ද්‍රෝණයක් ධාතුන් වහන්සේ මහා සෑයේ තැන්පත් කළේ දුටුගැමුණු
නරේන්ද්‍රයාණෝ ය
පොල්ගහවෙල
මහමෙවුනා
භාවනා අසපුවේ නිර්මාතෘ
කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි
මහකෙළ නා රජු ඇතුළු නාගයෝ රුවන්වැලි මහා සෑය අසළට විත් විලාප තැබූ බව
අප සඳහන් කළ අතර අද එතැන් සිට. . .
නාග විලාපය
සියලු සත්ත්වයන්ගේ කරුණාවෙන් ඔබවහන්සේ බුදු වුණේ. මිනිසුනට පමණක් සෙත
සඳහා පමණද? ඒ සෙත අපට නොමැතිද? පාරමිතා පුරා අමා නිවන අවබෝධ කර දහම්
දෙසුවේ මිනිසුන්ට පමණද? අපට සෙත දෙන්නට නොවේද? සංඝයා වුවත් මිනිසුන්
ගැනම පමණක් සිතයි. ඇයි අප ගැන සංඝයා වහන්සේ නොසිතන්නේ. ධාතුන් වහන්සේ
විසිරුනු පසු දුටු දුටුවන් ඒ ධාතුන් වහන්සේ වන්දනා කිරීම බොහෝ යහපත
පිණිස පවතී. ඇයි අපට ඒ ධාතුන් වහන්සේ දැකීමෙන් ඇස් වලින් විෂ
වැගිරෙන්නේද? සසරෙන් නිදහස් විය යුතේතේ මිනිසුන් පමණද? අපට සසරෙන්
නිදහස් වීමක් නොමැතිද? තථාගතයන් වහන්සේ පාත්‍රය උඩුගම් බලා යවද්දී ඒ
පාත්‍රය වැටුණේ නා ලොවටයි. උන්වහන්සේ දින හතක් සත්සතිය ගත කරද්දී
වැස්සෙන් ආරක්ෂා කළේ නා ලොව අපියි. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්
වූ අවස්ථාවේදී පෙන ගොබ දහසක් මවාගෙන උන්වහන්සේට පී‍්‍රති ගෝෂා කළේ
අනන්ත නම් නාග රාජයා නොවේද? ආදියෙන් නොයෙක් ආකාරයෙන් විලාප තැබුවේය.
නාගයන්ට අනුකම්පා කළ රහතන් වහන්සේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේගෙන්
ස්වල්පයක් ලබාදී වන්දනාමාන කරන ලෙස වදාළ සේක. එයින් සතුටට පත් නාගයෝ
ක්ෂණයෙන් නැවත නා ලොවට ගොස් එහි තිබූ මුතු, මැණික්, රන්, රිදී, ආදිය
ගෙනවිත් මහ සෑයේ ගර්භයේ තැන්පත් කළ බව ද සඳහන් වේ.
ලක් දෙරණ සසුනට පූජා කිරීම
සූසැට අභරණින් සැරසුණු දුටුගැමුණු මහරජාණෝ සත්රුවන් ආසනයේ වැඩසිටි
ද්‍රෝණයක් ධාතුන් වහන්සේ සිරසින් වන්දනා කළ සේක. මෙවැනි අසිරියක්ද විය.
මහා බහ්මයා ස්වේත වර්ණ සේසත් දරයි. සේසත් පෙනුනත් බ්‍රහ්මයා නො පෙනේ.
සක්දෙවිඳුන් සක් හඬ පතුරයි. හඬ ඇසේ. සක්දෙවිඳු නොපෙනේ. සුයාම දෙවියන්
නොපෙනේ. චාමරයෙන් පවන් සැලීම පෙනේ. සංන්තුසිත දෙවියෝ මොනර විජිනයෙන්
පවන් සැලුවත් සැලෙන විජිනිය පෙනේ. දෙවියන් නො පෙනේ. සතරවරම් දෙවියෝ
සතර කොණේ කඩු ගෙන සිටී. දිලිසෙන කඩු පෙනෙන මුත් දෙවියන් නොපෙනේ. දිව්‍ය
බෙර හඬ ඇසේ. දිව්‍ය ගීතිකා රැව්දේ. නමුත් දෙවියෝ නොපෙනේ. මේ අසිරිය
දුටු මහරජාණෝ තමාට හිමි මේ ලක් දෙරණින් ද්‍රෝණයක් ධාතුන් වහන්සෙට පිදු
සේක. මහපොළොව කම්පාවිය. මිහිමඬලට දැනෙන සේ ලක්දෙරණ ගෞතම සසුනට පූජාකළ
හේ අතිශයින්ම සැදැහැයෙන් ඔද වැඩී ගිය හෙළයේ සක්විති රජුය.
