Print this Article


ශාසනික කතිකාවත හා කතිකාවත් පුරාණය

ශාසනික කතිකාවත හා කතිකාවත් පුරාණය

බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසුව සිදු කළ පළමු සංගීතිය ද විසිර තිබුණු ධර්ම කොට්ඨාස එක්තැන් කිරීමටත් පවත්වාගෙන යාම සඳහාත් සැලැස්මක් සැකසීමත් එතෙක් පැවැතුණු විනය නීති රීති ආරක්ෂා කරගෙන පවත්වාගෙන යාමටත් ගනු ලැබූ තීන්දුවක් බව පැහැදිලිය.

භික්ෂුව හා භික්ෂු ජීවිතයේ යථාර්ථවත් බව පසක් කරනු වස් චර්යාත්මක පැවැත්ම විධිමත් කරලීම අරභයා බුදුරදුන් විසින් කළ දේශනය විනය නමින් හැඳින් වේ.

සංස්ථාවක් ලෙසින් සංවිධානාත්මකව විවිධ මත හා ගැටෙමින් ඉදිරියට ආ භික්ෂු සංස්ථාවේ චිර පැවැත්ම විනයට අනුකූල කාලීන පිළිවෙත් සැකසීම උදෙසා විවිධ සම්මුතීන්, කතිකා සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු ඉන්දියානු භික්ෂු සමාජය තුළ මෙන්ම ශ්‍රී ලාංකේය භික්ෂු සංස්ථාව තුළත් වරින් වර සකස් කර ගනු ලැබිණ. එහිදී විහාර පරිපාලනය කේන්ද්‍ර කර ගනිමින් ඇති කර ගනු ලැබූ ව්‍යවස්ථා මාලාවක් මෙන්ම භික්ෂුවගේ චර්යාත්මක පැවැත්ම උදෙසා වරින් වර සම්මුතීන් හා තීරණයන් ගනු ලැබූ බව ඓතිහාසිකව විමර්ශනය කරන විට පෙනී යන කරුණකි. මෙහිදී මෙම චර්යාත්මක හැඩ තලය විධිමත් කරලීමත්, ක්‍රියාත්මක කරලීමත්, අධීක්ෂණය කරලීමත් සඳහා භික්ෂු අනුමැතියෙන් රාජ්‍ය අනුග්‍රහයන් ලබා ගනිමින් භික්ෂු සංස්ථාවේ මූලික අපේක්ෂාවන් ගිලිහී යාමට ඇති අවකාශය අවමකර ගැනීම උදෙසා ගනු ලැබූ තීන්දු තීරණ හා ව්‍යවස්ථාවන් ව්‍යවහාරිතය තුළ සඳහන් කරනුයේ කතිකාවන් යන වචනය පදනම් කර ගනිමිනි.

