී ලංකාවතාර සූත්‍රය දේශනා කළ බවත්
උන්වහන්සේ විසින් සඳහන් කර ඇත. ක්‍රි.ව. හත්වන සියවසේ දී ලංකාවට වැඩම කරන ලද වජ්‍ර
බෝධි හිමියන් සමන්තකුටයට වැඩි භික්ෂුවක් හැටියට ඉතිහාස ගත ය. මුනිසිරිපා සටහන
වන්දනා කිරීම පිණිස ලංකා පර්වතයට වැඩම කළ බවත් එසේ යන ගමනේ දී වනගත මිනිසුන් හමු වූ
අතර කඳු පාමුල ප්‍රදේශයේ දී අගනා මැණික් දක්නට ලැබූ බවත් සඳහන් කෙරේ.
හයවෙනි සියවසෙන් පසු අරාබි ජාතිකයෙකු සමන්තකූටය ගැන සටහනක් තබා තිබේ. ආදම්ගේ පා
සටහන මෙහි ඇති බව ඉස්ලාම් බැතිමත්හු විශ්වාස කළහ. ක්‍රි.ව. 850 දී සිදු වූ ස්වකීය
ශ්‍රී ලංකා සංචාරය ගැන මතක සටහන් තබන අරාබි ජාතික වෙළෙන්ඳෙකු හා ගවේෂකයෙකු වූ
සුලෙයිමාන් නමැත්තා ශ්‍රීපාද කන්දට ගිය වන්දනා ගමනක් ගැන සඳහන් කරයි. ආදම්ගේ නාමය
සම්බන්ධ කරගෙන ඇති කතා පුවත ප්‍රථමයෙන්ම පවසනුයේ සුලෙයිමාන් ලෙස ද සලකනු ලැබේ. කන්ද
මුදුනේ ඇති පා සටහන් රියන් 100 ක් පමණ දිග යැයි ද කියනු ලැබේ. මෙම කන්ද අවට
ප්‍රදේශවලට පද්මරාග (රක්ත මාණික්‍ය) පුෂ්පරාග නීල මාණික්‍ය ආදී රක්ත වර්ණ බහුල බවත්
හෙතෙම සඳහන් කරයි. පර්සියානු සාහිත්‍ය දෙසට අවධානය යොමු කිරීමේ දී ඒවායෙහි ද
සරතුස්ශ්‍රා දහම පිළිගත් ලේඛකයින් සිය කෘතිවල දී එතුමා ද ශ්‍රී පාදයට සම්බන්ධ කොට
අදහස් ඵල කිරීමට උත්සාහ ගෙන තිබේ. අල් ජයිස් (ක්‍රි.ව. 868) සඳහන් කරන පරිදි
සරතුස්ශ්‍රා ද සිය ධර්ම දේශනාවක් සෙරන්දිබ් කන්දේ දේශනා කළ බව ය. ඊට සියවස් ගණනාවකට
පසුව ඛාවන්ඩ් මීර් (ක්‍රි.ව. 1535) සරතුස්ශ්‍රා මනුෂ්‍යත්වයට පැමිණියේ මෙම
සෙයිලාන්හි කන්දේ බවත් එහි ස්වල්ප වේලාවක් නැවතී සිටි බවත් කියයි. අබු හමිඩ් අල්
බතානි අබු අබ්දුල්ලා යන ලේඛකයන් ද මේහා සමාන විස්තර සඳහන් කර තිබේ. අඩු හමිඩ් අල්
ගරනා ද,) ආදම් පැවතගෙන එනු ලබන්නේ සෙරන්දිබ්හි අල් රහුන් කන්දේ සිට බව කියයි.
