සුමංගල මාතා
මහරහත් තෙරණින් වහන්සේ
මොරගොල්ලාගම
උපසමා සිල්මාතාව
ධර්මයට අනුකූලව ජීවිතය ගත කරන්නේ එම පාපී කෙලෙස් දහම්ගෙන් නිදහස්වීම පිණිසය. අප මේ
මිනිස් ජීවිතය ගතකළ යුත්තේ සසරින් එතෙරවීමට කුසල් දහම් සපුරා ගනු පිණිසය. උපරිම
මිනිස් ආයුෂ අප ගෙවාදැමුවද හරවත් ලෙස කුසල් දහම්හි නොයෙලී රාග, ද්වේෂ සිතිවිලි
ඔස්සේ ක්‍රියා කරමින් වාසය කරන්නේ නම් එම ලැබූ ආයුෂයෙන් කිසිදු හරයක් නොමැත. එක්
දවසක් හෝ යහපත් සිතිවිලි ඇතිව ජීවත්වීම ශ්‍රේෂ්ඨ වේ.
කාන්තාවක ලෙස උපත ලද්දියක සුවිශේෂී භූමිකාවන්හි තම කෘත්‍යය ඉටුකළ යුතුවේ. මවක,
දියණියක, බිරිඳක, සොහොයුරියක ලෙසින් සමාජයේ සුවිශේෂී අවස්ථාවන් ඉටුකරමින් තම
කෘත්‍යයන් සාක්ෂාත් කිරීමට ඇය බැඳී සිටී. ගෘහස්ථ ජීවිතයකට එළඹි කාන්තාව බ්‍රාහ්මණික
සමාජය තුළ අනන්ත දුක් වින්දාය. භාග්‍යවතුන් වහන්සේගේ ඇමතීම අනුව, කාන්තාව දුක්ඛිත
ජීවිතයෙන් මිදී ලෝකෝත්තර භූමියට පත් ලොව ශ්‍රේෂ්ඨ ගණයෙහිලා සැලකූ උතුමෝ වූහ.
භාග්‍යවතුන් වහන්සේ ස්ත්‍රී පුරුෂ භාවයට නොසැලකූහ. ප්‍රඥාවට ආධ්‍යාත්මික
සක්‍යතාවයන්ට නිසිතැන ලබාදී ස්ත්‍රියක හෝ වේවා ප්‍රඥාව දියුණුභාවයට පත්කරගන්නේ නම්
ඇය ශ්‍රේෂ්ඨ වන බැව් උත්තරීතර වන බැව් ප්‍රකට කළසේක. සසර දුකට මුල්වන සන්තානගතව
පවතින රාග, ද්වේෂ, මෝහ යන සකල ක්ලේශ ධර්මයන් සියල්ල මුලිනුපුටා දමා පිරිපුන්
අද්විතිය පෞරුෂත්වය වූ මහරහත් භූමිය පසක් කොට වදාළ උත්තමාවියකි, සුමංගල මාතා මහරහත්
තෙරණින් වහන්සේ.
පෙර බුදුවරයන් වහන්සේලා ලොව පහළ වූ සමයෙහි බොහෝ පින් දහම් කළ තැනැත්තියක වූවා ය. අප
ගෞතම සම්බුදු සසුනින් සැනසෙන්නට සංසාර දුක්ඛයන්හි නිමාව දකින්නට ඈ ප්‍රාර්ථනා කළාය.
බොහෝ මහාසාර පින් ඇතිව භාග්‍යවත් දසබලධාරී බුදුපියාණන් වහන්සේ ලොව පහළ වූ සමයෙහි
සැවැත්නුවර දිළිඳු කුලයක ඉපිද තරමක් වියපත් කල්හි එක්තරා බටපොතු වියන්නකුට සරණපාවා
දෙනු ලැබීය.
කලක් ගතවූ කල පුතකු ලැබූ ඕ තොමෝ පුතුට ‘සුමංගල’ යන නාමය යෙදීය. සුමංගල පුතුගේ මව වූ
නිසාවෙන් සුමංගල මාතා නමින් ප්‍රකට වූවාය. පසුව වැඩිවියට පත් සුමංගල පුතු
බුදුපියාණන් වහන්සේ වෙතගොස් සම්බුදු සසුනෙහි පැවිදිව උත්තරීතර වූ සිව්පිළිසිඹියා
සහිත රහත් භූමියට පැමිණ සුමංගල මහරහත් උතුමකු බවට පත්වූ සේක.
එයින් ශ්‍රද්ධාව ජනිත කරගත්තා වූ, ගිහි බන්ධනයන්ගෙන් මිදීමට අදහස් කළා වූ සුමංගල
මාතාවෝ භික්ෂුණින් සමීපයට ගොස් ප්‍රවෘජ්‍යාභූමියට පත්වූවාය. නොබෝ දිනකින්ම වීර්ය
වඩා මේ ඝෝරතර සංසාර දුක්ඛයෙහි ගැලී නොඇලෙන ලෙස අර්ථ, ධර්ම, නිරුක්ති, පටිභාන යන සතර
පටිසම්භිදා සහිතව මහරහත් භූමිය ස්පර්ශ කළ සේක.
මෙසේ රහත් භූමියට පත්ව වාසය කරන කල්හි දුක්ඛිත ගිහිජීවිතයෙහි විඳි දුක් ආවර්ජනා කොට
සංවේගයට පත්ව තමන් වහන්සේ පිළිගන්නා වූ නිරාමිස සුවය පිළිබඳව විතරාගී සිතින් යුක්තව
පී‍්‍රති උදානයන් ප්‍රකාශ කොට වදාළහ.
