ධම්ම පදය – 04
උපේක්ෂාවේ හා මිත්‍රත්වයේ කොටස්කරුවකු වන්නේ කෙසේද
කොළඹ විශ්වවිද්‍යාලයේ
පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය රාජකීය පණ්ඩිත
උඩුහාවර ආනන්ද හිමි
කිසි දිනෙක වෛර කිරීමෙන් වෛරය නොසංසිඳේ. වෛර නොකිරීමෙන් වෛරය සංසිඳේ. මෙය සනාතනික
ධර්මයයි. ධම්මපදයේ පළමු වග්ගයේ පස්වන ගාථාවෙන් ඉදිරිපත්කරන උපදේශය මෙයයි.
අකුශල මනෝභාවයන් අතර වෛරය අතිශය බලවත් වන අතර එහි බලපෑමෙන් පුද්ගලයා විසින්
සිදුකරනු ලබන කායික , වාචසික ක්‍රියා ද අතිශය දරුණු බව ඉතා පැහැදිලිය. පුද්ගලයන්
අතර පමණක් නොව රටවල් අතරද ඇතිවෙන බොහෝ ගැටුම් මෙම අකුශල සහගත මානසික ස්වභාවයේ බලපෑම
නිසා සිදුවෙයි. තමාට කළ අයහපත හා නපුර ගැන කල්පනා කරමින් එයට ප්‍රතිචාර වශයෙන්
තමනුත් අන් අයට නපුරු ආකාරයට සැළකීම වෛරයේ ස්වභාවයයි. පළිගැනීම, එකට එක කිරීම
යනුවෙන් අදහස් කෙරෙන්නේද එයයි. අංගුත්තර නිකායේ දැක්වෙන ආඝාත පටිවිනය සූත්‍රයෙහි
වෛරය හටගන්නා ආකාරය පැහැදිලි කරයි. කිසියම් පුද්ගලයෙක් තවත් අයෙකු විසින් තමාට පෙර
දිනෙක කරන ලද හෝ දැනට කරනු ලබන හෝ මතුවට කරාවි යැයි උපකල්පනය කරනු ලබන අයහපතක්
නපුරක් අසාධාරණකමක් මදිංපුංචිකමක් නොසලකා හැරීමක් පළිගැනීමක් ගැන කාලත්‍රයවර්තිව
කල්පනා කොට පෙරළා එම තැනැත්තා කෙරෙහි වෛර ඇතිකර ගනී. එය වෛරය ඇතිවීමේ පළමු
ක්‍රමයයි. තමාට පමණක් නොව තම පවුලේ අයට ඥාතීන්ට තමන්ගේ හිතවතුන්ට,අසල්වැසියන්ට කරන
ලද විවිධ නපුරුකම් දැනට කෙරෙමින් පවතින නපුරුකම් අනාගතයේ කළ හැකි යැයි උපකල්පනය කරන
නපුරුකම් ගැන සලකා කාලත්‍රය වර්තීව වෛරය ඇතිකර ගනී නම් එය දෙවන ක්‍රමයයි. මෙම ක්‍රම
දෙකේදීම සලකා බලන්නේ තමාට හා තමාගේ සමීපතමයන්ට සිදුකරන ලද අයහපතයි. තෙවන ක්‍රමය එයට
හාත්පසින්ම වෙනස් වේ. එහිදී සලකා බලන්නේ තම අහිතවතාට විරුද්ධවාදියාට කරන ලද විවිධ
උපකාර දැනට කරමින් තිබෙන උපකාර හා අනාගතයට කරාවි යැයි උපකල්පනය කරන උපකාර ආදි
වශයෙන් කාලත්‍රය වර්තීව කල්පනා කිරීමෙන් වෛරය ඇතිකර ගනී. එය වෛරය ඇතිකරගැනීමේ අවසන්
ක්‍රමයයි. තරමක ප්‍රහේලිකාවක් ලෙස පෙනෙන මෙම සූත්‍රය පිළිබද ගැඹුරින් සිතා බැලුවොත්
එහි අර්ථය මනැවින් වටහාගත හැකිය.
