Print this Article


මහ බෝ මහා සෑ අටමස්ථාන වන්දනා අසිරිමත් මහා පින්කමක්

මහ බෝ මහා සෑ අටමස්ථාන වන්දනා අසිරිමත් මහා පින්කමක්

හෙළ රජ දරුවන්ට, රට වෙනුවෙන් දිවි පිදූ වීරෝදා ර රණවිරුවන්ට, අපවත් වී වදාළ උඩුගම බුද්ධරක්ඛිත අස්ගිරි මහානාහිමිපාණන් වහන්සේට පින් පමුණුවන අසිරිමත් පින්කමකි.

ශ්‍රී ලංකාද්වීපයට තිලෝගුරු බුදුරජාණන් වහන්සේ තෙවරක් වැඩම කළහ. ඒ බව මහාවංශය, දීපවංශය, සමන්ත පාසාදිකාව ආදී ඉතිහාසගත ග්‍රන්ථ සාක්ෂි දරයි. බුදුරජාණන් වහන්සේ තුන් වන වර ලංකාද්වීපයට වැඩම වූ ගමනේ දී අනුරාධපුර අටමස්ථානය සොළොස්මස්ථානවල පන්සියයක් සමවත් මහරහතුන් වහන්සේ සමඟ මොහොතක් සමාධි සුවයෙන් වැඩ හිඳ ඒ ස්ථාන පරිභෝග කොට පූජනීයත්වයට පත් කොට ඇත. බුද්ධ පරිනිර්වාණයෙන් බුද්ධ වර්ෂ 236 දී දඹදිව රජ පැමිණි දීපචක්‍රවර්තී ධර්මාශෝක මහරජතුමා තුන්වන ධර්ම සංගායනාව පවත්වා රටවල් නවයක ධර්මදූතයන් වහන්සේලා පිටත් කර යැවූහ. එහි ප්‍රතිඵලයක් වශයෙන් අනුබුදු මිහිඳු මා හිමියන් වහන්සේ ප්‍රධාන පිරිස ශ්‍රී ලංකාවට වැඩමකොට ලක් රජය කරවූ දෙවැනි පෑතිස් රජතුමාගේ සහාය ලබාගෙන ලක් බුදුසසුන පිහිටවූහ.

සම්බුදු සිරිපා පහසින් පවිත්‍රත්වයට පත් කර තිබූ අනුරාධපුර අටමස්ථානය හඳුනා ගන සලකුණු පිහිට වූහ. අනුරාධපුරය රාජධානිය කරගෙන ලංකා රාජ්‍ය කරවූ සිංහල රජවරු මිහිඳු මා හිමියන් සලකුණු පිහිටා තිබුණ වූ ස්ථානවල මහා විහාර ආරාම ගොඩ නැගූහ. අනුරාධපුරයේ ප්‍රථම දාගැබ වන ථූපාරාමය බුදුරජාණන් වහන්සේගේ දකුණු අකු ධාතුව නිධන්කොට මිහිඳු මා හිමියන්ගේ උපදෙස් පරිදි දෙවැනි පෑ තිස් රජතුමා විසින් කරවන ලදී. එමෙන්ම සංඝමිත්තා මහ රහත් මෙහෙණින් වහන්සේ දඹදිව සිට වැඩමකරවා ගෙන පැමිණි දඹදිව බුද්ධගයාවේ වැඩ සිටි ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව මිහිඳු මා හිමියන්ගේ උපදෙස් පරිදි දෙවැනි පෑතිස් මහරජතුමා අනුරාධපුර මහමෙවුනා උයනේ උඩමළුවේ රෝපණය කරන ලදී. එම බෝධි රෝපණය සිදු කළ අටමස්ථානයේ අසිරිමත් ප්‍රාතිහාර්ය රැසක් සිදු විය. මේ ප්‍රාතිහාර්ය දුටු දෙවැනි පෑතිස් රජතුමා මහත් ප්‍රසාදයට පත්ව ශ්‍රද්ධාවෙන් ඉපිලී ශ්‍රී ලංකාද්වීපය ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට පූජා කළේ ය.

දුටුගැමුණු මහ රජතුමා එතුමාගේ ජය කොන්තය.තැන්පත් කර මිරිසවැටිය චෛත්‍ය ඉදිකර වූහ.

