සිතකට සුවය විවේකයයි
කඩවත සමාධි මැදුරේ
පයාගල නන්ද හිමි
මෙම ලිපියෙහි
මුල්කොටස දුරුතු පුර පසළොස්වක පෝදා පත්‍රයේ පළවිය.
සමහරවිට ඔබට හුස්ම ඉහළ පහළ යන හැටි දැනෙන්න පුළුවන්. එහෙම නම් ඒ ගැන ටික වෙලාවක්
හිත යොමුකරගෙන ඉන්න. මිනිත්තු කිහිපයක් ඒ අන්දමට හිත හුස්ම වෙතට යොමු කරගෙන සිටින
විට සිත එකඟ කරගැනීමේ පුහුණුව ඔබට පහසුවෙන් කරගෙන යන්නහැකි වේවි.
ඇතැම් කෙනෙකුට මේ අන්දමට හුස්ම වෙතට හිත යොමු කරගෙන සිටීම අපහසු වෙන්න පුළුවන්.
එහෙමනම් ඔබ ආශ්වාස කරනවිට එකයි කියලත්, ප්‍රශ්වාස කරන විට දෙකයි කියලත්, ගණන්
කරන්න. එකයි! දෙකයි! එකයි! දෙකයි! යනුවෙන් ඉලක්කම් උපයෝගී කර ගැනීමෙන් අදහස් කරන්නෙ
සිතින් ඒ අංකය කීම තුළින් හිත තැන්පත් කරගැනීමට යම් සහයෝගයක් ලබා ගැනීමයි.
බස්රියේදී වැඩපොළේදී මගතොටේදී ඔබ මේ අන්දමට මිනිත්තු දෙක තුනකට හිත සන්සුන් කර
ගැනීමට උත්සාහයක යෙදෙනව නම් ඔබ නින්දට පෙර කොහොමත් ඒ සුවදායි සංවේදිතාවය ලබන්නට
උත්සාහ කරනව නිසැකයි. දවසෙ වැඩ කටයුතුත් සමඟ සිතට විවේකය ලබාදෙන්න කළ උත්සාහය වගෙ
නොවෙයි නින්දට පෙර සයනයෙ වැතිරගෙන සිටින විට වැඩි වෙලාවක් නිදහස් නිහඩ පරිසරයක් තුළ
හිඳිමින් මේ පුහුණුවට ඔබේ සිත යොමු කරගන්න පුළුවන්.
දැන් ඔබ දන්නවා හිත මොහොතකට හරි තැන්පත් කරගැනීමෙන් එක අරමුණක හිත පිහිටුවා
ගැනීමෙන් ලබන සහනය, සැනසිල්ල, ඒ සහනය තවදුරටත් ඔබ ගන්න වෑයම් කරන්න. ඔබ කිසිවිටෙකත්
මෙය බැරෑරුම් කොට සිතන්න එපා. ඔබ භාවනා වඩනව කියලවත් හිතන්න ඕන නැහැ. දවසේ ඔබ කරනු
ලබන වැඩ කටයුතු අතරතුර මිනිත්තුවක් දෙකක් හිත එකඟ කිරීමට සිතීම විතරයි ඔබ කළ
යුත්තේ. මීළඟ පියවරට ඔබ යොමුවන්නේ නිරායාසයෙන්. සිය කැමැත්තෙන් ක්‍රමයෙන් ඔබ ඒ
උතුම් සුවය විඳින්න නිරතුරුව යොමුවෙනව. ඔබ එයට නිතැතින්ම පෙළඹෙනවා.
නින්දට පෙර ඔබ කොහොමද සිත එකඟ කරගන්නෙ. සාමාන්‍යයෙන් එක් එක් පුද්ගලයන් නිදන
ස්වරූපයෙන් විවිධත්වයක් තිබෙනව. ඒ නිසා වෙන්න ඕන බෞද්ධ සාහිත්‍යයෙන් උඩ බලා ගෙන
නිදා ගැනීම (පෙතසෙය්‍යාව) සිරුර යට කරගෙන නිදා ගැනීම (කාම භොග සෙය්‍යාව) වැනි සයනගත
ඉරියව් ගැන විස්තර කරල තිබෙන්නේ. ඇතැම් අය වකුටුවෙලා නිදනව එහෙම නැතිනම් සයනය පුරාම
අත පය විසුරුවාගෙන නිදන අයත් ඉන්නවා. උතුම් නැතිනම් ශ්‍රේෂ්ඨ සැතපීමට සිංහ සෙය්‍යාව
කියනවා බලන්න විහාරයේ නෙළල තිබෙන බුදු සමිඳුන් සැතපෙන අන්දම. ඒ අන්දමට ඔබටත්
පුළුවන් ඇඳුම පැළඳුම සකස් කරගෙන සන්සුන්ව සයනයෙ වැතිරෙන්න.