බොහෝ දුරට අප වෛරය ඇතිකරගන්නේ මේ ආකාරයට කල්පනා
කිරීමෙන්ය. තමාට පමණක් නොව තමාගේ හිතවන්තයින්ටද සිදුකරන ලද විවිධ නපුරුකම් පිළිබඳ
නැවත නැවත කල්පනා කරමින් එසේ කළ තැනැත්තා විනාශ කිරීමට ඔහු හෝ ඇයට වදහිංසා කිරීමට
පළිගැනීමට සූදානම්වන අවස්ථා කොතෙකුක් තිබේ. සාමාන්‍ය මිනිසා කල්පනා කරන ආකාරය
මෙයයි. ඔහු හෝ ඇය වෛරය ඇතිකරගන්නේ මේ ආකාරයට මෙනෙහි කිරීමෙන්ය. සාමාන්‍ය මිනිසා
කල්පනා කරන්නේ තම විරුද්ධවාදියාට කවරෙකු හෝ උපකාර කරයි නම් එසේ උපකාර කරන
තැනැත්තාටද විරුද්ධව ක්‍රියාකළ යුතු බවයි. විරුද්ධවාදියාද කල්පනා කරන්නේ මේ
ආකාරයටයි. දෙපාර්ශවයම මේ ආකාරයට කල්පනා කරන තාක් වෛරය නොසංසිඳෙයි. දිගින් දිගට
සිදුකරනු ලබන පළිගැනීම් හේතුවෙන් එකිනෙකා කෙරෙහි වෛරය තවත් වර්ධනය වෙයි. යම් දවසක
මෙය නතර වන්නේ දෙපාර්ශ්වයම එය නතරකළ හොත් පමණි. එදිනෙදා අසන්නට දකින්නට ලැබෙන බොහෝ
මිනී මැරීම්, ස්ත්‍රි දූෂණ, මංකොල්ලකෑම් හා දේපළ විනාශ කිරීම් බොහෝමයක් පිටුපස
තිබෙන්නේ මෙකී වෛරී චින්තනයයි. කිසියම් දිනෙක මේ වෛරී චින්තනය පදනම් කරගත් ගැටුම්
නවතින්නේ අභ්‍යන්තර සාමය ඇති කිරීමෙන් පමණි.
වෛරයේ ස්වභාවය හා එහි දරුණු බව පැහැදිලි කිරීම සඳහා ධම්මපදට්ඨකථාවෙන් හඳුන්වාදෙන ලද
කාලියක්ඛිනි කථාව තුළින් වෛරී චින්තනයේ බලපෑම මෙලොවට පමණක් නොව සංසාරික වශයෙන්ද
බලපවත්වන අයුරු පැහැදිලි වේ. ඉතා දීර්ඝ කථාවක් වන එය මෙසේ සම්පිණ්ඩනය කළ හැකිය.
එක්තරා පුරුෂයෙක් මවගේ උනන්දු කිරීම මත විවාහ දිවියට ඇතුළත් වන අතර කල්ගතවන විට තම
විවාහක බිරිඳට දරුවන් නොමැති හෙයින් මවගේ උනන්දු කිරීම මත දෙවන විවාහයකට සූදානම්
විය. මෙම පුවත දැනගත් පළමු වඳ ස්ත්‍රිය ඉතා උපක්‍රමශීලීව තම ස්වාමියාට දෙවන
ස්ත්‍රියක් සොයාගැනීමට උපකාරි වූවාය. ඇය එසේ කළේ තම ආධිපත්‍ය තවදුරටත් රඳවා ගැනීම
පිණිසය. ඇයගේ අනුදැනුම ඇතිව ඇයම සොයාදුන් ස්ත්‍රීය සමඟ විවාහ වු අතර තිදෙනාම එකම
නිවසක වාසය කළෝය. කල්යාමෙන් දෙවන බිරිඳට දරුවකු පිළිසිඳගත් අවස්ථාවේ පළමු බිරිඳ ඉතා
ව්‍යාජ කාරුණික සිතක් පෙන්වා ඇයට උපස්ථාන කළ අතර එසේ කළේ කවර හෝ දිනෙක දරු ගැබ
විනාශ කිරීමේ අදිටනින්ය. දරුවෙකු බිහිකළ පසුව එම නිවසේ මෙන්ම දේපළ අයිතියත් දෙවන
බිරිඳට හිමිවිය හැකිය යනුවෙන් අනාගතයේ සිදුවිය හැකි දේ පිළිබඳ උපකල්පනය කොට දරු ගැබ
විනාශ කිරීමට උපක්‍රම යෙදු අතර ඒ අනුව විෂ යෙදූ ආහාරයක් දීමෙන් පළමු දරු ගැබ විනාශ
කළාය.
මේ ආකාරයට දෙවන වතාවටත් එසේ කළාය. තුන්වන අවස්ථාවේ දෙවන බිරිඳ දෙවතාවේම තම
දරු ගැබ විනාශ කළ හෙයින් තුන්වන අවස්ථාවේදී ඉතා ප්‍රවේශම් සහගතව කටයුතු කළ නමුත් එය
සාර්ථක නොවු අතර පෙර මෙන් විෂ යෙදූ ආහාරය අනුභව කිරීමෙන් මෝරාගිය දරුගැබ මෙන්ම මවත්
විනාශයට පත්විය. එසේ මිය යන අවස්ථාවේ පළමු බිරිඳ විසින් තමාට සිදුකළ අපරාධය පිළිබඳ
කල්පනා කොට ඇය ගැන දැඩි ලෙස වෛර බැඳගත්තාය. දෙවන ආත්මයේදී පළමු බිරිඳ එම නිවසේම
කිකිළියක්ව උපන් අතර දෙවන බිරිඳ බැළලියක්ව ඉපිද සියලු බිත්තර කා දැමුවාය. කිකිළිය
බැළලිය කෙරෙහි වෛර බැඳගත් අතර එයින් චුතව දිවි දෙනක් ලෙසඳ උපන්නාය. බැළලිය මුවදෙනක්
බවට පත් වූවාය. මුවදෙන ප්‍රසූත කළ පැටවුන් තුන්වාරයකදීම දිවි දෙන විසින් කා දමනු
ලැබුවාය. මුවදෙන මිය යන අවස්ථාවෙහි දිවි දෙන කෙරෙහි වෛර බැඳගත්තාය. මුවදෙන මියගොස්
යකින්නක් ලෙස උපන් අතර දිවිදෙන සැවැත් නුවර ස්ත්‍රියක්ව උපන්නාය. ඇය විවාහ වී
දරුවන් වැදූ කල යකින්න පැමිණ අවස්ථා දෙකකදීම දරුවන් කා දැමුවාය. මෙය වටහාගත්
කාන්තාව තුන්වන දරුවා ප්‍රසූත කිරීමේදී සැළකිලිමත් වූ අතර බුදුරදුන්ගේ
මැදිහත්වීමෙන් තමාගේද දරුවාගේද දිවි බේරාගත්තාය.