ලක්ෂයක් මහරහතුන්ට වැඩ සිටීමට නවමහල් ලෝවාමහා ප්‍රාසාදය ඉදිකරවූහ. බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණයක් සර්වඥ ධාතූන් වහන්සේලා නිදන්කොට අසදෘශ මහා චෛත්‍ය වූ ස්වර්ණමාලී චෛත්‍ය රාජයාණන් වහන්සේ ඉදිකරවූහ. එදා ස්වර්ණමාලී චෛත්‍ය රාජයාණන් වහන්සේගේ ධාතු නිධානය සිදු කරන මොහොතේ අනූහය කෝටියක් මහරහතන් වහන්සේලා සෙත් පිරිත් දේශනා කරද්දී කෝටි සංඛ්‍යාත ජනතාව සාධුකාර පවත්වද්දී දුටුගැමුණු මහරජතුමාගේ සිරස මස්තකයේ තිබූ ධාතු කරඬුවේ වැඩ සිටි සර්වඥධාතූන් වහන්සේලා අහසට පැන නැගී නිර්මිත බුදුරුවක් මවාගෙන සවණක් ඝන බුදුරැස් විහිදුවමින් යමාමහ පෙළහර පා වදාළ සේක. මේ අසිරිමත් ප්‍රාතිහාර්ය දුටු දුටුගැමුණු රජතුමා බුදුරජාණන් වහන්සේට තෙවරක් ලංකාරාජ්‍යයෙන් පූජා කළහ. අනුරාධපුර ශුද්ධ භූමියේ පිහිටියා වූ විශේෂ චෛත්‍ය රාජයාණන් වහන්සේ නමක් වූ අභයගිරි චෛත්‍ය රාජයාණන් වහන්සේ වළගම්බා රජතුමාගේ නිර්මාණයකි. එමෙන්ම මහසෙන් රජතුමා විසින් ඉදිකරවූ ජේතවන චෛත්‍ය රාජයාණන් වහන්සේ අසහාය නිර්මාණයකි. බුදුරජාණන් වහන්සේගේ පටී ධාතූන් වහන්සේ හා අනෙකුත් ධාතූන් වහන්සේලා නිධන්කොට මෙම විශ්මිත චෛත්‍ය ඉදිකර ඇත. වළගම්බා රජතුමා සෝමාදේවිය අගමෙහෙසිය සිහිවීම සඳහා අනුරාධපුර ලංකාරාම චෛත්‍යය ඉදිකරවූහ.

මෙලෙසින් අනුරාධපුර අටමස්ථානය බෞද්ධ වූ අපට සුවිශේෂී සිද්ධස්ථානයකි. එම සියලු සිද්ධස්ථාන ආවරණය වන පරිදි අසදෘෂ්‍ය මහා පින්කමක් අප්‍රේල් 01, 02, 03 දිනයන්හි අනුරාධපුර ශුද්ධ නගරයේ දී පැවැත්වීමට බෞද්ධයා නාලිකාව සූදානම් වෙයි.

එම පින්කමේ ප්‍රධාන අරමුණු කීපයකි. රට දැය සසුන රැකදුන් රජ දරුවන්ට පින් දීමත්, තිස් වසරක යුද්ධයේ දී රට වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන්ට පින් දීමත්, මීට වසරකට පෙර අපවත් වී වදාළ අස්ගිරි පාර්ශ්වයේ මහානායක පදවිය හෙබවූ අග්ගමහා පණ්ඩිත උඩුගම බුද්ධරක්ඛිත මහා නාහිමියන් වහන්සේට පින්දීමත්ය.

කොළඹ ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේ බෞද්ධයා නාලිකාවේ සභාපති දරණාගම කුසලධම්ම නාහිමියන්ගේ අනුශාසනා පරිදි සැදැහැති බෞද්ධ ජනතාවගේ දායකත්වයෙන් එම පින්කම සිදුකරනු ලබයි. මෙහිදී අප්‍රේල් මස 1 දින පෙ.ව. 4.30 ට කොළඹ ශ්‍රී සම්බෝධි විහාරයෙන් පූජා කරන ලද රන්සිවි ගෙවල් සහිත දර්ශනීය රථ පෙරහර පිටත් වේ. එදින සවස අනුරාධපුරයට ළඟාවන පූජා අතර පළමුකොට අනුරාධපුර ථූපාරාම චෛ්‍යයට කප්රුක් බැඳ මලින් සරසා අටපිරිකර පන්සියයක් තැන්පත් කොට ප්‍රථම බුද්ධ වන්දනා පින්කම සිදුකිරීමට නියමිතය. එදිනම රාත්‍රී කාලයේ රුවන්වැලි සෑයට කප්රුක් තුනක් පැළඳවීම, අභයගිරි චෛත්‍යයට, ජේතවන චෛත්‍යයට, මිරිසවැටි චෛත්‍යයට, ලංකාරාම චෛත්‍යයට, කප්රුක් පැළඳ වීම එම එම පින්කමේදී සිදු කෙරේ.

