ඇන්දානේ දයානන්ද නා හිමි
සපරගමු අමරපුර සිරිසද්ධම්ම වංශ මහානිකායේ එක්නැලිගොඩ පාර්ශ්වයේ මහානායක රාජකීය
පණ්ඩිත ඇන්දානේ දයානන්ද හාමුදුරුවන් වහන්සේ ශ්‍රේෂ්ඨ සංඝපීතෘවරයෙකි.
රත්නපුර ඇන්දාන ගම්වරයේ, වලව්වත්තේ ජයසුන්දර මුදියන්සේලාගේ මොහොට්ටි අප්පුහාමි
ජයසුන්දර හා ළමා හාමි පොඩිමැණිකේ වීරසිංහ දම්පතීන්ට 1925.02.16 දින උපන් දරුවා
මඩලගම විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබුයේ කාගේත් සිත් දිනාගනිමිනි. ගිණිහිරිය
ශ්‍රී සිද්ධාර්ථෝදය පරිවේණාධිශ්වර අතිපූජ්‍ය දෙමළපෝරුවේ ශ්‍රී ධීරානන්දාභිධාන
මහානායක හිමියන්ගේත්, තත් පරිවේණාධ්‍යක්ෂ මිල්ලපිටියේ පියනන්දාභිධාන මහා
ස්ථවිරපාදයාණන් වහන්සේගේත් ප්‍රවෘජ්‍යාචාර්යත්වයෙන් 1940.09.25 දින ඇන්දානේ දයානන්ද
නමින් පැවිදි බිමට පත් වූහ.
මූලික බණ දහම්, වත් පිළිවෙත් ආරාමික අධ්‍යාපනය ගුරු හිමි ඇසුරෙන් ලද දයානන්ද
සාමණේරයෝ දකුණුලක සුප්‍රසිද්ධ අම්බලන්ගොඩ විද්‍යාලෝක මහ පිරිවනට ඇතුළත්ව තත්
පරිවේණාධිපති පණ්ඩිතාචාර්ය විලේගොඩ ධම්මානන්ද මහා ස්ථවිර පාදයාණන් වහන්සේගේ
ගෞරවාදරයට ලක්වෙමින් උගනිමින්, මාලිගාකන්ද විද්‍යොදය පිරිවෙනට ද ඇතුළත් ව මහත්
ඉගෙනුම් ලැබ රාජකීය පණ්ඩිත උපාධිය දිනමින් බහුශ්‍රැත පඬිවරයෙකු විය.
1945 සිට විද්‍යාලෝක පිරිවෙන්හි ආචාර්යවරයෙකු වූ උන්වහන්සේ 1946 දී බලපිටිය වැලිතර
මාදුනදී ස්වේජින් සීමා මාලකයේ දී උපසම්පදාව ලදහ. සිය පිරිවනෙහි උප ප්‍රධානාචාර්ය
ධූරය දරමින් 1960 දී පර්වේණාධිපතිත්වයට පත්ව 1989 දක්වා වසර තිහක් සුවිසල් මෙහෙවරක්
කළහ. එසේම 1989 සිට අපවත් වනතෙක් පිරිවෙනේ කෘත්‍යාධිකාර තනතුර හෙබවූහ.
උන්වහන්සේ පිරිවෙන දියුණු කළහ. විශ්ව විද්‍යාල පිරිවනක් බවට පත් කළ අතර උපාධි පන්ති
තෙක් ඉගැන්විණි. බුද්ධ ජයන්ති වර්ෂය හා පිරිවෙනට පනස් වසරක් සපිරීම හේතුකොට
අම්බලන්ගොඩ, බලපිටිය, කරන්දෙණිය, රත්ගම, බද්දේගම යන ප්‍රදේශවලින් දහස් ගණන් ජන
සාධුනද මැද මහ සඟරුවනේ පාද චාරිකාව උන්වහන්සේගේ අතිශය වැදගත් කාර්යයක් විය.
ප්‍රදේශයේ මහත් බෞද්ධ ප්‍රබෝධයක් ඉන් උදා විය.
1953 දී බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහා නා හිමියන්ගේ සභාපතිත්වයෙන් ප්‍රාචීන සාහිත්‍ය
සංගමය පිහිටුවා ‘ප්‍රාචීන සාහිත්‍ය’ නමින් තෛ‍්‍රමාසික උසස් ශාස්ත්‍රීය සඟරාවක්
බිහිකරමින් කළ සේවය විශිෂ්ටය. සැට විය. සපිරුදා ඒ වෙනුවෙන් උපහාර ග්‍රන්ථයක්
බිහිකරමින් උදාර සේවයට ගරු කෙරුණි.