මට මතකයි “භාවනාවෙ හදවත” යන භාවනා උපදේසයන් ගැන සඳහන් පොතේ තිබුන වගන්තියක්.
අධුනිකයන්හට ආරම්භයේදී මේ පිම්බීම හැකිළීම එකවරම නොදැනේ. සමහරවිට පැහැදිලිව
දැනෙන්නේ සුළු වෙලාවකටයි. මෙය අසාමාන්‍ය කරුණක් නොවන අතර උනන්දුවෙන් පුහුණුවෙන විට
සාර්ථක කර ගත හැක. දිගුවේලාවක් දැනීම පවත්වා ගැනීම සඳහා ආධුනිකයන්හට නිදා ගන්නා
ඉරියව්ව පහසු විය හැකිය.
තම උදරය මත අත තබාගෙන සිටීමෙන්ද මේ පිම්බීම හැකිලීම දැනේ (පිම්බීම යනු හුස්ම
පිටවනවිට උදරයේ උස්වීමයි. හැකිළීම යනු හුස්ම ඇතුළුවනවිට සිදුවන උදරයේ පහත්වීමයි) අත
ඉවත් කළ පසුවද ඒ පිළිබඳව සිත යොමු කිරීමට පහසු වේ.
නිදා සිටින ඉරියව්වේදී අභ්‍යාසය කිරීමට පහසුයයි හැඟේ නම් නිදිමත හා උදාසීන බව මග
හැරිය හැකිනම් එසේ යෙදීමේ වරදක් නැතිවුවද හැකිතාක් දුරට හිඳගෙන සිටින ඉරියව්වේදී
මෙය පුහුණුවීමට උත්සාහ කළ යුතුය.
(බෞද්ධ භාවනාවේ හදවත –145)
මෙහි සඳහන් පුහුණු ක්‍රමය ගැන ඔබ අවධානය යොමු කරන්න. රාත්‍රි නින්දට සැරසෙන ඔබ
කලින් කී අන්දමට ඇඳුමත් ඉරියව්වත් නිසි අන්දමට සකස් කරගෙන උත්සාහකරන්න .මේ මොහොත
තෙක් සියලුම සිතිවිලි බැහැර කරන්න.අතීතයට සම්බන්ධ කිසිවක් හිතන්න එපා. ඒ වගේම
අනාගතය ගැනත් සිතන්න එපා. හෙට යන එන ගමන් බිමන් කරන කියන වැඩකටයුතු ගනුදෙනු ඒ
සියල්ල මොහොතකට නවතන්න. ඔබේම සිරුර දෙස සිතින් බලන්න. දකුණුපාදයේ මාපටගිල්ලෙන් පටන්
අරගෙන ක්‍රමයෙන් සිත හිස්මුදුන දක්වා ගෙන එන්න. දැන් ඔබ ක්‍රමානුකූලව මාපටගිල්ල
වළලුකර, දණහිස, උකුළ, දකුණූ උරහිස, බෙල්ල හිස්මුදුන යන අන්දමට හිත යොමු කරමින් හිස්
මුදුන දක්වා ගෙන එනවා. නිහඬව සිතිවිලි බැහැර කරමින් ඔබේ හිස් මුදුන වෙත අවධානය යොමු
කරගෙන සිටින විට ඔබට දැනෙන්නේ ඔබේ ප්‍රශ්වාස ක්‍රියා කරන අන්දම පමණයි. ඉහතින් සඳහන්
කළ අන්දමට උදරය මත අත තබාගෙන සිටින විට ඔබට හුස්ම ක්‍රියාකරන අන්දම දැන ගන්න
පුළුවන්. අළුතෙන් පුහුණුව අරඹන කෙනෙකුට හුස්ම ඇතුළුවීම් පිටවීම වැනි සියුම්
ක්‍රියාකාරිත්වයක සිත පිහිටුවීම අපහසු විය හැකියි. ඒ නිසයි උදරයෙ අත තබාගෙන එහි උස්
පහත්වීම අනුව හුස්ම වෙත හිත පිහිටුවෙන්නෙ. මේ අන්දමට සරළව ආරම්භ කරන පුහුණුව
ක්‍රමයෙන් ඉදිරියට ගෙන යන්න පුළුවන්.