දෙදෙනෙකු හෝ ඊට වැඩි පිරිසක් එකතුව කරනු ලබන සාකච්ඡාව හා එමඟින් එළඹෙන තීන්දු තීරණය ‘කතිකා’ නමින් හඳුන්වනු ලබයි. පාලි ශබ්දකෝෂය තුළ මේ පදයට ලබාදෙන අර්ථය වන්නේ ‘ව්‍යවස්ථාව‘, ‘පනත’ යන්නයි. නමුත් මෙබඳු තීරණ ත්‍රිපිටකය තුළ සඳහන්ව ඇත්තේ සම්මුති යන වචනයට සාපේක්ෂවයි. ත්‍රිපිටකගත පාඨ විමර්ශනය කරන විට ‘කතිකා’ යන ශබ්දය සම්මුතිය, සාකච්ඡාව, ගිවිසුම, තීරණය යන අරුත් කරලීම උදෙසා යොදා ඇති බවක් දැකගත හැකි වේ. නමුත් ත්‍රිපිටකයේ සමස්තය ගත් විට මේ සෑම වචනයකින්ම මතු කරන්නේ සම්මුතිය යන්නයි. කතිකාව නැතහොත් ‘කතිකාවත’ යන වචනය නිරන්තරයෙන්ම මෙම සම්මුතිය ක්‍රියාත්මක කරවීමේ දී භාවිතව ඇති වචනයකි. මෙහි පාලි ‘වත්ත’ යනුවෙන් හඳුන්වනු ලබන්නේ පිළිවෙතකි. නැතහොත් අනුගමනය කළයුතු චර්යාත්මක පදනමකි. නිදසුන් හැටියට උපෝසථාඝරවත, විහාරවත, ආචරියවත යන්න දැක්විය හැකිය. එහිදී උපෝසථාඝාරයක් තුළ සිදු කෙරෙන චර්යාත්මක පිළිවෙත උපෝසථාඝරවත ලෙසින් හැඳින් වේ. විහාරයක් තුළ හැසිරිය යුතු, කළ යුතු චර්යාත්මක ක්‍රියාවලිය විහාරවත නමිනුත්, ආචාර්යවරයා වෙනුවෙන් ඉටු කළ යුතු ක්‍රියා පිළිවෙත ආචාරියවත යනුවෙනුත් හඳුන්වා තිබේ. නමුත් ‘කතිකා’ යන වචනයට වත්ත යන වචනය එක් කොට ‘කතිකාවත’ යන පදය සැකසීමෙන් අනතුරුව ඉන් මතු කරන්නේ පුළුල් අර්ථයක් බව පැහැදිලිය. එනම් සම්මුතියෙන් හෝ තීරණයෙන් එළඹුණු තීන්දු තීරණ ක්‍රියාවට නැංවීම නැතහොත් එම ක්‍රියාවනට අනුකූලව හැසිරීම සකස්කර ගැනීම යන අදහසක් එහි පුළුල් අර්ථය තුළට ඇතුළත්ව ඇති බව පෙනේ.

ධම්පිය අටුවා ගැටපදයෙහි කතිකා ශබ්දයට දෙන අර්ථය වන්නේ සම්මුති සහ ව්‍යවස්ථාව යන අර්ථයයි. (කතිකා වියවැති) සිකවළඳවිනිසෙහි සම්මුති යන අරුතක් ගැබ් කර තිබේ. නමුත් අනුරාධපුර යුගයට අයත් වීරාංකුරාරාම සෙල් ලිපියේත්, කළුදිය පොකුණ සෙල්ලිපියේත් ‘කතිකා’ යන්න ව්‍යවස්ථා යන අර්ථයෙන් භාවිත වී ඇති බවක් පෙනේ. විමතිවිනෝදනියට අනුව කතිකාවත්ත යනු ‘සැමදා මෙලෙස පවතිනු’ යනුවෙන් ඇති කරගනු ලබන සම්මුති අර්ථයක් එමඟින් ඉස්මතු කරන බව පැහැදිලිය. ‘කතිකා’ යන වචනයට අරුත් කිහිපයක්ම ලබා දී තිබේ. සමූහයක් එක්ව ඇතිකර ගනු ලබන තීරණය යන්නත්, සමූහකයගේ සම්මතයෙන් කර ගනු ලබන නම නියම කිරීම් ආදියත් ‘කතිකා’ යන්නෙන් මතු කරන බව සඳහන් වේ. ශ්‍රීමත් ඩී.බී. ජයතිලක මහතා මෙසේ කතිකාවත් ගැන සඳහන් කරයි. එනම් ‘ශාසනානශාසක මහා ස්ථවිරයෝ ශ්‍රද්ධාවන්ත රාජ රාජ මහා මාත්‍යාදීන්ගේ සහායත්වායෙන් ඒ පිරිහීම් වළක්වා දුෂ්ප්‍රතිපත්ති පහ කොට ධර්මය හා විනය යථාස්ථානයට පමුණුවා ශාසනය ප්‍රකෘතිමත් කොට වර්ධනය කළහ. එබඳු ශාසන ශුද්ධියක් ඇති වූ බොහෝ වාරවල මතු කාලයෙහි ප්‍රමාද විහාරීන්ට අවකාශ නොලබනු සඳහා මහා සංඝයාවහන්සේ විසින් කලානුරූප ධර්ම විනයානුකූල වූ ව්‍යවස්ථා ද පනවන ලදී. එසේ සංඝ සම්මත වූ ව්‍යවස්ථා කතිකාවත් නාමයෙන් ව්‍යවහාර ප්‍රාප්තවීය’ යන්නයි. කතිකාවත් යනු සංඝ සමාජයේ කටයුතු පාලනය කිරීම සඳහා පිළියෙල කරන ලද ආගමික ප්‍රඥප්ති මාලාවක් ලෙසින් ද ඇතැම්හු අර්ථ ගන්වති. දැනට ඇති කතිකාවත් අංශ දෙකක් යටතේ වර්ගීකරණය කළ හැකි ය. එනම් විහාර කතිකාවත් හා ශාසනික කතිකාවත් වශයෙනි. විහාර පරිපාලනය කේන්ද්‍රකරගත් සම්මුතීන් විහාර කතිකාවත් ගණයේ සැලකෙන අතර භික්ෂුව හා භික්ෂුවගේ චර්යාත්මක පැවැත්ම කේන්ද්‍රකරගත් සම්මුතී සමූහය ශාසනික කතිකාවත් ලෙසින් හැඳින්වේ.

බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසුව සිදු කළ පළමු සංගීතිය ද විසිර තිබුණු ධර්ම කොට්ඨාස එක්තැන් කිරීමටත් පවත්වාගෙන යාම සඳහාත් සැලැස්මක් සැකසීමත් එතෙක් පැවැතුණු විනය නීති රීති ආරක්ෂා කරගෙන පවත්වාගෙන යාමටත් ගනු ලැබූ තීන්දුවක් බව පැහැදිලිය. සසුන තුළ මතු වූ යම් දුෂ්ප්‍රතිපත්ති සහ විනයට අනුකූල නොවන භික්ෂූන් විසින් තම අවශ්‍යතා මත සකස්කර ගනු ලැබූ ඇතැම් තීන්දු තීරණයන් හා චර්යාවන් ඉවත් කරලීමට මෙන්ම භික්ෂු සම්මුතීන් විනයට අනුකූලව සකස් කිරීම හා පවත්වාගෙන යාමට ගනු ලැබූ තීන්දු තීරණයන් දෙවන හා තෙවන සංගීතීන් තුළින් ද ඉටු වූ බව පැහැදිලිය. ශ්‍රී ලංකාවට බුදු දහම හඳුන්වාදීමෙන් පසු විනය හා විනය පිළිබඳ භික්ෂුව දැනුවත් කිරීමෙන්ම ඊට භික්ෂූන් අනුගත කිරීමේ එක් පිළිවෙතක් ලෙසින් අරිට්ඨ හිමියන් විසින් භික්ෂූන් හමුවේ ථූපාරාමයෙහිදී දේශනා කරනු ලැබීය. ඉන් අනතුරුව ශ්‍රී ලාංකේය ශාසන ඉතිහාසය තුළ සංඝ සම්මුතියක් මඟින් ඇතිකර ගනු ලැබූ ප්‍රථම කතිකාවත ලෙස සඳහන් කළ හැක්කේ පස්වැනි කාශ්‍යප (ක්‍රි.ව. 914 – 923 ) රජුගේ පේළි පනස් තුනකින් යුතුව ලියා ඇති අනුරාධපුර කතිකාවත සඳහන් කළ හැකිය. අභයගිරි විහාරයෙහි කපාරා මූලයට ශිලාමේඝ පබ්බත නම් විහාරයක් කරවා එහි භික්ෂූන් පදිංචි කොට එහි ආවාසයේ ක්‍රියා පිළිවෙත පිළිබඳ ව්‍යවස්ථාවක් මේ ලිපියේ අන්තර්ගත වේ. මෙම ලිපියෙහි විහාර සම්බන්ධිතවත් විහාරය හා සම්බන්ධ වන නිලධාරීන් ගැනත් භික්ෂූන් සමඟ කරනු ලබන ගනුදෙනු පිළිබඳවත් තොරතුරු ඇතුළත් වේ. මෙහි තිස් අටවන පේළියේ සිට භික්ෂූන් වහන්සේගේ පැවැත්ම උදෙසා ගනු ලැබූ තීන්දු තීරණ රැසක් අන්තර්ගත වේ. එමෙන්ම මෙම විහාරයේ විසිය යුත්තේ කවර ගුණාංගවලින් හෙබි භික්ෂූන් ද යන්න පිළිබඳවත් සඳහන් වේ. ඉන් අනතුරුව ලියවෙන වෙස්සගිරිය වීරංකුරාරාම පුවරු ලිපිය, උදාමහයාගේ පුලියංකුලම ලිපිය, කළුදිය පොකුණ ලිපිය, හතරවන මිහිඳු රජුගේ දෙවන අභයගිරි පුවරු ලිපිය, හතරවන මිහිඳු රජුගේ දෙවන වෙස්සගිරි ලිපිය, මිහින්තලා පුවරු ලිපිය, අභයගිරි සංස්කෘත ලිපිය, හයවන පරාක්‍රමබාහු රජුගේ පැපිලියානේ ලිපිය ආදී ලිපි විහාර කතිකාවත් ඇතුළත් ලිපි හැටියට සඳහන් වනු ලැබේ. නමුත් අන්තර්ගතවීම හරහා ආරාම පාලනයේ පැවතුණු සුවිශේෂිත බව කුමක් ද යන්න ඉතාම පැහැදිලිය. එමෙන්ම සෘජුවම භික්ෂුව කේන්ද්‍ර කරගෙන ‘ප්‍රමාද විහාරී’ භික්ෂූන්ට අවකාශ නොතබනු පිණිසත් ප්‍රතිපත්තියේ දියුණුව සඳහා සම්බුද්ධ ශාසනය යථාස්ථානයට පත් කරලීම අරමුණු කරගෙන සිදු කරනු ලැබූ සංඝ සම්මුතීන් භික්ෂු කතිකාවත් හැටියට පොළොන්නරු පළමුවැනි පරාක්‍රමබාහු රජුගේ සිට මහනුවර යුගයේ රාජාධි රාජසිංහ රජු දක්වා භික්ෂු කතිකාවත් හයක් කලින් කලට එළි දක්වා තිබේ. එනම් පළමුවැනි ලිපිය වන පොළොන්නරු කතිකාවත පළමුවැනි පරාක්‍රමබාහු රජු විසින් පිහිට වනු ලබන්නේ එවකට පැවතුණු තුන් නිකායන් එක්කොට උදුම්බර නිවැසි මහා කාශ්‍යප මා හිමියන් වහන්සේ ප්‍රමුඛ භික්ෂූන්ගේ උපදෙස් මත ‘පාප භික්ෂු නිර්මතනය කොට දුර්ලබ්ධින් මැඬ ශාසන මල විශෝධනය පිණිස’ මෙම කතිකාවත පිහිට වූ බව එහි සඳහන් කෙරේ. නිශ්ශංකමල්ල රජු ද මෙලෙසින් ශාසන කතිකාවක් සඳහා සිය දායකත්වය සැපයූ බව හැටදාගෙයි පුවරු ලිපියෙන් අනාවරණය වෙයි.

