යහපත් වූ ජීවිතයක ධර්මානුකූල සතුටක්
බත්තරමුල්ල
සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනෙහි
ප්‍රධාන අනුශාසක ආචාර්ය
මිරිස්සේ ධම්මික හිමි
සුපසන් ජීවිතයකට ලිපි පෙළෙහි උඳුවප් මස අමාවක පෝය දින කුම්මෝපම සූත්‍ර දේශනාව එනම්
ඉදිඹුවෙක් හෙවත් ඉබ්බෙක් උපමා කරගෙන අප තථාගත භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ උතුම්
දහම් කතාවක් සැදැහැ සිතින් ඔබගේ ජීවිතය මනා වූ සිහියෙන් පවත්වාගැනීමට උපකාරයක් ලෙස
අවධාරණය කළෙමි.
මාරයා විසින් අපගේ මෙලොව ජීවිතය මෙන් ම පරලොව ජීවිතය ද මහා අනතුරකට ඇද දැමීමට
අවස්ථාව සලසා දෙනවා. මෙන්න මේ නිසයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ ඉන්ද්‍රියන්ගේ
වැසූ දොර පියන් ඇතිව වාසය කරන්න. ඉෂ්ඨ අරමුණක සීලයේ පිහිටා යමක් දකින්න අහන්න. රස
දැනෙන්න ස්පර්ශය ලබන්න සිතන්න. එවිට ඇස ආදී දොරටු හැර තබන්න. එහෙත් ඔය ඇසෙන්,
කනෙන්, නාසයෙන්, දිවෙන්, ශරීරයෙන්, මනසින් රාගය පහළ වී තිබෙන ගුණ කඳ නැති වී නුගුණ
මතු වී මාර පාක්ෂික ධර්ම හැටියට ම ගොඩනැඟේ නම් අන්න ඒ සඳහා ඇස නම් වූ දොරටුව වසා
තබන්න. කන නම් වූ දොරටුව වසා තබන්න. නාසය නම් වූ දොරටුව වසා තබන්න. දිව නම් වූ
දොරටුව වසා තබන්න. කය නම් වූ දොරටුව වසා තබන්න. සිත නම් වූ දොරටුව වසා තබන්න.
සරල නිදසුනක් දැක්වුවොත් මේ වගෙයි. රාගය, ද්වේෂය ඉදිරියේ ඇස මනාව පෙනුනත් අන්ධයෙක්
මෙන් නිමිති, අනු නිමිති, ව්‍යංජන වශයෙන් නොගෙන වාසය කරන්න. රාගය, ද්වේෂය, මෝහය
ඉදිරියේ කන් දෙක මනාව
ඇසුණත් බිහිරෙක් මෙන් වාසය කරන්න. නිමිති, අනු නිමිති,
ව්‍යංජන ගන්නට එපා යැයි කියන අදහසයි. ඒ වගේ ම රාගය, ද්වේෂය, මෝහය ඉදිරියේ නාසය
තිබුණත් ආඝ්‍රහණයක් දැනෙන්නෙ නැහැ වගෙයි, ඉන්ද්‍රියන් පවත්වන්න දිවට මනාව රසය
දැනුනත් අභිජ්ඣා දෝමනස්සවලට ඉඩක් නොදී රසයක් නොදැනෙන්නා සේ දිව හසුරුවන්න. ඒ වගේ ම
මනාව කය කායික බලයෙන් ඉන්ද්‍රිය ශක්තියෙන් පැවැතුණත් රාග, ද්වේෂ, මෝහා දී කෙලෙස්
ඉදිරියේ කිසිවක් කරගත නොහැකි දුබල අයෙක් සේ ශරීරය පවත්වන්න. මනසට මනාව සිහිය
පවත්වන්න තරම් හැකියාව තිබෙන නිසා රාග, ද්වේෂ, මෝහ ඉදිරියේ කිසිවක් දැනෙන්න නැති
සිතක් නැති අයෙක් ලෙස ජීවිතය පවත්වන්න එයයි ‘ඉද්‍රියේ සු ගුප්ත ධාරා විහරත’
ඉන්ද්‍රියන් හි වැසූ දොර පියන් ඇතිව වාසය කරන්නට යැයි යන අදහසයිභාග්‍යවතුන් වහන්සේ
දේශනා කළේ.
