ශ්‍රී ලංකාවේ භික්ෂුව හා දායකයා
කැලණිය විශ්වවිද්‍යෘලයේ
පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ මහාචාර්ය
මකුරුප්පේ ධම්මානන්ද හිමි
ලෝක ඉතිහාසයේ සුපිෂ්පිත , සුරක්ෂිත හා සුසංවේදී සමාජ ප්‍රගමනයකට ඉවහල් වූ සමාජ ඒකක
අතර භික්ෂුව හා දායකයා තරම් ප්‍රබල වෙනත් පුද්ගල සුසංයෝගිත්වයක් මෙතෙක් බිහිවී
නොමැත. මෙකී සුසංයෝගිතා ලක්ෂණ පැහැදිලිව දැකිය හැකි වන්නේ ශ්‍රී ලංකාව, තායිලන්තය
හා බුරුමය වැනි ථෙරවාදි බෞද්ධ රටවල වන අතර එයිනුදු ශ්‍රී ලංකාව ප්‍රධාන තැනක් ගනී.
ලෝකයේ ප්‍රබල බටහිර රාජ්‍යයන් පවා මවිත කළ මෙම සම්බන්ධතාව විෂයෙහි බලපෑ හේතු එකී
රටවල් විසින් පවා සමීක්ෂණය කොට තේරුම් ගැන්වීමට උත්සාහ දරා ඇත.
ඔවුන් විසින් හඳුනාගෙන ඇති දත්ත අනුව මෙකී සබඳතාවට බලපා ඇති ප්‍රධානතම සාධකය වන්නේ
මෙරට සංස්කෘතියයි. එය බිඳ දැමීමට අපහසු ප්‍රබල සබඳතාවක් වන්නේ මෙකී බෞද්ධ සංස්කෘතිය
ශ්‍රී ලාංකික ජන වර්ගයේ විධිමත් ආරම්භයේ සිටම සිදු වූවක් වන නිසාය.
එම කරුණු විමසීමෙන් හා අපගේ අත්දැකීම් අනුව ශ්‍රී ලාංකික සංස්කෘතිය යනු බෞද්ධ
භික්ෂූන් වහන්සේ සහ මෙරට දායකයා යැයි හැඳින්වීමේ වරදක් නැත.
මෙරට ගිහි පැවිදි ජනයා ධර්මයෙන් පණ ගැන්වූ මෙම බෞද්ධ සංස්කෘතිය මෙරටට හඳුන්වා දෙන
ලද්දේ මිහිඳු මහ රහතන් වහන්සේ ප්‍රමුඛ බුද්ධ ශ්‍රාවක පිරිසක් විසිනි.
දේවානම්පියතිස්ස නරපතියාගේ සිට දුරදර්ශි රාජ්‍ය පාලකයන්ගේ අනුග්‍රහය මේ සඳහා අඛණ්ඩව
ලැබී ඇති බව ඉතිහාසයෙන් සනාථ වෙයි. උත්සාහය, ධෛර්යය, බුද්ධිය, කැපවීම, ලද දෙයින්
සතුටුවීම, අරමුණු කරා ළඟා වීම, කායික හා මානසික සංවරය,ආචාරශීලි හා සුහදශීලි සමාජ
සම්බන්ධතා කඳුල සහ සිනහව, මානසික පාලනය ආත්ම ගරුත්වය ආදි විශේෂ ගති ලක්ෂණ සමුදායක්
ශ්‍රී ලාංකික දේහයට ආවේශ කළ මෙම සංස්කෘතිය සිංහල ජනයාගේ පමණක් නොව මෙරට වැසි
ද්‍රවිඩ, මුස්ලිම් ආදි අවශේෂ ජන වර්ගයන්ගේ ද මෙරටට පැමිණීම,වෘත්තීය කටයුතුවල යෙදීම,
ආගමික ඇදහීම් හා නිරුපද්‍රිත පැවැත්ම හා පෝෂණය විෂයෙහි බලපෑ බව කිව යුතුය. මෙරටට
