Print this Article


ඊර්ෂ්‍යාව සුව කළහැකිද?

ඊර්ෂ්‍යාව සුව කළහැකිද?

“ඊර්ෂ්‍යාව සුව කළ නොහැකි රෝගයකි” යන්න පොදු සමාජ ව්‍යවහාරයෙහි පවත්නා ප්‍රකට කියමනකි. මෙම කියමනට අනුව ඊර්ෂ්‍යාව රෝගයකි. බුදු දහම තුළ රෝග වර්ගීකරණය විවිධය. එනම් කායික රෝග සහ මානසික රෝග වශයෙනි. ඊර්ෂ්‍යාව මානසික රෝග ගණයට වැටෙන්නෙකි. එබැවින් ඊර්ෂ්‍යාව සුවකළ හැකිද ? යන්න මෙම ලිපියෙන් විමර්ශනය කෙරේ.

බටහිර දර්ශනයෙහි මනෝවිද්‍යාව බිහිවීමට බොහෝ කාලයකට පෙර බෞද්ධ දර්ශනය තුළ මනස පිළිබඳව අතිශය සියුම් විග්‍රහයක් පැවතුණි, මානවයාගේ මානසික ලක්ෂණ පිළිබඳ ඉතා ගැඹුරින් විග්‍රහ කළ බුදුරජාණන්වහන්සේ, රහතන් වහන්සේලා හැර අන් සියල්ලෝම අසාමාන්‍ය චර්යාවන් (Abnormal behavior) ගෙන් සමන්විත වූවෝයැයි දේශනා කර ඇත. “සබ්බේ පෘථජ්ජනා උම්මන්තකා” සියලුම පෘථග්ජනයෝ උම්මන්තකයෝය යනුවෙන් දැක්වීමෙන් ඒ බැව් සනාථ වේ. මිනිසාට වැළඳෙන කායික රෝගවලින් ආරක්ෂා වී බොහෝ කල් සිටිය හැකි වුවද මානසික රෝග එසේ නොවේ. පුද්ගලයාට වැළඳෙන මානසික රෝගවලින් පීඩා නොවීද එක මොහොතක් හෝ ගත කිරීම දුෂ්කර බැව් බුදුන්වහන්සේ දේශනා කර ඇත. පුද්ගලයා නිරන්තරයෙන් බොහෝ ලෞකික වස්තූන් කෙරෙහි ආශාවෙනේ ඒවා තමන් සතු කර ගැනීමේ උත්සාහයක යෙදී සිටින අතරම කෙතරම් සුඛ විහරණ තිබුණද, ඒවායින් තෘප්තිමත්භාවයට නොපැමිණේ. මෙසේ රූප, ශබ්ද, ගන්ධ,රස, ස්පර්ශ අරමුණු පිළිබදව පිපාසයෙන් පීඩිතව ඒවා පසුපස හඹා යාමේදී අතෘප්තිමත් මනසකින් යුත් පුද්ගලයාගේ දෛනික ජීවන රටාවෙහි විවිධ චර්යා විෂමතා විකෘතිතා ඇතිවේ. එය ස්වාභාවිකය. සංයුක්ත නිකායේ බ්‍රහ්ම සංයුක්තයෙහි භාරද්වාජ සූත්‍රයට අනුව වස්තු කාමයන්ට හා ක්ලේෂ කාමයන්ට වසඟව සාමිස සැප සොයමින් සැරිසැරීම මානසික රෝගී ලක්ෂණය ලෙසත් එම කාමයන්ගෙන් වෙන් වී නිරාමිස සුවයෙන් කල්ගත කිරීම මානසික නිරෝගීභාවයේ ලක්ෂණය ලෙස පැහැදිලි වේ. මානසික රෝග පිළිබඳව බෞද්ධ විග්‍රහයන් සූත්‍ර දේශනා රාශියක දැකගත හැකිවන අතර මජ්ක්‍ධිම නිකායේ සල්ලේඛ සූත්‍රය මානසික රෝග හතළිස් හතරක් පිළිබඳව සඳහන් කරයි. ඒ අතරින් එකකි. ඊර්ෂ්‍යාව