ජිනචර්යා ව්‍යාඛ්‍යා, ලක්ෂණ භර විවරණය, සංක්ෂිප්ත පාරාජිකා පාලි, සිද්ධර්මලංකා
ශෝධනය. දසාභිමාලිනි, විසල් පුරට සෙත් කිරීම, ආදී ගැදි පැදි පොත් තිහකට අධික
සංඛ්‍යාවක් ලියූ උන්වහන්සේ දිවයිනේ ප්‍රකට පුවත්පත් සඟරා ආදියට සැපයූ ලිපි ලේඛන
සංඛ්‍යාව විශාලය. විචිත්‍ර ධර්මදේශකයෙකු, කථිකයෙකු වූ උන්වහන්සේ ජාතික, ආගමික,
සාමාජික ආදී අනේකවිධ උත්සවයන්හි මුල් අසුනට නැතිවම බැරි ස්වභාවයකි.
විද්‍යාලෝක පිරිවෙන් දියුණුව සඳහා විශ්‍රාම ගියද එහි අධ්‍යක්ෂ ලෙසින් අපවත්වනතුරුම
ක්‍රියා කළහ. කා අතරත් පි‍්‍රයශීලී අල්පේච්ඡ ගුණයෙන් හෙබි උන්වහන්සේ මුළු පළාතටම
ශක්තියක් විය.
තනතුරු හඹා නොගියද ඒ උන්වහන්සේ වෙත ඇදී ආහ. 1957 දී නිකායේ ලේඛකාධිකාරී, 1962 දී
පහතරට සිරි සද්ධම්මවංශ මහා නිකායේ කාරක සභික, 1968 දී ප්‍රවචන කීර්ති ශ්‍රී
වාගීශ්වරාචාර්ය ගෞරව නාම සහිත අධිකරණ නායක, 1992 දී ශ්‍රී අරියවංශපාල ගණාචාර්ය
ශ්‍රී ධීරානන්ද ගෞරව නාම සහිත සබරගමු අමරපුර සිරි සද්ධම්ම වංශ මහා නිකායේ එක්
නැළිගොඩ පාර්ශ්වයේ මහානායක ආදියෙන් පිදුම් ලද උන්වහන්සේ දායක කාරකාදී මහජන සම්මානය
ඉහළින්ම ලදහ.
කරන්ගොඩ සේනානන්ද පණ්ඩිත හිමි ඇන්දානේ හිමියන්ගේ ශිෂ්‍යවරයෙකි. රත්නපුර ගිණිහිරිය
සිද්ධාර්ථෝදය පිරිවෙන දියුණු කරමින් ඒ ප්‍රදේශයට මහත් සේවාවක් කරති. අනිත් ශිෂ්‍ය
යටියන සිවලී හිමියෝ අම්බලන්ගොඩ ප්‍රදේශය බබුළුවති. ශාස්ත්‍රපති සීවලි හිමි
විද්‍යාලෝක විශ්වවිද්‍යාල පිරුවනේ පරිවේණාධිපති වශයෙන් සේවය කොට විශ්‍රාම ලැබ සිටී.
අම්බලන්ගොඩ ශ්‍රී ජයබෝධි විහාරය, කැටන්තාට සුමනමාතාරාමය, ගිනිහිරිය සිද්ධාර්ථෝදය
පිරිවෙන් මහා විහාරය ආදියේ අධිපති, අම්බලන්ගොඩ ශාසනාරක්ෂ බල මණ්ඩල සභාපති, ඇන්දානේ
නාහිමියන් 2000.03.14 දින අපවත් වී වදාළහ. උන්වහන්සේ පිළිබඳ සොළොස්වන ගුණ සමරුව
යටියන සීවලි හිමියන්ගේ අනුශාසකත්වයෙන් අම්බලන්ගොඩදී සිදු කෙරේ. ඇන්දානේ මහානාහිමිට
නිවන් සුව පතමු.
කලාභූෂණ ආචාර්ය
සිරිපාල මාදුවගේ
සිරිරතන අනු නා හිමි
අමරපුර මුම්මවංසාභිධජ සිරි සද්ධම්ම යුක්තික මහ නිකායේ අනුනායක ජිනවර වංසපාල කීර්ති
ශ්‍රී සද්ධානන්ද වංසාලංකාර පණ්ඩිත ශාස්ත්‍රවේදී නරවැල්පිට කරපුටුගල සිරිරතන
නාහිමිපාණන් වහන්සේ.
