Print this Article


නවම් පුර පසළොස්වක පෝදා දම් දෙසුම:

තම අත්බැව් දිනීම ඉතා උතුම්ය

කොළඹ
ගංගාරාමාධිපති
ගල්බොඩ ඤාණිස්සර නා හිමි

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
අත්තා හවේ ජිතං සෙය්‍යයෝ
යා චායං ඉතරා පජා
අත්තදන්තස්ස පෝසස්ස
නිච්චං සඤ්ඤත චාරිමෝ
නෙව දෙවො න ගන්ධබ්බෝ
න මාරො සහ බ්‍රහ්මුනා
ජිතං අපජිතං කයිරා
තථා රූපස්ස ජන්තුනෝ
(ධම්මපදය - සහස්ස වග්ගය)

පින්වත්නි,

තමා දිනන ලද්දේ ඒකාන්තයෙන්ම උතුම් ය. යම් මේ සෙසු ජනයා වනාහි දිනන ලද්දේ උතුම් නොවේ. තමාගේ සන්තානය දමනය කිරීමෙන් නිතරම සන්සුන් හැසිරීම් ඇති එබඳු පුද්ගලයෙකු විසින් දිනන ලද්ද දෙවියෙකුට පරාජය කළ නොහැකිමය. ගන්ධබ්බයෙක්ද නොපරදවයි. බ්‍රහ්මයා හා මාරයා ද නොපරදවයි.

වසරේ එළඹෙන දෙවන නවම් පුර පසළොස්වක පොහෝ දිනය සම්බුදු සසුනෙහි සුවිශේෂී දිනයකි. සම්බුද්ධ ශාසනයේ චිර පැවැත්ම උදෙසා අත්‍යවශ්‍ය සිදුවීම් කිහිපයක් මෙම පුන් පොහෝ දිනයට සම්බන්ධ වේ. ප්‍රථම සංඝ සම්මේලනය පවත්වා සැරියුත්, මුගලන් දෙදෙනා වහන්සේට අග්‍රශ්‍රාවක තනතුරු පිරිනැමීම සහ ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කිරීම, බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවර චාපාල චේතිය අසළ දී ආයුසංස්කාරය අත්හැරීම ද ඇතුළත් වේ. භික්ෂූන් වහන්සේලා සමඟිව රැස්වී සංඝයාගේ යහපත වෙනුවෙන් සාකච්ඡා කොට තීන්දු තීරණ ගැනීමේ වැදගත්කම මින් අවධාරණය කොට ඇත. එසේම කය පැවිදි කළ පමණින් භික්ෂුවක් නොවේ. එහෙයින් භික්ෂූන් තුළ ද යම් යම් අඩුපාඩු ඇති වේ. ඒවාට අවවාද අනුශාසනා කොට ආයති සංවරයෙහි පිහිටුවා යහපත් සංඝයාගේ චිර පැවැත්ම සඳහා කටයුතු කළ යුතුය. අග්‍රශ්‍රාවක තනතුරු ප්‍රදානය කළේ එම තනතුරුවලින් විරාජමාන වීමට නොව සඟසසුන ඉදිරියට යාමේ දී වගකීමෙන් කටයුතු කිරීමට, මනාව සංවිධානය කිරීමට එවැනි උතුමන්ගේ ආදර්ශය මඟ පෙන්වීම අවශ්‍ය බව නිසාය. ආයු සංස්කාරය අත්හැරීම තුළින් ද සියල්ලේ අනිත්‍ය බව සිහි තබා කටයුතු කිරීමට අවධාරණය කොට ඇත. මේ සියලු සිදුවීම් තුළින් බොහෝ පාඩම් ඉගෙන ගත හැක.

තමා දිනන ලද්දේ උතුම් බවත් කිසිවෙකුට කිසි අයුරකින් පැරදවිය නොහැකි බවත් දක්වන ඉහත සඳහන් පාලි ගාථා ධර්මය අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ සැවැත්නුවර ඇසුරු කොට ප්‍රසිද්ධ නම් ගොත් කිසිවක් නැති එක්තරා බමුණෙකු මුල් කර ගෙනය. ඒ බමුණා දූ කෙළියෙහි සමතෙකි. එහි නියැළී කටයුතු කරන්නෙකි. ඒ මගින් බොහෝ මිනිසුන් තමා වෙත අවනත කරගෙන සිටී.