ඉස්සා යන පාලි භාෂා ගත වචනය ඊර්ෂ්‍යාව ලෙස සිංහල භාෂාවෙහි යෙදේ. (Jealousy, Envy) අභිධර්ම විග්‍රහයට අනුව ඊර්ෂ්‍යාව අකුසල චෛතසික ගණයට වැටෙන්නකි. එසේම අනුන්ගේ සැප , යස ඉසුරු , නොඉවසන සුළු ස්වභාවය ඉස්සා නම් වේ. චුල්ලකම්මවිභංග සූත්‍රයට අනුව අල්පේ ශාක්‍ය බව පිණිස ඊර්ෂ්‍යාවක් මහේශාක්‍ය බව පිණිස ඊර්ෂ්‍යා නොකිරීමත් හේතු වේ. අනුන්ගේ ලාබ සත්කාර, ගරු කිරීම් , පූජා වන්දනා ආදියෙහි ඊර්ෂ්‍යා කරන්නා මරණින් මතු නිරයට නොපැමිණ මිනිස් බවට පත් වන්නේ නම් හෙතෙම අල්පේශාක්‍ය වේ. ඊර්ෂ්‍යා සහගත සිත් ඇති තැනැත්තෙක් වේ. එපරිද්දෙන්ම අනුන්ගේ ලාබ සත්කාර ආදියෙහි ඊර්ෂ්‍යා නොකරන තැනැත්තා මරණින් මතු ස්වර්ගයට නොපැමිණ මිනිස් ලොව උපදින්නේ වේ නම් හෙතෙම මහේශාක්‍ය වන බවද එම සූත්‍රය පැහැදිලි කරයි.

ඊර්ෂ්‍යා කිරීම නිසා දුකට පත් වූවන් පිළිබඳ කතා පුවත් බෞද්ධ පිටක සාහිත්‍යයේ සුලබය. ඒ අතර දේවදත්ත හිමි සුවිශේෂී චරිතයක් වේ. තිලෝගුරු බුදුරජාණන් වහන්සේට හා මහා ශ්‍රාවකයන් වහන්සේලාට ලැබෙන ලාබ සත්කාර, ගරුකාර, මානන, පූජාදියෙහි බොහෝ සෙයින් ඊර්ෂ්‍යා පරවශ වූහ.බොහෝ උපාසක උපාසිකාවන්, රජ සිටුමැතිවරුන් වෙහෙරට පැමිණ අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලාගේ ගුණ කියමින් උන්වහන්සේලා සොයති. තමන් වහන්සේ හමුවීමට කිසිවෙකු නොපැමිණේයැයි සිතා බුද්ධ ප්‍රමුඛ මහා ශ්‍රාවකයන් කෙරෙහි ඊර්ෂ්‍යා කරන්නට වූහ. කෙසේ හෝ තමාටද එම ලාබ සත්කාර ගරුකාර, මානන, පූජාදිය ලබා ගන්නේයැයි සිතා බුදුන් කෙරෙහි ඊර්ෂ්‍යාවෙන් වෛර බැන්දෝය.

අනතුරුව ඒ සඳහා යෝග්‍ය පරිසරයක් සකසා ගනු පිණිස අජාසත්ත කුමාරයා වෙත ගොස් ඔහු පහදවාගෙන ඔහු පීතෘගාතකයෙක් කරවීය. තමා කෙසේ හෝ බුදුන් මරා බුද්ධ රාජ්‍යය අත්පත් කර ගන්නා බවට ප්‍රතිඥා දුන්හ. කෙසේ හෝ රජුන්ගේ සහාය ඇතිව දුනුවායන් යොදවා බුදුන් වහන්සේ මරණයට පත් කිරීමට උත්සාහ ගත් අතර බුදුන් වහන්සේ තුළ පැවති මහා කරුණා ගුණය හේතුකොටගෙන ඔවුහු දහම් අසා පැවිදිව මාර්ගඵල අවබෝධයට පත්වූහ. එම කාර්යය සඵල නොවුයෙන් ගිජුකුළු පව්ව පාමුල සක්මනෙන් වැඩහුන් බුදුන්ගේ සිරසට ගල් පෙරලා ලෝහිතුප්පාදක ආනන්තර්ය මහා අකුසල කර්මය සිදුකර ගත්හ.

එයිනුත් නොනැවතී නාලාගිරි (ධනපාල) හස්ති රාජයා රා කල දහසයකින් මත් කොට බුදුන් වඩින මඟට යවා බුදුන් මරවන්ට තැත් කළද බුදුන් වහන්සේගේ මහා මෛත්‍රිය හමුවේ ඇතුන් දණ නැමීය. තවද සංඝභේදක අකුසල කර්මයද සිදුකර ගත්හ. ඒ සියල්ල සිදුවූයේ දේවදත්ත හිමියන් තුළ පැවති ඊර්ෂ්‍යාව නම් වූ බලවත් අකුසල චෛතසිකය පූර්වාංගම කොටගෙනය. ඊර්ෂ්‍යාව කල් පවතින විට එය වෛරයක් බවට පෙරළේ. එම වෛරී සිත අනුන් නැසීම දක්වා වර්ධනය වන බවට ඉහත කතාව මනා උදාහරණයකි.

