Print this Article


තෘප්තිමත් හා සංතෘප්තිමත් ජීවිතය

තෘප්තිමත් හා සංතෘප්තිමත් ජීවිතය

බුදුපියාණන් වහන්සේගේ දේශනාවට අනුව තෘප්තිමත් ජීවිතය යනු,

ඌණෝ ලෝකෝ
අතිත්තෝ තණ්හා දාසෝ

ලෝකය සැම විටම අඩුවක්ව,අතෘප්තිකරව තණ්හාවට දාසයකු වී ලෝකවාසී සත්ත්වයන් ජීවත්වන බව එයින් පැහැදිළි වේ. සෑම අවස්ථාවකදීම ලෝකය තුළ ජීවත්වන මිනිසුන් තෘප්තිමත් වීමට උත්සාහ කරනු ලබන්නේ කවර ආකාරයෙන්ද? යන්න පිළිබඳව අද දවසට ඉතාමත්ම වැදගත් කාරණාවක්. එහි අර්්ථය වශයෙන් ගත් විට මිනිසුන් තෘප්තිමත් වන්නේ මුදල් හම්බකරමින්. ගේ දොර නිර්මාණය කරමින්, එසේ නැතහොත් ඉඩකඩම් මිළදී ගනිමිනුයි. එම පිරිස තෘප්තිමත් ජීවිතය මේ යැයි කියා සිතනු ලබනවා. වෙළෙඳ දැන්වීම් ප්‍රචාරණ මඟින් නිරන්තරවම සිදුකරනු ලබන්නාවූ කාරණාවක් වනුයේ, මිසිසා තෘප්තිමත් විය යුත්තේ මෙම කාරණා මඟින් යැයි හඳුන්වා දීම තුළයි. වාණිජමය පරමාර්ථයන්ගෙන් යුක්ත සංවිධාන හා ආයතන විසින් තෘප්තිමත් ජීවිතයක් හදුන්වා දෙමින් ඒ සඳහා මිනිසුන් උසිගන්වමින් පෙළඹවීම් සිදුකරනු ලැබ තිබෙනවා. තෘප්තිමත් වීමට නම් ඉහළ අධ්‍යාපනයක්, මෝටර් රථයක්, ඉඩමක්, තට්ටු දෙක තුනක නිවාසයක්,ගුවන් ගමන්, විදේශ චාරිකා විශාල මුදල් ප්‍රමාණයක් තිබීම අවශ්‍යය යනුවෙන් මෙවැනි දේ ච්ත්‍රණය කරමින් ප්‍රදර්ශනය කරමින් පෙළඹවීම් කරනු ලබන්නේ සැබෑ ජීවිතය තුළ තෘප්තිමත් විමට නම් මෙවැනි දේ හිමිකර ගත යුතුයි යන්න දන්වමිනි. හිමිකරගෙන තෘප්තිමත් වීම යන කාරණාවට තලු්ලු කිරීම නිසාම සාමාන්‍ය ජනතාව එකී කැරට් අලය පසුපස වේගයෙන් දිවයනු ලබන්නේ තෘප්තිමත් වීම උදෙසායි.

ඒ අනුව තෘප්තිමත් ජීවිිතයක් සදහා වන නිර්ණායන් වන්නේ හොඳ රැකියාවක්, විශාල වැටුපක් ලබාගත හැකි රැකියාවක් නැතහොත් ආයෝජනයක් , ව්‍යාපාරයක්, විශාල මුදලක්, එම මුදල් තුළින් විවාහයක් කරගැනීම ආදී ද්‍රව්‍යාත්මක කාරණාවන්ය. මෙහිදී හොඳ රැකියාවක් යනු සේවය කළ හැකි රැකියාවක් ද යන්න නොවේ. මේ තුළ තෘප්තිමත් වීමේ සීමාව කොතැනක හෝ රැඳී පැවත ඇත්නම්, එම තෘප්තිමත්වීමේ සීමාව කොතනද? යන්න හඳුනාගත හැකි නම්, එකී සීමාව ඉක්මවා යා හැකි නම්, එම අවස්ථාවන් තුළ මෙම නිර්ණායක ඉතා වැදගත් වෙයි. එහෙත් ලෝකයේ මිනිසුන් එකී තෘප්තියේ සීමාවෙහි රඳන බවක් ෙමි වන විට පෙනෙන්නට නැහැ.

