අළුත්ගම බෝගමුවේ සද්ධාරංසි නා හිමි
සටහන හා ඡායාරූප
අනුරාධපුර නැගෙනහිර සමූහ
සේනපුර ඩී. නිශ්ශංක
අළුත්ගම බෝගමුවේ
සද්ධා රංසි නා හිමි |
අනුරාධපුර සිරිසඟබෝ භාවනා මධ්‍යස්ථානාධිපති, නෙල්ලිකුලම සිරිසම්බුද්ධ පංචසතික
ශ්‍රාවක චාරිකාරාමය හා කොක්කිච්චිය ප්‍රාතිහාර්ය විහාරය යන විහාර සංකීර්ණයේ
නිර්මාතෘ, ‘ශාසන කීර්ති ශ්‍රී සද්ධර්ම වාගිශ්වර ධර්මප්‍රභ ධීරානන්දාභිධාන’ කල්‍යාණි
ධර්ම මහා සංඝ සභාවේ උතුරු මධ්‍යම පළාතේ ප්‍රධාන සංඝනායක හා රජරට පාර්ශවයේ
උපාධ්‍යාය, කම්මට්ඨාන විශාරද, ශාස්ත්‍රපති අළුත්ගම බෝගමුවේ සද්ධාරංසි නා හිමියන්ගේ
64 වැනි ජන්මදිනය නිමිත්තෙනි.
සියනෑ කෝරළේ යක්කල අළුත්ගම බෝගමුවේ වාසය කළ බී. ඒ. ගුණතිලක මහතා සහ ගුරු මාතාවක වන
ඇම්. ඇම්. සෝමාවතී මහත්මියගේ පුත්රුවනක්ව 1953 ජනවාරි 26 වැනි දින උපත ලද
බමුණුආරච්චිලාගේ අබේසිරි එඩ්මන්ඩ් චන්ද්‍රකුමාර කුමරුවා ප්‍රාථමික අධ්‍යාපනය
ලබාගත්තේ යක්කල කළගෙඩිහේන රජයේ විද්‍යාලයෙනි. අනතුරුව යක්කල අනුර මහා විද්‍යාලයට ද,
නව වන වසරේ දී නිට්ටඹුව සංඝබෝධි විද්‍යාලයට ද ඇතුළත් වී දහවැනි වසර දක්වා අධ්‍යාපනය
හැදෑරීය.
‘මම පාසලෙන් අස්වන විට හිටියේ 10 වැනි වසරේ. එතකොට වයස අවුරුදු 13යි. 1966 මැයි 28
වෙනි දා පාසලෙන් අස්වුණා. පැවිදි ජීවිතයට අවශ්‍ය පෙරහුරුකම් කිසිවක් ලබා ගන්නට
කාලයක් තිබුණේ නැහැ. ඒ සසර පුරුද්දක් නිසා වෙන්න ඇති. පහුවදාට පහුවදාම මහණ වුණා. ඒ
දිනය මට කවදාවත් අමතක වන්නේ නැහැ. එසේ පැවිදි වූයේ 1966 මැයි 30 වෙනිදා අනුරපුරවරයේ
දී” යැයි සද්ධාරංසි නා හිමියෝ පැවසූහ.
1967 දී මාළිගාතැන්න විවේක සේනාසයනයට වැඩම කොට මැණික්දිවෙල දේවානන්ද වනවාස නිකායේ
ප්‍රධාන අනුශාසක ස්වාමීන් වහන්සේගෙන් මාස පහක පමණ කාලයක් කමටහන් ලබා ගත්හ.
සද්ධාරංසි හිමියන්ගේ ගුරුදේවයාණන්වන ආභිධම්මික යාගොඩ ධර්මප්‍රභ නා හිමියන්
මාළිගාතැන්නට වැඩම කොට එහි රැඳී සිටි සද්ධාරංසි පොඩි හාමුදුරුවන් කැටුව පැමිණ
අනුරාධපුර සිරිසඟබෝ භික්ෂු අභ්‍යාස මධ්‍යස්ථානයට ඇතුලත් කළහ. එම මධ්‍යස්ථානයේ
කටයුතු භාරව සිටියේ පොඩි හාමුදුරුවන්ගේ ගුරු දේවයාණන් නමක් වූ මතුගම ශ්‍රී ධීරානන්ද
නා හිමියන් ය. උන්වහන්සේ යටතේ සද්ධාරංසි පොඩි හාමුදුරුවන් ද ඇතුළුව හාමුදුරුවරු දස
නමක් අධ්‍යාපනය ලැබූහ.
