තුම්බෝවිල ධම්මරතන නා හිමි
කොළඹ දිස්ත්‍රික්කයේ කැස්බෑව ප්‍රදේශයේ තුම්බෝවිල ග්‍රාමවරයෙහි සම්භාවනීය පරපුරක්
වන කොරොට්ටගේ දොන් ජයවර්ධන සහ මාතරගේ චන්ද්‍රා පියසීලී යන දම්පතීන්ට දාව 1966
පෙබරවාරි මස 17 වැනි දින උපත ලද කුමරුවාණන් පිරිමි දරුවන් සිව්දෙනෙකුගෙන් සහ ගැහැනු
දරුවකුගෙන් සමන්විත පවුලෙහි පළමුවැනියා විය.
මෙම කුමරුවාණන් එවකට තුම්බෝවිල ශ්‍රී සද්ධර්මාරාමාධිපතිව වැඩසිටි වෛද්‍යාචාර්ය
පදවිගම්පල ගුණානන්ද සහ ස්‍යාමෝපාලිවංශික මහා නිකායේ ඌව පාර්ශ්වයේ වර්තමාන මහානායක
අඹේවෙල පඤ්ඤාසාර යන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ ආචාර්ය උපාධ්‍යායත්වයෙන්
1983.05.19 දින තුම්බෝවිල ධම්මරතන යන නමින් උතුම් ප්‍රවෘජ්‍යා භූමියට පත් ව
1987.06.27 දින කැප්පෙටිපොළ ශ්‍රී සෝමානන්ද පිරිවෙන් විහාරස්ථ මංගල උපෝසථාගාරයේ දී
සුපරිශුද්ධෝපසම්පදාව ලැබූහ.
සිය ගුරුවරුන් ඇසුරෙන් මූලික බණ දහම් ප්‍රගුණ කළ තුම්බෝවිල ධම්මරතන හිමියෝ පෑලියගොඩ
විද්‍යාලංකාර මහ පිරිවෙනට ඇතුළත් ව යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම, බඹරැන්දේ සිරි සීවලී
ආදී යතිවරයාණන් වහන්සේලාගේ සෙවණෙහි හැදී වැඩෙමින් ප්‍රාචීන අධ්‍යාපනය ඇතුලුව උසස්
පෙළ දක්වා ශාස්ත්‍රඥානය ලැබූහ. අනතුරුව නිට්ටඹුව සාරිපුත්ත ජාතික අධ්‍යාපන
විද්‍යාපීඨයට ඇතුළත්ව අධ්‍යාපන විද්‍යා ශික්ෂණ ඩිප්ලෝමාවත්, කොළඹ විශ්වවිද්‍යාලයෙන්
අධ්‍යාපන ඩිප්ලෝමාවත් ලබා ගනිමින් උසස් අධ්‍යාපන කටයුතු සාර්ථකව නිම කළහ.
නාහිමිපාණන් වහන්සේ පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයේ ආචාර්යවරයකු ලෙස සිය අධ්‍යාපන
ජීවිතය ආරම්භ කළ උන්වහන්සේ දැනට කොළඹ රාජකීය විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ ධර්මාචාර්යයන්
වහන්සේ වශයෙන්ද කටයුතු කරමින් දස දහස් ගණන් දරුවන්ගේ ශාස්ත්‍ර පිපාසාව සංසිඳුවීමට
කටයුතු කරති.