බුදුපියාණන් වහන්සේගේ චරිතයයි, බෝසතාණන් වහන්සේගේ චරිතයයි යන චරිත දෙකෙන් තෘප්තිමත්ම චරිතය වන්නේ බුද්ධ චරිතයයි. තෘප්තිමත් නොවන චරිතය වන්නේ බෝසත් චරිතයයි. බෝසතාණන් වහන්සේ තමන් වහන්සේගේ පැවැත්ම පිළිබඳව තෘප්තිමත්ව සිටියේ නැහැ. තමන් වහන්සේට තිබුණු දේපල, ඉඩකඩම්, රාජ්‍යත්වය පිළිබඳව උන්වහන්සේ තුළ තෘප්තිමත් බවක් තිබුණේ නැහැ. ඒ වගේම බෝසතාණන් වහන්සේ තමන් වහන්සේ සමීපයෙහි තිබුණු රම්‍ය, සුරම්‍ය, සුභ මාලිගා තුළින් තෘප්තියක් ලැබුවේ නැහැ. බෝසත් චරිතය සෑහීමකට පත්විය හැකි චරිතයක්ව තිබුණේ නැහැ. ඒ නිසාමයි උන්වහන්සේ බෝසත් ජීවිතය අළුයම ලූ කෙළ පිඬක් සේ අත්හරිනු ලැබ තිබෙන්නේ, එම අතෘප්තිකර ජීවිතයයි. සත්‍ය වශයෙන්ම ප්‍රකාශ කරනවා නම්, සන්තෝෂයෙන් නොපිරුණු ජීවිතයයි. එම අතෘප්තිකර ජීවිතය අතහරිමින් බෝසතාණන් වහන්සේ බුදුපියාණන් වහන්සේ බවට පත්වුවාට පසුව උන්වහන්සේට බොහොම තෘප්තිමත් ජීවිතයක් ලැබුණා. මෙම තෘප්තිමත් ජීවිතය තුළ කිසිඳු ආකාරයක ද්‍රව්‍යාත්මක දෙයක් නැහැ. එක් පැත්තකින් පවතින තෘප්තිමත්භාවයත් සමඟ ගේ දොර ඉඩකඩම් යාන වාහන දැසි දසුන් ඇත්, අස්, රිය, පා බල මහසේනාව නැහැ. තව පැත්තකින් එම සියලු දේ තිබුණත් තෘප්තිමත් බවක් පැවතියේ නැහැ. මිනිසා ද්‍රව්‍යාත්මකව තෘප්තිමත් කළ නොහැකියි යන කාරණාව මේ තුළින් ගම්‍යමාන වෙයි. ඒ නිසාම පවුල් ජීවිතයක් ගත කිරීම සඳහා නම්, ද්‍රව්‍යාත්මක සන්තකයේ සීමා මායිම් සටහන් කරගත යුතුයි. ද්‍රව්‍යාත්මක ජීව්තයක් නැති බව ඒ තුළින් අදහස් වන්නේ නැත. ද්‍රව්‍යාත්මක ජීවිතයේ මායිමක් ගොඩනඟා ගැනීම අත්‍යවශ්‍ය කාරණාවක්. එම ද්‍රව්‍යාත්මක ජීවිතයේ මායිම යනුවෙන් අදහස් කරනු ලබන්නේ, මට මෙවැනි ප්‍රමාණයක ගෙදරක් ඇති. මට මෙම ප්‍රමාණයේ රැකියාවක් ඇති. මට මෙම ප්‍රමාණයේ කිසියම් ආකාරයක ආදායමක් ඇති. මට මෙම ප්‍රමාණයේ වාහනයක් ඇති. මෙම අතෘප්තිකර හා ආසාවන්ගේ සීමාවන් නැති, මායිමක් නැති දෝරගලාගෙන යන ආසාවන්ගෙන් තෘප්තිමත් කරගන්න බැරි මිනිසුන් මහා ඛේදජනක ආකාරයට තමන්ගේ පවුල් ජීවිතද නඩත්තු කරගත නොහැකිව නාස්තිකර ගනිමින්, සල්ලි පසුපස හඹායන ඔද්දල් ජීවිතය වෙනුවට, තෘප්තිමත් ආර්ථිකයක් ගොඩනගා ගැනීමට නම්, සෑහීමකට පත්විමේ මායිමක් සලකුණු කරගත යුතුමයි. තෘප්තිමත් වීමේ සීමා මායිම සලකුණු කරගත යුතු වන්නේ මෙයින් එහාට මට බැරිය. එම බැරි නිසාම මට එපාය. යනුවෙන් ප්‍රතික්ෂේප කිරීමක් නොවේ. එයින් එහාටත් මට හැකි වුවද මෙම ප්‍රමාණය මට ප්‍රමාණවත්ය යන්නයි. බැරි නිසා අතහැරීම තෘප්තිමත් වීම නොවේ. එය තමාට බැරි නිසා අතහැරීමක් පමණයි. එය අතෘප්තියෙන් අතහැරීමක් වෙයි. ඒක නිසා මිනිසුන්ට ආර්ථිකමය වශයෙන්, භෞතික සම්පත් වශයෙන් තෘප්තිමත් වීමට නම්, තෘප්තිමත් වීමේ මායිම සළකුණු කරගත යුතුයි. තෘප්තිය යනුවෙන් හඳුන්වන්නේ සංතෘප්තිය බව වැදගත් කාරණාවක් වෙයි. සංතෘප්තිය යනු මානසික වශයෙන් ලබන තෘප්තිමත් භාවයයි. එකී මානසික තෘප්තිමත් භාවය ලබාගැනීමට වැඩියෙන්ම අවශ්‍ය වන්නේ වාහන, ගේදොර, ඉඩකඩම්, වැනි අතට හසුවන මායිමේ හෝ ඇසට හසුවන මායිමේ හෝ තිබෙන්නාවූ කාරණාද? එසේ නැතහොත් සහෝදරකම, ලෙන්ගතුකම, දරුකම, මවිකම හා පියකම, අසල්වාසීකම, ස්නේහවන්තකම, විශ්වාසවන්තකම, දයාලූභාවය වැනි කාරණා ද?

