මහත්ඵල වැඩෙන ආර්ය උපෝසථය
බුදු දහමේ උපෝසථ දිනය හෙවත් පුරපසළොස්වක පොහොය දිනය වුවත් අව අටවක, අමාවක, පුර අටවක
වශයෙන් සතර පොහෝ දිනයක් වෙන් වී ඇත. මෙම සතර පොහොය ගිහිවත රැකීමට ගිහියන් විසින්
පිළිපැදිය යුතු ප්‍රතිපත්ති මාලාව සුරැකීමට යෝග්‍ය දිනයන් බව බුදුරදුන් අනුදැන
වදාළහ.
දෙහිවල ශ්‍රී සුදර්ශන ධර්ම නිකේතනාධිපති කොළඹ නාලන්දා විද්‍යාලයේ
ධර්මාචාර්ය ශාස්ත්‍රපති
ලේල්වල සමිත හිමි
උපෝසථ සීලය සමාදන්වීම තුළ සිදුකෙරෙනුයේ අපිරිසුදු වූ සිත පිරිසුදු කිරීමයි. ඒ සඳහා
වෙන්වූ සුවිශේෂී දිනය පොහොය දවසයි. වෛදික යුගයේ උපවස්ථ දිනය ප්‍රතිපත්ති ගරුකව, කල්
ගෙවූ අතර සඳ කේන්ද්‍ර කොටගෙන ඒ දිනය ඔවුන් නිර්ණය කළහ. එසේම දෙවියන්ට සමීපව වාසය
කරන දිනය හැටියට සලකා ආහාරයෙන් වැළකී ප්‍රතිපත්ති ගරුකව කටයුතු කළහ.
බුදු දහමේ උපෝසථ දිනය හෙවත් පුරපසළොස්වක පොහොය දිනය වුවත් අව අටවක, අමාවක, පුර අටවක
වශයෙන් සතර පොහෝ දිනයක් වෙන් වී ඇත. මෙම සතර පොහොය ගිහිවත රැකීමට ගිහියන් විසින්
පිළිපැදිය යුතු ප්‍රතිපත්ති මාලාව සුරැකීමට යෝග්‍ය දිනයන් බව බුදුරදුන් අනුදැන
වදාළහ. අංගුත්තර නිකායේ ධම්මික සූත්‍රයේ උපෝසථ වග්ගයේ උපෝසථය පිළිබඳව පෙහෙවස්
සමාදන්වීම මෙන්ම රැක ගත යුතු ආකාරය හා ආනිශංස දේශනාකොට ඇත.
බුදුරජාණන් වහන්සේ පූර්වාරාමයේ වැඩ සිටින අවස්ථාවක විශාඛා මහ උපාසිකාව පැමිණි
අවස්ථාවේ ‘විශාඛාවනි’ මෙම දහවල් කාලයෙහි කොහි සිටි පැමිණියේ ද? යනුවෙන් විමසා සිටි
අවස්ථාවේදී ‘බුදුරජාණන් වහන්ස අද උපෝසථ දිනය නිසා පෙහෙවස් රකිමියි’ පිළිවදන්
දුන්හ.ගෘහ ජීවිතයක් ගත කරනු ලබන ගිහි කුල පුත්‍රයකුට භික්ෂුවගේ ශාසන පරමාර්ථය ඉටුකළ
නොහැක. ශ්‍රද්ධාවන්ත බෞද්ධයා නිති පන්සිල් පොහොය අටසිල් සමාදන්ව ආරක්ෂා කරන්නෙකු
වේ. බුදුරදුන් විශාඛා මහා උපාසිකාවට උපෝසථ තුනක් දේශනා කළහ. ගෝපාල උපෝසථය, නිගණ්ඨ
උපෝසථය හා ආර්ය උපෝසථය යනුවෙනි.
ගෝපාල උපෝසථය යනු ගොපල්ලෙකු අනුන්ගේ ගවයන් බලන කෙනෙක්. ගොපල්ලා ගව හිමියන්ගෙන්
ගවයන් බාරගෙන ආහාර දීලා වතුර දීලා නාවලා රාත්‍රී කාලයේ ආපසු ගව හිමියාට බාරදේ. ඔහු
කල්පනා කරන්නේ, ගවයන් කෑව හැටි, නාපු හැටි ආදී වශයෙන්. ඇතැම් සිල් සමාදන් වූ උදවිය
අනවශ්‍ය දේ කතා කරමින් කිසිම ගත යුත්තක් නැති දේ සිතමින් ක්‍රියා කරති. ඔවුන්
සමාදන්ව සිටින්නේ ගොපල්ලන් හරක් බලන්නා සේ ගෝපාල උපෝසථයකි.