1969 අගෝස්තු මාසයේදී යළිත් යක්කල අළුත්ගම බෝගමුවේ බෝධිග්‍රාම භාවනා මධ්‍යස්ථානයට
වැඩම කොට එහි නේවාසිකව සිව්මාසික භාවනා පාඨමාලාව හැදෑරූහ. කොළඹ මාලිගාකන්දේ
විද්‍යෝදය මහ පිරිවෙනට ඇතුළත් වන්නේ 1970 දීය.
|
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය වසරේ පැවති නා හිමි ජන්මදින සමරුමට පැමිණ
අටපිරිකර පූජා කර දිගාසිරි පැතූ අයුරු |
සද්ධාරංසි පොඩිහාමුදුරුවෝ විද්‍යෝදය පිරිවෙනෙන් අස්වී ආපසු අනුරාධපුර සිරිසඟබෝ
භාවනා මධ්‍යස්ථානයට 1970 දී වැඩම කළහ. වසර තුනක පමණ කාලයක් උසස් අධ්‍යාපනය සමඟ
භාවනා ක්‍රම හැදෑරුවේ මෙහි දී ය. 1972 සිට 1974 දක්වා අධ්‍යාපනය ලබා 1975 දී
අනුරාධපුර බුද්ධ ශ්‍රාවක ධර්මපීඨ ප්‍රවේශ විභාගයට පෙනී සිට ඉන් සමත් වී වසර තුනක
කාලයක් එහිදී ද උසස් අධ්‍යාපනය ලබා ගත්හ.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වූයේ 1979 වසරේදීය. එහි දී ශාස්ත්‍රවේදී උපාධිය
1982 දී ලැබීය. පසුව අනුරාධපුරයට නුදුරු විජයපුර පිරිවෙනේ ගුරු තනතුරකින් පිදුම් ලද
සද්ධාරංසි හිමියෝ සිය පැවිදි ජීවිතයේ තවත් කඩ ඉමක් පසු කළහ. 1989 දෙසැම්බර් 11 වැනි
දින පිරිවෙන් පරීක්ෂක, භාවනා උපදේශක නමින් අධ්‍යාපන අමාත්‍යංශය මඟින් පත්වීමක්
උන්වහන්සේට පිරිනැමිණි.
රටපුරා සාරධර්ම වැඩිදියුණු කිරීමේ අරමුණින් අධ්‍යාපන අමාත්‍යාංශය ක්‍රියාත්මක කළ
භාවනා වැඩ සටහන බෙහෙවින් ඵලදායි විය. සද්ධාරංසි හිමියෝ ඊට මූලිකත්වය ගත්හ. මේ සඳහා
සද්ධාරංසි හිමියන් මහරගම ජාතික අධ්‍යාපන ආයතනයට අනුයුක්ත කර ගන්නා ලද්දේ එවක
අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයෙකුව සිටි අයි. ඒ. ඩී. කේ. ඉලේපෙරුම මහතා
විසිනි. මෙම භාවනා වැඩසටහන් ආරම්භ වන්නේ 1995 අගෝස්තු මස 09 වැනි දිනදීය.
1989 වසරේ ඇති වූ සිද්ධියේ දී කඳවුරු ගත කළ තරුණ පිරිසේ පුනරුත්ථාපනය කර යහපත්
පුරවැසියන් ලෙස සමාජ ගත කරවීමේ පුළුල් වැඩසටහන දියත් කිරීමේ කාර්යය සද්ධාරංසි
හිමියන් වෙත පැවරිණි. එකී වැඩසටහන යටතේ තරුණ පිරිස් භාවනාවට යොමුකර සමාජගත කරවීම
සද්ධාරංසි හිමියන්ට අපහසු කාර්යයක් නොවීය.
