Print this Article


යහපත් උපදෙස් සපිරි බෞද්ධයාගේ අත්පොත

යහපත් උපදෙස් සපිරි බෞද්ධයාගේ අත්පොත

බුදුරදුන් වදාළ ධර්මය සංගීතිකාරක භික්ෂූන්වහන්සේලා විසින් සූත්‍ර, විනය, අභිධර්ම යනුවෙන් කොටස් තුනකට බෙදා එය ත්‍රිපිටකය යනුවෙන් නම් කර තිබේ. ධර්මය සූත්‍ර පිටකයටත්, භික්ෂු භික්ෂුණීන් සඳහා පනවන ලද විනය ශික්ෂා විනය පිටකයටත්, ධර්මය තවදුරටත් විවරණය කරමින් දේශිත විශේෂ ධර්මය අභිධර්ම පිටකයටත් ඇතුළත්කර තිබේ.

ථෙරවාදී සම්ප්‍රදායේ පාලි ත්‍රිපිටකය යනුවෙන් හඳුන්වන්නේ මෙම කොටස් තුනයි. ත්‍රිපිටකය අතරින් සූත්‍ර පිටකය නිකාය යනුවෙන් හැඳින්වෙන කොටස් පහකින් සමන්විත වේ. දීර්ඝ ප්‍රමාණයේ සූත්‍ර දීඝ නිකායටත් මධ්‍යම ප්‍රමාණයේ සූත්‍ර මජ්ක්‍ධිම නිකායටත් ඇතුළත්වන අතර විශේෂ මාතෘකා යටතේ එන ධර්ම කොටස් සංයුත්ත නිකායටත් අංක එකේ සිට එකොළහ දක්වා ධර්ම කොටස් අංගුත්තර නිකායටත් ඇතුළත්කර ඇත. පස්වන ඛුද්දක නිකාය ග්‍රන්ථ වශයෙන් කොටස් පහළොවකින් යුක්ත වේ. මෙම ග්‍රන්ථ පහළොව අතරින් දෙවන ග්‍රන්ථය ධම්මපදයයි. ‘ධම්මෝච සො පදඤ්චාති ධම්මපදං” යන නිරුක්තිය අනුව ධර්ම සංඛ්‍යාත පද ධම්මපද නම් වේ. බුදුරදුන් විසින් නොයෙක් අවස්ථාවල දේශිත, සූත්‍ර පිටකයේ තැනින් තැන දක්නට ලැබෙන ගාථා ඒකරාශී කොට වර්ග විසිහයකට බෙදා දක්වමින් එය නිර්මාණය කොට තිබේ. පාලි පද්‍ය හෙවත් ගාථා හාරසිය විසි තුනක් ධම්මපදයෙහි ඇතුළත් වේ. එම ගාථා සියල්ල යමක, අප්පමාද, චිත්ත, ඵුප්ප, බාල, පණ්ඩිත, අරහන්ත, සහස්ස, පාප, දණ්ඩ, ජරා, අත්ත, ලෝක, බුද්ධ, සුඛ, පිය, කෝධ, මල, ධම්මට්ඨවග්ග, පකිණ්ණක, නිරය, නාග, තණ්හා, භික්ඛු, බ්‍රාහ්මණ යනුවෙන් වර්ග විසිහයක් යටතේ සංග්‍රහකොට තිබේ. අට්ඨකතාචාර්යන් වහන්සේලා මෙම ගාථා සඳහා විවරණ ඉදිරිපත් කරමින් කතාවස්තු රචනා කළහ. එම විවරණ ඇතුළත් කතා ධම්මපදට්ඨකතා යනුවෙන් දැක්වේ. එය ධම්මපදය සඳහා ලියැවුණ අටුවාවයි. ධර්ම දේශකයන් වහන්සේලා ධම්මපද ගාථාව මාතෘකා කොට ධම්මපදට්ඨකතාවේ දැක්වෙන කතා පුවත් උපුටා දක්වමින් ධර්ම දේශනා පවත්වති. විශේෂයෙන්ම ධර්මදේශකයන් පුහුණු කිරීමේ දී ධම්මපදය හා ධම්මපදට්ඨකතාව බෙහෙවින් උපයෝගීකරගනු ලැබේ. පැවිද්දට ඇතුළත්කර ගැනීමට පෙර ධම්මපදය වාචෝද්ගතගත කිරීම කළ යුතුයැයි දඹදෙණි කතිකාවතෙහි සඳහන් වේ. ධම්මපදය කටපාඩමින් පවත්වාගෙන ගිය භාණක පරම්පරාවක් සිටි අතර ඒ අය ධම්මපදභාණකයන් ලෙස නම්කර තිබේ. ධම්මපදය මෙන්ම ධම්මපදට්ඨකතාවත් සිංහල සාහිත්‍ය පෝෂණය සඳහා ඉවහල් වී තිබේ. ඉතා ජනපි‍්‍රය සම්භාව්‍ය සිංහල සාහිත්‍ය ග්‍රන්ථයක් වන සද්ධර්මරත්නාවලිය රචනා කිරීමේ දී ධර්මසේන හිමියන් මෙය මූලාශ්‍රය කරගෙන තිබේ. වෙනත් සිංහල සාහිත්‍ය ග්‍රන්ථවල ධම්මපදයේ දැක්වෙන ගාථා මෙන්ම ධම්මපදට්ඨකතාවෙහි එන කතාපුවත් නිතර උපුටා දක්වා තිබේ. මේ අනුව සිංහල සාහිත්‍ය පෝෂණය වීම සඳහා ධම්මපදය පාදක වී තිබෙන බව පැහැදිලිය.

