Print this Article


ධම්මපදය

ධම්මපදය

ධම්මපදයේ යමක වග්ගයට අයත් තුන්වන හා සිව්වන ගාථා දෙක යටතේ වෛරය නො සන්සිඳීම සිදුවන්නේ කෙසේද යන්න පැහැදිලි කරයි. එම ගාථා දෙක අතරින් පළමු වැන්නෙන් කියවෙන පරිදි යම් කිසි පුද්ගලයෙක් ‘මට බැන්නේය.’ මට පහර දුන්නේ ය. මාව පරාජය කළේ ය. මා සතු දෙය පැහැර ගත්තේය.’ යනුවෙන් දිගින් දිගට කල්පනා කරමින් වෛර දැඩිකොට ගැනීමේ හේතුවෙන් එම තැනැත්තාගේ වෛර නොසන්සිඳෙයි. එහෙත් යම් කෙනෙක් එසේ කල්පනා නොකරන්නේ නම් එම තැනැත්තාගේ වෛරය සංසිඳෙයි. මෙම ගාථා දෙකෙන් ඉදිරිපත් කරන මූලික උපදේශය නම් යම් හේතුවක් නිසා හටගන්නා කෝපය සම්බන්ධයෙන් දිගින් දිගට කල්පනා කිරීමෙන් එය වෛරයක් බවට පත් වී තවදුරටත් වර්ධනය වන බවත් එසේ නොකිරීමෙන් එය සංසිඳෙන බවත් ය. මෙම උපදේශාත්මක ගාථා දෙක ධම්මපදයට ඇතුළත් කරගෙන තිබෙන්නේ මජ්ක්‍ධිම නිකායේ උපක්කිලෙස සූත්‍රයෙන් ය. කොසඹෑ නුවර කලහකාරී භික්ෂූන්ගේ හැසිරීම මෙම ගාථා දේශනාවට පසුබිම් වී තිබේ. ධම්මපදට්ඨ කතාව මෙම ගාථා දෙක පැහැදිලි කිරීම සඳහා ථුල්ලතිස්ස හිමියන්ගේ කතාපුවත ගෙන හැර දක්වයි.

එම කතාවට අනුව බුදුරදුන්ගේ නැන්දනියගේ පුතෙකු වන තිස්ස නම් මහලු පුද්ගලයෙකු පැවිද්දට පත්ව ජේතවනාරාමයෙහි වැඩ සිටියේ ය. වියපත්ව පැවිද්දට ඇතුළත් වන මුත් ගුණ ධර්ම කිසිවක් වර්ධනය නොකරගත්තේ ය. මිහිරි බොජුන් වැළඳීම හේතුවෙන් විශාල ශරීරයකට හිමිකම් කී අතර නුවණින් හීන වූවෙක් විය. මෙනිසා උන්වහන්සේ ථුල්ලතිස්ස යනුවෙන් හඳුන්වනු ලැබීය. සසුන් පිළිවෙත නොදත් හෙයින් පැවිදි උපසම්පදාවෙන් වැඩිමහල් භික්ෂූන් කෙරෙහි කළයුතු වත් පිළිවෙත් අනුගමනය නොකළේ ය. තමා පිළිබඳ අධිතක්සේරුවකින් කටයුතු කිරීම නිසා අන් භික්ෂූන්ගේ අවවාද හා උපදෙස් නොපිළිපැදිය. මෙම පිළිවෙත් නිසා ථුල්ලතිස්ස හිමියන් සෙසු භික්ෂූන්ගේ දෝෂ දර්ශනයට ලක් වූ අතර එක් දිනෙක තරුණ හිමිනමක් උන්වහන්සේගේ නොමනා හැසිරීම පිළිබඳ දොස් නැගීය. මෙයින් කිපුණු ථුල්ලතිස්ස හිමි බුදුරදුන් වෙත ගොස් පැමිණිලි කළේ ය. බුදුරජාණන් වහන්සේ ථුල්ලතිස්ස හිමියන්ගෙන්ම තොරතුරු විමසා දැනගෙන වැඩිහිටියන්ට ගරු නොකිරීම හා වත් නොදැක්වීම පිළිබඳ දොස් නඟා කළ වරදට සංඝයා කමාකරවාගන්නා ලෙස අවවාද කළ සේක. බුදුරදුන්ගේ අවවාදය නොපිළිගත් ථුල්ලතිස්ස තෙරුන් තමාට දොස් පැවැරූ භික්ෂුව පිළිබඳ දැඩි කෝපයකින් පසුවිය. එම අවස්ථාවෙහි බුදුරජාණන් වහන්සේ, වෛරී බැඳීම් නැවත නැවත සිහි කිරීමෙන් වෛරය නොසන්සිඳෙන බවත් එය ඇතිවීමට බලපෑ කරුණු අමතක කිරීමෙන් එය සංසිඳෙන බවත් පෙන්නා දුන් සේක.

