නවම් පුර අටවක පෝදා දම් දෙසුම:
සපල නොවූ අදහස් ඇතිව මියයාම
බලංගොඩ දම්වැල්ඕඩය
වළවේ ශ්‍රී දේවරක්ඛිතාරාම රජමහා විහාරයේ
ශාස්ත්‍රපති
වැලිපත පඤ්ඤානන්ද හිමි
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
තං පුත්තපසුසම්මත්තං
ඛ්‍යාසත්තමනසං නරං
සුත්තං ගාමං මහෝඝෝව
මච්චු ආදාය ගච්ඡති
පින්වත්නි
අද ධර්ම දේශනාව වශයෙන් මා තෝරාගත්තේ ධම්මපදයෙහි මග්ග වග්ගයට අයත් පහළොස් වන ගාථා
රත්නයයි. බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාම විහාරයේ වැඩ සිටි දවසක එක් තරුණ
අම්මා කෙනෙක් මියගිය දරුවා වඩාගෙන වාවාගත නොහැකිව පැමිණෙයි. මෙම මවගේ මානසික
අක්‍රමිකතාව දුරුකිරීමට මනසට වෙනත් ප්‍රබල අරමුණක් ලබාදී ඒ ඔස්සේ මනස සෙවීමට
ප්‍රායෝගික ක්‍රියාකාරකමක් කරවා, අත්දැකීම් තුළින් ඉගැන්වූ වැදගත් පාඩමක් ඉහත ගාථාව
දේශනා තුළින් පෙනේ.
සැවැත්නුවර ධනවත් සිටුපවුලක සිටි ‘ගෝතමි’ තරුණ වියේදී දෙමාපියන් විසින් සරණ බන්ධනයට
යවන ලදී. සිහින් සිරුරක් ඇති ඇයට දෙමාපියන් හුරතලයට අමතනුයේ ‘කිසාගෝතමී’
කියාය.කාලයාගේ ඇවෑමෙන් ඇයට පුත්රුවනක් ලැබුණි. බඩගගා, දණගගා වැටි වැටී නැඟිටින
අවධියේ පුතා මැරුණේය. මරණය ගැන තේරුමක් නැති කිසාගෝතමී සෝකයෙන් අඬමින් මඟතොටේ
දුවැවිද්දත් ඇය සැනසීමට කිසිවෙක් නොවුණි.
“මගේ පුතාට බෙහෙතක් කළ හැකි කෙනෙක් හොයාදෙන්න’ . මගේ පුතා සුවපත් කර දෙන්න” යැයි
කියමින් උමතු වූ කිසා ගෝතමියට බුදුරදුන් පිළිබඳ තොරතුරු දන්නා අයෙක් “ඔබේ පුතු
සුවපත් කිරීමට බෙහෙත් දන්නා කෙනෙක්, දෙව්රම් විහාරයේ ඇත. ඒ භාග්‍යවත් බුදුරජාණන්
වහන්සේ වැඩ සිටින විහාරයට යන්න” යැයි පැවැසූහ.
බුදුරදුන් සොයා කිසාගෝතමී දෙව්රම් විහාරයට යයි. මගේ පුතුට බෙහෙතක් දෙන්න. කියමින්
ගෝතමිය තම පුතු බුදුරදුන් වැඩ සිටි තැන පාපුටුවේ තබයි. මෙම මව දරු සොවින් ශෝකයට
පත්වී ඇති අයුරු බුදුරදුන් දකියි. ඇයට ගැඹුරු බණක් කියනවාට වඩා අත්දැකීම් තුළින්
මරණ ධර්මය තේරුම් ගැනීමට ප්‍රායෝගික ක්‍රියාකාරකමක යෙදවූහ.
‘ගෝතමියනි, ඔබේ පුතු සුවපත් කළ හැකිය” මේ වචන ඇසෙත්ම ඇයට මහත් අස්වැසිල්ලක් ඇති
විය. ‘බෙහෙත් සැකසීමට අබ මිටක් ගෙනෙන්න” අබ සෙවීම ලෙහෙසියෙන් කළ හැක්කේය. හැම
නිවසකම අබ බහුලව ඇත. ඇය අබ ගෙන ඒමට ගෙදරකට යාමට පිටව යයි. ‘ගෝතමිය අබ සොයා ගත
යුත්තේ නොමළ ගෙයකිනි’ එය ගැටලුවක් කර නොගත් කිසාගෝතමී ගෙන් ගෙට ගොස් අබ ඉල්ලයි. හැම
ගෙදරකින්ම අබ දීමට සූදානම් වූවත් නොමළ ගෙදරකින් අබ සෙවීමට නොහැකි විය. තම පුතුගේ මළ
සිරුරත් කර පින්නාගෙන ගෙයක් පාසාම යන ගෝතමියට මිනිසුන් දෙන වචන අනුව ඇයට වැටහුනේ
ජීවත් වන අයට වඩා මැරුණු අය වැඩි බවයි. ලෝක ස්වභාවය වැටහුණි. මල සිරුර සොහොනට
විසිකර පිරිසුදු වී විහාරයට ගිය කිසාගෝතමී බුදුන් වඳියි. යහපත් මානසිකත්වයෙන්
ප්‍රකෘති සිහියෙන් ජීවිත අත්දැකීමෙන් සිටි කිසාගෝතමිය අමතා බුදුරදුන් ධර්ම දේශනා
කළහ.