“සමුත්තිංක සුමුත්තිතො
සාධු මුත්තිකම්හි මුසලස්ස
අහිරිකො මෙ ජන්තකංවාපි
උක්ඛලිකා මෙ දෙඩිඩුහංවාපි”
“මැනවින් මිදුනු තැනැත්තිය මෝල්ගසෙන්ද, මැනවින් මිදුණෙමි. මාගේ සැමියා ලැජ්ජාවක්
නැති අයෙකි. නිරිලජ්ජිය. ජීවිකාව සඳහා කරන රැකියාවද මට රිසිනොවේ. මාගේ බත් පිසින
මුට්ටියෙන් දියබරිගඳ වහනය වෙයි. එහෙත් මම මේ සියල්ලෙන්ම මැනවින් මිදුනෙමි.”
කාන්තාවක් විවාහ ජීවිතයට පිවිසි කල බොහෝ සෙයින් තම පවුල ආරක්ෂා කරගැනීම උදෙසා
මහත්වූ කැපකිරීමක් කරනු ලබයි. උදෑසන අවදි වූ මොහොතේ පටන් තම කායික අපහසුතා පසෙකලා
තම මුළු ජීවිතයම ඒ වෙනුවෙන්ම යොදවනු ලබයි.
තමන් කෙතරම් රූමත් වුවත් කොපමණ ධනයෙන් කුලයෙන් ආඩ්‍ය වුවත් ලද සැමියා කුමන තරාතිරමක
වුවද එම දිවිය සැප හෝ වේවා දුක් හෝ වේවා කාමයට ආශක්ත වූ නිසාවෙන් මුළු ජීවිත කාලයම
පූජාකළ යුතු යයි බ්‍රාහ්මණ මතය විය. ගෘහණියක සමහර අවස්ථාවලදී දාසියක සේ කටයුතු
කරයි. සමහර අවස්ථාවලදී ඇයගේ සේවාවට ඇගයීමක්ද නොමැත. සැමියාගේ අකටයුතුකම්වලට ඇය
ගොදුරුවනුයේ සාහසික ලෙසය. බටපතුරු තනන සැමියා සමඟ ඇය ගෙවු දිවිය නීරසවිය. එසේම එකල
භාරතීය සමාජය තුළ ඇය ගෘහණියක මෙන්ම දිළින්දියක වූ නිසා සැම දෙයක්ම තමා වංගෙඩිය සහ
මෝල්ගස උපයෝගි කර ගනිමින් කොටා ගන්නට ඇති.
ස්වභාවයෙන්ම කාමයන්හි නොඇලුනු බැවින් සංසාරගත පුරුද්ද නිසා කාමයන් ප්‍රතික්ෂේප කළ
නිසාවෙන් නිර්ලජ්ජි සැමියා පිළිකුල් සහගතවන්නට ඇත. හුණ දඬු ආදිය ගනිමින් දිනපතා කූඩ
සාදමින් ගතකරන දුක්ඛිත ජීවිතය පිළිකුල් කරති. ඇය බත් උයන ලද මුට්ටිය සැම දිනම බත්
පිසින නිසාවෙන් දයබරිගඳ ගසන බව පවසයි. ගෘහීය ජීවිතයෙන් මිදී කසාවතක් දරාගෙන සියලු
බැඳීම්වලින් නික්මුණු ඕතොමෝ පැවිදි ජීවිතයෙහි උපරිම ඵල ලැබුවාය. ඇයගේ උදානයෙන් ගිහි
ජීවිතය සැප ලෙස ගත නොකළ බවත් එම ජීවිතය අපි‍්‍රය කරමින් වාසය කළ බව පෙනේ.
පුණ්‍යවන්තියක, භාග්‍යවන්තියක වූ සුමංගල මාතා මහරහත් තෙරණියෝ නිවීම පිළිබඳ මෙසේ
ප්‍රකාශකොට වදාළ සේක.
‘රාගඤ්ච අහං දොසඤ්ච
චිටිචිටි චිටිචිටිති විහනාමි
සා රුක්ඛමුළං උපගම්ම
අහො සුඛන්ති සුඛතො ඣායාමි’
‘මම රාගයද ද්වේෂයද ‘ච්ච්චිටි චිටිචිටි’ යන අනුකරණයෙන් නසා දැමුවෙමි. එසේ නසා දමා
ගසක් මුල්ට එළඹ ‘අනේ සැපක් අනේ සැපක්’ යයි පවසමින් මහත් සැපයෙන් යුක්තව භාවනාවෙහි
යෙදෙමි’.
‘තණ්හාය නදි සමා’ තණ්හාව නදියකට සමාන වේ. නදිය ගලාගෙන යයි. නිමාවක් නොමැතිව. එසේම
යමකට ආශාකොට රාගය මුදුන්පත් කොට වසන්නේ නම් ඒ පුද්ගලයා සසරේ අනන්ත දුක්විඳියි. එම
ජීවිතයෙන් ගැළවීමක් නොමැත. ඇස, කන, නාසය, දිව, ශරීරය පිනවමින්, රූප, ශබ්ද, ගන්ධ,
රස, ස්පර්ශ කෙරෙහි බැඳෙන්නේ නම් ඒ රාගයෙනි. එම අරමුණු හා ගැටී වාසය කිරීමෙන් ද්වේෂය
හටගනී. ද්වේෂය පුද්ගලයා සතර අපායට පත් කිරීමට සමත් වේ.
ගෘහ ජීවිතයේ නිස්සාර ස්වභාවය දැන පැවිදි දිවියට එළඹ රහත් භූමියට පත්ව පිරිනිවි වැඩි
සුමංගල මාතාවගේ උත්තරීතර චරිතය සෑම වීර්යවන්තයෙකුටම උපකාරයක් වනු නොඅනුමානය. |