ධන සම්පත් නැති වුවත් ඔහුට පිරිස් බලය ඇත. කපටිකමින් ද යුක්ත ඒ බමුණා ජීවිතය රැක ගැනීමට කරන්නේත් මේ සූදු ක්‍රීඩාවමය. පැමිණෙන්නන් සමග බොහෝ කථා කිරීමේ දක්ෂ නිසා ඔහුට බොහෝ දෙනා මුළාවෙති. පොදු වැඩවලට හිතවත් ව කටයුතුද කරයි. සැදැහැවතෙක් නූවත් ආගම ධර්මය පිළිබඳ සෑම, දෙයකටම නොඑක් දෙනා උනන්දු කරවමින් සහායව කටයුතු කෙරේ. දහම් කෙරෙහි දැනුමක් නැතත් දොඩමළු ගතියෙන් තම වියත් කම හඟවයි.

මේ බමුණා යම් පිරිසක් අතරට පැමිණි හැම අවස්ථාවකදීම ධර්මය පිළිබඳව කරන කතා බහද අඩු නැත. ගුණ දොස් පැවසීම ද එසේමය. දවසෙක වැඩ අවැඩ පිළිබඳව කතා උපදවා මෙසේ පැවසීය.

බුදුරජාණන් වහන්සේ හොඳ දේ නිසි පිළිවෙත් දේශනා කරති. එහෙත් අවැඩ පිළිබඳ නිසි පිළිවෙත් දෙසන්නේ නැත යනුවෙනි. එක්තරා දිනයෙක වෙහෙරට ගොස් බුදුරදුන්ගෙන් ම මෙසේ ඇසුයේය.

බුදුරජාණන් වහන්ස, ඔබ වහන්සේ වැඩට නිසි මග දෙසන සේක. අවැඩට නිසි මාර්ගය නොදෙසන සේක. අවැඩට නිසි මගක් දන්නේද? එහිදී බුදුරජාණන් වහන්සේ බමුණ මම වැඩට නිසි මගත්, අවැඩට නිසි මගත් දෙකම දනිමියි වදාළහ. එසේ නම් ස්වාමීනි, අවැඩට මග දෙසුව මැනවැයි අයදිනු ලැබීය. බුදුරජාණන් වහන්සේ එහිදී මෙසේ වදාළ සේක. උස්සුරසෙය්‍යං ආලස්‍යං චණ්ඩික්කං දීඝ සොත්ථියං

ඒකස්ස අද්ධාන ගමනං පරදාරූප සේවනං
එතං බ්‍රාහ්මණ සේවස්සු අනත්ථං තෙ භවිස්සති

අවැඩට හේතු වූ කරුණු සයක් මෙම ගාථා තුළින් ඉදිරිපත් කොට ඇත.

1. හිරු නැගෙනතුරු නිදිය ගැනීම, තමාට පැවරෙන පැවරී ඇති කටයුතුවලට නිසි වේලාවට කල් ඇතිව නැගිටින්නේ නැතිව ඉර අව්ව වැටෙන තෙක් නිදාගන්නේ නම් පිරිහීමක් අවැඩක්ම වන්නේ ය.

2. අලසව හිඳීම, උදය, දවල්, සවස, අව්ව, වැස්ස, පින්න යනාදී කියමින් වැඩ කිරීමට නුසුදුසුයයි කම්මැලිව සිටින්නේ නම් වැඩ අතපසු වේ. අවැඩක්ම වන්නේ ය.

3. දරුණු වූ රළු පරළු ගති දැක්වීම, එකිනෙකාට නොසන්සුන් ලෙස හැසිරී කුරිරු කමින් දඩබ්බර ගති දැක්වීමෙන් කාගේවත් උදව්වක් උපකාරයක් හිමි නොවේ. එය ද අවැඩක් ම වන්නේ ය.

