රත්ගම සුනීත නා හිමි
ගාල්ල, දඩල්ල ශ්‍රී වාලුකාරාමාධිකාරී, කළුවැල්ල ශ්‍රී ලංකා ධර්මදූත මහ පිරිවෙණෙහි
පරිවේණාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත රත්ගම සුනීත නාහිමියන් සම්බුදු සසුනෙහි චිරස්තිථිය
උදෙසා තම දිවිය කැප කරමින් පුරා දශක තුනකට වැඩි කාලයක් තුළ ආගමික සාමාජීය හා
ශාස්ත්‍රීය සේවාවක නිරත වනු ලබන අතර උන්වහන්සේගේ එම උදාර සේවාව ඇගයීමක් ලෙස අමරපුර
සිරිසද්ධම්ම වංස මහා නිකාය විසින් උන්වහන්සේට ‘ගාල්ල කඩවත් සතර සහ තල්පෙ පත්තුවේ
ප්‍රධාන සංඝනායක’ පදවිය පිරිනැමීම සඳහා කටයුතු යොදා ඇත. ඒ වෙනුවෙන් වූ සන්නස් පත්‍ර
ප්‍රදානය මාර්තු මස 05 වැනි දින බලපිටිය මහා කප්පින වලව්වේ ස්වේජින් උදකුක්ඛේප සීමා
මාලකයේ දී අතිගරු මහා නායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන්
සිදු කිරීමට නියමිතව තිබිණි.
ගාල්ල දිස්ත්‍රික්කයේ වැල්ලබඩ පත්තුවේ රත්ගම ග්‍රාමයේ කැකිල්ල මණ්ඩිය නම් ගම්
පියසේදී සයිමන්ද සිල්වා හා ගෝනපීනුවල පේමවතී යන මව්පිය දෙපළට දාව 1972 දෙසැම්බර් මස
02 වැනි දින මෙලොව එළිය දුටු පද්මසිරි ද සිල්වා නැමති මෙම පින්වත් කුමරු සහෝදර
සහෝදරියන් පස් දෙනෙකුගෙන් සපිරි පවුලෙහි සියල්ලන්ගේම ආදරයට පාත්‍ර වූ බාලයා විය.
මූලික අධ්‍යාපනය මලිදුව ශාරිපුත්‍ර මහා විද්‍යාලයෙන් හැදෑරූ අතර දහම් අධ්‍යාපනය
සඳහා ද බොහෝ රුචිකත්වයක් දැක්වූ හෙයින් හෑගොඩ ශ්‍රී නිග්‍රෝධාරාම විහාරස්ථ ‘ශ්‍රී
සුමනතිස්ස’ දහම් විද්‍යාලය ආශ්‍රයෙන් අධ්‍යාපනය හදාරන්නට විය. එම කාල සමය තුළ
එකොළොස් වැනි වියට පා තැබූ පද්මසිරි ද සිල්වා කුමරුවන්ට පැවිදිවීම සඳහා සිත් යොමු
වූ හෙයින් ඒ සඳහා මඟ පෙන්වා දෙනු ලැබුවේ කැකිල්ල මණ්ඩිය ශ්‍රී සුමනාරාමාධිපති රත්ගම
සුමනවංශ නාහිමිපාණන් වහන්සේ විසිනි.
දඩල්ල ශ්‍රී වාලුකාරාම විහාරස්ථානයට පැමිණි මෙම කුමරුවන් 1983 පෙබරවාරි මස 24 වැනි
දින අමරපුර සිරිසද්ධම්මවංස මහා නිකායේ අනුනායක රාජකීය පණ්ඩිත රත්ගම සුමනනන්ද අනු
නාහිමිපාණන් වහන්සේගේ ආචාර්යත්වයෙන් පැවිදි දිවියට ඇතුළත් වූයේ රත්ගම සුනීත යන
ශාසනික නාමයෙනි.