නින්දට පෙර මේ අන්දමට සිත තැන්පත් කර ගැනීමෙන් ඔබට දෙ ආකාරයකින් ප්‍රතිඵල ලැබෙනවා.
මූලිකව ඔබේ සිත එකඟ කරගැනීමෙන් ඉඩ කඩ සැලසෙනවා. ඒ තුළින් ඔබට සනීපයක් සැහැල්ලුවක්
දැනෙනවා. අනෙක් අතට නින්දේදී ඔබට සුවදායි සහනශීලිබවක් ඇතිවෙනවා.
මෙතැන් සිට අභිධර්මයට සම්බන්ධ කරුණු කිහිපයක් මතක් කරල දෙනවා. නින්දේදී අපේ
ඉන්ද්‍රියන්ට කුමක්ද වෙන්නෙ? ඇස, කන, දිව, නාසය, ශරීරය, මනස මේ සියල්ලම අක්‍රිය
වෙනවද අප දන්නවා නිදා සිටින විට කිසිවෙකු ළඟට පැමිණියත් ඒ වගක් නොදන්න බව. මහවරුසා
වැස්සත් සමහරවිට ඒ ගැන දැනීමත් ඇසීමත් සමහරවිට ඇතිවන්නේ නැහැ. මේ අනුව පැහැදිලියි
ඇස. කණ, දිව,නාසය , ශරීරය කියන ඉන්ද්‍රිය නිදන මොහොතේ ක්‍රියාත්මක නොවන බව. ඒත්
මනසට මොකද වෙන්නෙ මනසත් ඇස වගේ අක්‍රිය වෙනවද, නැහැ මනස ක්‍රියාත්මකයි. ඒත් මනස
ක්‍රියාකාරි වන්නේ අරමුණු ගැනීමේ ඉතාම පහළම ස්ථරයේ හිඳිමිනුයි. අභිධර්මයට අනුව ඒ
අවස්ථාව හඳුන්වන්නේ භවාංග සිත කියලයි. ඇස, කණ ආදී ඉඳුරන් සමඟ සිත සම්බන්ධ නොවන විට
සිත මූලික අවස්ථාවට පත් වෙනවා. භවාංග නමිනුයි ඒ අවස්ථාව හඳුන්වන්නෙ. චුති,
ප්‍රතිසන්ධි, භවාංග චුති කියන්නේ මැරෙන මොහොතේ සිත. ප්‍රතිසන්ධි කියන්නේ මරණයෙන්
පසු තව තැනෙක විඤ්ඤාණය බැස ගැනීම පිළිසිඳ ගැනීම ඒ බැසගත් එහෙම නැතිනම් පිළිසිඳ ගත්
පසු පහළවන පළමුවන සිත තමයි භවාංග කියන්නෙ. මේ සිත් තුනට ද්වාරමුක්ත කියලත් කියනව.
ඉන් අදහස් කරන්නේ මේ සිත් තුන දොරටුවක් ලෙස ක්‍රියාකරමින් අරමුණු නොගන්නව කියන
එකයි. දොරටුවක් එහෙම නැතිනම් ද්වාරයක් හැටියට අරමුණු නොගත්තත් ඒ හිත්වලත් අරමුණක්
තියෙනවා. චුති ,පටිසන්ධි, භවාංග කියල හිත් තුනක් වුණා. එකම අරමුණයි ගන්නෙ. චුති සිත
නැතිනම් මරණය සිදුවන මොහොතෙ පහලවන සිත යම් අරමුණක් ගන්නව නම් ඒ අරමුණම තමයි
ප්‍රතිසන්ධි සිතට යොමුවන්නෙත් ඒ සිතම භවාංග සිතටත් අරමුණු වෙනව. එහෙම නම් නින්දේදී
අපේ හිත අප පෙර භවයේ අවසාන මොහොතෙ ගත්තු අරමුණට එහෙමත් නැතිනම් මේ භවයෙ උපත පටන්
ගනු ලබන මොහොතෙ පහළවුන අරමුණම ගන්නවා.අප උපදින මොහොතෙ පහළ වූ ප්‍රතිසන්ධි විඤ්ඤාණයට
පෙර භවයෙ චුතවන මොහොතෙ විඤ්ඤාණය ගත් අරමුණ බලපානව නම් ඒ සිත අපට නින්දේදි හමුවෙනවා.