ධම්මපදය උපදේශ ග්‍රන්ථයක් ලෙස නම්කළ හැකිය. ආධ්‍යාත්මික හා භෞතික වශයෙන් ජීවිතය අර්ථවත් කෙරෙන උපදේශාත්මක ඉගැන්වීම් සමූහයක් එහි ඇතුළත් වේ. පාලි පද්‍ය උපයෝගීකරගෙන ඉදිරිපත් කරන මෙම උපදෙස් ඉතා පහසුවෙන් මතක තබාගත හැකි වේ. ධනාත්මක චින්තනය යනුවෙන් වෙනත් විෂයක් යටතේ ඉගෙන ගන්නා කරුණු සියල්ල ධම්මපදයෙහි ඇතුළත්වන බැවින් එය ධනාත්මක චින්තනය පිළිබඳ බෞද්ධ මූලාශ්‍රය ලෙස එය නම් කිරීම යෝග්‍ය වේ. අතීතයේ සිටම මෙය බෞද්ධයාගේ අත්පොත වශයෙන් තබාගත් බව වීර කැප්පෙටිපොල නිලමෙතුමා මිය යන අවස්ථාවෙහි තම ඉණෙහි සඟවාගෙන තිබුණු ධම්මපදයක් තම මිතුරෙකුට දානයක් ලෙස පරිත්‍යාග කිරීමේ පුවතින් පැහැදිලි වේ. මෙනිසා ධම්මපදය බෞද්ධයාගේ අත්පොත යනුවෙන් හඳුන්වනු ලැබේ. විවිධ කරදර බාධක එන සෑම අවස්ථාවකදීම එය කියවීමෙන් මානසික අස්වැසිල්ලක් ලද හැකිය. එදිනෙදා මුහුණ දෙන බොහෝ ප්‍රශ්න හා ගැටලුවලට මුල හේතුව අප ඇසුරු කරන පුද්ගලයන් මෙන්ම අපගේ පෞද්ගලික සිතුම් පැතුම් හා චර්යාවන්ය. මානව සම්බන්ධතා මෙන්ම අපගේ සිතුම් පැතුම් නිසි පරිදි කළමනාකරණය කරගැනීමට අවශ්‍ය උපදෙස් සමූහයක් ධම්මපදයෙහි අන්තර්ගත වේ. එබැවින් එය අත්පොතක් ලෙස අපගේ නිවසේ, කාර්යාලයේ, ගමන් මල්ලෙහි මෙන්ම පෞද්ගලික රථයෙහි තබා ගැනීම බෙහෙවින් ප්‍රයෝජනවත් වේ. විවේකයක් ලද මොහොතක එහි ගාථා කීපයක් කියවීම හා ඒ පිළිබඳ කල්පනා කිරීම පිරිහුණු මානසික උද්‍යෝගය නැවත ඇතිකරගැනීමට උපකාරී වේ. විශේෂයෙන්ම රාත්‍රී නින්දට පෙරත් හිමිදිරි උදෑසනත් එහි ගාථා කීපයක් නුවණින් මෙනෙහි කළ හැකි නම් භාවනාවක් ලෙසින් මානසික සුවයක් ලැබිය හැකි වේ.

බුදුරදුන්ගේ සමස්ත ධර්මයෙහි සාරය ධම්මපදයෙහි අන්තර්ගත වේ. සරල උපමා භාවිතාකොට තිබෙන හෙයින් ඉතා පහසුවෙන් කරුණු අවබෝධකරගත හැකිවේ. උගතෙකුට මෙන්ම සාමාන්‍ය පුද්ගලයෙකුට ද එය පහසුවෙන් වටහාගත හැකිවේ. විෂය කරුණු අනුව වර්ගකොට තිබෙන හෙයින් එයට අදාළව පුළුල් අවබෝධයක් ලැබිය හැකිය. ත්‍රිපිටක ග්‍රන්ථ අතරින් වැඩිම භාෂා ගණනකට පරිවර්තනය වී තිබෙන්නේ ධම්මපදයයි. ශ්‍රී ලංකාවේ ව්‍යවහාර කෙරෙන සිංහල, දෙමළ හා ඉංගී‍්‍රසි භාෂා තුනටම පරිවර්තනය වී ඇති ධම්මපදය සිංහල කවියට ද නඟා තිබේ. ධම්මපදය ආරම්භයේ සිටම විවිධ බෞද්ධ නිකායන් අතර ප්‍රචලිතව පැවතී බව එහි වෙනත් පැරැණි සංස්කරණ පහක් දැනට සොයාගෙන තිබීමෙන් පැහැදිලි වේ. ඒ අතර ධර්මගුප්තික නිකායට අයත් ඛරෝස්ථි අකුරෙන් ලියන ලද ගන්ධාරී ධම්මපදය, සම්මිතීය නිකායට අයත් සංස්කෘතියෙන් රචිත පැට්නා ධම්මපදය, මූලසර්වාස්තිවාද නිකායට අයත් ධම්මපදය, තිබ්බත භාෂාවෙන් රචිත ධම්මපදය හා චීන භාෂාවෙන් රචිත ධම්මපද යන කෘති ඉතා පැරැණි පිටපත් ලෙස සැළකේ. ධම්මපදය පළමුවරට ඉංගී‍්‍රසි භාෂාවට පරිවර්තනය කරන ලද්දේ 1855 දීය. මේ අතරින් ථෙරවාදී සම්ප්‍රදායට අයත් පාලි ධම්මපදය වඩාත් පූර්ණ කෘතිය වශයෙන් සැළකේ. පැරැණි යුගයේ මෙන්ම නූතනයේ ද එය වඩාත් ජනපි‍්‍රය ආගමික උපදේශ ග්‍රන්ථයක් ලෙස ප්‍රචලිතව තිබෙන අයුරු අන්තර්ජාලයේ දැක්වෙන තොරතුරුවලින් සනාථ වේ.