"විතක්ක සන්ඨාන" සූත්‍ර දේශනාවේ දී භාග්‍යවතුන් වහන්සේ මේ හා සමානවම ලෝභ, ද්වේෂ,
මෝහ ආදී කෙලෙස් පැමිණෙනවා නම් ඒවාට හසු නොවී තම සිත ධර්මානුකූල සතුටක ඒ වගේ ම යහපත්
වූ ජීවිතයක සතුටින්ම කාලය ගත කරන්න පුළුවන් පැවැත්මක් ඇති කරගන්නේ කෙසේ දැයි පෙන්වා
දී තිබෙනවා. ඒ නිසා මේ කුම්මෝපම සූත්‍ර දේශනාවට අනුව අප නිරන්තරයෙන් සිහිපත් කළ
යුතු කරුණක් තිබෙනවා. එනම් අප දැන සිටියත්, නොදැන සිටියත්, අවධියෙන් සිටියත්,
නිදාගෙන සිටියත්, ඔබ කියන විදිහට දහසක් වැඩකටයුතු මැද සිටියත්, ඔබ කියන විදිහට සිතේ
දුක් ගින්දර අපමණව තබාගෙන සිටියත්, ඔබ කියන විදිහට මගේ ලෞකික ජීවිතයේ වැඩකටයුතු
සම්පූර්ණ වුණා කියා සිතාගෙන සිටියත්, මාරයා ඇස ළඟ නතර වී ඇසෙන් අවස්ථාවක් ලබන්නට
බොහෝ වෙලාවක් අප ළඟ අපට රහසේ ම රැඳී සිටිනවා. මාරයා බොහෝ වෙලාවක් කන ළඟ රැඳී
සිටිනවා. ඇසෙන් රූප බලන බලන, දකින දකින, පෙනෙන පෙනෙන, සෑම වෙලාවකම මාරයා බලාගෙන
සිටින්නේ රාගයකට හසුවෙනවා නම් රාගයට ම පොළඹවා උදව් කරමින් ඒ ජීවිතය නැති නම් අපේ
ජීවිතය විනාශ කොට කෙලෙස්වලට ඇද දමන්නයි. ජීවිතය විනාශ කොට කෙලෙස්වලට ඇද දමන්නයි.
ඇසේ බැල්මකින් හෝ රාග අරමුණක් සකස් වුනොත් ද්වේෂ හෙවත් තරහව, පටිඝ අරමුණක් සකස්
වුනොත් මාරයා එයට උදව් කරමින් තව දෙවතාවක්, තුªන්වතාවක්, දහ වතාවක් බලන්න සලස්වා
ඇසෙන් ගත්ත අරමුණ සිතේ පදිංචිකොට ධර්මයේ සඳහන් කළා වගේ "අභිනන්දති" එහි සතුටුවෙමින්
"අභිවදති" ඒ ගැන කියමින් ප්‍රාර්ථනා කරමින් "අජ්ඣෝසාය තිට්ඨිති" සිත එහි ඔසවා තබල
සම්පූර්ණයෙන් ම අර රාග අරමුණට හසු කරනවා. එනම් මාරයා තදකොට අපේ ගෙලෙන්ම අල්ලා ගත්තා
සේ අල්ලා ගන්නවා. එවිට ගුණවන්ත සද්පුරුෂ ජීවිතයක් ගත කළ අයෙක් නමුත් සතර
සතිපට්ඨානයෙන් පෙන්වා දුන් ආකාරයෙන් භාවිත සිතක් පවත්වාගෙන මනා කොට සිහිය පවත්ව
ගන්න බැරි නිසා හදිසියේ වැරැදීමකින් හෝ අරමුණකින් තොරව හෝ ඇති වූ බැල්මකින් රාගයකට
හසු වී මාරයාගේ පෙළඹවීමෙන් එහි සිත ඔසවා තැබීමෙන් තමාගේ සම්පූර්ණ යහපත් වූ ගුණ නැති
කරවිය හැකියි.
නිදසුනක් මේ වගෙයි, මා දන්නවා මා අම්මා කෙනෙක්, මා දන්නවා මා පිය කෙනෙක්, මා දන්නවා
මා විවාහකයි, මා දන්නවා මා මෙවැනි තනතුරක් දරන අයෙක් මා දන්නවා මගේ සීලය, සමාධිය,
මගේ ස්වාභාවය මා දන්නවා. අනිත් අය පවුල් පරිසරයේ පටන් මා ගැන සලකන්නේ කෙසේ ද කියා.