මෙම කථාවෙහි දැක්වෙන පරිදි පළමු බිරිඳ විසින් වැපුරූ වෛරයේ බීජය සංසාරික වශයෙන්
ආත්මභාව තුනක් දක්වා ගමන් කළ ආකාරය පැහැදිලිය. එසේම ඇය විසින් තමාට සිදුවිය හැකි
අනර්ථය ගැන සලකා උපක්‍රමශීලිව දෙවන බිරිඳගේ දරුගැබ විනාශ කිරීමට පෙළඹුන ආකාරයෙන්
වෛරී සිතෙහි පවතින දරුණු ස්වභාවය වටහාගත හැකිය. පළමු බිරිඳගේ මුල් හැසිරීමෙන් ඇය
වෛර සහිත සිතකින් පෙනී සිටින්නේ යැයි කිව නොහැකිය. තම ස්වාමියාට දෙවන බිරිඳක්
සොයන්නේ ද ඇය වෙනුවෙන් සියලු ඇප උපස්ථාන සිදුකරන්නේද පළමු බිරිඳ විසින්ය. එහෙත් මේ
හැසිරීම ඇගේ සැබෑ ස්වරූපය නොවේ. ඇය ව්‍යාජ කරුණාවක් පෙන්වා තම ස්වාමි පුරුෂයාගේ
දෙවන බිරිඳ තමන්ට අවශ්‍ය පරිදි මෙහෙයවනු ලැබේ. මෙය කොතරම් උපක්‍රමශීලිව ඇය විසින්
ක්‍රියාවට නංවන ලදදැයි දෙවන දරු ගැබත් විනාශ කරනතෙක් ඒ පිළිබඳ නිවසේ කිසිවෙකුට
අවබෝධකරගැනීමට නොහැකි වීමෙන් පෙනේ. වර්තමානයේ වුව වෛරී සිතිවිලි හේතුවෙන්
උපක්‍රමශීලි ලෙස අපරාධවල නිරතවන පුද්ගලයන් දකින්න පුළුවන.
ඇතැම් විට මෙම අපරාධ ඉතා
දිගුකලක් තිස්සේ සැළසුම් සහගතව සිදුකරන ලද ඒවාය. පළිගැනීමේ චේතනාවෙන් සිදු කළ ඇතැම්
අපරාධ විමර්ශනය කළහොත් මිනිස් සිතේ ඇතිවෙන අකුශල සහගත සිතිවිලි, සංකල්ප හා අදහස්
කොතරම් සියුම් ආකාරයෙන් ක්‍රියාත්මක වී තිබේද යන්න අවබෝධකරගත හැකිය. ඇතැම්
පුද්ගලයන් තුළ පවතින වෛරී සිතිවිලි සසර පුරුද්දක් ලෙස පවත්වාගෙන එන්නක් ලෙසද සැලකිය
හැකිය. වෛරී සිතිවිලිවල පවතින දරුණු ස්වභාවයත් එය කෙසේ හෝ මනසින් ඉවත්කළ යුතු බවත්
මෙම කථාවේ පෙන්වා දෙන ආදර්ශයයි. එක දිගට ගලායන මෙම වෛරී සිතිවිලි නැති කළ හැක්කේ
එයට ප්‍රතිවිරුද්ධ කරුණාව මෛත්‍රිය වැනි කුශල සහගත සිතිවිලි වර්ධනය කිරීමෙන්ය.
අන්‍යයන් තමාට කොතරම් වෛර කළද ඒ අය කෙරෙහි මෙත් සිත පතුරුවමින් තමන් වෛරය පවත්වාගෙන
යන්නෙකු බවට පත් නොවී උපේක්ෂාවේ හා මිත්‍රත්වයේ කොටස්කරුවෙකු බවට පත්වීමේ වෛරයෙන්
මිදුණු තැනැත්තෙකු බවට පත්විය හැකිය. සිත තුළ දැල්වෙන වෛරයේ ගිනිකන්ද මෙත් සිසිල්
දියෙන් නිවූ සැනෙකින් අභ්‍යන්තර සාමය උදාවෙයි. එය තමාගේද ලෝකයේද සාමයේ උදාවයි. |