තෙවැනි විජයබාහු රජු දවස ද ශාසන ශුද්ධිය පිණිස ශාසන කතිකාවතක් සකස් කළ බව නිකාය සංග්‍රහයේ සඳහන් වේ. නමුත් ප්‍රකට දඹදෙණි කතිකාවත දෙවැනි පරාක්‍රමබාහු රජුගේ අනුග්‍රහය මත දිඹුලාගල මේධංකර මාහිමියන්ගේ මූලිකත්වයෙන් සසුන තුළ අප්‍රතිප්‍රතිපත්ති දුෂ්ප්‍රතිපත්ති නැති කොට සඟ සසුන යථාවත් කරලීමට ව්‍යවස්ථා සියයකට වැඩි ප්‍රමාණයක් එක්තැන් කරමින් සකසා තිබේ. ඉන් අනතුරුව හයවන පරාක්‍රමබාහු කතිකාවත, කීර්ති ශ්‍රී රාජසිංහ කතිකාවත හරහා ද ඒ අතර කාලය තුළ අමරගිරි වැසි වනරතන ධර්ම කීර්ති පරපුරේ සඟ රාජ හිමිවරුන් ගම්පොළ යුගයේදී මෙන්ම කෝට්ටේ යුගයේදී ද සංඝ ශෝධනයන් කළ බව නිකාය සංග්‍රහය සඳහන් කරයි. සංශෝධනයන් හරහාද පෙන්නුම් කරන්නේ පැවතුණු කතිකාවත් බල ගැන්වීමක් වන අතරම සසුන තුළ මතුවෙමින් පැවතෙන දුෂ්ප්‍රතිපත්ති අවම කරලීමෙන් නැවත සසුන යථාවත් කිරීමයි. මහනුවර සමය වන විට වැලිවිට සරණංකර සඟරාජයාණන් වහන්සේගේ උපදේශය මත කීර්ති ශ්‍රී රාජසිංහ රජු කළ කීර්ති ශ්‍රී රාජසිංහ කතිකාවත හරහා තම අදහස් රැසක් සඟ සසුනේ පැවැත්මට එකතු කරන්නට උත්සාහ කර තිබෙන බවත් පෙනෙන්නට තිබේ. රාජසිංහ කතිකාවත ද නැවත භික්ෂූන් අතර මතුවෙමින් ආ අප්‍රතිපත්ති දුෂ්ප්‍රතිපත්ති ඉවත් කරමින් ශාසනය යථාවත් කරලීමට ගනු ලැබූ විශේෂිත ප්‍රයත්නයක් ලෙසින් සඳහන් කළ හැකි ය. ඉන් අනතුරු කාලය තුළ මල්වතු අස්ගිරි උභය විහාරය විසින් මෙන්ම රාමඤ්ඤ හා අමරපුර නිකාය වෙනුවෙන් ද එම නිකායට අනුකූල වන කතිකාවන් සම්පාදනය වීමක් දැකගත හැකිය. මේ අනුව බලනවිට නූතනය දක්වා සඟ සසුනේ පැවැත්ම හා භික්ෂුවගේ චර්යාත්මක යහපැවැත්ම වෙනුවෙන් කතිකාවත් නිර්මාණය වූ බව පෙනෙන්නට තිබෙන කරුණකි.

