ධම්මා මහරහත් තෙරණින් වහන්සේ
මොරගොල්ලාගම
උපසමා සිල්මාතාව
මහා නුවණැති වූ, මොහඳුර දුරලූ, කෙලෙස් හුල් බිඳලූ මාරසේනා ජයගත්තා වූ කෙලෙස්
දුර්ගයෙන් එතෙරට වැඩම කොට වදාළ අප තථාගත බුදුපියාණන් වහන්සේ අනන්ත අප්‍රමාණ දුක්
සහිත වූ සසර පිළිබඳව එහි ඇති කටුකත්වය පිළිබඳව මනාව කරුණාවෙන් දේශනා කොට වදාළ සේක.
“මහණෙනි, තොප විසින් දීර්ඝ කාලයක් මාතෘ මරණයෙන් වන දුක අනුභව කරන ලද්දේය. පීතෘ
මරණයෙන් වන දුක අනුභව කරන ලද්දේය. භාතෘ මරණයෙන් වන දුක අනුභව කරන ලද්දේ ය. භගිනි
මරණයෙන් වන දුක අනුභව කරන ලද්දේය. පුත්‍ර මරණයෙන් වන දුක අනුභව කරන ලද්දේය. දුහිතෘ
මරණයෙන් වන දුක අනුභව කරන ලද්දේය. ඥාති ව්‍යවසනයෙන් වන දුක අනුභව කරන ලද්දේය. රෝග
ව්‍යවසනයෙන් වන දුක අනුභව කරන ලද්දේය. ඒ තොප විසින් රෝග ව්‍යසනයෙන් වන දුක අනුභව
කරන ලද්දේ අමනාප සම්ප්‍රයෝගයෙන් මනාප විප්‍රයෝගයෙන් හැ¼ඩීමෙන් වගුල කඳුළු බොහෝය.
සතර මහා සාගරයේ ජලය මඳය.
මේ සා දුක් ඇති සංසාර දුක්ඛයන්ගෙන් මිදීම උදෙසා ප්‍රඥාවන්ත උතුමෝ සැදැහැතිව
ගිහිගෙයින් නික්ම මනාව පැවිදි දම් පුරා අර්හත් මාර්ග ඥානය උපදවා රහත් භූමියට පිවිස
පිරිනිවී වඩින්නෝය. එවන් වූ උත්තරීතර ගමනක නියැළි ගෞතම සම්බුදු සසුනෙන් උපරිමඵල
ලැබූ ධම්මා මහරහත් තෙරණින් වහන්සේ ශ්‍රද්ධාවෙන් වන්දනා කරමු.
පෙර බුදුරජාණන් වහන්සේලා ලොව පහළ වූ සමයෙහි විවිධ වූ විචිත්‍ර වූ පින්දහම් සිදුකොට
මනා කොට පුණ්‍ය සම්භාර ධර්මයන් සම්පාදනය කොට අප ගෞතම බුදුපියාණන් වහන්සේ ලොව පහළ වූ
සමයෙහි සැවැත්නුවර කුලගෙයක ඉපිද නිසි වයසට පැමිණි කල පතිකුලයට පිවිසියාය. සම්බුදු
සසුන කෙරෙහි පැහැදුනු සිත් ඇත්තී සැමියාගෙන් පැවිදිවීමට ධම්මා කුමරිය අවසර
ඉල්ලුවාය. සැමියාගේ අවසර නොලදින් සැමියා මලපසු භික්ෂුණී සමාජයට ඇතුළුව මහලු භාවයට
පත්ව සිටි නිසාවෙන් නිරතුරුව විදසුන් නුවණින් යුක්තව වාසය කළාය. දිනක දුබල සිරුරැති
ධම්මා තෙරණියෝ සැරයටි උපකාරයෙන් පිඬු සිඟා වැඩ ආපසු විහාරයට වඩින කල්හි මහ මඟ
වැටිණ. එකෙනෙහි කයෙහි අසාර ස්වභාවය එහි අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ස්වභාවය නිස්සාර
ස්වභාවය මැනවින් වටහාගෙන එයම අරමුණු කොට විදසුන් වඩා අර්ථ, ධම්ම, නිරුක්ති, පටිභාන,
සිව්පිළිසිඹියා සහිත රහත් භාවයට එළඹ අනන්ත දුක්ඛිත සංසාර දුකින් අතමිදී මහරහත්
තෙරණියක ලෙස ලොව පහළ වූවාය. නිරාමිස සුවවිඳින්නා වූ ධම්මා මහරහත් තෙරණියෝ එම විරාගී
සිතෙහි අපූර්වත්වය උදානයක් පී‍්‍රති වාක්‍යයක් ලෙසින් දේශනා කොට වදාළ සේක.
“අතිශයින් දුබල වූ මම සැරයටියෙහි එල්ලී ගෙන මහත් වූ අපහසුවෙන් යුතුව පිණ්ඩපාතයෙහි
වැඩි කල්හි වෙවුලන අතපය ඇතිව මහමඟ ඇදගෙන වැටුණෙමි. දුබල කයෙහි ආදීනව දුටු මාගේ සිත
සියලු ක්ලේශයන් කෙරෙන් මිදුණෙමි”.
“පිණ්ඩියාලොපභොජනං නිස්සාය පබ්බජ්ජා” ලෙස භාග්‍යවතුන් වහන්සේ වදාරා ඇති පරිදි
සම්බුදු සසුන තුළ පැවිද්ද ගෙදොරක් පාසා සිඟාගෙන ගොස් ලබන පිණ්ඩපාත භෝජනය නිසා
ප්‍රධාන කොට පවත්නා දෙයකි. එබැවින් ලොව්තුරා බුදුවරයන් වහන්සේලාද, පසේ බුදුවරයන්
වහන්සේලා ද, මහරහත් උත්තමයන් වහන්සේලා ද ගෙදොරක් පාසා වැඩමකොට සිඬුසිඟා වැළදූහ.