බුදු සිරුර පහළවීම
දෙවි, මිනිසුන් මලින් සුවඳින් පහනින් පංචතූර්ය නාදයෙන් සාදු නාදයෙන්
ද්‍රෝණයක් ධාතුන් වහන්සේ පුදද්දී දුුටුගැමුණු මහරජු ස්වර්ණ වූ ඒ ධාතු
කරඬුව තම සිරසින් ගෙන තුන්විටක් රන්මැලි සෑ පැදකුණු කොට නැගෙනහිර
සෑයෙන් සෑ ගැබට ඇතුළු විය. සල්ගස් දෙකක් අතර වූ රිදී යහනේ ධාතුන්
වහන්සේ කරඬුව තබන්නෙමි සිතු සැනෙන් ධාතු කරඬුව අහසට පැන නැඟී ධාතුන්
වහන්සේ කරඬුවෙන් පිටතට වැඩ දෙතිස් පුරුෂ ලක්ෂණයෙන් හෙබි දුටු දුටුවන්ගේ
දුක් දුරුකරවන හිරු සඳු පරදන තේජස් ඇති ෂඩ්වර්ණ රශ්මි දහරාවෙන් හෙඹි
ශ්‍රී බුද්ධ දේහය පහළ විය. ඒ උතුම් අසිරිය දුටු පින්වතාණෝ ගැමුණුනම්
මහරජාණෝ ය.
යමක මහා ප්‍රාතිහාර්යය
භාග්‍යවතුන් වහන්සේටම සාධාරණ වූ අන් අයට අසාධාරණ වූ ඒ යමක මහා
ප්‍රාතිහාර්යය වනාහි වචනයෙන් ප්‍රකාශ කළ හැක්කක් නොවේ. ගිනිදැල් හා දිය
දහරා විහිදුවමින් සිදු කරන ඒ ප්‍රාතිහාර්යය පුදුම සහගතය. ඒ ගිනිදැල් හා
දිය දහරා ස්පර්ෂ නොවන තැනක් පෘතුවියේ නොවීය. ඔබ දැන් සිටගෙන සිටින යම්
භූමියක්වේද එදා යමක මහා ප්‍රාතිහාර්යේ පහස ලැබූ මහා සෑයේ උණුසුම ලැබූ
තැනක්ම ය. ඒ ගිනි දැල් හා ජල දහරා සක්වල කෙළවරටම විහිදී ගියේය.
සැදැහැවත්හු අහස ගිඟුම් දෙන සාදු නාද පැවැත්වූහ. බොහෝ දෙනා
බුද්ධාම්ලම්භන පී‍්‍රතියෙන් උපන්නා වු සමාධි සිත විදසුන් කොට මඟඵල
ලැබූහ. මහරජ පී‍්‍රතියෙන් පිනා ගියේය. ඒ උතුම් ප්‍රාතිහාර්ය දුටු
සිංහලයේ සක්විති රජාණෝ ගාමිණි අභය මහරජුය. ලක් දෙරණම සසුනට පූජාකළ
මහරජුට තවත් පූජා කළ හැකි කිසිවක් නොවීය. නැවත නැවත රාජ්‍යයත්,
ජීවිතයත්, ද්‍රෝණයක් ධාතුන් වහන්සේ විෂයෙහි පූජා කළහ.
ධාතුන් වහන්සේ තැන්පත් වූ ප්‍රාතිහාර්ය
සෘර්ධියෙන් පහළ වූ බුදු සිරුර අතුරුදහන්ව ද්‍රෝණයක් ධාතුන් වහන්සේ
රුවන් කරඬුවෙන් බැස මහ රජාණන් සිරස මුදුනෙහිම පිහිටියේය. අභිෂේකය අභිනව
අපමණ පී‍්‍රති ප්‍රමෝදයට පත් වූ ගැමුණු රජු රිදී යහන සමීපයට ගොස් රන්
කරඬුවක නැවත තබා ඒ තුළ වූ මැණික් කරඬුවෙන් ධාතුන් වහන්සේ නැවත ලබා
ගත්සේක. මෙසේ අධිෂ්ඨාන කළේය. මේ ධාතුන් වහන්සේට කිසිවෙකුට උපද්‍රවයක්
කළ නොහැකි වේ නම්, බොහෝ දෙනාට හිත සුවසලසා පන්දහසක් කල තේජානුභාවය
පතුරුවමින් වැඩ සිටින සේක් වී නම් මේ ගර්භයේ මැද සල් ගස් අතර පිරිනිවන්
වැඩ අපගේ ශාක්‍යය සිංහයන් විලසින් පිහිටාවා. ඒ සිතු ක්ෂණයෙන්ම ඒ උතුම්
ධාතුන් වහන්සේ රිදී යහනට වැඩ උතුරට හිසලා දකුණට පාද යොමා බටහිරට
මුහුණලා නැඟෙනහිරට පිටලා පිරිනිවන් සේයාවෙන් පිහිටියේය. අදටත්
රුවන්වැලි මහාසෑයේ ධාතුන් වහන්සේ වැඩ සිටින්නේ පිරිනිවන් වැඩි මුනිඳුගේ
ප්‍රතිමාවක් ලෙසය. මේ අසිරිය දුටු ගැමුණු මහරජු කොතරම් වාසනාවන්තද? හේ
හෙළයේ සක්විති මහ රජාණෝය.