පඨාන ප්‍රදීපයේදී ලේඩි ස්‍යාඩො බුරුම හාමුදුරුවන්ගේ අදහසට අනුව භවාංග සිත බොහොම
දුර්වලයි. ප්‍රබල සිත වන්නේ ජවන් සිත්.දුබල සිතේ ක්‍රියාකාරිත්වය කොතරම් දුර්වලද
කියනව නම් වතුර මලක කරාමය යන්තමින් විවෘත කිරීමක් හා සමාන තත්වයක් තමයි භවාංග සිතේ
පවතින්නෙ. යන්තම් මතුපිට දිය වැගිරීම වතුර මල ඉතා අඩු ප්‍රමාණයකින් විවර කළ විට
පවතින්නෙ. ඒ වගෙ භවාංග සිතත් දුර්වල ක්‍රියාකාරිත්වය නිසා නින්දේදී පරලොව දී ගත්
අරමුණූ සමඟ සම්බන්ධ වුනත් අවදි වූ පසු ඒ ගැන කිසිවක්ව කීමට මතකයක් නැහැ.
කොහොම නමුත් නිදාගත් විට මතුවන භවාංග සිතට නිරවුල් මනසින් පිවිසීම තුළින් එහි යම්
අඳුරු බලපෑම් තිබෙනව නම් ඒවා පවා දුරු වෙනවා. කොහොමත් සන්සුන් ශක්තිමත් එකඟ සිතකින්
නිද්දට පිවිසෙන්න හැකිනම් මොනතරම් හොඳද? සන්සුන් සිතින් නින්දට පිවිසි ඔබට සුවසේ
නිදාගන්නත් සුවසේ පිබිදෙන්නත් පුළුවන් “සුප්පබුද්ධං පබුජ්ඣන්ති සදා ගොතම සාවකා ගෞතම
ශ්‍රාවකයින් නිතර සිත එකඟ කර ගැනීමේ යෙදෙනව නම් සුවසේ නිදන බවත් පිබිදෙන බවත්
ධර්මයේ සඳහන් වෙනවා.
ඔබ අන් අය වගේ අවදිවුන විගසම දඩිබිඩි ගාල ඇඳෙන් බැහැල දවස පටන්ගන්නේ නැහැ. ඒ වගේම
වැඩ ගොඩගැහිල කියල ඒ ගැන හිතමින් කල්මරන්නෙත් නැහැ. නරකම දෙය අවදිවෙල ඇඳේ ඒ අත මේ
අත පෙරළෙමින් අලසව සිටින එක. තැන්පත් විවේකී බව සඳහා පුහුණුවන ඔබට දැන් හැම දෙයකම
මහ අළුත්බවක් පෙනෙනවා. ප්‍රබෝධයක් දැනෙනවා.
සතුට සොම්නස පිරි දිනයක් බවට අද දවස පත්කරගන්නව කියන සිතිවිල්ල උදෑසන අවදි වූ විගසම
ඇති කරගන්න. විනාඩි දෙක තුනක් මේ මොහොතේ සිත එකඟ කරගන්න. මුළු දවසම ජීවයෙන් තැබීමට
එකඟකම උපකාර වේවි.
කලබල හිතකට වඩා තැන්පත් හිත මොනතරම් හොඳද විසුරුණු සිතකට වඩා එක්තැන් වූ හිත කොතරම්
වටිනවද තරහෙන්, ක්‍රෝධයෙන් වෛරයෙන් පිරුන සිතක තියෙන රත්වුන ගිනියම ගැන ටිකක්
හිතන්න. සීමාව ඉක්මවපු ආශාවෙන් පිරි සිත නිතරම දෝංකාර දෙන සුසුම් හඬට කන් දෙන්න.
හිත ලෙඩ කරන මේ කරුණු ඔබේ ජීවිතයට මොන විදිහට බලපානවද කියල ටිකක් හිතන්න. මේ කියපු
අයහපත් සිතිවිලි ඔබ සිත තුළත් පහල වෙනව නම්. මේ මොහොතේ ඔබට ඒ ගැන දැනීමක් ඇතිවේවි.
සමහරවිට ඒ දැනීමට දුබලතාවය දුරු කරගන්න උපකාරි වෙන්න පුළුවන්.