අල් මසුදී පවසන්නේ මනුෂ්‍යත්වයේ පියා වූ ආදම් පැවත එන්නේ සෙරන්දිබ් හි අල් රහුන්
කන්දේ සිට බවය. සුෙලෙමාන්, ඉබන් ඛුර්දාබ් වැනි ලේඛකයන් සමන්තකූටය ගැන සඳහන් කරන අතර
වා - ඕ ජුකුවා නමැත්තාගේ සටහන සෙරන්ඩිබ් කන්දේ පිහිටි මිනිස් පා සටහන ගැන දක්වා
තිබේ. අනුරාධපුර යුගයටත් වඩා පොළොන්නරු සමය වනවිට සිරිපා වන්දනාව ජන සමාජය අතර
ඉදිරියට ආ බව පෙනේ. පළමුවන විජයබාහු හා නිශ්ශංකමල්ල රජතුමාගේ ශිලාලේඛනවලින්
සමන්තකූටයට දැක් වූ අනුග්‍රහයන් පිළිබඳ තොරතුරු එක්තැන් කරගත හැකිවේ. විජයබා රජුගේ
අඹගමුව හා ගිලීමලේ සෙල්ලිපි දෙක සමන්තකූටය පිළිබඳව තොරතුරු ලබා දේ. ගිලීමලය, අඹගමුව
ආශි‍්‍රත පාරවල් ප්‍රතිසංස්කරණය කිරීම, අම්බලම් පිහිටුවීම කළ බවත් රජු ශ්‍රී පාදය
වැඳීමට ගිය බවත් පාද ලාංඡනය දැලකින් වසා අගුලු සහිත දොරටු දෙකක් ඇති පවුරක් ඒ වටා
බැඳ කුලහීනයන් යැයි සම්මත ජනයාට ශ්‍රී පාද වන්දනා කිරීමට පහත මළුවක් තැනූ බව
දැක්වේ. දුෂ්කර ලෙස වන්දනාවේ යන්නන්ට දානෝපකරණ සපයා ගැනීමට පහසුකම් සැලසූ බවත්
අඹගමුව සෙල්ලිපිය සඳහන් කරයි. චූලවංශයේ ද මේ ගැන තොරතුරු දක්වන අතර මහා
පරාක්‍රමබාහු රජු ද සමන්ගිර වන්දනාව පිණිස ගිය බව රාජාවලියේ සඳහන් වේ. නිශ්ශංකමල්ල
රජු ද චතුරංගනී සේනාව සමඟ සමනොළ ගිර වන්දනා කිරීමට ගිය බව චූලවංශය දක්වන පුවත භගවා
ලෙනේ ඇති ලෙන් ලිපිවල ඇති සඳහන් වලින් ඒ බව තවදුරටත් සනාථ වේ.
දඹදෙණි සමයේ දෙවන පරාක්‍රමබාහු රාජ සමයේ දී දේවප්‍රතිරාජ ඇමැතිතුමන් සමන්තකූටයට
පැමිණ කළ ශාසනික ක්‍රියා රැසක් චූලවංසය මෙන්ම පූජාවලිය ද සඳහන් කර ඇත.
දේවප්‍රතිරාජයා විසින් සිරිපතුලට සෙවණ ලබාදීම අරමුණු කොට මණ්ඩපයක් කළ බවත් පර්වතයේ
කළ යකඩ දණ්ඩනවල මේ මණ්ඩපය බඳින ලද බවත් දැක්වයි. එමෙන්ම රාත්‍රියක් පුරා රජු
වෙනුවෙන් පහන් පූජා කළ බවත් වංශකතාව සඳහන් කරයි. දෙවන පරාක්‍රමබාහු රජුගේ පුතෙකු වන
හතරවන විජයබාහු රජු සමනොලගිර වන්දනාව පිණිස ගිය බව පූජාවලියේ සඳහන් ය. මේ අවධියේ
පිහිට වූ පළාබත්ගල ආරණ්‍ය සේනාසනයේ ධර්මශාස්ත්‍රීය සේවයේ ඵලයක් ලෙසින් සමන්තකූටයේ
ආගමික වැදගත්කම කේන්ද්‍රකොට ගනිමින් සමන්තකූටවණ්ණනාව නම් උසස් සාහිත්‍ය කෘතිය
බිහිවීම ද දක්නට ලැබේ. ලක්දිවට පැමිණෙන මාර්කො පෝලෝ ද සමන්තකූටය ගැන සඳහන් කරයි.
ඔහු මෙම ස්ථානය ඉස්ලාම් බැතිමතුන්ට අනුව ආදම්ගේ සොහොන එහි පවතින බවත් පිළිම
වන්දනාකරන බෞද්ධයන් සර්වඥයන් වහන්සේගේ සොහොන සමන්තකූටයේ පවතින බවත් විශ්වාස කරන බව
එහි සටහන් කරයි. ඔහු සමන්ගිරට නොගියත් අසා දැනගත් තොරතුරු මත සිය අදහස් දක්වා තිබේ.
