Print this Article


දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය

දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය

ආදර්ශ ප්‍රශ්නෝත්තර - බෞද්ධ සංස්කෘතිය

අභ්‍යාස අංක – 03

1) තුන්සිවුරු නම් කොට සිවුරු හැඳීම හා පෙරවීම පිළිබඳව සේඛියා ලියා දක්වන්න.

භික්ෂූන් වහන්සේ සඳහා බුදුරදුන් විසින් තුන් සිවුරක් නියම කොට තිබේ. එනම්,

1. අන්තරාවාසකය – අඳනය

2. උත්තරාසංගය – තනිපට සිවුර

3. සංඝාටිය – දෙපට සිවුර යනුයි.

භික්ෂුවක් සඳහා සිවුරු පෙරවීම හා හැඳීම පිළිබඳව සේඛියා ශික්ෂා පද හතරක් පනවා තිබේ. එනම්,

1.සිවුරු මණ්ඩලාකාරව (අඳනය) හැඳිය යුතුය

2.පෙරවන සිවුර පරිමණ්ඩලාකාරව පෙරවිය යුතුය.

3.විහාරයෙන් පිටව යන විට මනාකොට සිවුරෙන් කය වසාගෙන ගමනෙහි යා යුතුය.

4. මනාකොට සිවුරෙන් කය වසාගෙන ගමෙහි සිටිය යුතුය.

මේවා සිවුරු හැඳීම හා පෙරවීම පිළිබදව ආශි‍්‍රත පවතින සේඛියා ධර්මයන් වේ.

2) සිවුරු පරිභෝගයට අදාළ ප්‍රත්‍යවේක්ෂා කිරීම ලියා මෙමගින් භික්ෂු ජීවිතයට සැලසෙන යහපත ගෙනහැර දක්වන්න.

සිව්පස පරිභෝගයේදී භික්ෂූන් විසින් ඒවා පරිභෝගයට පෙර ප්‍රත්‍ය වේක්ෂා කළ යුතුය. චීවර පරිභෝජනයට අදාළ ‘ප්‍රත්‍යාවේක්ෂාව නම්.

මා මෙම සිවුරු පරිභෝග කරන්නේ ශීත නැති කරගැනීමට හා උෂ්ණය වළක්වා ගැනීමටය.අව්වෙන් සුළඟින් ආරක්ෂා වීමට හා මැසි, මදුරු, කුරු කුහුඹුවන් ආදී සතුන්ගෙන් වන පීඩා ආරක්ෂා කර ගැනීමටය. ලජ්ජාව ඇතිවන ශරීර අවයවයන් වසා ගනු පිණිසයි” යනාදී වශයෙන් සිහිපත් කළ යුතුය. ගිහියන්ට මෙන් ලස්සනට ඇඳීමට අවසර නැත. පොදුවේ විළිවසා ගැනීම මුල් කොටගෙන චීවර පරිභෝජනයට ඉඩ සලසා ඇත. භික්ෂූ ජීවිතයකට මෙයින් සැලසෙන යහපත නම් වඩා හොඳින් ඒවා පරිභෝජනයට ඉඩ ලබාදී තිබීම, එමෙන්ම ඒවා කෙරෙහි ගිජු බවක් ඇති නොකර ගැනීම අසතුට හා කනස්සල්ල හා කලකිරීම් ආදී තත්ත්වයන් ඇති නොවීමයි. භික්ෂුවකගේ චීවරය එකම වර්ණයෙන් යුක්තය. ගිහියන්ට ඇඳුම් භාවිතයේ දී විවිධ වර්ණ භාවිතා කිරීමට අවසර ඇතත් භික්ෂූන්ට විවිධ වර්ණ ඇති චීවර පරිභෝජනයට ඉඩක් නැත. ප්‍රත්‍යාවේක්ෂා කිරීමෙන්ද බලාපොරොත්තු වනුයේ අල්පේච්ඡ ජීවිතයකට භික්ෂුවක් හුරුකරවීමයි. ඉන් විශාල යහපතක් සිදුවේ.

3. ගිහියන්ගේ ඇඳුම් භාවිතය හා බැඳුනු සිරිත් ගැන ඇගයීමක් කරන්න.

පැවිදි පක්ෂයෙන් ආදර්ශ ලබා ගන්නා ගිහියන් ඇඳුම් භාවිතයේදී බැඳුනු සිරිත් විරිත් ලෙස,

1.විනීත බවින් හා චාම් බවින් යුතු ඇඳුමකින් සැරසීම

2.අතීතයේ භාවිතා කළ උතුරු සළුව වෙනුවට වර්තමානයට සුදුසු උඩුකය වැසෙන ඇඳුමකින් සැරසිය යුතුය.

3.ආගමික හා අවමංගල අවස්ථාවලදී සුදුවතින් සැරසී යාම

4.තම ආර්ථිකයට සරිලන ආකාරයේ ඇඳුම භාවිතා කිරීම ඇදුම් භාවිතය සම්බන්ධයෙන් මෙවැනි සිරිත් ගිහියනට දක්වා තිබේ.

4. ගිලානෝපස්ථානය බෞද්ධයන්ගේ උසස් චාරිත්‍ර ධර්මයක් මෙන්ම අගනා සමාජ සේවයක්ද වන ආකාරය පැහැදිලි කරන්න.

ගිලෙනුන් යනු රෝගීන්ය. ඔවුන්ට උපස්ථාන කිරීම ඉතා උසස් පුණ්‍ය කර්මයක් බව බුදුරජාණන් වහන්සේ විසින් පෙන්වා දී ඇත.

“යෝ ගිලානං උපට්ඨෙති

සෝ මං උපට්ඨෙති” යනුවෙන් බුදුරජාණන් වහන්සේ ගිලනුන්ට උපස්ථාන කිරීම මට උපස්ථාන කිරීම හා සමානයයි වරෙක දේශන කළහ. ගිිහි පැවිදි දෙපක්ෂයටම මෙය ඉතා ප්‍රයෝජනවත්ය. බුදුරජාණන් වහන්සේ සියතින්ම පූතිගත්ත තිස්ස තෙරුන්ට උපස්ථාන කිරීමෙන් ගිලනුන්ට උපස්ථාන කිරීමේ ඇති වැදගත්කම පෙන්වා දී ඇත. බෞද්ධ ගිහි සමාජයෙහි මෙන්ම පැවිදි සමාජයේද මෙම උසස් චාරිත්‍රය සිදු විය යුතුය. ආචාර්ය උපාධ්‍යායන් තම ශිෂ්‍යයන්ට හා අන්තේවාසිකයන්ට ද රෝගී වූ අවස්ථාවන්හි දී උපස්ථාන කළ යුතු වේ. ආචාර්ය උපාධ්‍යායන් හා ශිෂ්‍යයන් අන්තේවාසිකයන් අතර පවතින්නේ දෙමාපිය දූදරු සබඳතාවයකි. උපස්ථායකයා රෝගියාට අවශ්‍ය බෙහෙත් හේත් ආදිය කරුණාවෙන් සැපයීමටත් රෝගියාගේ මළ මුත්‍රා ආදිය ඉවත් කිරීමත් සිත සනසාලීමත් කළ යුතුය. ඒ අනුව ගිලානෝපස්ථානය උසස් චාරිත්‍ර ධර්මයක් මෙන්ම සමාජ සේවයක්ද බව පෙන්වා දිය හැකිය.


පසුගිය සතියෙන් -  දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය ආදර්ශ ප්‍රශ්නෝත්තර - 2 : බෞද්ධ සංස්කෘතිය