මිනිස් සිතේ මහිමය ගැන සිතන්න. ඔබේ සිත මොනතරම් තැන්පත්ද ඒ තැන්පත් සිත තුළ මේ
යහගුණ ඇති කරගන්න. දයා, කරුණා, මෘදු ගුණ ඇති කරගත හැකි නම් ඔබේ චරිතයේ සැහෙන වෙනසක්
ඇති වේවි. මෘදු ගුණයෙන් යහගුණයෙන් පිරුණ ඔබේ සිතෙහි වෙනදා නැති සිසිලසක් අද ඇති
වේවි. වීය¸ ධෛය¸ උත්සාහය ගැන උදෑසන හිතනව නම් ඊයෙට වසා උද්‍යෝගයකින් වැඩ කිරීමේ
ශක්තිය අද ඔබට ලැබේවි.
ඔබ දක්ෂයෙකු, සමර්ථයෙකු, කෝටිපතියෙකු කරන්නෙත් ඔබේ සිතයි. අදක්ෂයෙකු,
අවාසනාවන්තයෙකු, දීනයෙකු, හිඟන්නෙකු කරන්නෙත් ඔබේ සිතයි. ඔබේ සිත තුළ ශක්තිය
දල්වගන්න හැකිවන්නේ ඔබටම මිස ඔබේ මව්පියන්ටවත් වෙන පිටත සිටිතැයි කියන
සර්වබලධාරියෙකුටවත් නොහැකි බව සිතන්න. පසුගාමී ඔබේ සිත ශීඝ්‍රගාමි වෙන්න තියෙන එක
ක්‍රමයක් තමයි දුක දිනාගත් හපන්නු ගැන දැන කියා ගැනීම. වැටිල සිටි මිනිසුන් තනියෙන්
නැගී සිටි අන්දම ගැන සිතන්න. කුසට ආහාර වේලවත් නැතිව සිටි අය මහා ධනපතියන් වූ අන්දම
සිතන්න. ගුණහීනයන් සේ සිටි අය උදාර ගුණයෙන් පිරුන බෝසතුන් බවට පත් වූ අන්දම ගැන ඔබට
මතක නැද්ද. සමහර විට ඔබට ඔවුනට වඩා පහසුකම් තිබෙන්න පුළුවන්. හැකියාව තිබෙන්න
පුළුවන්. ඒත් ඔබට සතුටින් ජීවත්වෙන්න ඇති බාධාව ඔබේ ශක්තිය මතුකර නොගැනීමයි. එයට
බාධා ඇතිවන්නෙ ඔබම සිතේ ඇති කරගත්තු පසුගාමී සිතිවිලියි.
කවුරුත් දවසෙ ආරම්භයේදී සිතන්නේ අද දවස සතුටින් ගතකරන්නෙ කොහොමද කියන කරුණ ගැනයි.
ඒත් ඔබට ඒ ගැන විශ්වාසයක් නැතිවෙන්න පුළුවන්. දවසෙ ආරම්භයේදීම මම අද දවස සතුටින්
ගතකරනව කියල හිතනව නම් ඒ සිතිවිල්ල හොඳින් ධාරණය කරගන්නව නම් අධිෂ්ඨානයක් හැටියට
සිතේ තැන්පත් කරගන්නව නම් එදා දවසෙ කටයුතු වලදී අනපේක්ෂිතව කරදරයකට මූණපානවිට උදේ
සිතූ සිතිවිල්ල මතක් වෙන්න පුළුවන්. එහෙම නම් ඔබ අසතුටින් ඉන්නෙ ඇයි කියල හිතන්න
හොඳම වෙලාව උදෑසන විවේකීව ගත කරන මේ මොහොතයි.
කන්තෝරුවට ගිය හැටියෙම ඔබේ ආයතන ප්‍රධානියා දොස් නගපු නිසා ඔබේ සතුට නැතිවන්න
පුළුවන්. වැඩ අතපසු කිරීම ගැන වෙලාවට නොපැමිණීම ගැන. වැඩ කළත් පිළිවෙළක් නැතිවීම
ගැන ඔබ දොස් අහන්න පුළුවන්. බාගදා ඔහු නගන චෝදනා ඇත්ත වෙන්නත් පුළුවන්. ඒත් ඔබ
පිළිගන්න කැමැති නැහැ. ඔබේ අදහසේ හැටියට ඔබ හොඳට වැඩ කරන කෙනෙක්. පිළිවෙළට
පිරිසුදුවට වැඩ කරන කෙනෙක්. ඒ ඔබේ තක්සේරුව මොනව වුණත් දැන් ඔබ මොකද කරන්නෙ.