ඇසළ පෝදා ධාතු නිධන් විය
ඇසළ පොහෝ දින මහා සෑයේ ධාතුන් වහන්සේ නිධන් විය. ඒ ක්ෂණයකින් මහපොළාව
ගිගුරුම් දුණි. පොකුරු වැසි වැස්සේය. සාදු නාදයෙන් ගිගුම් දුණි.
දුටුගැමුණු මහරජාණෝ තම හිසට සෙත පිණිස යෙදු රන්මය ඡත්‍රයද ලංකා
රාජ්‍යයද, තමාගේ සියලු ආභරණද ධාතුන් වහන්සේට පිදුසේක. තවත් බොහෝ ප්‍රභූ
ජනයා රන්, රිදී, මුතු, මැණික් ආදීන් පුදා දාගැබ වැසීය. රත්නමාලි මහා සෑ
ගර්භයේ ඇති රන්, රිදි, මුතු, මැණික් සත් රුවන්වල වටිනාකම අදටත් මැනිය
නොහැක. ඒ සා අනර්ඝ ප්‍රමාණ කළ නොහැකි වූ ධාතු උපහාරක් කළ සක්විති
නරේන්ද්‍ර ගැමුණු මහරජාණෝ ය.
ධාතු ගර්භය දවස් හතක් විවෘත විය
රැස්්ව සිටි මහරහතන් වහන්සේ අනුහය කෙලක් විය. ඒ සියලු රහතන් වහන්සේට
දවස් හතක් මහා දන් පැවැත්වූ අතර රාත්‍රි පහන් වනතුරු රහතන් වහන්සේ සෑ
ගර්භයේ පිරිත් සජ්ඣායනා කෙරිණ. රුවන්මැලි සෑ ගර්භයේ අදටත් එම දෝංකාරය
තිබේ. රහතුන්ගේත්, ධාතුන් වහන්සේගේත්, දෙවිවරුන්ගේත් සෘර්ධි
ප්‍රාතිහාර්ය සියැසින් දුටු ඒ ගැමුණු නරේන්ද්‍රයා සාමාන්‍ය කෙනෙකුද?
නැත. ඔහු හෙළ දිවයිනේ සක්විති මහරජාණෝ ය. වැලි මළුවේ මෙතෙක් සඟවා තිබූ
දා ගැබේ පියන මේඝ වර්ණ පාෂාණ තැටිය රහත් සාමණේරයන් විසින් ගන්නා ලදී.
එයින් ධාතු ගර්භය වැසීය. රහතන් වහන්සේ මෙසේ අධිෂ්ඨාන කළහ. ගැමුණු මහරජු
ධා ගර්භයේ ගැල්වූ සුවඳ පන්දහසක් අවුරුදු එලෙසම සුවඳ හමමින් තිබේවා.
තෙත් සුවඳ සුණු නො විලේවා. පිදූ මල් පර නොවේවා. දැල්වෙන පහන් නො
නිමේවා. කිසිම පූජා භාණ්ඩයක් සෙලවිය නොහැකි වේවා. දා කුස කිසිම සිදුරක්
නොමැතිව එකට පෑහේවා. සතුරෙකුට දා ගැබ නොව පාෂාන්න බිත්තියක්වත් දකින්නට
නො ලැබේවා. මෙසේ අධිෂ්ඨාන කොට ධා ගර්භය වැසීය. ඒ අධිෂ්ඨාන අදටත් එසේමය.
තවත් සර්වඥ ධාතුන් වෙනම තැන්පත් කළා
ගැමුණු මහරජතුමා ප්‍රධාන රහතුන් වහන්සේ ධාතු ගර්භය එසේ වසා මිනිසුන්ටත්
තම තමන් වන්දනා කරන ධාතුන් වහන්සේ සෑයේ තැන්පත් කිරීමට අවස්ථාව දුණි. ඒ
අනුව ද්‍රෝණයක් ධාතුන් වහන්සේට අමතරව තවත් ධාතූන් වහන්සේ දහස් නමක් දා
ගැබ මතුපිට තැන්පත් වී තිබේ.
ඒ අනුව මහා සෑයේ ඉතිරි වැඩ එතැන් සිට ආරම්භ විය. එදාමෙදා තුර මහා සෑයට
කළ වන්දනා පුෂ්පෝහාර සුවඳ හා අනේක ප්‍රකාර පින්කම්වල ගණනක් නම් නැත.
තුන්ලොව මහා ස්තුපය කළ සක්විති ගැමුණු නරේන්ද්‍රයා කෙතරම්
පුණ්‍යවන්තයෙක් වේද?
අබ ඇටක් පමණ වූ ඒ සර්වඥයන් වහන්සේගේ ධාතුන් වහන්සේ නමක් වුවද යම්
කෙනෙක් වන්දනා කරත්ද, පූජා කරත්ද, ඒ චිත්ත ප්‍රසාදයෙහි කුසල විපාකය
ජිවමාන සර්වඥයන්ට කරන පුජාවක් හා සමාන විපාක සැළසෙන්නේය. ද්‍රෝණයක්
ධාතුන් වහන්සේ වැඩ සිටින රත්නමාලි මහා ස්තුපයට නමස්කාර වේවා.
- නයනා නිල්මිණි
|