Print this Article


පහන් සිතක කවි

සසුන් කෙත බබළවන අඟමහ පඬිරුවන


අඟ මහ පඬිරුවන කිතුගොස බබළවන
යුග පුරුෂයෙකි සිරිලක් මෑණිට ලැබුණ
සඟ පරපුරෙහි මිණි පහනක් ලෙස දිලෙන
මග සලකුණු අගෙයි හිමි වඩිනා ගමන

සිල්, නැණ ගුණෙන් යුතු දුටුවන් මන බඳින
දම් දෙසුමෙහි නිපුන් දන සිත් කාවදින
අංගුත්තර නිපාත පහ සිහි නැගෙන
පින්වත් ලකුණු දුටුවෙමි හිමි සඳු වෙතින

සූ අසු දහක් දම්කඳ සොයමින් වඩින
තෙ අසූ වියට පත් , ලැබ සම්බුදු සරණ
සැනසු බොදු දනන් සිත් හිමි දෙසුව බණ
නො ඇසුකෙනෙක් වේවිද? සිරි ලක් දෙරණ

මෙත් සිල් සුවඳ පිරි සුවඳැති සඳුන් ගස
විල් මැද පිපුන සුදු සියපත් මලක් ලෙස
පිල් නැත සමිඳුන්ට සම්බුදු දහම මිස
මල් පිරි හදවතින් පතනමි දිගා යුෂ

කොටුගොඩ ධම්මාවාස අනු නා හිමි සඳුනි
දෙටු සඟ පියාණෙනි, දහමෙහි තෙර පැමිණි
ඉටුකළ සසුන්, මෙමෙහවර අගතැන් බැවිනි
තුටුවෙමි හිමිගෙ පායුග සිඹිමින් වඳිමි

ආර්.ඒ.ඩී. සිරිසේන
ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ
නිකායාභිවෘද්ධි සභාවේ ලේකම් හා
හිටපු සමෘද්ධි අමාත්‍ය


සෝමවතී සෑරද

නිලට නිලේ නිල් වලාකුළු අතරේ
බැති දන දෙතොලේ බුදු ගුණ පැතිරේ
සාදු නාද දෙව් බඹ ලොව ඉතිරේ
සෝමාවතියේ බුදුරැස් පැතිරේ

දක්ඛිණ දළදා බැඳි සෑ විමනයි
නිර්මල මුණිගුණ හද රැඳි සිසිලයි
නිසසල සෑ රද රන්කොත බබළයි
ගජ රළ කුඹුතල සක් නද හඬවයි

සුසීල බැති දන චාමර සලනා
සද හම් දම් දිය දෝතින් පුදනා
සංසාරේ දුක් කෙළවර කරනා
නමදිමු සෝමවති සෑ නයනා


රැවටීම

කපුරු සුවඳ හඳුන් කූරු
කහ පාටැති දාස් පෙතියා
දෑත් වලින් මල් පුදලා
අත තැබුවේ වරක් වැඳලා
මුවහත ඇති මන්නයටයි
තෝරු මෝරු පොකිරිස්සෝ
සයුරෙන් ගොඩ දා මරලා
කඩ බක්කියෙ පුරවාගෙන
තව සැරයක් මරණ මහිම
කෑලි කෑලි වලට කපලා
ලාභයි ලාභයි මාලෝ
මොර දී මේ විකුණන්නේ
පරාණයක් නේද අනේ
ගලන රුහිරු බිඳට උඩින්
රාක්කයේ වැජඹෙන්නේ
පර පණ නැසුවොත් පවක්ය
දෙසූ උතුම් බුදු සමිඳුය
පහන නිවී සුවඳ ගෙවී
ඇඳිරි වැටෙන හැන්දෑවේ
මාළුබක්කි පිසදාලා
කහ වතුරෙන් සෝදාලා
ලී පෙට්ටිය තුරුල් කරන්
කාසි ගණින සිනා මූණ
තුළින් පෙනෙන මීන රූප