”දරුවන් හා ගෙරිහරක් යන මොවුන් නිසා විශේෂයෙන් මත්වූ පංචකාම සම්පත්තියේ ඇලුනු අය මහ
ගංවතුරකින් නිදාසිටි ගම්වැසියන් මුහුදට ගෙන යන්නාක් මෙන් ‘මච්චු ආදාය ගච්ඡති’ මරුවා
පැහැරගෙන යන්නේය’ යනුවෙන් ඉහත සඳහන් ගාථාව දේශනා කළහ. දේශනාව අවසානයේ කිසාගෝතමී
උතුම් සෝවාන් ඵලයට පත්වූවාය. මෙම ගාථා ධර්මය තුළින් සමාජයට දෙන ආදර්ශය උපදේශය ඉතා
අගනේය. අසීමිත ආශාවෙන් අතෘප්ති කරව ජීවත්වන මිනිසාගේ ආධ්‍යාත්මය සංවර කරගත යුතුය.
“පුත්තා වත්ථු මනුස්සානං’ මිනිසුන්ට දූ දරුවන් මහා සම්පතකි. දූ දරුවන් හා හරකබාන
ඇති අය තමන්ට සියලු සම්පත් ලැබුණේ යැයි සිතා සතුටුවෙති. ඉන්දියාවේ සිටුවරු සතුව
හරක් පන්සියය හත්සියය සිටි බව පෙළෙහි සඳහන්ය. පස්ගෝරස තුළින් විශාල ධනයක් එමඟින්
ලැබුණි. අඥානවන්තයා මේ වස්තු දෙස බලා සතුටු වෙති. මේවා පිළිබඳ මත්වෙයි.
මාගේ දරුවන් මේ අයුරින් උසස්ය. බලවත්ය. සමර්ථය. එමෙන්ම ගව, මහිස, රන්, රිදී ,මුතු ,
මැණික් ආදි සම්පත් ඇත. මේ ගැන සිත සිතා සතුටු වෙමින් පමණක් කාලය ගත කරන්නෝ ඇත.
“ඛ්‍යාසත්ත මනසං නරං’ පස්කම් සැපතින් ඇලලී ගිය සිත ප්‍රමාදයට පත්වෙයි. ප්‍රමාදය සසර
දිග් කිරීමට හේතුවන්නේය.
වස්තුකාම ක්ලේෂකාම යන දෙක කවදත් ලොව තුළ පවතී. මේ දෙකෙන් පිටස්තර දෙයක් නැත. මේ දෙක
පාලනය කරගන්නා ලෙස බුදුරදුන් වදාළහ. තමන්ගේ යැයි කිසිවක් ලොව තුළ නැත. තම තමන් සතු
ථාවර ,ජංගම ආදි චංචල නිශ්චල දේ පමණක් නොව තම ශරීරය පවා අකමැත්තෙන් නමුත් දමායන්නට
වෙන බව “සබ්බං පහාය ගමනීයං’ යන්නෙන් පෙන්වා දෙයි. දැඩිව අල්ලා ගැනීම උපාදානය
හේතුකොට සත්වයා සසර අතරමං වෙයි. කෙලෙස් ධර්මයන් සිත තුළ රජයනතාක් සිතේ තෘප්තිය මඟ
නොහැරේ. “ඌනෝ ලොකෝ අතිත්ථෝ තණ්හා දාසො” තණ්හාවට වහල්වී කටයුතු කරන අය අතෘප්ති කරව
ජීවත්වී මියයයි. සසර සැනසීමක් නොලබයි. ලැබු උසස් වූ මනුෂ්‍ය ජීවිතය යහපත්ව ගතකොට
ස්වයං බුද්ධියෙන් කරණු වටහාගෙන තම තමා විසින් කෙලෙස් ධර්ම පාලනය කර ගත යුතුය.
මෙලොවත් පරලොවත් ශාන්තිය උදාකරගෙන සසර දුකින් මිදී උතුම් නිවන් සුව ලබා සැනසේවා.
ඔබ සැමට තෙරුවන් සරණයි . |