මූලික අධ්‍යාපනය කොළඹ බොරැල්ල තිලකරත්නාරාමස්ථ සිරිසුමන විද්‍යාල පිරිවෙණ හා ගාල්ල
විද්‍යාරාජ මහ පිරිවෙණ යන පරිවේණස්ථාන ඇසුරු කොට ගනිමින් ඉතා මැනවින් අධ්‍යාපනය
හැදෑරූ සුනීත හිමියන් කුඩා අවධියෙහි පටන්ම කියවීම බිනීම ආදී සෑම ක්ෂේත්‍රයක් තුළම
කැපී පෙනෙන දක්ෂතාවයන්ගෙන් හෙබි ශිෂ්‍ය හිමි නමක් බවට පත්වීමට තරම් භාග්‍ය සම්පන්න
වූයේ ය.
විසි වයස් සම්පූර්ණ කොට බණ දහම් මනාව හදාරා තිබූ සුනීත සාමණේරයන් වහන්සේ 1993 මැයි
මස 30 වැනි දින බලපිටිය මහාකප්පින වලව්වේ මාදු නදියේ ‘ස්වේජින්’ නම් උදකුක්ඛේප සීමා
මාලකයේ දී අධිසීල සංඛ්‍යාත උපසම්පදා ශීලයෙහි පිහිටුවන ලදී. එහිදී උන්වහන්සේගේ
ආචාර්ය උපාධ්‍යයන් වූයේ රත්ගම සුමන නන්ද අනුනාහිමියන් හා රාජකීය පණ්ඩිත
සාහිත්‍යසූරී තලල්ලේ ධම්මානන්ද මහා නාහිමියන්ය.
උපසම්පදාවෙන් අනතුරුව මහත් ශාසනික සේවාවක් සඳහා පා තැබූ සුනීත හිමියන්ට දඩල්ල ශ්‍රී
වාලුකාරාම පුරාණ මහා විහාරස්ථානයෙහි සියලු වැඩකටයුතු පැවරීම සඳහා විහාරාධිපති රත්ගම
සුමන නන්ද අනුනාහිමියන් ක්‍රියා කළ අතර 1992 පටන් එහි විහාරාධිකාරීන් වහන්සේ වූ
උන්වහන්සේ තම ශාසනික සේවාව නොපිරිහෙලා සිදුකරන කාලය තුළ උසස් අධ්‍යාපන කටයුතු ද
මැනවින් සිදු කොට 1993 දී කැලණි විශ්වවිද්‍යාලයට ඇතුළත්ව ගෞරව ශාස්ත්‍රවේදී උපාධිය
ලද සුනීත හිමියන් නැවත ශාස්ත්‍රපති උපාධිය ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි
විශ්වවිද්‍යාලයෙන් ද ධර්ම සන්නිවේදන ඩිප්ලෝමාව ද එකී විශ්වවිද්‍යාලය තුළින් ම ලැබූ
අතර ජාතික අධ්‍යාපන ආයතනය මඟින් අධ්‍යාපන ඩිප්ලෝමාවද සම්පූර්ණ කළ අතර කොළඹ
මාලිගාකන්ද විද්‍යෝදය පරිවේණස්ථ ශ්‍රී සුමංගල ගුණානුස්මරණ සභාව මගින් ‘විනයාචරිය’
උපාධිය ද ලැබීමට තරම් සුනීත හිමියෝ භාග්‍ය සම්පන්න වූහ.