“පිඬුසිඟායාම අමතක නොකළයුතුය. නොමනා ලෙස ආහාර සෙවීම හැර පිඬු සිඟා ගැනීම වූ
සුචරිතයෙහි හැසිරිය යුතුය. එසේ ධර්මයෙහි හැසිරෙන පැවිද්දා මෙලොව පරලොව දෙකෙහි ම
සුවසේ වසන්නේයයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළ සේක.
පිණ්ඩපාතය බුද්ධ පුත්‍රයන්ට උරුමය. පිණ්ඩපාතයෙන් ජීවත්වන පැවිද්දාට ආහාරය නිසා
ගිහියන්ට යටත් වන්නට සිදුනොවේ. ඒ උතුමන්ට ආහාරය ලැබීමට නියමිත තැනක් නොමැත. එක්
ගෙයකින් නොලැබුණොත් අනික් ගෙයකට යා හැකිය. එක් මාවතින් නොලැබුණොත් අනික් ගමකට යා
හැකිය. මෛත්‍රී අධ්‍යාශය, කරුණා ආධ්‍යාශය පෙරදැරි කොට පි¾ඩු සිඟා යාමෙන් සම්මා
ආජීවය ඇතිවන්නා සේ ම මානය දුරු වී අනතිමානී වේ. පැවිද්දෙහි සරල බව, වර්ධිත අතරම
ආහාර තෘෂ්ණාව දුරුව කිසිවකු කෙරෙහි බැඳීමක් නොමැති බැවින් සතර දිශාවෙහි මනාව බිය
නොමැතිව හැසිරීමේ භාග්‍ය උදාවේ. පැවිද්දට අනුගත වූ එම සරල දිවියේ පැවිදි සාරුප්‍යයේ
එක් අංගයක් වූ පාත්‍රය අතින්ගෙන පිඬු සිඟා වඩින විරාගීසිතැති භික්ෂුවගේ දර්ශනය
ශ්‍රද්ධාව ජනිත කරන්නකි. එවන් වූ පිඩුසිඟා යාමක නියුතු වූ මහලු ධම්මා තෙරණියෝ
විදසුන් නුවණින් කය අනුව සිත තබාගෙන වැඩම කළ ගමන මහත් වූ වීර්යයවන්තභාවයක
පෙරනිමිත්තකි.
සසර දුකින් අතමිදෙනු වස් සම්බුදු සසුනට එළඹි ඕ තොමෝ දෙතිස් කුණප කොටසින් සැදි කයෙහි
යථාර්ථය මැනවින් දක්නට ප්‍රඥාවන්ත වූහ. පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන සතර මහධාතූන්ගෙන්
හටගත් මේ කයෙහි කළු පැහැයෙන් යුතුවූ පුළුටු ගඳින් යුතුවූ දිරායන සුළු වූ කෙස්හි
අසාරත්වය දකින්නේ ය. නිරතුරුවම ඩහදිය හා කුණු සමඟ තැවරී තිබෙන ලොම්, දිරායන
ස්වභාවයෙන් යුතු නියපොතු, කුහර හටගැනීමෙන් කුණු වන්නා වූ නිරතුරුවම දුර්ගන්ධය
හමන්නා වූ මැලියම් තැවරී ගිය දිරාගොස් මුඛයෙන් ගැලවී යන්නා වූ දත් කලකදී පතුරු
ගැලවී යන්නා වූ, හොරි, දැමීම බිබිලි දැමීම, අළුහම්, දද, වණ, කුෂ්ට ආදිය හටගන්නා වූ
රැළි වැටී වියකෙන්නා වූ සම, තුවාල වූ විට කුණු වී සැරව පිරෙන්නා වූ වහා පණුවන්
හටගන්නා වූ මස්වැදලි, නොයෙක් ප්‍රමාණ වූ නහරවැල් හිස්කබල, ගෙල ඇට, උරහිස් ඇට, ඇඟිලි
ඇට, පා ඇඟිලි ඇට, ආදී වශයෙන් නහරවැල් හා මසින් වෙළාගත් ඇටසැකිල්ල, ඇටකටු ඇතුළත
පවතින ජෙලි වැනි වහා කුණු වී යන ඇටමිඳුළු, අඹ ගැට දෙකක හැඩැති ලේ ධාතුවට එක්වන ජලය
පෙරා මුත්‍ර බවට පත් කරවන වකුගඩු ආදී කුණුප කොටසින් සෑදුනු මෙම කයෙහි ස්වභාවය නම්
ජරාවට දිරායාමට පත්වීමයි.
කුඩා කලලයක් ලෙස මවු කුස හටගත් මොහොතේ පටන් ම මරණයට පත්වන තුරාවට මෙම වෙනස්වීම
ප්‍රකටව සිදුවේ. ඉන්ද්‍රියෝ දුබලභාවයට පත්වෙති. බාහිර සම රැලි වැටී දුර්වල වේ. දත්
හැළීයති. කෙස් පැසී ඉදී ගැලවී යයි. අවසානයේ දී මතකය, ධාරණය, ස්මරණය ආදි තත්ත්ව
වියැකී යති. මම නොවන, මගේ නොවන, හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්නා වූ බඹයක් පමණැති
සිරුරෙහි උප්පාද, ඨිති භංග ස්වභාවය දකී. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ආදී විදසුන්
නුවණින් දැන තෘෂ්ණාව ක්ෂයකොට නිවනේ දොරටු විවර කරගැනීමට ධම්මා මහරහත් තෙරණියෝ සමත්
වූවෝය. |