Print this Article


නුවණැති සිතක් සකස් කරගන්නේ කෙසේ ද?

නුවණැති සිතක් සකස් කරගන්නේ කෙසේ ද?

පෝය දින කීපයක් පුරා සුපසන් ජීවිතයකට දේශනා පෙළ මගින් “මක්කට” නම් වූ වඳුරෙක් හෙවත් වානරයෙක් උපමා කොට දෙසූ දහම් පෙළක්, විස්තර කළා. සාමාන්‍යයෙන් ධර්ම කතාවෙහි අභාවිත සිතක් වානරයකුගේ මනසත් ඔහුගේ හැසිරීමටත් සමාන කොට දක්වා තියෙනවා. මේ නිසා භාග්‍යවතුන් වහන්සේ මහත් සේ කරුණාවෙන් අපට පැහැදිලි කර තිබෙන මේ වදන්පෙළ නැවත නැවතත් ඔබ කියවා බලන්න. සිහිපත් කරන්න.

මහණෙනි, යැයි ආමන්ත්‍රණය කළත් භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා නම් වූ සිව් පිරිසටම කරන ආරාධනාවක් හැටියට සිහිපත් කරන්න. මහණෙනි, ගොදුරු වූ එනම් ගෝචර වූ සිය පියා සතු විෂයෙහි හැසිරෙන්න. සිය පියා සතු විෂය නම් තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කළ සතර සතිපට්ඨානයයි. කයෙහි සියලු ඉරියව්, ඇවතුම්, පැවතුම් කෙරෙහි මනා වූ සිහිය පිහිටුවාගෙන කෙලෙස් තවන වීර්යයෙන් යුක්තව මේ සත්ව සංස්කාර ලෝකයේ දැඩි ආශාවන් හා දොම්නස් සංසිඳුවාගෙන ම ඉරියව් පවත්වන්න. සියලු විඳීම් කෙරෙහි එනම් සැප හෝ දුක් වූ හෝ මධ්‍යස්ථ වූ විඳීම් කෙරෙහි මනා වූ සිහිය පිහිටුවාගෙන කෙලෙස් තවන වීර්යයෙන් යුක්තව දැඩි ආශාවන් හා දොම්නස් එනම් පටිඝය, තරහව ආදී වශයෙන් සංසිඳුවන්න. සිත පිළිබඳව මනා වූ සිහිය පිහිටුවන්න. කෙලෙස් තවන වීර්යයෙන් සිහි නුවණ පවත්වන්න. දැඩි ආශාවන් හා දොම්නස සංසිඳුවන්න. ධර්ම මාර්ගයට ළංවෙන්න නීවරණ ධර්ම තේරුම් ගන්න. එනම් පංචකාම ගුණයන්ගෙන් විස්තර කළා සේ කාමච්ඡන්දයෙන් ඇති කාමයන්ට ඇති ආශාවේ භයානක බව තේරුම් ගන්න. තරහවෙහි ඇති භයානක බව තේරුම් ගන්න. සිත මලානික වූ විට අලස වූ විට කම්මැලි වූ විට පහසුවෙන් පාපයට, අකුසලයට, පාපී මාරයාගේ පාර්ශවයට යොමු විය හැකි බව මෙනෙහි කරන්න. සිතේ නොසන්සුන් කම හා පසුතැවීම, සත්‍ය දැකීම, හොඳ නරක දැකීම, වසා තබන බව තේරුම් ගන්න. ජීවිතයේ අභිවෘද්ධිය, එනම් දියුණුවෙන් බැහැර කරන බව සිතන්නට පුරුදුවෙන්න. විචිකිච්ඡා නම් වූ බුද්ධා දී අටතැන්හි සැකය ධර්ම මාර්ගය අහුරන බව, සුපසන් ජීවිතය වළක්වන බව, සත්‍ය දකින්න නොහැකි වෙන බව, නිවනින් බැහැර කරන බව මෙනෙහි කරන්න.

මේ ලෙසින් නීවරණ ධර්ම බැහැර කරගෙන ස්කන්ධ පංචකයේ ස්වභාවය තේරුම් ගන්න. එනම් රූපය, වේදනාව, සංඥාව, සංස්කාර හා විඤ්ඤාණ එහි ස්වභාවය තේරුම් ගන්න. රූපය නම් පඨවි, ආපෝ, තේජෝ, වායෝ නම් වූ ධාතු හතරෙන් නිර්මාණය වූ රූපයයි. වේදනාව නම් සැපදුක් මධ්‍යස්ථ නම් වූ විඳීමයි. සංඥා නම් හඳුනාගැනීම්, සංස්කාර නම් කාය සංස්කාර, වචී සංස්කාර, චිත්ත සංස්කාර නම් කයින්, වචනයෙන්, සිතින් කර්ම රැස් කිරීමයි. විඤ්ඤාණය නම් අරමුණ තීරණය කිරීමයි. මේ ලෙසින් මේ ස්කන්ධ පංචකය මනා ලෙස වටහා ගන්නා විට තෘෂ්ණාව හටගන්නේ කොතැන ද ඇසද, රූපය ද චක්ඛු විඤ්ඤාණය ද, ආදී වශයෙන් වැටහෙන්නට පටන් ගන්නවා. ඒ වගේ ම කනෙහි ද ශබ්දයෙහි සෝත විඤ්ඤාණය ද ආදී වශයෙන් වැටහෙන්න පටන් ගන්නවා. මේ ඇසෙහි රූපයෙහි චක්ඛු විඤ්ඤාණය ආදී වශයෙන් තෘෂ්ණාවක් හටගත්තා නම් එතැනම තෘෂ්ණාව තදින් ඇලෙනවා නම් ගැටෙනවා නම්, බැඳෙනවා නම්, පවතිනවා නම් මේක බලවත් සේ විපතක් බව දුකක් බව තේරුම් අරගෙන එතැනින් ගැළවෙන්න ඇසෙහි ඇති ආදීනවය, රූපයෙහි ඇති ආදීනවය, චක්ඛු විඤ්ඤාණයේ ඇති ආදීනවය, ස්පර්ශයේ ඇති ආදීනවය, ආදී වශයෙන් දැන වහාම සිත එතැනින් මුදවා ගන්නට මේ සිත පුරුදු වෙනවා. බාල ගති ඇති සිත පණ්ඩිත සිතක් හැටියට නුවණැති සිතක් හැටියට සකස්වෙනවා. ලොල්ගති ඇති සිත විරාගයට සකස් වෙනවා. සම්මුතිය තුළ මම මගේ යැයි පැවසුවත් පරමාර්ථ වශයෙන් සියල්ල හටගත්තා සේ ම නැතිවෙනවා කියන අවබෝධයට පැමිණෙන්නට තරම් සකස් වීමක් සිදුවන බව පැහැදිලියි.

