අසිරිමත් ධාතු පුරාණය 13 කොටස :
ස්වර්ණමාලි මහා සෑය ඉදිවීම විශ්මිත ප්‍රාතිහාර්යකි
පොල්ගහවෙල මහමෙවුනා
භාවනා අසපුවේ නිර්මාතෘ
කිරිබත්ගොඩ
ඤාණානන්ද හිමි
දෙවියන්ට පි‍්‍රය වූ දුටුගැමුණු රජතුමා එක් දිනයක් විජය ශ්‍රී ජයශ්‍රීමහා බෝධීන්
වහන්සේට අතිශයින්ම අත්‍යාලංකාරයෙන් පූජෝපාහරක් සිදුකොට තම නුවරට පැමිණෙමින්
සිටිද්දී රජතුමාට අහම්බෙන් මෙන් දේවානම්පියතිස්ස රජු විසින් සිට වූ දොළොස්රියන් උස
ශිලා ස්ථම්භය හමුවිය. එහි සඳහන් වූ දෙයින් රජු අතිශයින්ම සතුටට පත්වුණි.
"දෙවනපෑතිස්ස රජුගේ මුණුබුරු වූ දුටුගැමුණු අබා නම් රජෙක් මෙතැන දාගැබක් කරවන්නේය”
යි එහි සඳහන්ව තිබුණි. රජ ගෙදර රන් පතකද ඒ බව සටහන්ව තිබුණි. රජතුමා මිහිඳු මහරහතන්
වහන්සේ විසින් කියන ලද වචනයද සිහි කොට මවිසින් මහා දාගැබක් කරවමි” කල්පනා කර සතුටු
සිතින් රජ ගෙදරට ගොස් තම යහන් ගබඩාවේ සිටිමින් කල්පනා කරන්නේ අනෙක් අය දුකට පත්
නොකොට සෑය බඳින්නේ කෙසේද? යන්නයි.
කවර උපායකින් ලෝකවාසීන්ට දුක් නොදී දැහැමින් සෙමින් මහ දාගැබට සුදුසු ගඩොල් උපදවා
ගනිම්දෝ සිතීය. එවලෙහි ධවලව ඡත්‍රයෙහි අධිගෘහිත දෙවිවරු සිතූ සිත් දැක දුටුගැමුණු
රජතුමා මෙසේ සිතන්නේ යැයි අඬගෑය. ඒ හඬගෑ ශබ්දය කටින් කට ගොස් සදෙව් ලොව පුරා පැතිරි
ගියේය. ඒ බව සක්දෙව් රජ දැන විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා කැඳවා "දුටුගැමුණු රජ මහාසෑය
බඳින්නට ගඩොල් කෙසේ ලබන්දෝ සිතමින් සිටිති. ඔබ අනුරාධපුරයට උතුරු දෙසින් සෑයට අවැසි
ගඩොල් මවා එවයි" අණ කැරිණ. අනුරාධපුරයට දොළොස් ගව්වක් ඈත ඊසාන දෙසින් “අවුරුවිට”
නම් ගමේ තුන්යම රාත්‍රිය පුරා වැසි වැස්සේය. රාත්‍රිය පහව ගිය කල ගම්වැසියන් දුටුවේ
රත්තරං කන්ඳක් පහළව ඇති බවයි. අප රජුට මහාසෑයට රත්තරං පහළ වී ඇතිබව ගම්වැසියන්
දැන්වීය.
නුවරට නැගෙනහිර දිශාවේ සැතපුම් විසිඅටක් දුරින් ඈත ගඟින් එතෙර “තඹවිට” නම් ගමේ තඹ
පහළ විය. ගම්වැසියෝ ඒ බවද රජුට දැන්වීය. නගරයට ගිණිකොණ දිසාවේ “සුමන නම් වැව“
සමීපයේ බොහෝ මැණික් පහළ විය. ඒ බව ද රජුට දැන්වීය. නුවරට දකුණු දිග දෙසින් සැතපුම්
තිස්දෙකක් දුරින් “රිදී ගමේ” රිදී පහළ විය. බටහිර දෙසින් “උරුවෙල් ගම” නෙල්ලිගෙඩි
තරම් විශාල මුතු, පබලු වෙරළට ගසා තිබුණි. අනුරාධපුරයට වයඹ දෙසින් “පෙළවාපි” නම් ගමේ
විශාල වටිනාකම මිළ කළ නොහැකි මාණික්‍යයන් හතරක් පහළ විය. ඒ බවද ගම්මුන් රජතුමාට
දැන්වීය. සතුටු සිත් ඇති රජු නගර වැසියන්ට තෑගිබෝග දී ඒ සියලුම දේ රජමාළිඟයට
ගෙන්වාගෙන ඇත. සිතූ සැණින් සෑයට වස්තුව පහළවීම ඉදිවන මහා සෑයේ පූර්ව ප්‍රාතිහාරයක්
නොවේද?