මෙරට විවිධ ප්‍රදේශවලින් ගෙන එනු ලැබූ තරුණයින් දහසක් පමණ මේ සඳහා යොදා ගැනිණි. සති
දෙකක පමණ කාලයක් තුළ අටසිල් සමාදන් කරවා ඔවුන් භාවනාවට යොමු කරවනු ලැබීය. අවසානයේ
යහගුණයෙන්, දහමින් පිරිපුන් තරුණයන් නිර්දේශ කිරීම ද සද්ධාරංසි හිමියන් වෙත
පැවරුණි. ඒ වන විට ඒ තරුණයෝ මනා ලෙස භාවනාව පුරුදු, පුහුණුකර උසස් මානසික මට්ටමකට
පැමිණ සිටියහ. සද්ධාරංසි හිමියන් සිය නිර්දේශය ලබා දුන්හ. තරුණ පිරිස මුළුමනින් ම
නිදහස් කර හැරිණි.
කැලණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධිත පාලි බෞද්ධ විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය
ලබා ගන්නට ද මේ සියලු ශාසනික කටයුතු අතරේ සද්ධාරංසි හිමියන්ට හැකියාව ලැබිණි.
අනතුරුව දඹදෙණිය ගුරු විද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරයෙකු ලෙස ද කටයුතු කළහ.
පොළොන්නරුවේ පිහිටි පුලතිසිපුර අධ්‍යාපන විද්‍යා පීඨයට ඇතුලත්වන ගුරු ශිෂ්‍ය
ශිෂ්‍යාවන්ගෙන් සැදුම්ලත් සෑම කණ්ඩායමක් සඳහාම අධ්‍යාපනය හා මනෝවිද්‍යාත්මක පුහුණු
පාඨමාලා පවත්වමින් ඔවුන් දැනුවත් කළ සද්ධාරංසි හිමියෝ සාරිපුත්ත විද්‍යා පීඨයේ
ඉගෙනුම හදාරන භික්ෂූන් වහන්සේලා ද, ගුරු ශිෂ්‍යයන් ද කැඳවා පුහුණු පාඨමාලා හා භාවනා
පන්ති පැවැත්වූහ. අනුරාධපුර සිරිසඟබෝ භාවනා මධ්‍යස්ථානය පාසල් ශිෂ්‍ය නායක
නායිකාවන්ගේ සිත් සනහන මධ්‍යස්ථානයක් බවට පත්විය. සිරිලක දස දෙස වැඩම කරමින් එක්
එක් මධ්‍යස්ථානවලට පාසල් ශිෂ්‍ය නායක නායිකාවන් කැඳවා ගනිමින් ජාතික සාරධර්ම ආයතනය
යටතේ භාවනා පන්ති හා නායකත්ව පුහුණු වැඩසටහන් මෙහෙයවූහ.
අනුරාධපුර පූජනීය පෙදෙසේ දකුණු දාගැබ පාරේ රජරට සීල භාවනා මධ්‍යස්ථානයේ වැඩසටහන්
සඳහා අත්තිවාරම වැටෙන්නේ ද මේ ආකාරයෙනි. 1990 වසරේ ආරම්භ කෙරුණ එම මධ්‍යස්ථානය
සද්ධාරංසි හිමියන් විසින් පෞද්ගලිකවම මෙහෙය වූවක් විය.
යක්කල බෝධිග්‍රාම භාවනා මධ්‍යස්ථානයේ ත්‍රිපිටක ධර්මායතන පිරිවෙන අනුරාධපුර
නෙල්ලිකුලම සිරි සම්බුද්ධ පංචසතික ශ්‍රාවක චාරිකාරාමය වෙත ගෙන ඒමට සද්ධාරංසි
හිමියන් දැඩි වෙහෙසක් ගත්හ. ඒ අනුව 2006 සැප්තැම්බර් මස 12 වැනි දින එම පිරිවෙන
අනුරාධපුරයේ ස්ථාපිත කළේය. එදින සිට නෙල්ලිකුලම සිරි සම්බුද්ධ පංචසතික ශ්‍රාවක
චාරිකාරාම විදර්ශනා පිරිවෙන බවට පත්ව අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් මහ පිරිවෙනේ
පරිවේණාධිපති ධුරයට සද්ධාරංසි හිමියන් පත් කරන ලදී.