ඊර්ෂ්‍යාව යනු දෙපණස් චෛතසිකයන්හි අකුසල චෛතසිකයකි. මෙම අකුසල චෛතසිකය හට ගැනීම කෙරෙහි ත්‍රිවිධ අකුසල මූලයන්ගෙන් ද්වේශය ඍජුවම බල පැවැත්වේ. සමාජය තුළ ද්වේශය , වෛරය ආදී අකුසල චේතනාවන් නිසා ස්ත්‍රී දූෂණ, මිනීමැරීම්පහරදීම්, මංකොල්ල කෑම් සුලබව දක්නට ලැබේ.

එම තත්ත්වයන් සඳහා ඊර්ෂ්‍යාව නම් වූ මානසික රෝග කාරකය ඍජුවම බලපැවැත්වෙන බව බෞද්ධ දර්ශනයට අනුව පෙනී යන කරුණකි. එහෙත් සමාජය තුළ පවතින මතය නම් ඊර්ෂ්‍යාව සුව කළ නොහැකි රෝගයක් බවය. කෙසේ නමුත් වඩා වැදගත් වන්නේ ඊර්ෂ්‍යාව රෝගයක් ලෙස සමාජය පිළිගෙන තිබීමයි. එම නිසා රෝගයට පිළියම් සෙවීම පහසු වී තිබේ.

සෑම දෙයක්ම හට ගැනීම සඳහා යම් යම් හේතු සාධක ඉදිරිපත් කිරීම බුදු දහමේ කැපී පෙනෙන ලක්ෂණයකි. පුද්ගල මනස ස්වාභාවයෙන්ම ප්‍රභාෂ්වර එකක්වුවද ඇස, කන, නාසය, දිව, ශරීරය, නිසා රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආදි අරමුණුවල ගැටීමෙන් වහ වහා අපවිත්‍ර වේ. මහා නිධාන සූත්‍රයට අනුව ඇලීම (ලෝභය) ගැටීම (ද්වේශය) නිසා පුද්ගලයා තුළ මෙන්ම සමාජය තුළද විවිධ ගැටලු පැන නගී.

මෙම තත්ත්වයන් පාලනය කරගැනීම සඳහා අවබෝධය ඉතා වැදගත්වේ. පළමුව තමා පවතින ස්වභාවය වටහා ගත යුතුය. මෙනම් වූ ආස්‍රවයක් තම සිත පාලනය කරන බව දත යුතුය. ඒවා සිතෙන් පළවා හැරීමෙන් සමතුලිත මනසක් ඇති කර ගැනීමේ හැකියාව පවතී. මජ්ක්‍ධිම නිකායේ සබ්බාසව සූත්‍රයේ මෙම ආස්‍රවයන් දුරුකර ගැනීම සඳහා සත් වැදෑරුම් පිළිවෙතක් දේශනා කරනු ලැබ ඇත.

දස්සනා කාමාදි ආශ්‍රවයන්ගේ ආදීනව දැකීම, සංවරා (ඉන්ද්‍රියයන්ට ගෝචර වන අරමුණු හොඳයි, මැනවිය ගණන් නොගැනීම) පටිසේවනා (සිවුපසය , ජීවිතය පවත්වා ගැනීමට පමණක්ය යනුවෙන් නුවණින් කල්පනා කොට පරිභෝග කිරීම) අධිවාසනා (සීත , උෂ්ණ, කුසගිනි, මැසි මදුරු, ආදි කරදර ඉවසීම හෙවත් විඳ දරා ගැනීම) පරිවජ්ජනා (කෙලෙස් ප්‍රකෝප කරන කාරණවලින් ඈත්ව සිටීම) විනෝදනා (කාමුක හැඟීම්, ද්වේශසහගත හැගීම් ආදී ලාමක අදහස් දුරු කිරීම) භාවනා (සතර සතිපට්ඨානය, සප්ත බොජ්ඣංග ආදි ධර්ම පිළිබඳ සිත දියුණු කිරීම) එම ක්‍රියා පිළිවෙතයි.

එමෙන්ම මජ්ක්‍ධිම නිකායේ විතක්ක සන්ඨාන සූත්‍රයට අනුව කිසියම් වැරදි හැඟීමක් සිතෙහි ඇතිවන විට ඊට ප්‍රතිවිරුද්ධ හැඟීම් මෙනෙහි කිරීම, ප්‍රස්තුත හැඟීමෙහි ආදීනව මෙනෙහි කිරීම, වෙනත් අරමුණකට සිත යොමු කොට වැරදි හැඟීම අමතක කොට දැමීම, එහි හැගීමෙහි මූලික හේතුව කුමක්දැයි සොයා බලා එය දුරු කිරීම, කායික හා මානසික යොදා ආවේග පාලනය කිරීම යනු කරුණු ප්‍රායෝගික ක්‍රියාවෙහි නැංවීම මඟින් ඊර්ෂ්‍යාව නම් වූ මානසික රෝගී තත්ත්වය ප්‍රත්‍යක්ෂ වශයෙන් සුවකර ගත හැක.