හක්මණ නරවැල්පිට කරපුටුගල මීමනකොළදෙණිය නම් පසල් දනව්වක හේවාපේදුරු ආරච්චිගේ
මව්ලිස් සිඤ්ඤෝ පියාට හා හේවාපේදුරු ආරච්චිගේ කරෙන්චිනා මවට දාව 1926.12.02 දින
නිවුන් දරුවකු ලෙස මෙලොව එළිය දුටු අතර ඒ.එච්.පී.ඒ. දාවිත් සිඤ්ඤෝ යන නාමයෙනි.
මේ පින්වත් කුමරුවා එවකට ඥාති භික්ෂුවක් ලෙස වැඩ සිටි නරවැල්පිට විසුද්ධානන්ද මහා
යතිවරයාණන් වහන්සේ වලස්මුල්ල, කුරුඳුවත්ත ශ්‍රී බෝධිරුක්ඛාරාමයේ අධීශ්වර ව වැඩ සිටි
බැවින් උන්වහන්සේගේ පා සෙවනෙහි අවැසි බණ දහම් වනපොත් කොට 1944 ජනවාරි මස 09 වන දින
කරපුටුගල සිරිරතන හිමි නමින් එම විහාරභූමියේ දී ප්‍රවෘජ්ජා භූමියට පත් වූයේය.
මාතර දෙවිනුවර වනවාසල පරිවේණස්ථානය තම මූලික විද්‍යායතනය බවට පත්කරගත් උන්වහන්සේ
ගාල්ල විද්‍යාලෝක පිරිවෙනට ඇතුළත් ව එහි කීර්තිධර ශිෂ්‍යයකු ලෙස ගුරුභවතුන් අතර
ප්‍රකට වූයේ ගාල්ල, බෝපේ, සපුමල් පෙදෙසේ පිහිටි සරණගිරි අරමෙහි අධිපතිත්වය දරමින්
සිටින අතරතුරේ දී ය.
උසස් අධ්‍යාපනය සඳහා 1958 දී විද්‍යාලංකාර පිරිවෙනට ඇතුළත්ව සිංහල පාලි, සංස්කෘත,
ත්‍රිපිටකාචාර්ය, යන විෂයන් ගැඹුරින් උද්ග්‍රහණය කළ උන්වහන්සේ ත්‍රිපිටකවේදී ගෞරව
උපාධිය ලබාගත්හ. නක්ෂාස්ත්‍රය, සෙත්කවි, වෙදකම සහ වෙනත් ගුප්ත විෂයන් පිළිබඳ ගවේෂණය
කරන්නට උන්වහන්සේ නිතැතින්ම උත්සුක වූහ.
අධිශීල සංඛ්‍යාත උපසම්පදා ශීලයෙහි ඒ වන විටත් නිසිවයස් සම්පූර්ණ කර තිබූ හෙයින්
1949 ජූලි මස 07 දින එම අභිෂේකය මුදුන්පත් කෙරිණ. 1963 දී විද්‍යාලංකාර විශ්ව
විද්‍යාලයට ඇතුළත් ව පෙර හසරු කුසලතාවන් දැක් වූ සිංහල, පාලි සංස්කෘත , ත්‍රිපිටක
ධර්මය වැනි ප්‍රාචීන විෂයන්ට අමතරව, ඉංගී‍්‍රසි, දර්ශනය තර්කශාස්ත්‍රය වැනි
ප්‍රතිචීන විෂයන්ද උද්ග්‍රහණය කොට අධ්‍යයතන විද්වත් සමාජයට අඩිතාලම දමාගත්හ.
නාහිමිපාණන් විහාරස්ථානයේ පිහිටි විද්‍යාසාගර විද්‍යායතන මහ පිරිවෙන්හි
පරිවේණාධිපති ධුරය හොබවමින් ශිෂ්‍ය භික්ෂූ වහන්සේගේ පරමාදර්ශි සංඝ පීතෘන් වහන්සේ
නමක් ලෙස සුවිසල් මෙහෙවරක් කළහ. ඒ 1968 වර්ෂයේ දීය.
ඒ අතරතුර තම ගුරුදේවයාණන් වහන්සේ වූ විසුද්ධානන්ද මාහිමිපාණන් වහන්සේ 1967 දී අපවත්
වීමෙන් පසු තම ගුරුදේවයාණන් වහන්සේ වැඩ සිටි ශ්‍රී බෝධිරුක්ඛාරාමයෙහි අධිපතිකම
දැරීය.