සිය උසස් අධ්‍යාපන කටයුතු නිම කිරීමත් සමඟම සිය ගුරුදේව පදවිගම්පල ගුණානන්ද
නාහිමිපාණන් වහන්සේ අපවත් වූයෙන් තරුණ වයසේදීම ශාසනික කාර්යභාරයන් රැසක් දැරීමට
නාහිමියන්ට සිදු විය. 1994 දී තුම්බෝවිල ශ්‍රී සද්ධර්මාරාම විහාරස්ථානය හා කෑගල්ල
උඩපමුණුව පුරාණ විහාරය යන උභය විහාරයෙහි ම විහාරාධිපති තනතුරට පත් උන්වහන්සේ විවිධ
බාධක මධ්‍යයේ දී තම විහාරස්ථානය අංග සම්පූර්ණ පින් බිමක් බවට පත් කිරීමට කටයුතු
කළහ. ඊට අමතරව කැස්බෑව ප්‍රාදේශීය ශාසනාරක්ෂක බලමණ්ඩලයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී තනතුර
හොබවමින් ද විහාරාධිපති සංගමයේ ලේකම් ධුරය හොබවමින් ද ප්‍රදේශයට සුවිසල් ජාතික
ආගමික, සාමාජීය හා අධ්‍යාපනික මෙහෙවරක් සිදු කරනු ලබති. තම ගොදුරු ගමෙහි දූ දරුවන්ට
පමණක් නොව පළාතේ දරුවන්ට දහම් අධ්‍යාපනය ලබාදීම සඳහා සාදු දහම් පාසල සංවර්ධනය
කරමින් අද වන විට ළමුන් 700 ට නො අඩු පිරිසකට දහම් අධ්‍යාපනය ලබා දෙන තත්ත්වයට පත්
කරන ලද අතර එහි තවත් පියවරක් ඉදිරියට තබමින් ඉංගී‍්‍රසි ධර්ම විද්‍යාලයක් ද ආරම්භ
කළහ. ප්‍රදේශයේ ක්‍රියාත්මක සියලුම සමිති සමාගම්වල අනුශාසකත්වය දරමින් ද සුවිසල්
ජාතික හා ආගමික සේවයක් සිදු කරනු ලබයි.
විචිත්‍ර ධර්ම කථිකයන් වහන්සේ නමක් වශයෙන් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව,
බෞද්ධයා රූපවාහිනිය හා ගුවන් විදුලිය ආදී ආයතනයන් හි ධර්ම දේශනා පවත්වමින් කාගේත්
ගෞරවාදරයට පත් ව සිටී.
උන්වහන්සේ විසින් සිදු කරනු ලබන ජාතික, ආගමික හා සාමාජීය සේවාව අගයනු වස් විවිධ
ආයතන හා සංඝ සංවිධාන විසින් ගෞරව නාම සම්මුතීන් රාශියක් ලබා දී ඇත. සියම් මහා
නිකායේ ඌව පාර්ශ්වය මගින් සද්ධර්මකීර්ති ශ්‍රී ගුණානන්ද ප්‍රඥාසාර ගෞරව නාම
සම්මුතිය ද ශ්‍රී ජයවර්ධනපුර ගුණ සමරු පදනම මඟින් ශ්‍රී සද්ධර්ම වාගීශ්වර ශාස්ත්‍ර
විශාරද පණ්ඩිත යන ගෞරව නාමය ද, පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන මගින්
ත්‍රිපිටකාචාර්ය නාම සම්මුතිය ද, අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත මහා නිකාය මගින් ශාසනශෝභන
ත්‍රිපිටකාචාර්ය ගෞරව නාමය ද ඇතුළු ගෞරව නාම සම්මුතින් රාශියකින් පිදුම් ලබා ඇත.
සංඝ ශෝභන ගුණයෙන් ද, සරල චාම් දිවි පෙවෙතකින් ද, හෙබි වූ නාහිමිපාණන් වහන්සේට
සම්බුදු සසුනත්, සිංහල සංස්කෘතියත්, භාෂා සාහිත්‍යයත්, පෝෂණය කිරීමෙහි ලා තව තවත්
ශක්තිය ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කරමි.
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ බෞද්ධ සංස්කෘතික අධ්‍යයනාංශයේ
කථිකාචාර්ය
ආචාර්ය පනහඩුවේ යසස්සි හිමි
පනානේ සද්ධාතිස්ස නා හිමි
බලංගොඩ වැලිගෙපොල ‘පානන’ නම් ගම් පියසේ දී 1942 දෙසැම්බර් මස 14 වන දින මෙළොව එළිය
දුටු පින්වත් කුමරු 1955 නොවැම්බර් මස 10 වන දින වැල්කෙනියාවේ විමලතිස්ස
නාහිමිපාණන්ගේ ආචාර්යත්වයෙන් උතුම් ශාසනික පැවිද්ද ලැබුවේ පනානේ සද්ධාතිස්ස
නාමයෙනි.