භාග්‍යවතුන් වහන්සේ ඒ නිසයි දේශනා කරන්නෙ මහණෙනි, ගොදුරු වූ තම පියා සතු විෂයෙහි හැසිරෙන්නවුන්ගේ එනම් ගෝචර වූ ඒ වගේ ම සිය පියා සතු විෂයෙහි එනම් සතර සති පට්ඨානයෙහි හැසිරෙන අය කිසිවිටකවත් මරුගේ පැත්තට වැටෙන්නේ නැහැ. මාරයාට අවස්ථාවක් ලැබෙන්නෙත් නැහැ. අරමුණක් ලැබෙන්නෙත් නැහැ. ඒ නිසා ම ගොදුරු වූ තැනම පියා සතු විෂයෙහි ම හැසිරෙන්න එනම් කයෙහි කය අනුව දක්නා සුළුව කෙලෙස් තවන වීර්යය ඇතිව මනා සිහිය ඇතිව හැසිරෙන්නේය. ඒ වගේ ම මේ කාය සංස්කාර ලෝකයේ පවත්නා දැඩි ආශාවන් හා දොම්නස දුරුකොටගෙන ම වාසය කරනවා. ඒ වගේ ම විඳීමෙත් ඒවගේ ම සිතෙහිත් ඒ වගේ ම දහමෙහිත් දැඩි ලෝභ හා දොම්නස දුරුකරගෙන ම වාසය කරනවා.

භික්ෂුවකට හෝ වේවා භික්ෂුණියකට හෝ වේවා උපාසකයෙකුට හෝ උපාසිකාවකට හෝ වේවා යහපත් වූ ජීවිතයකට මාර්ගයක් වේ නම් ඒ මේ මාර්ගයමයි. සතුටින් ජීවත්වෙන්න සිතේ දුකක් නැතිව ජීවත් වෙන්න සිත රිදී හදවත බිඳී කඳුලක් වැගිරෙනවා යැයි කියන තැනට නොපැමිණෙන්න නම් මේ සඳහන් කළ ගෝචර වූ තැනත් සිය පියා සතු විෂය නම් වූ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ සතර සතිපට්ඨානයට අනුවත් වාසය කිරීම අවශ්‍යමයි.

වානරයෙක් උපමා කොට දෙසූ මේ දහම් පෙළ ඔබගේ ජීවිත තුළත් මොනතරම් ස්වයක් සංතෘෂ්ටියක් සැබෑ සැනසිල්ලක් ඇතිකරන්නේ දැයි ඔබ නුවණින් විමසා බලන්න. තාවකාලික සුවයක් ලොල් සිතක් ඇති අයෙකුට දැනුණ ද එය සිහිනෙන් තොල ගෑ කිරි කඳුළක් සේ දැනේවි. ලොල් ගති ඇති, බාලගති ඇති යම් කෙනෙකුට තාවකාලික සුවයක් ඇසෙන්, කනෙන් දැනුණත් එහෙත් පහන් දැල්ලට ළං වූ පළගැටියාට සේ මහත් විපතක සෙවනැල්ලක් වේගයෙන් ළංවිය හැකියි. තමාට සැප කැමැති දුකට අකැමැති තමන්ට මෙන් ම තමන්ට හිතවන්ත අයටත් සැප කැමැති ඒ අයට දුක් පැමිණෙනවාට අකැමැති සියලු දෙනාම මේ දහම් කතාව තමාගේ ජීවිතවලට ගලපා බලන්න. ඒ වගේ ම මෙලොවක් පරලොවත් විශ්වාසයකින් අවබෝධයකින්, අවබෝධයට එන අවබෝධයෙන් සරණ ගියා යැයි පවසන හැම ශ්‍රාවකයෙක් ම ශ්‍රාවිකාවක් විසින් ම මේ දහම් න්‍යාය කෙරෙහි මනා අවබෝධයෙන් යුතුව කටයුතු කළ යුතු බව පැහැදිළියි. හැමට යහපත් වූ ජීවිතයකට මේ දහම් කතාවත් චරිතාදර්ශ පෙළක්ම වේවා යැයි මහත් වූ කරුණාවෙන් ප්‍රාර්ථනා කරනවා.