Print this Article


බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණ සිදුකෙරෙන මොරටුව – එගොඩඋයන විදර්ශනාරාම මූල මහා විහාරය

කොළඹ දිස්ත්‍රික්කයේ මොරටුව ආසනයේ කොළඹ , ගාල්ල හා මොරටුව, පානදුර යන මාර්ග දෙකට මැදිව එගොඩඋයන සුන්දර ගම්පියස පිහිටා තිබේ. එම ගම්පියසට නැගෙනහිර දිසානුගතව පානදුර නදිය පිහිටා තිබේ. බටහිර දිසානුගතව මහ සමුදුර පිහිටා තිබේ. එම පාරිසරික සුන්දරත්වය මැදිකරගෙන එගොඩඋයන විදර්ශනාරාම මූල මහා විහාරය පිහිටා තිබේ. මෙම මූල මහා විහාරය සියවසකුත් අර්ධ ශතකයක් සම්පූර්ණ කිරීමට සූදානම්ව සිටී.

එම පුදබිම ආරම්භ කළ මුල් කාලයේ “අභිනවාරාමය” නමින් නම්කර තිබූ බව සඳහන් වේ. මුල්ම විහාරාධිපති සාලේගම සෝභිත තිස්ස හිමිපාණන් වහන්සේය. උන්වහන්සේ විහාරාධිපති ලෙස 1876 වසරේ පත්ව ඇත. එවකට සිටි දායකයෝ උන්වහන්සේට තාවකාලිකව සංඝාවාසයට පොල් අතුමඩුවක් ද පුංචි බුදුමැදුරක්ද තනවා දී තිබේ. ඒ හිමියෝ අල්පේච්ඡව පැවිදි දිවියක් ගෙවීය. උන්වහන්සේගේ එම ශාසනික ප්‍රතිපදාවට මහත් ගෞරවයක් දැක්වූ ග්‍රාමවාසී සැදැහැවත්හු උන්වහන්සේට සිව්පසයෙන් උපස්ථාන කරමින් ගෞරව දැක්වූහ. උන්වහන්සේ විහාර සංවර්ධන කටයුතු ද, දියත් කළේය. ඒ කාලසීමාව තුළ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය ආරම්භ කළ අඹගහවත්තේ ඉන්ද්‍රසභවර ඤාණසාමී මහානායක හිමිපාණන්වහන්සේගේ ආශ්‍රය ලැබීමටද භාග්‍ය උදාවිය. කොළඹ හා තදාසන්න ප්‍රදේශවලට වැඩමකරන මහානා හිමියෝ මෙම පුදබිමටද වැඩම කරන බව සඳහන් වේ. ඒ වගේම 1885 වසරේදි මහානායක හිමියෝ වස්සිටුවා තිබෙන්නේද මෙම පුදබිම තුළය. ඒ පිළිබඳව සටහන් වූ ශිලා ලිපියක් මෙම පුදබිමෙහි තිබේ.

1914 වසරේදී පොහොන්නරුවේ සුගතපාල හිමිපාණන් වහන්සේ පැවිදි විය. 1931 වසරේදී යාලේගම සෝභිතතිස්ස හිමිපාණෝ අපවත් විය. ඒ වසරේදීම පොහොන්නරුවේ සුගතපාල හිමිපාණන් වහන්සේ විහාරාධිපති පදවියට පත්විය. ඒ වනතුරු අභිනවාරාමය නමින් හැඳින්වු එම විහාරය පසුව විදර්ශනාරාමය ලෙස නම් විය.උන්වහන්සේ විසින් වැඩ අවසන් නොවී තිබූ විහාර මන්දිරයේ සියලු වැඩ නිමාවට පත් කළහ. බුද්ධ මන්දිරයේ සියලු බිතුසිතුවම් අනගාරික ධර්මපාලතුමන්ගේ ඥාතීන් වන ඇඩ්මන් හේවාවිතාරණ, රාජා හේවාවිතාරණ , දයා හේවාවිතාරණ, නීල්හේවාවිතාරණ , රෙජී හේවාවිතාරණ යන මැතිතුමන් ලාගේ හා මැතිනියගේ ධන පරිත්‍යාගයෙන්ද සුමනා ජයසූරිය, ඩී.එෆ්. ජයතිලක, එස්. ඩබ්ලිව්. අතුකෝරල, ඊ.එල්. විජයගුණවර්ධන, එම්.ආර්. පීරිස් යන අයගේ ධන පරිත්‍යාගයෙන් ද කරවා තිබේ. බුද්ධ මන්දිරය තුළ ඒ පිළිබඳව ලිඛිතව සටහන් කර ඇත. බුද්ධ මන්දිරයේ සියලු වැඩ අවසන් කර ඇත්තේ 1939. 2.6 දිනදීය. මේ දිනවලද බුද්ධ මන්දිරයේ බිතුසිතුවම් රජීව හේවාවිතාරණ හා සුධම්ම හේවාවිතාරණ යන මැතිතුමන්ලාගේ පූර්ණ ධන පරිත්‍යාගයෙන් ප්‍රතිසංස්කරණය වෙමින් පවතී.