මිනිසෙක් ගැහැනියක් සමඟ තෘප්තිමත්ව නිවසක ජීවත් වූ ඉතිහාසය දෙස බලන විට මේ සඳහා පිළිතුරු සොයාගැනීම එතරම්ම අපහසු කාරණාවක් නොවේ. සාමාන්‍යයෙන් පෙර ලංකාව තුළ මිනිසුන් ජීවත්වුයේ අතෘප්තියෙන්ය යන්න කවදාවත්වම අසා නැහැ. ඒ පිරිසට විශාල ගේ් දොර, යාන වාහන, ඉඩකඩම්, තිබුණාම නොවේ. එහෙත් ඒ පිරිස බොහොම සහයෝගයෙන් ජීවත් වූ ආකාරය පිළිබඳව අසන්නට ලැබෙනවා.

අද වන විට එවැනි අවස්ථාවන් දක්නට නැතුවා නොවේ. එසේ බලාගෙන යන විට තෘප්තියෙන් යුතුව මිනිසුන්ට ජීවත් වීමට නම්, සීමා සහිත ද්‍රව්‍යාත්මක එකතුකරගැනීමක් හෝ එසේ නැතහොත් තථාගත දේශනාවට අනුව ඇඳුම් පැළඳුම්, ආහාර පාන , ඉඳුම් හිටුම් බේත් හේත් (චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලාන ප්‍රත්‍ය) යන එකී කාරණා මූලික වශයෙන් තෘප්තිමත් මට්ටමකට තබාගෙන එතැන් සිට ජීවිතයේ වැඩිපුර අවධානය යොමුකර ගත යුත්තේ පවුලේ එකමුතුව, සංහිඳියාව, විශ්වාසය සහ සන්තෝෂය නොබ්ඳී නොසිඳී ආරක්ෂා කරගත හැක්කේ කෙසේද? යන කාරණාවයි. එතැනදී ස්වාමී භාර්යා දෙපොළ අතරත පැවතිය යුතු ව්ශ්වසනීය භාවය, සෑම හැන්දෑවක්ම සිනා සපිරි හැන්දෑවක් බවට පත්කර ගැනීම. ආදරණීය දරුවන් සමඟ ලෙන්ගතු කතාබහක නියුක්ත වීම, සෑම රාත්‍රියක්ම දිගු කතාබහක සාකච්ජාවකින් අනතුරුව සිදුකිරීම, හිමිදිරි පාන්දර අවදිව දෙන්නා දෙමහල්ලන් හා දරුවන් සමඟ එකතු වී සාකච්ජා කරමින් දවසේ කටයුතු සූදානම් කිරීම, එක නිවසක් තුළ ඔවුනොවුන් ට හිමි රාජකාරීන් බාරගැනීම, පුංච් දූ පුතුන්ගේ පවා තමන්ට හිමි කොටස බාරදීම, පවුලේ සෑම සාමාජිකයකුටම ඔවුනට හිමි ආවේණික ලක්ෂණ, ආවේණික රාජකාරී කොටසක් වෙන්කර තැබීම, සතිපතා හෝ විනෝද චාරිකා හෝ වන්දනා ගමන්වල නියුක්ත වීම එකිනෙකාගේ අදහස් නොගැටෙන සේ පෙළගස්වා ගැනීම, මාසිකව හෝ වාර්ෂිකව කිසියම් උත්තේජනාත්මකව ප්‍රහර්ෂපූර්ණ කටයුත්තක් ගෙදර සංවිධානය කිරීම, වැනි පවුල සී සී කඩ විසිරී නොයන සේ එකට ඒකාබද්ධතාවයෙන් යුක්තව, කටයුතු කිරීම උදෙසා වන ක්‍රමෝපායන් භාවිතය මඟින් පවුල ඒකරාශීව තබාගැනීම. ඒ සමඟම අම්මා, තාත්තා වැනි වැඩිහිටියන් නිරන්තරව ආශ්‍රය කරමින් ඔවුන් පිළිබඳව තමන්ගේ වගකීම් හා යුතුකම් කොටස ඉෂ්ට කරමින්, නිරන්තර ඥාතීන් බලන්නට යාම, සුහද සබඳකම් පවත්වාගෙන යාම, අසල්වාසීන් සමඟ ප්‍රමාණාත්මක සබඳතා ගොඩනගාගැනීම, තමාගෙන් අනෙකාට හානියක් නොවන සේ අසල්වාසීන් සමඟ ම්ත්‍රශීලිව කටයුතු කිරීම, තමන්ගේ ආර්ථිකය පරිපාලනය කරගත යුතු ආකාරය පිළිබඳව නිරන්තර අවධානය යොමුවීම, ශාරීරික වශයෙන් නිරෝගීකම පවත්වා ගැනීම උදෙසා සෑම අවස්ථාවකම සෑම කෙනෙක්ම කටයුතු කිරීම වැනි පවුල එකට ඒකරාශීව කටයුතු කරන තැනක තෘප්තිමත් ජීවිතය රැඳී පවතියි.