නූතනය වන විටද කතිකාවත් පිළිබඳව සාකච්ඡාව නැවත ඉදිරියට පැමිණෙමින් තිබෙන අතරම මහත් වාද විවාදවලට තුඩුදුන් කරුණක්ව පවතියි. කතිකාවත් සෑම විටම භික්ෂුවගේ උපදේශය මත සැකසෙන අතර රාජ්‍ය හා නෛතික බලය ලබාදීම රාජ්‍ය මැදිහත් වීමෙන් අතීතයේ සිට සිදුව තිබේ. එබඳු අවස්ථාවන්වලදී රාජ්‍ය පාර්ශවයෙන් ලබාදෙන ආවරණයත් කතිකාවත්වලින් ඇති කෙරෙන සවිබල ගැන්වීමත් නිසා සෑම විටකම භික්ෂු සංස්ථාව තුළ පවතින දුෂ්ප්‍රතිපත්ති ඉවත්කරලීමට හෝ දුෂ්ප්‍රතිපත්ති හා බැඳෙන පිරිස් සසුනෙන් ඉවත් කරලීමට අවකාශ සැලසෙනවා පමණක් නොව ධර්මධර විනයධර භික්ෂු පරපුරක් නිර්මාණයටත්, බෞද්ධ ප්‍රජාවගේ අභිලාෂයන් මනාව ඉටුකරලමින් සම්බුද්ධ ශාසනයෙහි චිර පැවැත්ම සනිටුහන් කරලීමටත් මහෝපකාරී වන බව පැහැදිලිය. නූතනයේ සංකීර්ණ සමාජයක වෙසෙන භික්ෂුවගේ යහපැවැත්ම වෙනුවෙන් භික්ෂු කතිකාවත් එළි දැක්වීමට මෙන්ම රාජ්‍ය මැදිහත්වීම හරහා නෛතිකමය බලයක් සහිත කතිකාවතක් සැකසීම කාලීන අවශ්‍යතාවයක් වනවා පමණක් නොව එය සසුනේ චිර පැවැත්මට ද අතිශයින්ම හේතු කාරකයක් වන බව කිව යුතු ය.