බුදුරදුන් අනුදැන වදාළ ආර්ය උපෝසථය මහත්ඵල මහානිශංස දායක වේ. මහත්ඵල යනු සතර මඟ සතර
ඵලය වේ. මහානිශංස වනුයේ ආයු, වර්ණ, සැප, පරිවාර, භෝග සම්පත්, සුගති සම්පත් යන
ආනිශංස ලබාගත හැකි වේ.
‘මහාජුතික’ මහ ආලෝකයක් ‘මහා විප්පහාර’ විශාල වශයෙන් පැතිරවී ඇතිවන ආනිශංස ලැබෙන
මහානීය පින්කම් ලෙස දැක්විය හැක. පෙහෙවස් සමාදන් වීමේ අපේක්ෂාව සිල් සමාදන් වූ
දිනයක සිදුකරනු ලබන දින චරියාව මෙන්ම උපෝසථයේ මෙලොව පරලොව වැදගත්වන ආකාරයද උපෝසථ
සූත්‍රයේ සඳහන් වේ. ඒ අනුව ත්‍රිවිධ උපෝසථය උපක්‍රමයෙන් සිත පිරිසුදු කරන ක්‍රමය
අෂ්ටාංග සීලය පිළිබඳ ප්‍රත්‍යවේක්ෂාව අෂ්ටාංග උපෝසථයේ ආනිශංසය ලෙස දක්වා ඇත.
අංගුත්තර නිකායේ අට්ඨක නිපාතයේ දානුප්පත්ති සූත්‍රයේ සඳහන් වන පරිදි සිල්වතුන් එකතු
වී සියතින්ම දන් පිළියෙලකොට සංඝයාවහන්සේට පූජා කිරීම මහත්ඵල මහානිශංස ලැබෙන කුසලයක්
වේ. එසේම දන්දී කරන පැතුම තම සිතැඟි පරිදි ඉටුවෙන්නේ යැයිද සඳහන් වේ. උපෝසථය ආරක්ෂා
කිරීම තුළ ‘ස්වයං ප්‍රභා’ තමන්ගේ ප්‍රභාවය ආලෝකය සදිව්‍ය ලෝක දක්වා විහිදෙනු ඇත.
පෙහෙවස් සමාදන්වීම තුළ වඩාත් අර්ථ ගන්වනුයේ එක් දිනක්, එක් රැයක් රහතන් වහන්සේලාට
ළන්ව ගත කරන දිනයක් ලෙස සුවිශේෂී දිනයක් බවට පත් කිරීමයි. තමා සමාදන් වූ සීලය
පිළිබඳව මෙනෙහි කළ යුතු ය.
රහතන් වහන්සේ දිවි හිමියෙන් ප්‍රාණඝාතයෙන් වෙන්වූවාසේ මමද ප්‍රාණඝාතයෙන් වෙන්වී
සියලු සත්ව ප්‍රජාව වෙත කරුණාව, මෛත්‍රිය දක්වමි. මේ අයුරින් නොදුන් දේ ගැනීමෙන්
වැළකීම, බඹසර දිවි පෙවෙතක් ගත කිරීම, බොරුකීමෙන් වැළකී සත්‍ය වචන කතා කිරීම මදයට හා
ප්‍රමාදයට හේතුවන්නාවූ මතින් වෙන්වීම, විකල්භොජුනෙන් වැළකීම, නැටුම් ගැයුම් වැයුම්
විහිළු ආදියෙන් හා මල් ගඳ සුවඳ ආදී ශරීරය සරසන දේවලින් වැළකීම, උස් අසුන් මහ අසුන්
පරිහරණයෙන් වැළකීම ඇතුළු කොට ඇති ශික්ෂාපද අටකින් රහතන් වහන්සේලා දිවි හිමියෙන්
සීලය ආරක්ෂා කරයිද රහතන් වහන්සේලාගේ උතුම් දිවි පෙවෙතට ළන්ව උපෝසථ දිනයේ මාගේ දිවි
පැවැත්ම ගත කරමියි නිතර නිතර සිහිකළ යුතු වේ.