පූජ්‍යපාද සුගතපාල හිමිපාණන් වහන්සේගේ කාලසීමාව තුළ ඉදිවූ ගොඩනැගිලි අතර ධර්මශාලාව, චෛත්‍ය රාජයාණන් වහන්සේ, පැරැණි සංඝාවාසය, පැරණි දාන ශාලාව වේ.

උන්වහන්සේ යටතේ බිහි වූ ධර්මධර විනයධර භික්ෂූන්වහන්සේලා හැටියට කිතුල්වල ධම්මෝදය හිමි, කිතුල්වල දේවානන්ද හිමි, මහෝපාධ්‍යාය පොහොන්නරුවේ පේමානන්ද හිමි, පූගොඩ ජිනානන්ද හිමි, දෙහිගම විනයපාල හිමි යන හිමිවරු සඳහන් කළ හැකිය.

1961 වසරේදී සුගතපාල හිමිපාණෝ අපවත් වූහ. අනතුරුව එහි විහාරාධිපති ලෙස ශිෂ්‍ය කිතුල්වල ධම්මෝදය හිමිපාණන් වහන්සේ පත්විය. උන්වහන්සේ විසින් නව ධර්ම ශාලාව, නව දාන ශාලාව ආදිය ඉදිකර මින් ප්‍රතිසංස්කරණ කටයුතුද කරමින් ශාසනික කටයුතුද සිදු කරන ලදී. සුගතශීලි ළමා සමිතිය පිහිටුවා මිහිඳු පෙරහර ආරම්භ කරන ලදී. ඒ සඳහා මහඟු මෙහෙවරක් උන්වහන්සේ සිදුකරන ලදී. පසුගිය පොසොන් පොහෝදා 50 වැනි වරටත් එම පෙරහර අලි ඇතුන් හා නර්තනාංග සමඟ ඉතා දර්ශනීයව පවත්වන්නට යෙදුණි.

1982 වසරේදී කිතුල්වල ධම්මෝදය හිමිපාණන් වහන්සේ අපවත් විය. එම වසරේදීම සුගතපාල වංශාලංකාර සද්ධර්ම වාගීශ්වරාචාරිය දෙහිගම විනයපාල හිමිපාණන්වහන්සේ විහාරාධිපති පදවියට පත්විය. උන්වහන්සේගෙන් පසුව එතෙක් පැවැති විදර්ශනාරාමය, විදර්ශනාරාම මූල මහා විහාරය බවට පත්විය. උන්වහන්සේ විසින් බෝධි ප්‍රාකාරය, සුගතපාල හිමි පිළිරුව, සමාධි පිළිම වහන්සේ, සීමා මන්දිරය, පුස්තකාලය, නවග්‍රහ කුටිය ආදිය ඉදිකරවීය. ඒ වගේම වර්ෂය මුළුල්ලේම දිනපතාම බෝධි පූජාව පැවැත්වීම සිදු කළහ. 2011 වසරේ අගෝස්තු මස උන්වහන්සේ අපවත් විය. අනතුරුව දේවානන්ද වංශාලංකාර කහපිටිගොඩ සුධර්මාලංකාර හිමිපාණන් වහන්සේ විහාරාධිපති පදවියට පත්විය.

අද විදර්ශනාරාම මූල මහා විහාරය ශ්‍රේෂ්ඨතම සන්ධිස්ථානයකට ළඟා වී තිබේ. එනම් අඩි 40 ක් පමණ උසින් යුත් අවුකන අනුරූ බුද්ධ ප්‍රතිමාවහන්සේ නමක් ඉදිකිරීමයි. මොරටුව, කොරලවැල්ල කටුකුරුන්ද සද්ධර්මෝදය මාවතේ පදිංචි හිමාලි රේණුකා පීරිස් මෙනෙවියගේ පූර්ණ ධන පරිත්‍යාගයෙන් මෙම පිළිම වහන්සේ ඉදිකර තිබේ. එම පිළිම වහන්සේ 2016 ජනවාරි මස 15 වනදා උදෑසන 8.54 ට යෙදෙන සුබ මොහොතින් විවෘත වේ. කහපිටිගොඩ සුධර්මාලංකාර හිමිපාණන්වහන්සේ විසින් පිළිම වහන්සේ නිරාවරණය වේ.