4. කළයුතු දැය කල් දැමීම, කිරීමට ඇති කටයුතු කරන්නේ නැතිව අදය හෙටය අනින්දා යයි පමා කිරීමෙන් පිරිහීමක් ම වේ. ඒ නිසා අවැඩක්ම වේ.

5. මඟ හුද කලාව යාම, දුර බැහැර ගමන් බිමන් යන එන විට සුදුස්සෙක් නොමැතිව තනිවම යාම ඊම කිරීම තුළින් තමාගේ ආරක්ෂාව තමාට අයත් දෙයෙහි ආරක්ෂාව නැතිව පාඩු සිදුවේ. ඒ නිසා අවැඩක් ම වන්නේ ය.

6. පරදාර සේවනයෙහි යෙදීම. අන් පුරුෂයන් සතු භාර්යාවන් තමා වසඟයට ගැනීමට කටයුතු කිරීම එසේම වැරදි කාම සේවනයෙහි ඒවාම සොය සොයා කටයුතු කිරීම තුළින් අවැඩක්ම සිදුවේ.

මෙසේ මේ කරුණු හයක් ඉදිරිපත් කොට ඒවා නිසා අවැඩක් ම සිදුවන බව වදාළහ.

අනතුරුව බුදුරජාණන් වහන්සේ බමුණාගෙන් කුමක්කොට තම දිවි රැක ගන්නෙහි දැයි විමසීය. එවිට බමුණා සූදු ක්‍රීඩාවෙහි යෙදෙමින් අන්‍යයන් යොදවමින් කටයුතු කිරීමෙන් ලැබෙන දෙයකිනුයි කීය. එහිදී බුදුරජාණන් වහන්සේ දූ කෙළියෙහි යෙදී ජය ගැනීම උතුම් නොවන බවත් අනුන් පරදවා ලබන දිනුම ඒ දිනූ තැනැත්තා ම නැවත පරදින හෙයින් උතුම් නොවන බවත් වදාළහ.

බුදුරජාණන් වහන්සේ කෙළෙස් සතුරන් පරදවා ලබන දිනීමම ඉතා උතුම් බව වදාළහ. එසේ ලබන ජයග්‍රහණය ඔහු පරදවා වෙනත් කිසිවකුත් දිනන්නට සමත් නොවෙතියි වදාළහ. දෙවියෙක් හෝ බ්‍රහ්මයෙක් හෝ මාරයෙක් හෝ සමත්වෙන වෙන කිසිවෙකුත් ඒකාන්තයෙන්ම නැත.

ඉහත දක්වන ලද අයුරින් අනුන් පරදවා ජය ලැබුමට කැමැති ලෝවැසි ජනයා දූ කෙළීම්, පැහැර ගැනීම්, යුද කිරීම් ආදියෙහි යෙදෙති. එහෙත් ඒ ජහග්‍රහණ උතුම් නොවේ. දිනූ තැනැත්තාම නැවත පැරදුමට පත්වන බැවිනි.

සන්සුන් හැසිරීම (සඤ්ඤතචාරිතො) යන කය, වචන, සිත යන තුන්දොර මනාව හසුරුවා පැවතීම තුළින් සීලය, සමාධිය, ප්‍රඥාව වැඩී මඟඵල නුවණ ද උපදවා ගත හැකිය. එම දිනීම කිසිවකුටත් පරාජය නොවන ජයග්‍රහණයකි. ඔබද අවැඩ දුරුකොට තමා ජයග්‍රහණය කිරීම සඳහා උත්සුක වන්න. ඒ බව නවම් පෝදා භික්ෂු සංඝයා රැස්කරවා ඕවාද ප්‍රාතිමෝක්ෂ දේශනාව ලෙස සියලු පව් දුරු කොට සියලු පින්කම් සිදුකොට පිරිසුදු සිත් ඇතිකර ගැනීම සියලු බුදුවරුන්ගේ අනුශාසනය ලෙසද දක්වා වදාළහ.

සම්මා සම්බුදු සරණයි!