මේ අයුරින් තම උසස් අධ්‍යාපන කටයුතු ඉතා සාර්ථක කරගත් උන්වහන්සේගේ අධ්‍යාපන සේවාව
සඳහා මූලික පියවර තබනු ලබන්නේ බොරැල්ල සිරිසුමන විද්‍යාල පරිවේණස්ථානය මගින් 1998
වසරේදී ය. පසුව 2001 සිට ගාල්ල කළුවැල්ල ශ්‍රී ලංකා ධර්මදූත මහ පිරිවෙණෙහි
ආචාර්යවරයකු ලෙස සේවයට බැඳුණු රත්ගම සුනීත හිමියන් 2004 වර්ෂයෙහි සිට එහි
පරිවේණාධිපති හිමියන් ලෙස පත්වීම් ලද අතර පුරා දස වසරකටත් වඩා උන්වහන්සේ සිදු කරන
ලද අධ්‍යාපන සේවාවට උපහාරයක් ලෙස 2014 වර්ෂයේ අධ්‍යාපන අමාත්‍යංශයේ ‘ගුරු ප්‍රතිභා
ප්‍රභා’ උපහාර උළෙලේ දී ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් විශිෂ්ට පරිවේණාධිපතී
වහන්සේ නමක් වශයෙන් පිදුම් ලැබීමේ භාග්‍ය උදා වූහ.
මෙලෙස තම දිවිය ශාසනික හා අධ්‍යාපනික වශයෙන් කැප කරමින් දඩල්ල ශ්‍රී වාලුකාරාම
විහාරස්ථානය ද සියලු විහාරාරාංගයන්ගෙන් සපිරි අලංකාර පින් බිමක් බවට පත් කිරීමේ
ගෞරවය නිතැතින්ම හිමි වන්නේ ද මුන් වහන්සේටය.
1992 වසරේ සිට ‘ශ්‍රී මේධානන්ද’ දහම් පාසලේ ප්‍රධානාචාර්යන් වහන්සේ ලෙස ද සුවිශාල
දූ දරුවන් පිරිසකගේ දහම් ඇස පාදා ගැනීමෙහිලා නොමැකෙන උදාර සේවාවක නිරත වනු ලබන
රත්ගම සුනීත හිමිපාණන් සමාජීය වශයෙන් ද ගාල්ල කඩවත්සතර ශාසනාරක්ෂක බල මණ්ඩලයේ
නියෝජ්‍ය ලේඛකාධිකාරීන් වහන්සේ ලෙස දෙවතාවක් ක්‍රියා කොට ඇත. එපමණක් ද නොව අමරපුර
සිරි සද්ධම්මවංස මහා නිකායේ ගාලු ප්‍රාදේශීය සංඝ සභාවේ සභාපති හිමියන් ලෙස ද
අපිරිමිත සේවාවක නිරත වනු ලැබේ.
මේ අයුරින් තම ජාතික ආගමික හා අධ්‍යාපනික සේවාව නොපිරිහෙලා ඉටුකරමින් උදාර සංඝ සෝභන
ගුණයන්ගෙන් පිරිපුන් ශාස්ත්‍රපති පණ්ඩිත රත්ගම සුනීත හිමියන් වෙත ‘ගාල්ල කඩවත් සතර
සහ තල්පෙ පත්තුවේ ප්‍රධාන සංඝනායක පදවිය’ පිරිනැමීම 2016 මෙම මාර්තු මස 05 වැනි දින
අමරපුර සිරිසද්ධම්මවංශික මහා නිකායේ අතිගරු මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ
මහා සංඝරත්නයේ හා සැදැහැවත් බෞද්ධ ජනතාවගේ සහභාගීත්වයෙන් සිදුවනු ලබන අතර අභිනව
සංඝනායක පදවියෙන් පිදුම් ලැබූ රත්ගම සුනීත නාහිමිපාණන් වහන්සේට නිදුක් නිරෝගී සුවය
හා චිරජීවනය පතන අතර තවදුරටත් මෙම සසුන් කෙත ආලෝකමත් කිරීම සඳහා ශක්තිය හා ධෛර්යය
ලැබේවායි පතන්නෙමු.