සෑයට රහතුන්ගේ ආශිර්වාදය
ඔබ අසා තිබෙනවා රුවන්මැලි මහා සෑයේ බිම සැකසූ ආකාරය. දුටුගැමුණු රජු වෙසක් පුන්
පොහෝ දිනක ඇමැතිවරු පිරිවරා සෑය ඉදිවෙන බිම වෙත ගොස් ඉදිවෙන මහා දාගැබට අවශ්‍ය
පොළොව සුද්ධ පවිත්‍ර කරවූවා ය. රජතුමා තම සීයා වූ දේවානම්පියතිස්ස රජතුමා ඉදිකර
තිබූ ස්ථම්භය සෑ මළුවෙන් එපිට තැම්පත් කළ අතර එය අදටත් දකින්නට තිබේ. සෑයේ වට
ප්‍රමාණය රජතුමා සිතින් සිතා ඒ අවට සුද්ධ පවිත්‍ර කොට මතුපිට පස් රියන් හතක
ප්‍රමාණයක් පස් ඉවත් කරන ලදී. ඉන්පසු ගල් අතුරා ඇතුන්ගේ කකුල්වලට හම් තබා බැඳ ඇතුන්
ලවා පොළොව තලා වටේ බැමිද රජු විසින් කරවීය.
ඒ අතරේ රහත් සාමණේර ස්වාමින්වහන්සේලා හිමාලයට ගොස් නවනීත මැටි සෑය වෙනුවෙන් ගෙන
ආයෝය. (ගංගාවක් අසල පිනිපොද වැටී තෙත් වී තිබෙන මැටිවලට නවනීත මැටි කියයි.) ඒ
නවනීත මැටි තදකළ භූමියේ අතුරා තවත් භූමිය තද කළේය. ඉන්පසු ගඩොල් අතුරා, ඊට උඩින් තඹ
අතුරා, ඊට උඩින් රිදී අතුරා ඉන්පසු සම්පූර්ණයෙන්ම ලෝහ අතුරා මහා සෑය බොහෝ කාලයක්
පවතීවා යන අදහසින් රජතුමා බොහෝම සුරක්ෂිතව භූමිය තනා අවසන් කළේය. භූමියේ තෙත් සිඳුන
කල්හි යකඩයක් සේය. මෙසේ භූමිය තනන්නට රජුට මාස තුනක් කල් ගියේය. දැන් ඇසළ මාසයයි.
මහාසෑයේ
මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය
එදා ඇසළ පොහෝ දිනය යි. “ස්වාමිනි, හෙට පොහෝ දින මහා දාගැබ් වහන්සේගේ මංගල ශිලා
ප්‍රතිෂ්ඨාපනය යි. මහා සංඝයා වහන්සේ රැස්වන සේක්වායි” දන්වා අනුරාධපුරයට අණ බෙරයක්
යැවීය. සංඝයා සහ රජතුමා වඩින මාවත දෙවියන්ගේ සුදම්සභාව මෙන් සැරසවීය. නොයෙක් සුවඳ
වර්ග, මල් වර්ග, අතුරා සෑ බිම වටේ පුන්කළස් තබා අතිශයින්ම සරසා සුවඳවත් කළේය. බෙර
වයන්මෝ බෙර වැයූහ. රජතුමා සූසැට ආභරණින් සැරසී පුරාංගනාවන් දහසය දහසක් පිරිවරා
පැමිණි අතර තුන් ලෝකයේම කිසිදු ධාතූ සෑයකට සහභාගි නොවූ විශාල සංඝ සන්තිපාතයක් ඒ
අවස්ථාවට එක්විය. සෑයක් ඉදිකිරීමේදී මෙතරම් පූජෝපහාර සත්කාර සිදුවූ වෙනත් සෑයක්
නැතිතරම්ය.
රජගහ නුවර ඉන්ද්‍රගුප්ත නම් රහතන් වහන්සේ නමක් විය. උන්වහන්සේ මහා සෑයේ මුල්ගල තබන
පින්කමට අසූදහසක් රහතන් වහන්සේ පිරිවරා වැඩි අතර, බරණැස ඉසිපතනයේ වැඩ සිටි ධම්මසේන
නම් මහරහතන් වහන්සේ දොළොස් දහසක් රහතන් වහන්සේ පිරිවරා වැඩි සේක. දඹදිව ආරණ්‍යවාසී,
වනවාසී, ග්‍රාමවාසී නොයෙක් ආකාරයෙන් සෘද්ධිමත් රහතන් වහන්සේ වාසය කළ අතර ඒ සෑම
රහතන් වහන්සේ නමක්ම මහාතූප ඉදිකිරීමේ අවස්ථාවට සහභාගි වූහ. ලංකාවෙන් රැස් වූ රහතන්
වහන්සේ සහ මඟඵල නො ලැබූ ස්වාමින්වහන්සේලා මෙතරම් යැයි කිව නොහැක. සුදුවැලි ඇතුරූ එම
බිම කසාවතින් වැසී ගියේය. අහසේ අතුරුසිදුරු නොමැතිව දෙවිවරුන්ගෙන් පිරී ඉතිරී
ගියේය. මෙතරම් අරහත් සංඝ සන්නිපාතයක් රැස්වූයේ කිම? ගෞතම බුදු සසුන පවතින තාක්
තුන්ලොවට ආනුභාවයක් පතුරුවන ද්‍රෝණයක් ධාතුන් වහන්සේ පිහිටන මහාධාතූ ස්තූපය
රුවන්මැලි මහා ස්තූපය නිසාවෙනි.
