Print this Article


ථෙරවාද භික්ෂු කතිකාවක් ලියාපදිංචි කිරීමේ පනතක් ගෙන ඒම පැසසිය යුතු ක්‍රියාවකි

වත්මන් රජය ධර්ම විනයධර භික්ෂූන් වහන්සේලාගේ අභිමතය පරිදි

ථෙරවාද භික්ෂු කතිකාවක් ලියාපදිංචි කිරීමේ පනතක් ගෙන ඒම පැසසිය යුතු ක්‍රියාවකි

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායයේ
උත්තරීතර මහානායක අග්ගමහාපණ්ඩිත
දවුල්දෙණ ඤාණිස්සර
මහ නා හිමි

මහා සංඝරත්නයේ අභිලාෂය ඉටු කරමින් වත්මන් රජය ධර්මවිනයධර භික්ෂූන් වහන්සේලාගේ අභිමතය පරිදි ථෙරවාද කතිකාවක් ලියාපදිංචි කිරීමේ පනතක් ගෙන ඒම පැසසිය යුතු ක්‍රියාවක් යැයි ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අග්ගමහා පණ්ඩිත දවුල්දෙණ ඤාණිස්සර මහා නාහිමිපාණන් වහන්සේ විසින් යෝජිත ථෙරවාද භික්ෂු කතිකාවක් ලියාපදිංචි කිරීමේ පනත පිළිබඳ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ප්‍රකාශය නිකුත් කරමින් පවසති.

දවුල්දෙන ඤාණිස්සර මහා නාහිමියන්ගේ එම ප්‍රකාශය සම්පූර්ණයෙන් පහත පළවේ.

යෝජිත ථෙරවාද භික්ෂු කතිකාවක් ලියාපදිංචි කිරීමේ පනත.

බුද්ධශාසනය ආරක්ෂා කිරීමත්, චිරස්ථායී කිරීමත් ගිහි – පැවිදි අප දෙපක්ෂය ම සතු පැහැර හැරිය නොහැකි සුවිශේෂ කාර්ය භාරයකි. පෙර මහ රජවරුන්ගේ පිළිවෙත වූ පරිද්දෙන් බුද්ධාගම ආරක්ෂා කිරීමටත් පෝෂණය කිරීමටත් ශ්‍රී ලංකා රජය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ම බැඳී සිටී.

ශ්‍රී ලංකාවේ කතිකාවත් සම්ප්‍රදාය ආරම්භ වූයේ බුද්ධ ශාසනය හා එම සසුන් පිළිවෙත ආරක්ෂා කිරීමට බැඳී සිටින සංඝ සමාජයේ පිළිවෙත් සරු පැවැත්ම ආරක්ෂා කිරීම හා මනා පරිපාලනය සඳහා බව පැහැදිලි ය. අනුරාධපුර අවසාන භාගයේ සිට මේ දක්වාම ශාසනභාරය දරන ධර්මවිනයධර මහ තෙරුන් වහන්සේලාගේ අනුශාසනා යටතේ මහ රජවරුන් විසින් ආරාමික පරිපාලන කටයුතු සඳහා විහාර කතිකාවත් ද, භික්ෂු විනය පරිපාලන කටයුතු සඳහා භික්ෂු කතිකාවත් ද සම්පාදනය කොට සම්මත කරන ලදී.

වර්තමානයෙහි තුන් නිකායේත් ඇතැම් විට ඒ ඒ පාර්ශ්වයන්හිත් කතිකාවත් සම්පාදනය කරනු ලැබ ඇත්තේ යට කී අරමුණු පෙරදැරි කරගෙන ය. ඒ ඒ නිකායික වගකිවයුතු මහ සඟරුවන විසින් කතිකාවත් සම්පාදනය කරනු ලැබ ඇත්තේ රජයේ නිර්දේශයක් අනුව නොව, පෙර සිරිත් අනුගමනය කිරීමක් වශයෙන් ඒ ඒ නිකායට අයත් භික්ෂු සංඝයා හා විහාරාරාම මැනැවින් පරිපාලනය කරගනු සඳහා ය. වෙසෙසින් ම විනයානුකූල භික්ෂු සමාජයක් හදනු සඳහා ය.

මනා ලෙස ධර්ම විනයානුකූලව සකස් කරනු ලැබ ඇති එම කතිකාවත්හි අණ පනත් ක්‍රියාත්මක කිරීමෙහි දී බොහෝ විට පැන නැඟුණු ගැටලුව නම් එකී කතිකාවත්වලට නීතිමය බලයක් නොතිබීම ය. මෙහිලා නීතිමය බලය යන්නෙන් අදහස් වන්නේ රජය විසින් බලහත්කාර ලෙස සංඝයාට නීති රීති පැනවිම නොව සංඝයාගේ විනයානුකූල සම්මත හා තීරණවලට නීත්‍යානුකූල බලයක් ලබාදීමකි.

1954 වසරේ ප්‍රකාශයට පත් කැරුණු බෞද්ධ තොරතුරු පරීක්ෂක සභා වාර්තාවෙන් ද, 1956 වසරේ පළ කැරුණු බුද්ධශාසන කොමිෂන් සභා වාර්තාවෙන් ද, 2002 බුද්ධශාසන ජනාධිපති කොමිෂන් සභා වාර්තාවෙන් ද, 2006 වසරේ යෙදුණු 2550 බුද්ධ ජයන්තිය, 2011 වසරේ යෙදුණු 2600 සම්බුද්ධත්ව ජයන්තිය ආදී විශේෂ අනුස්මරණ අවස්ථාවන්හිදී ද ප්‍රධාන වශයෙන් සාකච්ඡා කරුණු මාතෘකාවක් වූයේ භික්ෂු කතිකාවත් සම්මත කර ගැනීමය. මහා සංඝරත්නයේ අභිලාෂය ඉටු කරමින් වත්මන් රජය ධර්මවිනයධර භික්ෂූන් වහන්සේලාගේ අභිමතය පරිදි ථෙරවාද කතිකාවත් ලියාපදිංචි කිරීමේ පනතක් ගෙන ඒම පැසැසිය යුතු ක්‍රියාවකි.

එකී කතිකාවත් ලියාපදිංචි කිරීමේ පනතේ යම් යම් අඩු පාඩු හා දෝෂ මේ වන විට පුළුල් ලෙස සාකච්ඡා වෙමින් පවතී. තෛ‍්‍රනිකායික මහනායක මාහිමිවරුන් සිව් නම උත්තර අනුශාසකත්වය දරන බුද්ධ ශාසන කාර්යසාධක මණ්ඩලයෙන් ද මේ වන විට එම පනත ගැඹුරින් විමැසුමට ලක්කර යම් යම් වැදගත් සංශෝධන ඉදිරිපත් කර ඇත. එම සංශෝධන ද ඇතුළත් කොට ඉහත සඳහන් ථෙරවාද භික්ෂු කතිකාවත් ලියාපදිංචි කිරීමේ පනත සම්මත කිරීම සම්බුද්ධ ශාසනයටත් සංඝ සමාජයටත් බෙහෙවින් ම හිතකර වනු ඇත යන්න ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ පිළිගැනීමය.