සිය පැවිදි ගුරු දේවයන් පා සෙවණේ සිව් වසරක් පමණ උගතයුතු වත් පිළිවෙත් බණ දහම් ආදිය
හැදෑරූ නාහිමි පැවිදි අධ්‍යාපනය සඳහා පිවිසියේ දෙමටගොඩ විද්‍යාලංකාර මහ පිරිවෙනටය.
1959 ජනවාරි 10 වන දිනය. 1964 ජූනි 23 වන දින පෑලියගොඩ කල්‍යාණ නදී උදකුක්ඛේප
සීමාවේදී උපසම්පදාව ලැබූ නාහිමි 1972 දී කැලණිය විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයෙන්
ශාස්ත්‍රවේදී උපාධිය ලබාගෙන ඇත.
1973 සිට 1975 දක්වා ඕපනායක ශ්‍රී විජයාරාමස්ථ අභයරාජ පිරිවෙනේ ආචාර්යවරයෙකු ලෙස
සිය ගුරු සේවය ඇරඹූ සද්ධාතිස්ස නාහිමිපාණෝ එතැන් සිට වසර නවයකට සිය ගුරු සේවය අත්
හිටවූයේ සිය පැවිදි ආචාර්යන් වහන්සේට උපස්ථාන කිරීමේ උදාර අදහසිනි. 1980 දී සිය
ගුරු හිමිගේ අපවත්වීමෙන් පසු පැවිදි සහෝදරයාණන් වෙත වැඩියේද උන්වහන්සේ ද අසනීප
වූයෙන් සත්කාර කිරීම සඳහා ය. කළගුණ දත් මෙබඳු උතුම් සත්කාරයන් සැබැවින්ම අගය කළ
යුතු ය. 1984 සිට 1998 දක්වා ගොඩකවෙල කොස්නාතොට සිරි දම්රජ පිරිවෙනෙහි ගුරුවරයෙකු
හා පරිවේණාධිපති ලෙස වසර 15 ක් පමණ සේවය කොට විශාල ගිහි පැවිදි සිසු පිරිසක්
බිහිකිරීමට උර දී ඇත.
ම් අතර ඉළුක්කුඹුර ශ්‍රී ඉසිපතනාරාමය හා රක්වාන කැන්දපොල ශ්‍රී ගංගාරාමය යන
විහාරස්ථාන සියලු විහාරා රාංගයන්ගෙන් පරිපූර්ණ කොට දහස් ගණන් ගැමි බෞද්ධ ජනතාවගේ
සියලු ආගමික ශාසනික කටයුතු නොපිරිහෙලා ඉටුකළේ අද මෙන් යාන වාහනවල වැඩමකොට නොව පා
ගමනින් ගොස්ය. තවද ඉහත විහාරස්ථානයන්හි ශ්‍රී ධම්මජෝති දහම් පාසල හා ශ්‍රී විමලජෝති
දහම් පාසල අරඹා දහම් පිපාසිත අහිංසක දූ දරුවන්ට මහත් අස්වැසිල්ලක් වී ඇත.
ගොකවෙල සමථමූල මණ්ඩලයේ සමථකරුවෙකු ලෙසද වසර 5 ක් පමණ සේවය කළ නා හිමි මේ වන තෙක් ම
1998 සිට රක්වාන රජයේ විශ්‍රාමිකයන්ගේ සංගමයේ අනුශාසක ධුරයද හොබවයි. වසර දහයක පමණ
සිට ගොඩකවෙල ශාසනාරක්ෂක මණ්ඩලයේ සභාපති වශයෙන් ඉමහත් ශාසනික සේවයක් ඉටුකරන
සද්ධාතිස්ස නාහිමියෝ 2007 දී රත්නපුර දිස්ත්‍රික් ශාසනාරක්ෂක මණ්ඩලයේ ගුරු උපහාර
ඇගයීමටද පාත්‍ර වී ඇත.
පැවිදි දිවියේ 60 වන වසර සපුරා ඇති අතර දිවි මගේ 74 වන වියට පා තබා වැඩ සිටිති.