කෝපය හා වෛරය විවිධ හේතු නිසා හටගනී. එය අපගේ වරදක් නිසා හෝ වෙනත් අයෙකුගේ වරදක් හෝ අඩුපාඩුවක් හේතුවෙන් විය හැකියි. ඇතැම් විටෙක කරුණු වරදවා වටහා ගැනීමෙන් අනවබෝධයත් නිසා කෝපය හටගනී. සෑම අයෙක්ම තමන් පිළිබඳ කිසියම් තක්සේරුවක් ඇතිකරගෙන කටයුතු කරයි. එම තක්සේරුව ඇතිකරගන්නේ තමන්ගේ කුලය, ධනය, බලය, තනතුර හා උගත්කම පදනම් කරගෙනය. මෙම තක්සේරුවේ අගය වැඩිවන තරමට එය අන් අය හා ගැටුම් ඇතිවීමට හේතුවිය හැකිය. අප විසින් ම අපට ලබාදී තිබෙන අගයට සරිලන ආකාරයෙන් අන් අයගෙන් අගයක් හෝ සැළකිල්ලක් නොලැබෙන සෑම විටම අපගේ සිතේ අසහනය හා කෝපය කලකිරීම ඇති වේ.

ථුල්ලතිස්ස හිමියන්ද බුදුරදුන්ගේ ඥාතිත්වය ගැන සළකා අධිතක්සේරුවකින් සිටි අයෙකි. මෙනිසා උන්වහන්සේ වැඩිහිටි භික්ෂූන් කෙරෙහි පිළිපැදිය යුතු වත්පිළිවෙත් නොකළේ ය. තමා පිළිබඳ ගොඩ නගාගෙන තිබුණු තක්සේරුවට සමාජයෙන් පිළිගැනීමක් නොමැති තැන උන්වහන්සේ කෝපයට පත් විය. උන්වහන්සේගේ හැසිරීම හා පිළිවෙත වැරැදි යැයි බුදුරදුන් පෙන්වා දුන් විටත් තවදුරටත් තම ස්ථාවරය වෙනස් නොකළේ තමා පිළිබඳ ඇතිකරගත් අධිතක්සේරුවේ බලවත්කම නිසයි. ථුල්ලතිස්ස තෙරුන් වැනි චරිත ගිහි පැවිදි දෙපක්ෂයේම සිටී. තමාගේ තනතුර හා වෙනත් බලවත්කම් ගැන කල්පනා කරමින් උඩඟු ලෙස කටයුතු කරන පුද්ගලයන් කොතෙකුත් දක්නට ලැබේ. එවැනි පුද්ගලයන් ‘තමාට ගරු නොකළේ ය, තමා පිළිනොගත්තේය, නම සඳහන් නොකළේ ය, ඉදිරිපස අසුනක නොඳුන්නේය, ගරු සත්කාර නොකළේය’ ආදී වශයෙන් කල්පනා කරමින් මහත් දුකකට පත්වන අතර අන් අය හා ගැටුම් ඇතිකර ගනී. මහමග, බස්රථයේ, දුම්රියේ, කාර්යාලයේ ඇතිවන ඇතැම් ගැටුම් මෙවැනි අදහස් හා පිළිගැනීම් නිසා සිදුවන බව ඒවා සියුම්ලෙස විවරණය කළ විට පැහැදිලි වේ. එසේම ලොව සිදුවන බිහිසුණු යුද්ධ මිනිස් ඝාතන මෙන්ම පැහැර ගැනීම් සියල්ලෙහි මූල බීජය වන්නේ විවිධ දෘෂ්ටි යටතේ ඇතිකරගත් වෛරයයි. ඔවුනොවුන් නොසළකා හැරීම එමෙන්ම මූලික අයිතිවාසිකම් අහිමි කිරීම හේතුවෙන් පුද්ගල සන්තානයේ ජනිත වන වෛරය ජාතීන් අතර මෙන්ම ආගම් අතරද බිහිසුණු ගැටුම් නිර්මාණය කර තිබේ. දරුණු ත්‍රස්තවාදී කණ්ඩායම් නිර්මාණය වී තිබෙන්නේ ද මෙම පදනමෙන්ය.