මහාසෑයේ ප්‍රමාණය තීරණය කිරීම
මහා සෑයේ ප්‍රමාණය තීරණය කරනු ලැබුවේ රහතන් වහන්සේ නමක් විසිනි. රජතුමාගේ සිතේ
සටහන්ව තිබුණේ විශාල ස්තූපයක අනුරුවක්. රජුගේ සිතේ ඇති වූ ස්තූපය ඉදිවූයේනම් දැන්
ඉදිවී ඇති රුවන්මැලි සෑය මෙන් හත් අට ගුණයකින් විශාල ය. රජතුමා සෑයේ වටප්‍රමාණය
ලකුණු කරන්නට කල්යල් බැලීය. එතැන සිටි සිද්ධාර්ථ නම් රහතන් වහන්සේ දිවැසින් බැලු
කල්හි රජුගේ සිතේ සටහන් වී ඇති ප්‍රමාණයට සෑය ඉදිකළ හැකිද? යන්නයි. එය කළ නොහැකි
බවත් ඊට පෙර රජු මියයන බවත් රහතන් වහන්සේ දුටුසේක. උන්වහන්සේ “රජතුමනි, මේ ඉදිවන
සෑයේ ප්‍රමාණය අප තීරණය කරමු” වදාළේය. ඝනාචාරී, ආනුභාවසම්පන්න රහතන් වහන්සේ නමක් වූ
නිසා රජුද එයට එකඟ වීය.
සිද්ධාර්ථ රහතන් වහන්සේ සෑය වටේ පා සටහන් තබමින් සක්මන් කළ අතර ඒ සක්මන් කළ පා
සටහන් කැපී යන ලෙස රවුම ඇන්දේය. ඒ රවුම අද තිබෙන පළමු පේසාවළල්ල වේ. රහතන් වහන්සේගේ
විශ්මිත ගමන් මාර්ගයේ ඇඳ පළුඳු තිබුණේ නැත. සිද්ධාර්ථ නම් රහතන් වහන්සේයි මහාසෑයේ
වටප්‍රමාණය තීරණය කරනු ලැබුවේ. මේ සියල්ල සිදුවූයේ ඇසළ පුන් පෝ දාය. මෙහිදී සොඳුරු
නම් ඇති නන්දිසේන, මංගල, සිද්ධාර්ථ, සුමනාදේවි, සුප්පතිට්ඨිත, චිත්තසේන ආදී
මැතිඇමැතිවරු මෙයට මුල් වූවේය.
මහාසෑයේ මුල්ගල තැබුවෝ කවුරුන්ද? රජතුමා මේ සඳහා ඇමැතිවරයෙක් තේරීය. සුප්පතිට්ඨිත
(මනාව පිහිටියා) නම් ඇති ඇමැතිවරයාට කියා සිටියේ රත්තරං ගඩොලක් මංගල ගල ලෙස තබන
ලෙසය. චිත්තසේන නම් රහතන් වහන්සේ නවනීත මැටි පිඬක් ගෙන අවුත් පිරිත් කරන ලද මැටි
අතුරා පිරිත් පැන් ඉසිමින් ඒ මත රන් ගඩොල තබන ලෙස වදාළා. වටේම ගඩොල් එකසිය අටක්
ඇතිරීය. දෙවි මිනිසුන්ගේ සාධු නාදය පුදබිම පුරා දෝංකාරය දුන්නේය. වැඩ සිටි පියදස්සී
නම් රහතන් වහන්සේ ධර්මය දේශනා කළ අතර එතැන සිටි දහස් දෙනා මඟඵල ලැබූහ.
මෙසේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේ තැම්පත් වන ස්තූපය ඉදිවීමේ මංගල ගඩොල තැම්පත් විය.
නමුත් මේ වනතුරු සෑයට ධාතුන් වහන්සේ කොහිද? රජු, ඇමැතිවරු, ස්වාමින් වහන්සේ ඒ බව
නොදනී. එසේනම් දන්නෝ කවුරුන්ද? ත්‍රිකාලය දැකිය හැකි ස්වාමින් වහන්සේ පමණක්
රාමග්‍රාමයේ නාග ලෝකයේ වැඩසිටින ධාතුන් වහන්සේලා රුවන්මැලි මහ සෑය වෙනුවෙන් වැඩසිටන
බව දනී. සාමාන්‍ය හුදී ජනී ජනයා ඒ බව දැනගන්නේ කෙසේද?
- නයනා නිල්මිණි
|