එබැවින් පනානේ සද්ධාතිස්ස නා හිමි වෙත ගුරු උපහාර පුදා ආශිර්වාද කිරීම වෙනුවෙන්
රක්වාන කැන්දපොළ ශ්‍රී ගංගාරාම විහාරස්ථානයේ දී පෙබරවාරි මස 26, 27 දින පින්කම්
මාලාවක් පැවැත්විණි. උන්හන්සේට නිදුක් නීරෝගී චිර ජීවනය ලැබේවායි පතමි.
ශාස්ත්‍රපති
බුදුගල සෝමරතන හිමි
තල්ගස්කන්දේ වජිර නා හිමි
වැලිගෙපොල තල්ගස්කන්ද පාලුවත්ත විදානෙලාගේ අප්පුහාමි හා සූරිය ආරච්චිලාගේ හීන්
මැණිකේ යන දෙපලට දාව 1965 ජනවාරි 29 සිකුරාදා නිවුන් දරු උපතක් සිදු විය.
නමින් පාලුවත්ත විදානෙලාගේ වීරරත්න දරුවා මූලික අධ්‍යාපනය සඳහා වැලිගෙපොල වළගම්බා
මහා විද්‍යාලයට භාර දුන්නේ ගමෙන් එම පාසැලට ගිය ළමුන් කිහිපදෙනා අතරට එක් වෙමිනි.
එම පාසල් ගමන වසර දෙකකට සීමා විය. පසුව පැවිදිවීමේ අරමුණින් වැලිගෙපොල වීරසේකර
මුදලින්දාරාම විහාරයට පිවිසෙන ලදී. එම පන්සලේ දී වසරක් පමණ වැලිගෙපොල වීරසේකර
මුදලින්දාරාමාධිපති කුඩාකන්දේ ඤාණසිරි ස්වාමීන් වහන්සේ හා එම විහාරවාසී කැලෑ ගම්මන
විමලරතන ස්වාමීන් වහන්සේගේ ගුරු හරුකම් මැද සියලුම පන්සල් පොත් සහ බණ පොත් කරන ලදී.
අනතුරුව 1975 දී පැවිදි දිවියට තෝරා ගන්නා ලද්දේ කුඹුරුගමුව ශ්‍රී ජයමහා විහාරය,
පල්ලේබැද්ද නන්දාරාමය, කොස්වැටිය ශ්‍රී විමලාරාමය, දඹේමඩ ශ්‍රී සුමංගලාරාමය සිව්මහා
විහාරාධිපති කථිකාචාර්ය, කඹුරුගමුවේ පඤ්ඤාසාර ලොකු හාමුදුරුවන්ගේ ආචාර්යත්වයයි.
ඒ අනුව 1975 සිට 1977 දක්වා කාලය තුළ පල්ලෙබැද්ද ශ්‍රී නන්දාරාමයේ දී තවදුරටත් පොත
පත පරිශීලනය කිරීමෙන් අනතුරුව 1977 මැයි මස 11 වන දින සත් දෙදෙනකුගෙන් යුත්
කණ්ඩායමක් ලෙස පැවිදි බිමට පත් විය.
රත්නපුර ශ්‍රී විශුද්ධාරාම පිරිවෙනේ වසරක් පමණ අධ්‍යාපනය ලබා මූලික පිරිවෙන් අවසන්
විභාගය දක්වා ගොඩකවෙල ශ්‍රී මහින්දාරාම මහ පිරිවෙනට ඇතුළත්ව එහි දී පිරිවෙන් අවසාන
විභාගයත්, අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 1984 දී පෙනී සිටින ලද
අතර, 1981 දී ගුරුදේව කඹුරුගමුවේ පඤ්ඤාසාර ලොකු හාමුදුරුවන්ගේ අපවත්වීමෙන් පසු
පැවිදි සහෝදර සිව්මහා විහාරාධිපති කඹුරුගමුවේ නන්දසාර ලොකු හාමුදුරුවෝ, ශාස්ත්‍රපති
කොස්වැටිය ශ්‍රී විමලාරාමාධිපති, විදුහල්පති මහගම සුමන හිමියන් හා පරිවේණාචර්ය
පල්ලෙබැද්ද නන්දාරාමාධිපති, මහගම සෝරත හිමියන් ඇසුරෙන් පළාතේ ජාතික, ආගමික
කටයුතුවලට සහාය වෙමින් කටයුතු කළහ.