අප්‍රේල් 2 දින උදෑසන මිරිසවැටි චෛත්‍යයට කිරි ආහාර පාත්‍ර පන්සියයක් පූජා කිරීම හා අටපිරිකර පූජාවද සිදුකරයි. සවස ලංකාරාම චෛත්‍යයට අටපිරිකර ගිලන්පස මල් පූජා පවත්වති. මහාපාලි දාන ශාලාවේ දී දහසක් මහා සංඝරත්නයට පිණ්ඩපාත දානය පිරිනැමීමද සිදුකරනු ලබති.

පෙරවරු 9 ට අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන්වහන්සේට රණින් නිමවන ලද රන් පළඳනාවක් හා අටපිරිකර දහසක්. සමන් මල්, රෝස මල්, පූජා කිරීම හා කිරි ආහාර හා බෙහෙත් ඖෂධ 108 කින් යුත් ගිලන්පස පූජාවද පූජා කරනු ලබයි. සවස 3 – 4 දක්වා අරියවංශ සූත්‍ර දේශනාව පැවැත්වේ.

සවස 5 අසිරිමත් මහා පින්කම ස්වර්ණමාලි මහා චෛත්‍යය අබියස ඇරඹේ. එහිදී අටපිරිකර පන්දහසක් පූජා කිරීමටද, ඇඳ පුටු මේස ආදී ගරු භාණ්ඩ කප්රුක් පූජාව හා මහා සෑයට ෂඩ්වර්ණ බුදුරැස් සිහිගන්වන ආලෝක පූජාව හා කෝටියක් මල් පූජා කිරීම බෙහෙත් ඖෂධ 500 යුත් ගිලන්පස පූජාව ද සිදුකෙරේ. අටමස්ථානයට ගුවන් යානයකින් මල් ඉසීමද සිදුකෙරේ. රාත්‍රිය එළිවනතුරු රන්පත්වල ලියන ලද සූත්‍ර සජ්ඣායනා කිරීම හා භාවනා වැඩසටහනක් ද පැවැත්වේ.

එහිදී දිළිඳු විහාරස්ථාන දහසකට වියළි ආහාරපාන බෙදාදීම නැගෙනහිර උතුරු හා අනෙක් පළාත්වල තෝරාගත් විහාරස්ථානවලට බුදුමැදුරක් නැති ස්ථානවලට බුදු මැදුරක්, ආවාසයක් නැති ස්ථානයට කුඩා ආවාසයක්, වැසිකිලි නැති ස්ථානවලට වැසිකිලි ඉදිකරදීමටද මුදල් ආධාර පිරිනැමීමද මෙහිදී සිදුකෙරේ. පළමුවෙන් වැදිනායක වන්නිලඇත්තන්ට එම වැදි ගම්මානයේ චෛත්‍යයක් ඉදිකිරීමටද මෙහි දී මුදල් පිරි නැමේ.

ස්වර්ණමාලි මහා සෑය, අභයගිරිය, ජේතවනාරාම, චෛත්‍යයන් ස්ථානවල අටපිරිකර දහස් ගණන් තැන්පත් කර අසූහාර දහසක් පිත්තල පහන් දල්වා මල් පූජා කොට මෙම අසිරිමත් පින්කම් සිදු කරනු ලබයි. මෙහි අසූහාරදහසක් පිත්තල පහන් පූජාවේ දායකත්වය විශේෂඥ වෛද්‍ය රංජනී ගමගේ මහත්මිය දරනු ලබයි.

අටපිරිකර පූජාකිරීමටත් ආලෝක පූජාවට හා දිළිඳු විහාරස්ථාන බුදු මැදුරු, ආවාස, වැසිකිලි ඉදිකරදීමට ආධාර කිරීමෙන් හා එදින අනුරාධපුරයට පැමිණ වනමල්, නෙලුම් මල්, බෙහෙත් ඖෂධ ලබාදීමටත් සහාය දැක්විය හැකියි. ගැබිණි මව්වරුන්ට අවශ්‍ය මදුරු දැල්, බෙට් ෂීට්, පිටිකිරි ආදී දේ සපයා දීමෙන් ද මේ අසිරිමත් පින්කමට දායක විය හැකියි. කොළඹ 7, ශ්‍රී සම්බෝධි විහාරයේ බෞද්ධයා නාලිකාවට පැමිණ මාර්තු මාසය පුරාම අටපිරිකර, පූජා ද්‍රව්‍ය, ආලෝක පූජා, ශබ්ද පූජා ආදිය ද පිරිනැමිය හැකිය.

ඒ සඳහා පැන් වැඩීමට අවශ්‍ය භාජනද රැගෙන සුදුවතින් සැරසී මෙම අසිරිමත් මහා පින්කම සියැසින් දැකබලා සතුටු වී පින් අනුමෝදන් වන්නට පැමිණෙන ලෙස සංවිධායක මණ්ඩලය ආරාධනා කරනු ලබයි.