ගාල්ල කළුවැල්ල ශ්‍රී ලංකා ධර්මදූත මහ පිරිවෙණේ ආචාර්ය,ශාස්ත්‍රපති
කනංකේ විජිත නන්ද හිමි
වල්දෙණියේ විමලවංස හිමි
මහනුවර දිස්ත්‍රික්කයේ පූජාපිටිය බල ප්‍රදේශයට අයත් ඓතිහාසික වල්දෙණිය ග්‍රාමයෙහි
ශ්‍රී බෝධිරාජාරාමාධිපතිව වැඩ විසූ ‘වල්දෙණියේ විමලවංස’ ස්වාමීන් වහන්සේ අපවත්වී
මාස තුනක් සපිරෙයි. වල්දෙණිය ග්‍රාමයෙහි ‘දුම්බරන්ගේ ගෙදර සුමනසිරි සහ පහලරංතිලක
ගෙදර කරුණාවතී’ දම්පතීන්ට පුත් රුවනක් වශයෙන් 1961 ජූනි මස 17 වැනි දින උපත ලැබූ
පින්වත් කුමරුට ‘වෑවල දුම්බරංගේ ගෙදර එඩ්මන් සමරසිංහ’ යන නාමය තබන ලදී.
මොලගොඩ ශ්‍රී පියදස්සී ‘විද්‍යාලයට ඇතුළත්ව ප්‍රාථමික අධ්‍යාපනය ලැබූහ. අඹකොටේ
සුදර්ශනාරාමාධිපතිව වැඩ විසූ, වයඹ පළාතේ ප්‍රධාන සංඝ නායක ‘මාරුද්දන විමලධම්ම
හිමිපාණන් වෙතින් පැවිදි වන ශික්ෂාමානවකයකු විසින් ලැබිය යුතු මූලික අධ්‍යාපනය ලබා
1976 ජූනි මස 05 වැනි දින මාරුද්දන විමලධම්ම නාහිමිපාණන්ගේ ආචාර්යත්වයෙන් උතුම්
ප්‍රවෘජ්‍යා භූමියට ඇතුළත් වුණි. පැවිදි වීමෙන් පසු කුරුණෑගල සැගෑලෙන පිරිවෙනෙන් සහ
කන්ද උඩරට කීර්තිමත් අධ්‍යාපන ආයතනයක් වන හේනේගම ශ්‍රී සංඝානන්ද විද්‍යායතන
පිරිවෙණට ඇතුළත්ව උඩරට අමරපුර මහා නිකායේ වත්මන් අනුනායක මහෝපාධ්‍යාය රාජකීය පණ්ඩිත
සාහිත්‍යාචාර්ය’ අත්තරගම වජිරජෝත්‍යභිධාන’ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ සෙවනෙහි
උසස් අධ්‍යාපනය ලබා ගත්හ.
නිසි වයස් සම්පූර්ණ වීමෙන් පසු 1983 ජූනි මස 08 වැනි දින ගන්නෝරුව වරාතැන්න හක්කිඳ
‘ශ්‍රී මහාබෝධි’ උදකුක්ඛේප සීමා මාලකයේ දී උපසම්පදාවට පත් වූහ. උපසම්පදාවීමෙන් පසු
අධ්‍යාපන කටයුතු නිමා කළ විමලවංස හිමියෝ වල්දෙණිය ශ්‍රී බෝධිරාජාරාමයට වැඩම කර එහි
වැඩ සිටිමින් ජාතික ආගමික සේවාවන් රැසක් ඉටු කළහ.
තිස් අවුරුදු යුද සමයෙහි උතුරු නැගෙනහිර ප්‍රදේශයට තම දිවි නොතකමින් වැඩම කර,
වීරෝදාර රණවිරුවනට ආශීර්වාද පිරිත් දේශනා කිරීමට ඉදිරිපත් වූ උන්වහන්සේ මධ්‍යම
පළාතට පමණක් නොව, දිවයිනෙහි විවිධ ප්‍රදේශවලට වැඩම කරමින් පිරිත් දේශනා, ධර්ම දේශනා
කරමින් සැදැහැවත් ජනතාවගේ නොමද ගෞරවයට ලක් වූහ.
