අමා
දම් ගඟ
සම්බුදු දහම ශ්‍රවණය කරන්නට
ශ්‍රද්ධා සම්පන්න කරුණාබර සිතට
සිත යොමු වෙනව පෙර පින් කළ අයට
ලැබෙනවා සදාකල් ඉන් තිසරණ පිහිට
හැමදාමත් අපි බුදු බණ අසන විට
අමා දහම් ගඟ ගලනව හදවතට
එතුළින් රැඳෙනවා හදවතෙහි සතුට
බුදු බණ පිහිට වුණෙමි මේ ලොව සැමට
කුස ගිනි පිරෙනව ධම්පද ඇසෙන විට
නිදිමත නැති වෙනව බුදු ගුණ අසන විට
අහන එකත් බණ අයිති කුසලයට
බුදු මග යමු සැවොම නොවී නිවට
කෙලෙස් ගිනි තුනයි තියෙන්නේ සිතට
පුළුවනි එය දහමෙන් නැති කරන්නට
තුන් සිත පහදවා ගත්තොත් සොඳට
ලැබෙනව නිවන් සත්තයි අපි සැමට
දෙව් ලොවටත් ඇසෙනව බණ කියන විට
අප්සරා වෝ මල් පුදනව බුදු හිමිට
සාධු කාර දෙවිවරු දෙනවා රසට
ධර්මය දෙසුවෙ බුදුහිමි මේ තුන්ලොවට
වයි.ඩී. පියදාස -
හඳපානාගල -
අභිගමනය
සතර – පෙර නිමිති දැක කළකිරුණු සිත
නිතර වද දෙන්න සිදුවිය පපුව මත
එතර – කරන්නට සසරින් සියලු සත
අතැර ගියා රජ සම්පත් වනය වෙත
ඇසළ සඳඑළිය සිරි යහනට හැලිලා
සසල – කරයි සිත පුත නිදියනු දැකලා
නිසල – මේ රැයේ ඒ කිසිවක් ගොතලා
විසල මහා මැදුරින් නික්මිය එකලා
පණමෙන් ළඟ සිටිය චන්නව ඇමතියට
අණ කරවමින් නැග කන්ථක අසුගෙ පිට
යන මේ ගමනෙ සෙත සවුලෝ සතට හෙට
ඉටු කර දීම අරමුණ මේ පළමු කොට
පැළ කළ – සියලු අරමුණු ඵල දරන්නට
මිල කළ නොහැකි මෙහෙයක් විය ඔබෙන් මට
කොළහල නොකර ආපසු ගොස් අසුන් පිට
සැලකර සිටිනු මෙපුවත පිය රජුන් හට
දුකට මුල පුරන සසරෙහි ගැඹූර මැන
අපට කියා දුන් මාවත එතෙර වන
සිතට නොගෙන තාමත් ඒ ගැඹුරු බණ
කුමට අයාලේ යන්නෙද නුහුරු දන
නන්දසේන වලේබොඩ බලංගොඩ
දයාබර මෑණියෙනි
සමාධියකට සම වැදුනත් කලක සිට
නිමාවක් තාම නොලැබුම කරණකොට
පමාවක් නොමැති බව වැටහුණා මට
නමා සිරස මෙදහම ගතිමි ගරු කොට
දැන ගෙන නීවරණ හා ගමන ඇරඹුණ
වෙර ගෙන සිතට තිර අදිටනක බැසගෙන
මුව අභිමුවෙහි හරිහැටි සිත තබාගෙන
විමසමු එතැන් සිට හමුවෙනා අරමුණ
අරමුණ හුස්ම පොද එය මුල් තැනේය
නොනැවත පෙරට තම පියවර තැබේය
පළවැනි දෙවැනි තුන්වැනි දැහැන් යන මගේය
සිව්වෙනි ධ්‍යානය මැදිහත් බවේය
ඉන්නව තියෙනවා යන අදහස බොරුය
මෙය දක්නාතුරු නිවනට අවහිරය
කොටස් කර බලමු සිරුරක ඇති හරිය