පැමිණි නේරු තුමා වැනි රාජ්‍ය නායකයන්, හියුං සාං පාහියන් වැනි දේශාටකයන්, රොබට්
නොක්ස් වැනි බුද්ධිමතුන් හා මෙරටට පැමිණි පාප් වහන්සේලා වැනි ආගමික නායකයන් මෙරට
ජනයා තුළ පවතින ආගන්තුක සද්කාර, උත්සාහය, කෘතවේදී බව ආදි ගුණාංග පමණක් නොව සිනහව
පවා වර්ණනාවට ලක් කළ බව ලේඛනගතව පවතී. මේ නිසා ශ්‍රී ලාංකේය සංස්කෘතිය යනු ලෝකයට
බරක් වු සංස්කෘතියක්ද නැතහොත් ලෝකයටම හඳුනාගත යුතු වූ සංස්කෘතියක්ද යන්න තේරුම්ගත
යුතුය. ගෛීලීයකරණය හමුවේ ශ්‍රී ලාංකේය සංස්කෘතියට මුහුණ පෑමට සිදුවන අභියෝග හා
ව්‍යසන පිළිබඳ අවබෝධයක් ශ්‍රී ලාංකික ප්‍රබුද්ධ බෞද්ධ වැඩිහිටි හා තරුණ ජනයා විසින්
හඳුනා ගැනීමත් අනාගත පරපුරට මෙකී සංස්කෘතික හර පද්ධතීන් පිළිබදව වටහා දීමත් යුගයේ
අවශ්‍යතාවක් වේ. ශ්‍රී ලාංකික සමාජ සන්දර්භය තුළ භික්ෂුව හා දායකයාගේ භූමිකාව
පිළිබඳව සාකච්ඡා කිරීම සුදුසු වන්නේ එහෙයිනි. මුල් බුදුසමය අනුව සහ ඓතිහාසික
මූලාශ්‍රය අනුව භික්ෂුවක සතු ප්‍රධාන භූමිකා දෙකක් දක්නා ලැබේ. අපගේ විග්‍රහය පහසු
වන සඳහා මෙකී භික්ෂූන් වහන්සේලා දෙනම හැදින්වීම සඳහා නම් දෙකක් යෝජනා කරමු.
1.සාම්ප්‍රදායික භික්ෂුව 2. ඓතිහාසික භික්ෂුව යනුවෙනි. මෙයින් සාම්ප්‍රදායික
භික්ෂුව යන්නෙන් අදහස් වන්නේ පරමාදර්ශී බෞද්ධ භික්ෂු චරිතය බිළිබිඹු කරන භික්ෂූන්
වහන්සේය. උන්වහන්සේගේ කාර්යභාරය වන්නේ බුදුන් වහන්සේ හමුවෙහි සිටි බුද්ධ පුත්‍රයන්
වහන්සේගේ ගති ලක්ෂණ ප්‍රකට කිරීමයි. සංස්කෘතික භික්ෂුව යනු භික්ෂු සංස්ථාවේ ආරම්භයේ
සිට විවිධ අභියෝගවලට මුහුණ දෙමින් මිනිසාගේ සිට කුරා කුහුඹුවා දක්වා වන අවශේෂ සත්ව
වර්ගයාගේ හිත සුව පිණිස ආත්මීය කැප කිරීමක් කළ භික්ෂූන් වහන්සේය.
සැදැහැවත් කුල දරුවෙකු සසුන්ගත වීමේදී කසාවතක් දැතෙහි දරමින් භික්ෂු සංඝයාගෙන්
ඉල්ලා සිටිනුයේ “ස්වාමීනි, සියලු දුක් දුරු කිරීම පිණිස, නිර්වානය සාක්ෂාත් කිරීම
පිණිස මේ කසාවත රැගෙන මා පැවිදි කරවනු මැනවි” යන්නයි.