තම ආචාර්යෝත්තම යාගොඩ ධර්මප්‍රභ නායක හාමුදුරුවන්ගේ අපවත්වීමත් සමඟ යක්කල
බෝධිග්‍රාම භාවනා මධ්‍යස්ථානයේ හා ධර්මායතනයේ අධිපතිධුරය භාර ගන්නා සද්ධාරංසි
හිමියෝ අනුරාධපුර සිරිසඟබෝ භාවනා මධ්‍යස්ථානය කේන්ද්‍ර කර ගනිමින් 1970 වසරේදී සීල
භාවනා සමිතිය ආරම්භ කළහ.
සද්ධාරංසි හිමියන්ගේ ආගමික සේවාව අගයමින් 1997 – 1998 සර්වෝදය භික්ෂු දිනය
නිමිතිකරගෙන මොරටුවේ පිහිටි සර්වෝදය විශ්ව සමාධි මන්දිරයේ පැවැති සම්මාන
සන්නස්පත්‍ර ප්‍රදානෝත්සවයේදී ‘කම්මට්ඨාන විශාරද’ සම්මානයෙන් පිදුම් ලැබූහ.
අනුරාධපුර පූජා නගරය ඇතුළතින් ලබාගත් ඉඩමක අසූමහා ශ්‍රාවක සම්බුද්ධ විහාරය ආරම්භ
කිරීම සඳහා මුල්ගල තබන ලදී. උතුරු මැද පළාතේ ප්‍රධාන සංඝනායක රජරට පාර්ශවයේ
නිර්මාර්තෘ මතුගම ශ්‍රී ධිරානන්ද නායක හාමුදුරුවන් වහන්සේගේ ඇවෑමෙන් “කල්‍යාණි
සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ” උතුරු මධ්‍යම පළාතේ ප්‍රධාන සංඝනායක උපාධ්‍යාය”
තනතුරු සද්ධාරංසි හිමියන්ට 2001 වසරේදී පිරිනමන ලදී.
2003 වසරේදී අනුරාධපුර අසූ මහා ශ්‍රාවක සම්බුද්ධ විහාරයේ ඉදිකිරීම් කටයුතු නිම කළ
සද්ධා රංසි නා හිමියෝ එම විහාරස්ථානය බෞද්ධ ජනතාව සඳහා විවෘත කර දෙන්නට සමත්වූහ.
සද්ධාරංසි නා හිමියන්ගේ ඊළඟ පියවර වූයේ අනුරාධපුර නෙල්ලිකුලම සිරි සම්බුද්ධ පංචසතික
ශ්‍රාවක චාරිකාරාම පුදබිමේ වැඩ ආරම්භ කිරීමයි. මේ සඳහා අක්කර දහයක භූමි ප්‍රමාණයක්
වෙන්කර ගන්නා විට එම ප්‍රදේශය වනයෙන් ගහණා විය. 2004 වසරේ ජූලි මස 06 වැනි දින
චාරිකාරාමය ඉදිකිරීමේ කටයුතු ආරම්භ කෙරිණි.
බුදු රජාණන් වහන්සේ ඇතුළු පන්සියයක් මහ රහතන් වහන්සේ ගම් නියම් ගම් සැරිසරමින්
අනුරාධපුරයට වැඩම කරවන ආකාරය නිරූපණය කරන ප්‍රතිමා පන්සියයකට වැඩි ප්‍රමාණයක් දැනට
නිර්මාණය කර අවසන් ය. ඈතින් සිට බලන්නෙකුට පෙනී යන්නේ ජීවමාන බුදුපියාණන් වහන්සේ මහ
රහතන් වහන්සේලා පන්සිය නමක් සමඟ මහ වනය මැදින් ගමන් අරඹා ඇති බවයි.
මේ විහාර කර්මාන්තයේ ඊළඟ පියවර වූයේ භික්ෂූන් වහන්ස්ලාගේ ප්‍රතිමා නිර්මාණය
කිරීමයි. මෙය බුදුරජාණන් වහන්සේ සමනොල කන්දේ සිරිපා සටහන තැබූ අවස්ථාව සිහිපත්
කරවන්නකි. පිටතින් පෙනෙන්නේ මහ කළු ගලක් සේ වූව ද ඇතුළත ගල්ලෙන් විහාර ද ඉදිව ඇත.