දෝෂාරෝපණය ගැන සිතමින් තැවෙනවද කවුරු හරි කියපු කේලමක් කියල සැකකරනවද රස්සාව අතහැරල
ගෙදරට වෙලා ඉන්න හිතනවද. එහෙම හිතන්නත් බැරි නැහැ. ඒත් මේ වගෙ වෙලාවට කළ යුතු හොඳම
දෙය නම් සිත තැන්පත් කර ගැනීමයි. ඒක අපහසු වෙන්න පුළුවන්. ඒත් කරගත හැකිනම් ඔබට
ලොකු සැනසීමක් ලැබෙනවා. ඔබ දැඩි අධිෂ්ඨානයක සිටින්න. හිත සන්සුන් කර ගැනීමේ
වැදගත්කම ගැන සිතන්න. එහෙම නැතිනම් මෙහෙම සිත කඩාවැටුන වෙලාවක ඔබ හැසුරුන අන්දම ගැන
සිතන්න. පාවිච්චි කළ වචන ගැන සිතන්න. මෙහෙම හිතන්න නැතිනම් ඒ පහුගිය සිද්ධී ඔබට
තැන්පත්වෙන්න උපකාරි වේවි. ඔබට පුරුදු නුපුරුදු ඉවසීම ගැන සිතන්න. ඒ වගේම ප්‍රවේසම්
විය යුතු තැනක් තිබෙනවා. මෙහෙම තැනදි නිහඬවුනා වගේම එයට වැඩි වේගයකින් ඔබේ හිත
දවපු, තවපු වචනවලට උත්තර දෙන්නත් ඔබ නොදැනුවත්වම කට ඉස්සර වෙන්න පුළුවන්. ඒ නිසා
හැමවිටම හොඳට හිත තබාගන්න. ආවේගාත්මක හැඟීම්වල තිබෙන භයානකකම ක්ෂණයෙන් ඇතිවෙලා
ක්ෂණයෙන් නිවිල ගියත් සිදුකරන හානිය සුළු පටු නැහැ. ඒ නිසා සතුටට මුලින් තැන්පත් බව
සන්සුන් බව සිත තුළ ඇති කරගන්න.
අප මෙතෙක් කතා කළේ සාමාන්‍ය ජීවිතයේදී කෙනෙකු තුළ විවේකය ඇතිකරගන්න අන්දම ගැනයි.
මෙතැන් සිට මතක් කරල දෙන්නෙ උසස් අන්දමින් විවේකය ලබන අන්දම ගැනයි. උසස් විවේකයේදී
ඔබ සිත තුළ සිතිවිලි පවතින්න බැහැ. අපේ සිත ගිලන්බවට රෝගීබවට පත් කරන්නෙ කාමය මුල්
කරගත්තු සිතිවිලියි. එය විවිධ මට්ටම් වලින් සිත් තුළ පහල වෙනවා. කාම කිව්වම
ලිංගිකත්වය මුල්වුන රාගික හැඟීම් ගැනම සිතීම වැරැදිය. කීර්තිය ප්‍රසංසාව, ධනය,
ආහාරපාන, ඇඳුම්පැළඳුම් කියන අප වටා ඇති අප එදිනෙදා අත්විඳින විඥානයන්ට මුල්වන බොහෝ
දේ කාම යන්නට ඇතුළත් වෙනවා. උසස් විවේකයේදී කාම සහමුලින්ම නැති නොවුනත් ඉතා සියුම්
අන්දමින් සිතක පහල වන කාම චේතනා පවා මෙහිදී යටපත් වෙනවා. ඒ වගේම ලෝභය, දෝසය,මෝහය
මුල්වුන සිතිවිලිවලින් පවතින්න බැහැ. එවිට සිත ඉතා ශක්තිමත් සිත අරමුණ තුළ සිත
පිහිටනවා. (විතක්ක,විචාර) ඒ වගේම සිතට ලොකු සුවයක් දැනෙනවා. පී‍්‍රතිය සුවය එකඟබව
කියන උසස් එකඟ සිත අප මෙතෙක් සඳහන් කළ අන්දමට විවේකය නැතිනම් එහකඟ බව දියුණු කිරීම
තුළින් ලබන්න පුළුවන්.
මෙහි ඉතිරි කොටස දුරුතු අමාවක (පෙබරවාරි 08) පත්‍රයේ පළවේ. |