ධම්මපද ගාථාවෙන් ඉදිරිපත් කරන කරුණු වර්තමානයට සාකළ්‍යයෙන්ම ගැළපේ. අප කෝප වන්නේ එහි දැක්වෙන හේතු කාරණාවලට අනුවය. කෙනෙකු අපට දොස් පැවරූ විට අපට නින්දාකළ විට පහර දුන් විට අපසතු දේ පැහැරගත් විට අප පරාජය කළ විට කෝපයක් ඇති වේ. යමෙක් කෝප වන්නේ නම් මේ හේතු සියල්ල හෝ එයින් එක් හේතුවක් නිසාය. ක්‍රෝධය හා වෛරය ගැන කතා කරන හැම අවස්ථාවකදීම අප පවසන්නේ අපට සිදුවූ යම්කිසි අපහසුවක් අසාධාරණයක් නිසා එය ඇති වූ බවයි. එය ස්වාභාවිකය. සමාජයක සියල්ලෝම නීතිගරුක සදාචාර සම්පන්න අය නොවේ. නීතිය යුක්තිය සදාචාරය අමතක කොට තිරිසනුන් හා සමානව හැසිරෙන පිරිසක්ද සිටී. ඔවුන්ගේ නොමනා ක්‍රියා හේතුවෙන් අන් අයගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීම සිදුවේ. නමුත් එම සිදුවීම් දිගින් දිගට මෙනෙහි කරමින් නැවත නැවතත් වෛරය ඇතිකරගැනීම නොකළ යුත්තකි. ඒ වෙනුවට නීත්‍යානුකූල පියවර ගැනීම හැර එයට ප්‍රතිචාර වශයෙන් ප්‍රචණ්ඩත්වයෙන් කටයුතු කිරීම නොකළයුත්තකි. එසේම නීත්‍යානුකූලව කටයුතු කිරීමෙන් එම සිදුවීම් සියල්ල මතකයෙන් මකාදැමීම කළ යුත්තකි.

අපහසුවෙන් වුවත් එය සිදු කළයුතුයි. විවිධ අයුරින් සිදු වූ මදි පුංචිකම් නොසළකා හැරීම් නැවත නැවැතත් මතක් කරන විට කෝපය හා වෛරයද බලවත් ලෙස වැඩෙන්නට පටන් ගනී. වෛරී සිතිවිලි වලින් මුල්වරට පීඩාවට පත්වන්නේ වෛර කරන තැනැත්තාය. එසේම එම පුද්ගලයා වෛරී සිතිවිලි හේතුවෙන් මානසික වශයෙන් අපිරිසුදු අයෙක් බවට පත් වේ. අපිරිසුදු සිතින් කරන සෑම ක්‍රියාවක්ම අකුශල සහගතය.

වෛරයෙන් මිදීම සඳහා ධම්මපද ගාථාවෙන් යෝජනා කරන්නේ කෝපයට පසුබිම් වූ කරුණු අමතක කර දැමීමයි. ක්‍රෝධය හා වෛරය යන මනෝභාවයන් පුද්ගලයාගේ ශාරීරික ක්‍රියාකාරීත්වයට දැඩිලෙස බලපෑම් කරයි. කේන්තිය හා වෛරය ශරීරයේ හෝමෝන ක්‍රියාකාරීත්වය වෙනස් කිරීමට හේතුවන අතර ප්‍රතිශක්තිය දුර්වල කරයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස අධිකරුධිර පීඩනය, රුධිර කොලෙස්ටරෝල් මට්ටම ඉහළයාම, දියවැඩියාව, විවිධ චර්ම රෝග මෙන්ම දීර්ඝකාලීන වශයෙන් පිළිකා ඇතිවීමත් සිදුවිය හැකි බව වෛද්‍ය විද්‍යාත්මකව පිළිගත් කරුණකි. නිතර වෛරයෙන් හා කෝපයෙන් පසුවන පුද්ගලයා මානසික වශයෙන් ද දුර්වල අයෙකු වේ. මේ සියල්ල දිගු කාලීන වෛරයේ ප්‍රතිඵල වේ.