පින් පව් පල

රස පිඬුවකි මහා දෙරණ
තිත්ත ඇඹුල් කහට පිරුණ
බිජු මේකට එක්කළ විට
දෙන්නේ රස රට අයිති
කරවිල ඇට සෑදු විට
තිත්තයි ලැබෙන කරවිල
සෑදු විට දොඩම් ඇටය
ලැබේ මිහිරි රසැති දොඩම්
පින්කම් අප කරනා විට
දෙයි සඟමොක් සුව අපට
කරන්නෙ පව්කම් නම් අපි
ලැබෙයි අපා දුක් අපමණ


නුඹගේ අම්මා නිවන් ගියේ


පුතේ මාව නුඹ අමතක කෙරුවට
මටනම් බැහැ, එය සත්තයිනේ
එදා තිබුණු දරු සෙනෙහස මාගේ
තාමත් එළෙසයි පුතුනේ

පුංචිම පුංචි නුඹ ඒකාලේ
නුඹගේ අම්මා නිවන් ගියේ
එදා පටන් නුඹ ඇති දැඩි කරන්න
මා විඳි දුක් නුඹ නැහැ දන්නේ

මහලු වුණත් නුඹේ අප්පච්චිගේ
දරු සෙනෙහස ඵල සමයි පුතේ
නුඹත් පියෙකු වූ දවසක පුතුනේ
තේරෙයි එදාට දරු සෙනෙහේ

බුදු හිමි වදාළ ශී‍්‍ර සද්ධර්මය
අහන්න නිතරම මගේ පුතේ
බුදු හිමි දෙසු මව්පියන්ගේ ගුණ
එය මතකෙට අරගනින් පුතේ
 


මෙනෙහි කරමු නවදොර
 

ඇස කන නැහැය දිව කය සහ සිත සිරුර
රසයට ගිජුව අරමුණෙ බැඳුනි නවදොර
සිහියට ගතොත් දෙතිසක කුනපැති සිරුර
අද හෝ හෙට අතැර යා යුතු වෙයි සිරුර

පස්කම් සුවය වින්දත් එය මිරිඟුවකී
හිස් බව නොදකිනා බව මහ මුලාවකී
තිස්දෙක කින් යුතුවූ කුනුකය ජරාවකී
ඇස් දෙක කින් නොවේ මණසින් දකිනුසකී

අසම සම මහා කරුණා ගුණෙනි ලැම
විසම වූ ලොවට තිළකුනු ගුණය මෙම
රසම ලෙස පැවසූ චතුසත් දහම හැම
දෙසුම සිදුවීය මිගදා අබය බිම

පැහැදු දහම් කඳ සදරැස් දහරෙ වෙලී
හිදු රැසින් තිලොවම ආලෝක ඇලී
මුණිඳු භවත් ගෞතම නම් සුගත හිමී
වඳිමු බැතින් අසුසර දම් කෙඳන් තෙමී

භගවත් සුගත මාහිමි සැදු සඝ සසුන
එදත් අද හෙටත් ලොව පිංකෙතම වන
පුදත් ගඳ මලින් පහනින් සියලු දන
විඳීත් සුව සතුට සැනසුම වෙයි නිවන

තෙරුවන් බලෙන් සව්සත හට සෙත්වේවා
නිදුකින් නිරෝගී සම්පත් හැමවේවා
රටත් ජාතියත් දහමත් සුරැකේවා
තිස්තුන් කෝටියක් දෙව් රට රැකදේවා


බැති සිතිවිලි


අපේ බුදු හාමුදුරුවෝ
තෙදින් වැඩ සිටි කාලයේ
මමත් සිටියානම් එදා
සුවඳ සහලින්
පිසූ කිරිපිඩු
විළඳ මී පැණි තවරලා
දොහොත් මුදුනේ තබා පුද දෙමි
සුජාතා සිටු දුව ලෙසේ

අපේ බුදු හාමුදුරුවෝ
තෙදින් වැඩ සිටි කාලයේ
මමත් සිටියා නම් එදා
බුදු හඬින් බුදු මුව විවර කර
දෙසන සදහම් බණ අසන්නට
දුවමි දෙව්රම් වෙහෙර මළුවට
බැතින් වැතිරී බුදු සරණ යමි
විශාඛා සිටු දුව ලෙසේ