සිව්ධාතුවෙන් බෙදූවිට කිසිවක් නැතිය
පස් ඉඳුරන් කෙරෙහි ඔප ගතිය පැවතුණා
රූප ශබ්ද ගඳ රස පහස ඇමුණුනා
මෙහි හොඳ නරක විඥාණයෙන් තේරුණා
පසු ඵල ලැබීමට ගබඩාවෙ ඇහුරුණා
මෙතනදි අපට පැහැදිලි වන දෙයක් ඇත
කරනා කෙනෙක් නැත කරවන කෙනෙක් නැත
ඇසෙහි ඔපය මත රූපය රැදෙනු ඇත
හේතු ඵල දහම මිස වෙන දෙයක් නැත
කෙනෙකුගෙ සිත හදා මගඵල ලබන හැටි
පැහැදිලි ලෙස කියාදුනි කාලෙකදී කෙටි
කෙලවර කරන්නට මේ දිගු ගමන කෙටි
සැනසුම ලැබෙන තෙක් යමි මේ මගට වැටී
සිරිපාල දියුණුගල – ශාන්තමේරි උද්‍යානය
කලියුගය
යුගයක බුදුවරුන් දවස
ක්ෂය කළ යුතු ආශාවන්
කාම භවද විභව ලෙස ද
මහ කරුණාවෙන් දෙසුවෝ
එකත් පසෙක කීකරු ලෙස
එම ඔවදන් පිළි පැද්දෝ
සෝවාන් ගමනින් අරඹා
අරහත් සුව පහස දරා
නිවන් දොරට පිය මැන්නා
එම බුදු බණ අද අසනා
බුදු රුව හද කොටා ගත්තු
මා බොදු යැයි කියා ගන්න
නා නා විධ අපේ ඇත්තෝ
නීල තණ්හා කර පින්නා
බල තණ්හා හිස පුරවා
ධන තණ්හා පොදි බැඳගෙන
තණ්හාවය නව අරුතක්
එකතු කරනවා
කාමය භව විභව නමැති
තණ්හා නැති කරනු නැතිව
බල නිල ධන නව තණ්හා
පොදි බඳිනා කලියුගයක
අප වැජඹෙනවා
ශ්‍රී අනුර ජයවීර -
බදුල්ල
ගෞතම
ශ්‍රී පාද වඳිමු
ඉඳුනිල් මැණිකක් මත තැබු පතුලේ
දෙව් – බඹුගෙන් නිති පුද ලද පතුලේ
පන් දහසක් කල් පවතින පතුලේ
අපිත් වඳුිමු ඒ රන් සිරි පතුලේ
එකසිය අටකිය මංගල ලකුණා
සුදු සමනල්ලුත් ඇවිදින් වඳිනා
නිවන් දොරට යන මං පෙත කියනා
අපිත් වඳිමු රන් සිරි පා බැතිනා
සීත ගඟුළෙ බැස නා පේවීලා
සුදු පිරුවට හැඳ පඬුරු පුදාලා
සමන් සුරිඳුගෙන් පිහිට ලබාලා
වඳිමු එරන් පා නිවන් පතාලා
චන්ද්‍ර වාකිස්ට
පව් සහ පින්
අනුවණයා පව මෝරා විපාක දෙන තුරු
මීමෙන් සලකා ඒ පව් වෙයි සතුටු
යම් දවසක ඒ පව් මෝරා විපාක දෙනු
නිසැක – එදින අනුවණ තෙමෙ උසුලයි ගිනි කඳු
නොතැවේ නම් යම් දේ කොට – සිත් තුටු වේ නම්
කළ පින්කම් ගැන නිති සිහි එළඹ සිටීනම්
පී‍්‍රතියෙන්ම පිනා ගොසින් ජීවත්වෙවී
එවන් නුවණ ඇත දන සැප විපාකම විඳී
මාලබේ – කේ.ඩබ්ලිව්. සිරිසේන
කැරකෙන ලෝකේ
තනතුරු
නම්බුනාම
ධනය බලය
දුක නැමති විළි වසාගන්නා
පැලැස්තර
ලෝකය
අපි අපිම හදාගෙන
අපිම පටලැවී සිටින
පඹගාල
පරගම්මන – නන්ද |