ඒ සමඟම ගමෙහි වෙසෙන දූදරුවන් සම්බුදු දහමින් ඔපවත් කරවීමෙහිලා තම ගුරුදේවයාණන්
වහන්සෙගේ් කීර්ති නාමය සදා රැඳවෙන පරිදි 1972 දී ශ්‍රී විසුද්ධානන්ද නමින්
දහම්පාසලක් ආරම්භ කිරීමට යෙදුණි.
තමන් වහන්සේ පැවිදි වූ ගම්පියසට ශාසනික සේවාව කිරීම යුතුකම කොට සිතා 1980 දී මාතර
කිතුලෙවෙළ ජයමහවිහාර උපාධි පීඨයට ඇතුළත්ව එහි නේවාසිකව වැඩ වෙසෙමින් උපාධි පංතිවලට
තම ශාස්ත්‍ර දානය ලබාදෙමින් වියත් භික්ෂු පරපුරක් හා නුවණින් පිරි බොදු ගිහි
සමාජයක් බිහිකිරීම සඳහා උපරිම කැපකිරීම කළහ.
1986 ජනවාරි මස 18 වන දින සිරිවිජය නමින් ළදරු පාසලක් ආරම්භ කිරීමට යෙදුනි.
ග්‍රාම සංවර්ධන සමිතිය පිහිටුවා ග්‍රාමීය සමාජය සවිබල ගැන්වීමටත් පොදු මංමාවත් හා
පොදු ළිං තැනීමටත් ප්‍රධාන නියමුවාණන් වූයේ උන්වහන්සේය. වලස්මුල්ල, කුරුඳුවත්ත හරහා
පිටදෙනිය මාවත බිහිවූයේත් ඊට තදාසන්න දෙණිය ළිඳත් සකසනු ලැබුයේත් මෙහි ප්‍රතිඵලයක්
ලෙසය.
එහෙත් 1987 දෙසැම්බර් මස 02 වන දින විශ්‍රාම යාමෙන් පසු මුළු කාලයම ගමේ හා
විහාරස්ථානයේ අභිවෘද්ධිය වෙනුවෙන් කැපකිරීමට උන්වහන්සේට අවකාශ ලැබුණි.
1991 දී සමස්ත ලංකා සාමවිනිසුරු පදවිය ලැබුණි.
1991 සැප්තැම්බර් 16 දින ධර්ම විජය පදනම පිහිටුවා ගත් උන්වහන්සේ ආර්ථික පීඩාවන්ගෙන්
අගතියට පත් ගම් වැසියන්ට විවිධ ද්‍රව්‍යමය ආධාර ලද පමණින් ඉතාමත් සාධාරණ ලෙස
බෙදාහැරීමට කටයුතු කළහ.
සම්බුද්ධ ශාසනයටත් සැදැහැවත් බෞද්ධ සමාජයටත් කරනු ලබන මෙම නිකලැල් සේවාව පිළිබඳ
සතුටට පත් අමරපුර මුම්මවංසාභිධජ සිරිසද්ධම්ම යුක්තික මහා නිකායේ කාරක සංඝ සභාව
විසින් 1998.07.01 දින තත් නිකායේ අනුනායක ධුරයත් ජිනවංසපාල කීර්ති ශ්‍රී සද්ධානන්ද
වංසාලංකාර යන පදවි නාමයත් පිරිනැමූහ.
උන්වහන්සේ සමථ මණ්ඩල විනිසුරුවරයකු ලෙස පත්කරනු ලැබුවේ 1999 දීය. තම රාජකාරිය
නීතිගරුක ව හා විධිමත් ලෙස ඉටුකිරීම අගයනු වස් “සාමදාන විනිශ්චයකාර විශිෂ්ට සේවා
සමර්පණ උපහාර නමින් 2011. දෙසැම්බර් 17 වන දින උපහාරයෙන් පුදනු ලැබීය.
90 වන වියට පා තබත්ම බලවත් සේ රෝගාතුර වී දින කීපයකට පසු 2015.12.11 වෙනි දා අපවත්
වී වදාළහ. ඒ නිමිත්තෙන් 2016 මාර්තු මස 10 දින සුමධූර ධර්ම දේශනාවක්ද පසු දින එනම්
11 දින සංඝගත දක්ෂිණාවක්ද පිරිනමා පින් ප්‍රාර්ථනා කරනු ලැබීය. එපින් බලෙන්
නාහිමිපාණන් වහන්සේට නිවන් සුව ලැබේවා.
අමරපුර මුම්මවංසාභිධජ සිරි සද්ධම්ම
යුක්තික නිකායේ සම ලේඛකාධිකාරි
හොරේවෙළ මහ විද්‍යාලයේ ආචාර්ය
දර්ශනපති
කණුමුල්දෙණියේ සිරිසුමන හිමි |