සැදැහැවත් බෞද්ධයා තමා සමාදන් වූ සීලයේ පදනම වන කය වචනය සංවර වීම තුළ අෂ්ටාංග,
උපෝසථ සීලය, සුරැකෙන කෙනෙක් ද යනුවෙන් නිතර නිතර විමසා බැලිය යුතු වේ. බුදුදහමින්
අවධාරණය කරන ආකාරයට සොළොස් මහා ජන පදවලින් එක් රාජ්‍යයක හෝ සමස්ත රාජ්‍යයන්හි රජ
පදවි දැරුවත් එම රජ පදවි වලට වඩා අංග අටකින් යුත් පෙහෙවස් රැකීම ආනිශංස ලැබෙන
මහානීය පින්කමකි.
මේ ඉර හඳ යට රන් ,රිදී ,මුතු ,මැණික් දක්නට ලැබේ. ඒ මුතු මැණික් සියල්ල පෙහෙවස්
රැකීමෙන් ලැබෙන ආනිශංස හා සමකොට සසඳන විට දහසයෙන් පංගුවක් වටින්නේ නැත. දෙව්
මිනිසුන් සහිත, සමස්ත ජන කොට්ඨාසයම පෙහෙවස් රකින්නේ නම් යහපත්ව දිවි ගෙවීමටද කුසල්
දහම් රැස් කරගැනීමටද හේතුවන, පුඤ්ඤායතනයක් පින් රැස් කරන නිෂ්පාදනාගාරයක් වන්නට
පුළුවන. තමන් සමාදන් වූ සීලය ගැන මෙනෙහි කිරීමේ දී ‘කඩ නොවූ සීලයක්, සිදුරු නොවූ
තැනින් තැන නොකැඩුණු, කැළැල් නොවූ, තෘෂ්ණාවෙන් නිදහස් වූ, නුවණැත්තන්ගේ පැහැදීමට,
භව සම්පත් නොපතන, සමාධියට හිතකර වූ, සීලයක් විය යුතු ය.’
සීලය ආරක්ෂා කරමින් කටයුතු කරනු ලබන සැදැහැවත් බෞද්ධයා භාවනාව ප්‍රගුණ කිරීම තුළ
සිතේ ඇතිවන, පී‍්‍රතිය තුළින් සමාධිය වර්ධනය කරගත හැක. සමාධිය වර්ධනය වීම තුළ
ප්‍රඥාව දියුණු කරගත හැක. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග අට, අනුව කටයුතු කිරීම තුළින්
සීල, සමාධි, ප්‍රඥා දියුණුකොට නිවන් මඟට පිවිසීමට පුළුවන. පෝය දිනයට පෙහෙවස්
සමාදන්වීම තුළ අපිරිසුදු වූ සිත පිරිසුදු භාවයට පත් කරගත හැක. තම දෛනික ජීවිතයේ
මාසයක් තිස්සේ, නොයෙක් අයුරින් කිළිටි වූ සිත, එක් දිනකින් පිරිසුදු කිරීමට පුළුවන්
වේද? ඒ සඳහා බුදුරදුන් විශාඛාවට දේශනා කළේ විශාඛාවනි, කිලිටු වූ සිත පිරිසුදු වන්නේ
උපක්‍රමයකින්මය. පොහෝ දින සිත පිරිසුදු කිරීමේ උපක්‍රම පහ ‘බුද්ධානුස්සතිය,
ධම්මානුස්සතිය, සංඝානුස්සතිය, සීලානුස්සතිය, දේවතානුස්සති’ වශයෙන් දක්වා ඇත.
පෙහෙවස් සමාදන් වූ ශ්‍රද්ධාවන්ත කුලපුත්‍රයා විසින් බුද්ධානුස්සතිය වැඩිය යුතු ය.
නව අරහාදී බුදුගුණවලින් එක් බුදුගුණයක් මෙනෙහි කරන විට සිතේ ප්‍රමෝදය ඇති වේ. සිතේ
අපවිත්‍රවීම පහව යයි. මේ අනුව බුදුගුණ මෙනෙහි කිරීම සිත පිරිසුදු කිරීමේ
උපක්‍රමයකි. එය බ්‍රහ්ම උපෝසථය වේ.