කුරුණෑගල යුගයේ දී මෙරටට පැමිණි සංචාරකයෙකු වන ඉබන්බතුතා නම් මුස්ලිම් ජාතික
සංචාරකයා ද සමනොලගිර සෙරන්ඩිබ් කන්ද ලෙසට සඳහන් කරයි. ඔහු මේ කන්ද තරණය කළ
පුද්ගලයෙකු ලෙස ඔහුගේ විස්තර අනුව සිතිය හැකිය. ඉබන්බතුතා ශ්‍රී පාද ලාංඡනය වියත්
එකොළහක් පමණ දිග බව සඳහන් කරයි. ඔහු එය ආදම්ගේ පාද ලාංඡනය බව පෙන්වයි. මුලින්ම
ශ්‍රී පාදයට ගිය මුස්ලිම් ජාතිකයා ලෙසට අබු අබ්දුල්ලා බින් කාලිෆ් නැමැත්තා බව
බතූතා සඳහන් කරයි. ශ්‍රී පාදයට යන පාර ඔහු සොයාගත් බව ද සඳහන් කරයි. බතූතාට පෙර හෝ
එම සමකාලීන අවධියේ දී ලංකාවට පැමිණි ප්‍රැන්සිස්කන් දේවගැතිවරයෙකු වූ ඔඩොරික්
පූජකවරයා සමනොලගිර පිළිබඳව විස්තරයක් සඳහන් කර තිබේ. නමුත් විස්තරය කියවන විට එය
සැක සහිතය. මරිඤ්ඤෝලිවි පියතුමාද සිරිපා නැංග විදේශිකයෙකු ලෙස සඳහන් වේ. ආදම්ගේ
දකුණු පා සලකුණු මෙහි ඇති බව ඔහු සඳහන් කරයි. ඔහු එම පා සටහන මැන බැලූ බවත් අත්ලෙන්
වියත් දෙක හමාරක් බවත් සටහන් කරයි.ගම්පොල හා කෝට්ටේ යුගවල රචිත සන්දේශ කාව්‍යවල ද
සමනොලගිර පිළිබඳව සඳහන් තොරතුරුවලින් එම කාලයේ මේ ස්ථානය පිළිබඳ ජන කැමැත්ත කුමක්ද
යන්න තීරණය කිරීමට අවකාශ සැලසේ. එම අවධියේ වීරවික්‍රම නම් පාලකයෙකු සමන්තකූටයට කරන
ලද අනුග්‍රහයන් ගැන චූලවංශය සඳහන් කරයි. මොහු සේනාසම්මත වික්‍රමබාහු යයි විශ්වාස
කෙරේ. ඔහු පඩි 700කින් යුත් සෝපාන පන්තියක් කර වූ බවත් ශ්‍රී පාදයේ දී අලංකාර පහන්
පූජාවක් කළ බවත් දැක්වේ. සීතාවක යුගයේ පළමුවැනි රාජසිංහ ශ්‍රී පාදස්ථානය අයිතිය
ආඬින්ට පවරාදෙනු ලැබූ බවත් ශිව දෙවියන්ගේ පා සටහන සමන්තකූටයේ ඇති බව ඔහු විශ්වාස කළ
බවත් දැක් වේ. පෘතුගීසි යුගය ගැන සටහන් තබන රොබෙයිරෝ, ෆර්නාවෝ, ක්වේරෝස් ද
සමන්තකූටය අළලා දීර්ඝ විස්තර සපයා තිබේ. සෙංකඩගල නුවර අවදියෙහිදී පළමුවන
විමලධර්මසූරිය රජු ශ්‍රී පාදය වන්දනා කිරීමට ගිය බවත් රන් රිදී වස්තුවලින්
ශ්‍රීපාදය පිදූ බවත් ශ්‍රීපාද ලාංඡනයට ඉහළින් රිදී කුඩයක් සවිකරමින් මහ පින්කම් කළ
බවත් චූලවංශය දක්වයි. මන්දාරම්පුර පුවතට අනුව ආඬින්ගෙන් මුදාගත් ශ්‍රීපාදය නැවත
භික්ෂූන්ටම රජු විසින් ලබාදී තිබේ. රොබට් නොක්ස් ද ශ්‍රීපාදය ආඬින්ට අයත්ව තිබූ බව
සඳහන් කරයි. ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍ර රජු දෙවරක් ශ්‍රී පාදයට ගිය බව චූලවංශය
සඳහන් කරයි. විජය රාජසිංහ රජු ද ශ්‍රී පාදයට ගොස් පහන් පූජාවක් කළ බව වංස කතාවේ
දැක්වේ. කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා සන්නසක් මඟින් ගම් බිම් සහිතව ආදායම් මාර්ග
ශ්‍රී පාදයට ලබා දී තිබේ.
ජෝන් ඩේවි ද ශ්‍රී පාද කන්දට නැඟි විදේශීය ලේඛකයෙක් වන අතර ඔහුගේ තොරතුරු ද එම
අවධියේ දී සමනොල ගිරි පිළිබඳව තොරතුරු අධ්‍යයනයට ප්‍රයෝජනවත් බව කිව යුතු ය. ශ්‍රී
පාදය මල්වතු විහාරය සමඟ සබඳතා පවත්වන බවට ඔහු සඳහන් කරයි. හෙන්රි මාෂල් මේ ස්ථානයට
සමීප වූ තවත් විජාතිකයෙකි. සමන්තකූටයට ‘ඇඩම්ස් පීක්’ යන නම යෙදෙන්නේ මුස්ලිම්වරුන්
භාවිතා කරන ‘බබාද මලී’ යන යෙදුම නිරුක්ති කොටගෙන බව මාර්ෂල් කියයි නමුත් ටෙනන්ට්
කියන්නේ පෘතුගීසි වචනයක් ඒ සඳහා පාදක වූ බවයි. |