එහි බුදු සිරිතේ එන කතා මූර්තිමත් කර තිබේ. මෙතරම් කාර්යයකට අත ගසා එය නිමකළ
සද්ධාරංසි නා හිමියෝ එයින් ද නොනැවතී මෙහි ධර්මායතනයක් ආරම්භ කරනු ලැබුවේ 2006
සැප්තැම්බර් මස 12 වැනි දිනදීය.
සද්ධාරංසි නා හිමියෝ අනුරාධපුර ඇලයාපත්තුව මූලික රෝහල් භූමියේ සියලු පහසුකම් සහිත
භික්ෂු වාට්ටුවක් හා සාමාන්‍ය ජනතාව වෙනුවෙන් රෝහල් වාට්ටුවක් ද ඉදිකරන ලදී. මෙයට
අමතරව නා හිමියන් රුපියල් පන්දහසක් වටිනා බෙහෙත් ද්‍රව්‍ය සෑම මාසයකටම වරක් බැගින්
රෝහලට ලබා දෙනු ලැබේ.
ආබාධිත වූ රණවිරුවන් උදෙසා කෘත්‍රිම පාද ලබාදීමත් තුවාල ලැබූ රණවිරුවන් උදෙසා ලේ
දන්දීම, බෝධිපූජා, සතිපිරිත් පවත්වා ආශිර්වාද කිරීම හා ඔවුන්ට එදිනෙදා අවශ්‍ය දෑ
ලබාදීමත් නොඅඩුව සිදු කළහ.
නාහිමියන් වහන්සේ විසින් ආරම්භ කර ඇති ඇලයාපත්තුව ඉහළ පුලියන්කුලම බෝධිරුක්ඛාරාමය,
තිරප්පනේ ශ්‍රී ස්වර්ණබිම්බාරාමය, මන්නාරම් හන්දිය, සාලියවනාරාමය, ගුලුපෙත්තෑව
බෝධිරාජ විහාරය, වන්නි හැළඹෑව බෝධිරුක්ඛාරාමය, මදුරුපිටිගම සිරි සම්බෝධි විහාරය,
තිබ්බටුවාගම සිරි විජය විහාරය, අනුරාධපුර අසූ මහා ශ්‍රාවක සම්බුද්ධ විහාරය, රජරට
ශීල භාවනා මධ්‍යස්ථානය, අනුරාධපුර නෙල්ලිකුලම සිරි සම්බුද්ධ පංචසතික ශ්‍රාවක
චාරිකාරාමය, අනුරාධපුර කොක්කිච්චිය ප්‍රාතිහාර්ය විහාරය යන සිද්ධස්ථාන ඉතා
දැකුම්කලු අයුරින් වැඩි දියුණු කර පවත්වාගෙන යාමට කටයුතු කර තිබීම ද සතුටට හේතුවේ.
ඇලයාපත්තුව පාසල සඳහා රුපියල් ලක්ෂ 07 ක පමණ වියදමින් අලංකාර බුදු මැදුරක් ඉදිකර දී
ඇත. එමෙන් ම අසරණ දුප්පත් පවුල් දෙකක් සඳහා නිවාස දෙකක් ද ඉදිකර දී තිබේ.
සද්ධාරංසි නාහිමියන්ගේ ශාසනික සේවාව තුළ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා 65 නමක් පමණ
වෙති. උන්වහන්සේලා වෙත උසස් අධ්‍යාපනය ලබා දී මනාසේ භාවනාවට ද යොමු කරවා ඇත. මේ අතර
උපාධි හා පශ්චාත් උපාධි ලත් ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ ද විශාල පිරිසකි.
නාහිමියන්ගේ ජන්ම දිනය යෙදී ඇති මෙම 26 වැනි දින අනුරාධපුර වන්නි හැළඹ වැව ගම්මානයේ
දුප්පත් අසරණ පවුල් 130 කට වියළි ආහාර බෙදා දීමට කටයුතු සංවිධානය කර තිබේ. |