තෘප්තිමත් ජීවිතය යන්නෙන් අදහස් කරනු ලබන්නේ භෞතිකව මිළඳී ගත යුතු, මිළඳී ගතහැකි නඩු හබ ආදීයෙන් සතුකරගත හැකි සන්තකයක් පවත්වාගැනීම පිළිබඳ දැවැන්ත ව්‍යායාමයක නියුක්ත වෙමින් සතුට පලවා හරින තැනකට වඩා අත්‍යවශ්‍යවන්නේ නිරන්තරවම සන්තෝෂයෙන් ගෙදර රැඳෙන පවුල කේන්ද්‍රකරගත්ත , එකී කේන්ද්‍රකරගත්ත පවුල මත ඉඳගෙන ධරමානුකූලව කටයුතු, සාහිත්‍ය කටයුතු, කලා හා විනෝද කටයුතු පිළිබඳව පවුලේ වැඩි අවධානය යොමුවීම මඟින් තෘප්තිමත් ජීළුිතය නිර්මාණය වේ. චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලාන ප්‍රත්‍ය යැයි කී අත්‍යවශ්‍යතා හතර නිර්මාණය කරගැනීමත් එකී අත්‍යවශ්‍යතා හතර මඟින් තෘප්තිමත්ව ජීවිතය ගත කිරීම උදෙසාවන වින්දනීය කලාවක් හුරුකර ගැනීම, ධර්මානුකූලව හා වෙනත් කටයුතුවල නිරත වීමත්, අත්‍යවශ්‍ය කාරණා වෙයි.

විශේෂයෙන්ම පොත්පත් කියවීම, කියවීමට හුරුකිරීම, කියවීමට හුරුවීම කියවන ලද පොතපත පිළිබඳව සාකච්ජා කිරීම , වගේම ගායනා කිර්මාණ කටයුතු කිරීම, ගායනා නිර්මාණ පිළිබඳව ඇගයිම, ච්ත්‍ර ප්‍රතිබිම්බ කලා වැනි කලා මාධ්‍යයන්හි නියුක්ත වීම, සමඟියෙන් ජීවත් වීම උදෙසා රැහැන් වගේ වැදගත්වෙයි. නිරන්තර මානව සබඳකම් ගොඩ නගා ගත හැකි ක්‍රමෝපායන් මඟින් තෘප්තිමත් ජීවිතයක් ගත කළ හැකිවන්නේ තෘප්තිමත් ජීවිතයක් සදහා භෞතික සම්පත් ගොඩගසා ගැනීමට වඩා සුහද මානව සබඳතා ඉතාම වටිනා කාරණාවේ.