ඒ වුණත් ඇසෙන් හමු වී සිතේ රැදුණු රුව මට අමතක කළ නොහැකියි. කනෙන් ඇසී සිතේ රැදී හඬ
අමතක කළ නොහැකියි. නාසයෙන් ලබා සිතෙහි උපාදානය කර ගත් ආඝ්‍රහණය මගෙන් ඈත් කළ
නොහැකියි. දිවෙන් ලද රසය මගේ සිත කුල්මත් කරන බැවින් මට ඉවත් කළ නොහැකියි. කයෙන්
ලබන පහස හොඳ වුනත් නරක වුනත් යම් අයෙක් වරදක් යැයි පැවසුවත් මගේ සිත බැඳගත් නිසා මට
බැහැරකළ නොහැකියි. මගේ මනසේ සකස්වන මේ සිතිවිලි මට ඉවත් කළ නොහැකියි. මාරයා දැන්
උදව් කරමින් අපේ ගෙලෙන්, හිසින්, දෙපයින්, දෑතින්ම අල්ලාගෙන බිමට ඔබාගෙන සිටීමෙන්
බලවත් පුරුෂයෙක් මෙන් අප දැන් රාග, ද්වේෂ, මෝහ සිතිවිලිවලින් බැහැර නොවන ආකාරයෙන් ම
වඩා පවත්වාගෙන සිටියි. එවිට කුමක් ද සිද්ධ වන්නේ, ඕන දෙයක් සිදු වුණා වියැයි
පවසමින් රාග, ද්වේෂ, ආදී කෙලෙස්වලට බැසගෙන දුර්ලභව ලැබූ මනුෂ්‍ය ජීවිතයේ වටිනාකම
බැහැර කරමින් මෙලොව ජීවිතය සකසාගත් සුපසන් ජීවිතයට පිළිලයක්, කැළලක් පීඩාවක් එකතු
කරමින් මහා විපතකට පත්විය හැකියි. බොහෝ කෙනෙක් පවසද්දි ඔබ මේ තරම් සද්පුරුෂ අයෙක්
ඇයි මේ විදිහට හැසිරෙන්නෙ, බලන්න ඔබේ ජීවිතය, ගුණවත්කම, ස්වාමියා බිරිඳ ලෙස,
දෙමාපියෝ දරුවෝ ලෙස බොහෝ සේවාවක් කළ හැකි අයෙක් ලෙස බොහෝ කෙනෙකුගේ ප්‍රශංසාව ලබන
අයෙක් ලෙස මෙසේ ඇයි ද හැසිරෙන්නෙ.
නමුත් මාරයාට හසු වූ මේ සිතට ඒ කියන කිසිවක් ඇසෙන්නෙ නැහැ. සද්පුරුෂ අය දෙමව්පියෝ,
ස්වාමි භාර්යා, ගුණවතුන් ලෙසින් පැවිදි උතුමන් ලෙසින් පැවැසුවත් එය ඇසෙන්නේ තමාට
කරන හතුරුකමක් කරන පිරිසක් හැටියටයි. ඒ හැඟීමත් සිතට ලබා දී තිබෙන්නේ මාරයා
විසිනුයි. මාර ආවේෂ වී යැයි අදහස් කළේ අන්න එතනයි. එවැනි වෙලාවක මේ පුද්ගලයා
පවසන්නේ ඔබ සියලු දෙනාම මට විරුද්ධයි. මගේ දියුණුවට අකමැතියි. මම කරන දෙයට අකුල්
හෙළනවා. ඕන කෙනෙක් ඕන දෙයක් කියන්න. මට ඕන දේ මම හොඳින් හෝ නරකින් හෝ ධර්මයෙන් හෝ
අධර්මයෙන්, එළිපිට හෝ රහසින් හෝ සිදු කරගන්නවා යැයි කියන අදහසයි.
ඔබට මේ කරුණ පැහැදිලි ද? එනම් මාරයා අප දැන් හොඳටම අල්ලාගෙන අවසන්. ඔවුහු දැන් අප
සතර අපායට අරගෙන යෑම පමණයි කළයුතුව පවතින්නේ. මෙන්න මේ නිසයි භාග්‍යවතුන් වහන්සේ
මහත් වූ කරුණාවෙන් දේශනා කළේ තිරිසන් සතෙක් වූ ඉදිඹුවාට පුළුවන්කම ලැබුණා නම් සිහිය
පිහිටුවාගෙන සිවලාගෙන් ආරක්ෂා වෙන්නට, දුර්ලභව මනුෂ්‍ය ජීවිතයක් ලබාගෙන උසස් මනසක්
ඇති අපට මාරයාගෙන් ආරක්ෂා වීමට නොහැකි වන්නේ ඇයි? අශ්‍රැතවත් පෘතග්ජන ජීවිත හැටියට
යම් කෙනෙකුට, ඔබට මේ ගැඹුරු දහම තේරුම් ගන්න අපහසුනම්, අන්න ඒ නිසයි තථාගත
බුදුරජාණන් වහන්සේ මහත් වූ කරුණාවෙන් උපමා සහිතව අපට මේ දහම් කරුණු පෙන්වා දුන්නේ.
- දීපා පෙරේරා |