1985 දී උපාධි අධ්‍යාපනය සඳහා ඓතිහාසික පැල්මඩුල්ල රජමහා විහාරය, ශ්‍රී රූපා අරුණ
විද්‍යායතන පිරිවෙනට ඇතුළත් විය. එහි දී පැල්මඩුල්ල විහාරාධිපති මහෝපාධ්‍යාය
මුද්දූවේ පඤ්ඤාශේඛර නායක ස්වාමීන් වහන්සේ හා වර්තමාන උත්තරීතර ශ්‍රී පාදස්ථානාධිපති
හිමියන්ගේ සෙවනෙහි උසස් අධ්‍යාපනය හදාරමින් සිටින අතරතුර 1988 ජූනි මස 27 වන දින
ඓතිහාසික මහනුවර මල්වතු මහා විහාරයේ දී උපසම්පදාශීලයෙහි පිහිටුවන ලදී.
තල්ගස්කන්දේ වජිර හිමියන් ඓතිහාසික ර/ රූපා අරුණ විද්‍යායතන පිරිවෙනේ උප ගුරුවරයෙක්
වශයෙන් තෝරා පත්කර ගන්නා ලද්දේ 1991.10.10 වන දින සිටය.
නියෝජ්‍ය පරිවේණාධිපති වශයෙන් ද සියල්ල සොයා බලා කටයුතු කරන ලද නිසාම එම පිරිවෙනේ
පරිවේණාධිපති වශයෙන් 1999.09.12 වන දින සිට පත්කර ගන්නා ලදී. අධ්‍යාපන කටයුතු
සම්බන්ධයෙන් වැඩිදුරටත් උනන්දු වූ නිසා පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී
උපාධියත් කොළඹ විශ්වවිද්‍යාලයෙන් පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමාවත්, බෞද්ධ හා
පාලි විශ්ව විද්‍යාලයෙන් පශ්චාත් උපාධි ශාස්ත්‍රපති උපාධියත් ලබා ගත් අතර, 2005 දී
ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය හා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය අනුබද්ධව පවතින දහම්
සරසවියේ කථිකාචාර්යවරයෙක් ලෙස දැනට කටයුතු කරන සේක.
ප්‍රාචීන අධ්‍යාපනය නඟා සිටුවීමට මහත් සේවයක් කළ තල්ගස්කන්දේ වජිර නා හිමි දහම්
සරසවිය මඟින් දහම් පාසලේ ගුරු භවතුන් සඳහා සාමාන්‍ය පෙළ, උසස් පෙළ නැති එහෙත්
දහම්පාසල වෙනුවෙන් ජීවිතයද කැපකර සේවය කරන දහම් පාසලේ ගුරුවරු සඳහා ජයවර්ධනපුර
විශ්වවිද්‍යාලයෙන් සහ බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලවලින් උපාධියක් ගැනීමට ඩිප්ලෝමා
සුදුසුකම් ලබා දී උපාධිධරයන් බවට පත්කළ පිරිස ද බොහෝ ය. මෙවන් ජාතික ආගමික මෙන්ම
ධර්ම ශාස්ත්‍රීය අතින් විශාල සමාජ මෙහෙවරක් කර ඇති උන් වහන්සේට 2016.01.25 වැනි දින
‘විනයාචාර්ය කීර්ති ශ්‍රී පඤ්ඤාසාර’ ගෞරව නාමය සමඟ ‘රත්නපුර මහා දිසාවේ උප ප්‍රධාන
සංඝනායක පදවිය’ ද, සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයෙන් ලබා දී ඇත.
උඩමළුව වෛද්‍ය මධ්‍යස්ථානයේ
ස්ථානභාර නිලධාරි
ආර්.පී. ජයතිලක රණසිංහ |