සිත පිරිසුදු කිරීමේ දෙවන උපක්‍රමය වන්නේ ‘ස්වාක්ඛාතෝ’ ආදී ධර්ම රත්නයේ ගුණ මෙනෙහි
කිරීමේ දී සිතේ කිලිටු පහවගොස් සිත පිරිසුදු කරනු ලබයි. ධර්මය ගැන මෙනෙහි කරමින්
රකින පෙහෙවස ‘ධම්මුපෝසථ’ යනුවෙන් හැඳින්වේ. සිත පිරිසුදු කිරීමේ තෙවන උපක්‍රමය
සුපටිපන්න ආදි සංඝරත්නයේ ගුණ මෙනෙහි කරමින් සංඝානුස්සතිය වැඩීමයි. මේතුළින් කිලුටු
වූ සිත පිරිසුදු වේ. එම උපෝසථය ‘සංඝුපෝසථ’ සංඝයා වහන්සේ සමඟ වාසය කිරීමක්වේ.
සිත පිරිසුදු කිරීමේ සිව්වන ක්‍රමය පෙහෙවස් සමාදන් වූ උවැසි උවැසියන් දහවල දානයෙන්
පසු තමා සමාදන් වූ සීලය පිළිබඳව මෙනෙහි කළ යුතු වේ. තමා සමාදන් වූ සීලය මෙතෙක්
යහපත්ව ආරක්ෂා කර බව සිතට දැනෙන විට ‘සීලානුස්සතිය’ සීලය රැකීමේ බලය තුළ කිලිටු වූ
සිත පහව ගොස් සිත පිරිසුදු වෙති. උපෝසථ දිනයේ සිත පිරිසුදු කිරීමේ පස්වන ආකාරය
වන්නේ දේවතානුස්සතියයි. දෙවියන් හා අප අතරේ, ගුණ ධර්මයන් සමානව මෙනෙහි කිරීමේ දී,
කිලුටු වූ සිත පිරිසුදු කිරීමට ‘දේවතානුස්සතිය’ උපක්‍රමයක් වේ. පොහෝ දිනයෙහි
පෙහෙවස් සමාදන් වූ සැදැහැවතුන් අනුස්සති පහ අනුව කටයුතු කිරීම ඉතා වැදගත් වේ.
පෙහෙවස් සමාදන් වූ දිනයේ, දන්දීම, සිල් රැකීම, භාවනා කිරීම, පින්දීම, පින් අනුමෝදන්
කිරීම, වතාවත් කිරීම, පිදිය යුත්තන් පිදීම, දම් දෙසීම, දහම් ඇසීම, සම්‍යක් දෘෂ්ටියක
පිහිටා සිටීම යත් දස පුණ්‍ය ක්‍රියාවන්, සම්පූර්ණ කරන දිනයක් වීමද විශේෂ
පුණ්‍යකර්මයන් අත්පත් කර ගැනීමට සමත් වේ. උපෝසථයේ තවත් වැදගත් කරුණක් වන්නේ දාන,
සීල, භාවනා ආදී ත්‍රිවිධ පුණ්‍යක්‍රියාවන් නිතර දෙවේලේ සිදුකළ යුතු වේ. සුගතිගාමි
වන්නට සීලමය ආනිශංස අත්‍යවශ්‍ය වේ. බෞද්ධයා දන් දී දිව්‍ය මානුෂික සැප සම්පත්
අපේක්ෂා කරයි. එම ප්‍රාර්ථනා සඵල වන්නේ දන්දෙන අවස්ථාවේ සිල්වත්ව කල් ගත කළහොත්
පමණි. මේ අනුව මනුෂ්‍යයාගේ උපත තීරණය වන්නේ දානය අනුව නොව සීලය අනුවයි. මහත් වූ භෝග
සම්පත් ලැබීම, කීර්තියට පත්වීම, ක්ෂත්‍රිය, බ්‍රාහ්මණ, ගෘහපති හා ශ්‍රස පිරිස අතරට
කිසිදු බියක් සැකයක් නො මැතිව ලක්වීමට හැකිවීම, සිහිමුලා නොවී කළුරිය කිරීම, මරණින්
පසු සුගතියෙහි උපත ලැබීම ආදී මෙලොව පරලොව උභයාර්ථයම සාධනය වේ. ආශ්‍රවයන් ක්ෂය කිරීම
තුළ නිර්වාණාධිපතිමය සඳහාද උපනිශ්‍රය වනු ඇත. |