වල්දෙණිය ශ්‍රී ඉන්ද්‍රජෝති දහම් පාසලෙහි ප්‍රධානාචාර්යත්වය හොබවමින් දරු දැරියන්
දහස් ගණනකට දහම් අධ්‍යාපනය ලබාදීමට උත්සුක වූ හිමියෝ තමන් වහන්සේ වැඩ සිටින ශ්‍රී
බෝධිරාජාරාමයෙහි දායක දායිකාවන්ගේ සියලු ආගමික අවශ්‍යතාවන් නොපිරිහෙලා ඉටු කරමින්
විහාරස්ථානය ද සකලාංගයන්ගෙන් සම්පූර්ණ කිරීමට පියවර ගත්හ.
තම දායක දායිකාවන්ගේ ආධ්‍යාත්මික ගුණ වගාවන් දියුණු කරනු වස් කුණ්ඩසාලේ භාවනා
අසපුවෙහි ප්‍රධාන අනුශාසක ‘කිරිබත්ගොඩ ඤාණානන්ද’ ස්වාමීන් වහන්සේගේ මග පෙන්වීම යටතේ
විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට පියවර ගත්හ. උන්වහන්සේ ‘සිරිසිදුහත්’ භික්ෂු
සංවර්ධන පදනමෙහි ද ක්‍රියාකාරී සාමාජිකයන් වහන්සේ නමක් වශයෙන් විවිධ සමාජ
මෙහෙවරයන්හි නිරත වූහ.
ආගන්තුක සත්කාරයට උන්වහන්සේ දැක්වූයේ පුදුමාකාර ලැදියාවකි. ඒ බැව් ප්‍රදේශයෙහි මහා
සංඝරත්නය පමණක් නොව, ගිහි ජනතාව ද ප්‍රශංසා මුඛයෙන් කතා කරති. අනුන්ගේ දුකේ දී
නොබියව, නොපැකිලව පිහිට වන විමලවංස හිමියෝ හතළිස් වතාවකට ආසන්න වාරයක් ස්වකීය
දුර්ලබ රුධිරය අසරණ රෝගීන් උදෙසා දන් දුන්හ. උන්වහන්සේගේ රුධිර පරිත්‍යාගයෙන්
මරණාසන්න රෝගීන් විශාල ප්‍රමාණයකගේ දිවි බේරා ගැනීමට හැකි විය. විමලවංශ හිමියන්ට
ඥාතීත්වය දරන සම්භාවනීය නායක ස්වාමීන් වහන්සේලා කීප නමක්ම වැඩ සිටිති. උන්වහන්සේලා
අතර ගම්පහ සියනෑකෝරලේ ප්‍රධාන සංඝනායක ‘වල්දෙණියේ වජිරඤාණ’ නාහිමි, පිරිවෙන් ගුරු
උපදේශක වෑවල ඉසිපතනාරාම ස්වර්ණ මහා විහාරාධිපති දර්ශනපති වල්දෙණියේ ‘පඤ්ඤාකිත්ති’
නාහිමි යන හිමිවරු ප්‍රධාන වෙති.
ලෝක ශාසනය උදෙසා සුවිශේෂ මෙහෙවරක් ඉටුකරමින් වැඩ විසූ වල්දෙණියේ විමලවංස හිමියෝ
2015 දෙසැම්බර් මස 06 වන දින අපවත්වී වදාළහ. අපවත්වීමෙන් තෙමසක් සපිරීම නිමිතිකරගෙන
පින්කම් රැසක් සිදු කිරීමට වල්දෙණියේ පඤ්ඤාකිත්ති නාහිමියන් ප්‍රධාන ශී‍්‍ර
බෝධිරාජාරාම දායක සභාව විසින් කටයුතු යොදා ඇත.
බටුගොඩ ශ්‍රී ජයසුන්දරාරාම මහා විහාරාධිපති,
නාලන්දේ විමලවංශ නාහිමි |