මෙම ප්‍රකාශය භික්ෂුවකගේ මහණකම සම්බන්ධයෙන් අතිශය ප්‍රයෝජනවත්ය. කුමක් නිසාද යත්
එහි භික්ෂු ජීවිතයේ අරමුණ හා ප්‍රතිඥාව ගැබ් වන හෙයිනි. මේ අනුව සසුන්ගත වීමේ හේතු
රාශියක් නැත. එකම අභිලාෂය දුක නැති කිරීම නම් වන නිවන ලබා ගැනීමයි. මේ සඳහා අවශ්‍ය
වන ප්‍රතිපදාව ත්‍රිශික්ෂාවයි. එනම් සීලය, සමාධිය, හා විදර්ශනා ප්‍රඥාව වර්ධනය
කිරීමයි. වෙනත් විධියකින් කිවහොත් කායිකව හා වාචසික සංවරය පවත්වා ගැනීම, මානසික
සමබරතාව රැක ගැනීම හා භාවනාවෙන් කල් ගෙවීමයි. මෙකී පරමාදර්ශයන් නිසි පරිදි
ක්‍රියාත්මක කිරීමට බුදුන් වහන්සේ තම ශ්‍රාවකයන්ට නිරතුරු අනුශාසනා කළ බව බොහෝ
සූත්‍රාන්ත දේශනාවල දක්නට ලැබෙන සිහි ගැන්වීමකින් ප්‍රකට කෙරේ. එම ප්‍රකාශය නම්
“එතානි භික්ඛවේ’ සුඤ්ඤාගරානි, එතිනා රුක්ඛමූලානි, භාවෙථපච්ඡා මා විප්පටිසාරිනො
අහුවත්ථ’ යන්නයි. මෙහි තේරුම් මහණෙනි, මේ ශූන්‍යාගාරයෝය. මේ රුක් මුල්ය. සිත වඩවූ,
පසුව විපිළිසර නොවවු යන්නයි. මෙම ප්‍රකාශයෙන් පැහැදිලි වන්නේ භික්ෂූන් වහන්සේගේ
කාර්යභාරය තම ආධ්‍යාත්මික දියුණුව පිණිස කටයුතු කර ගැනීමයි. දේශපාලනය, වෙළෙදාම්
කිරීම, නැකැත් කීම, මුදල් සදහා බණ කීම, මාධ්‍ය සංදර්ශන පැවැත්වීම යනාදි කටයුතු මෙයට
අයත් නැත. එබඳු භික්ෂුව බුද්ධකාලයේ විසූ ඇතැම් නො හික්මුණූ , අවිනීත පැවතුම් ඇති,
අවබෝධ කරවීමට අපහසු භික්ෂූන් මෙන් පෙනේ.
ඉහත සදහන් සාම්ප්‍රදායික භික්ෂුවගේ කාර්යය පුද්ගල ප්‍රතිබද්ධ වූවකි. මෙම සංකල්පය
දැඩිසේ සිතට කාවද්දාගත් භික්ෂූහු මෙකල ද බෙහෙවින් අරණ්‍යගතව වැඩ වෙසෙති. මෙසේ
වෙසෙමින් තම විමුක්තිය සලසා ගත් භික්ෂූහු ඉතිහාසයෙහි බොහෝ වූහ. මෙකී භික්ෂූන්
විෂයෙහි දායකයාගේ කාර්යභාරය වූයේ උන්වහන්සේලාගේ ආධ්‍යාත්මික ගමන වෙනුවෙන්
නිරපේක්ෂකව සිවු පසයෙන් උපස්ථාන කිරීමයි. ඔවුහු එමගින් සිදුවන අනන්ත අප්‍රමාණ පින්
පිළිබඳව සිතා සතුට වූහ.
බුදුන් වහන්සේගේ අනුශාසනාව පරිදි භික්ෂුවට උරුම වු සංස්කෘතික කාර්යභාරයක්ද පවතී.
බුදුන් වහන්සේ සසුන පිහිටවූ මුල් අවස්ථාවේදීම ලෝකයාගේ හිත සුව පිණිස ගම් දනව්
සැරිසරා වැඩම කරන ලෙස භික්ෂූන්ට නියම කළහ. අප ඉහත සඳහන් කළ සංස්කෘතික භික්ෂුව
බිහිවීමේ මූලික පදනම එයයි. තමන්ට ආමිෂ දානෙන් සංග්‍රහ කරන ගිහියන්ගේ යහපත උදෙසා
ඔවුන්ට ධර්මයෙන් සංග්‍රහ කිරීම භික්ෂුවගේ යුතුකමකි. බුදුරදුන් දවසම වෙහෙර විහාර
ඉදිවීම, බෝධින් වහන්සේ වැනි පුජනීය වස්තු බිහිවීම හා පිරිත් දේශනා වැනි අභිචාර විධි
බිහිවීම සිදුවූයේ මෙකී සංස්කෘතික කාර්යභාරය පදනම් කොට ගෙනය.අනෙක් අතින් ගිහියන් සමඟ
සබඳතා පැවැත්වීම සම්බන්ධයෙන් නීති රීති සමුදායක් බිහිවූයේ ද මේ නිසාය. මේ නිසා
භික්ෂූන් වහන්සේට තම ආධ්‍යාත්මික විමුක්තිය උදෙසා බණ භාවනා කරන අතරම සංස්කෘතික
කාර්යභාරයකද නිරතවීමට සිදුවිය.
මෙම ලිපියේ ඉතිරි කොටස මැදින් අව අටවක පෝදා මාර්තු 31 වනදා පත්‍රයේ පළවේ |