වහුමුවේ විජයවංස නාහිමියන්ගේ භික්ෂු ජීවිතයට වසර 66 පිරීම
නිමිත්තෙනි:
එදා ගුවන්විදුලි දහම් පාසලේ ගුරු හාමුදුරුවෝ
අසූව දශකයේ ඒ යුගයට නැවත මනස අතීත ආවර්ජනය ඔස්සේ ගමන් කරයි. ඒ මතක චාරිකාවේ
සෙනසුරාදා දිනය විශේෂ සන්ධිස්ථානයකි. කුඩා ගුවන්විදුලි යන්ත්‍රයේ ස්විචය කරකවා
ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයේ සෙනසුරාදා උදේ 08.00 ට විකාශනය වන
ගුවන්විදුලිය දහම් පාසල හඬ ඇසෙන විට නිබඳ සිත යොමු කිරීමට එවකට තරුණයකු වශයෙන් සිටි
මා පෙළඹුණේ ආසන්න උණුසුම් ශිෂ්‍ය ජීවිතය මතකයෙන් නොගිලිහී පැවැති බැවිනි.
එදා ස්වදේශීය සේවයේ අටේ කණිසමේ හඬ දැනුදු මනසේ සියුම් තැන් අවුළුවන සුලුය.
"සම්බුදු හිමිගේ සදහම් සිසිලෙන් සැනහෙන අප සිරිලක් දරුවෝ දහම් පාසලේ සෙවණෙහි
වැඩෙමින් උදාර ගුණ දම් සිත දැරුවෝ, "
ඉරිදා පාන්දරින් අවදි වී සුදුවතින් සැරසී දහම් පාසල වෙතට පිය මනින පා යුගලට දැනෙනා
සැහැල්ලුව සිසිලස මේ ගීතය හරහා සිතට දැනෙනා සෙයකි. මේ බිමේ සතර දිග්භාගය සුවඳවත් කළ
කැකුළු පුෂ් පයන් පිළිවෙළකට එකිනෙක තබා සැකසූ මල් වට්ටියක් සේ ඒ ගුවන්විදුලි මැදුර
බෝසත් ළමා ළපැටියන්ගෙන් පිරී ඉතිරී තිබෙනා සෙයකි. ඒ අතර අපිද කලබලයකින් තොරව වාඩිවී
සිටිමු.
ප්‍රශ්න අංක 01, 02 වශයෙන් අපූරු රිද්මයකට හද බැඳි ස්වරයෙන් ප්‍රශ්න ඇසෙයි. හුරතල්
දරුවෝ පිළිතුරු දෙති. අපිද ගෙදර සිට උත්තර සපයමු. ප්‍රශ්න අසන නිවේදකයාගේ ස්වරය අපට
සමීපය. කිසිදු ආගන්තුක බවක් නොමැත. ඇත්තෙන්ම එය ළෙන්ගතු ගුරු පියකුගේ හඬය. ඒ
ගුරුපියා වහුමුවේ විජයවංස හාමුදුරුවන්ය. එම වැඩසටහන මෙහෙයවූයේ උන්වහන්සේය. එදා සෑම
සෙනසුරාදාවකම ආලින්දයේදී, මැද සාලයේ දී වටේ තබාගෙන අපට දහම් පාසල ගැන කියා දෙන
බැවිනි. සත්පුරුෂ සමාජයක් ගොඩනැඟීම වෙනුවෙන් අප කැඳවාගෙන යෑමට නිබඳ වෙහෙසුණේ ය.
වහුමුවේ නාහිමියන්ගේ භික්ෂු ජීවිතයට 2015 ජූලි 15 වැනි දිනට වසර 66ක් සැපිරිණි. එදා
කුලියාපිටිය කිරින්දව පාසලේ ඉගෙනගනිමින් සිටි අවුරුදු 10ක් පමණ වූ දරුවකු ළමා වයසට
දැඟලිලි හිතුවක්කාරකම් කළද නිතර පාසලට පැමිණෙන හීනටියන ධම්මාලෝක, හෙන්ඩියගල සීලරතන,
හෙට්ටිමුල්ලේ වජිරබුද්ධි, රකුපොළ ආනන්ද වැනි සද්ධර්මය ආකර්ෂණීය ලෙස බෙදා හල
කීර්තිමත් මහා යතීන්ද්‍රයන් වහන්සේලාගේ දේශනාවලට කැමැත්තෙන් සවන් දීමට තරම් මේ කුඩා
සිත සංයමයට පත් කරගැනීමට පුළුවන්කම තිබිණි.
ඒ බැඳීමම පසු කලෙක සංඝ සමාජය ඔපවත් කිරීම වෙනුවෙන් චීවරය දැරීමේ භාග්‍ය උදා කරගත්තේ
ය.එසේම ධර්ම දේශනා ඇසූ දරුවන්ගෙන් දහදෙනකු තෝරාගෙන ඔවුන් සසුන්ගත කරන ලදී. ඒ අතර වූ
මේ පුංචි දරුවා ශාසනයට පූජා වූයේ වහුමුවේ විජයවංස යන නමිනි. ඒ වෙනුවෙන් කුඩා මනස
තැවුණේ නැත. චීවරයෙන් සැරසුණේ සතුටු සිතින්මය.
පාසලේ පුරුදු පරිසරයෙන් වෙන්ව එක්වරම පිරිවෙනේ පාලි, සංස්කෘත ඉගෙනීමට සිදුවීම මඳක්
නුහුරු මෙන්ම, වෙහෙසකර කටයුත්තක් විය. එහෙත් උත්සාහය අත් නොහැර බොහෝ විට එම විෂයයන්
ඉගෙන ගත්තේ ගුරු උපදේශකත්වය මඳ වශයෙන්ද සම උත්සාහයට ඊට වඩා වැඩි බරක තැබීම
ප්‍රතිඵලයක් වශයෙනි.
ඒ අනුව විජයවංස හාමුදුරුවන් නැද ගමුවේ ධර්මරාජ පිරිවෙනින්ද, කොළඹ ශ්‍රී ලංකා
විද්‍යාලයෙන්ද ප්‍රාචීන අධ්‍යාපනය ලබාගන්නේ අපහසුතාවන් මධ්‍යයේ ය.
ඒ අතර තවත් කඩඉමක් පසු කරමින් බුරුම අභිධර්ම විභාගයෙන් 1957 වසරේදී එවකට වසර 18ක්
පමණ වූ මේ තරුණ භික්ෂූන් වහන්සේ සමස්ත ලංකා ප්‍රථම ස්ථානය ලබාගැනීමට තරම් දක්ෂ වූහ.
මෙසේ කඳු පල්ලම් මතින් ගිය ගමනේ අවසාන පැහැදුල් බිම පේරාදෙණිය විශ්වවිද්‍යාලය විය.
එහිදී විජයවංස හිමියන් ශාස්ත්‍රවේදී උපාධිය ලබා ගන්නා ලදී. 1961 වසරේ දී
හෙට්ටිමුල්ලේ වජිර බුද්ධි නාහිමියන්ගේ උපාධ්‍යායෙන් උපසම්පදාව ලබා ගන්නා ලදී. එහෙත්
ඒ කාලයේ විජයවංස තරුණ භික්ෂූන් වහන්සේ වෙත බාහිරව පැමිණි යම් යම් වියවුල් නිසා
උන්වහන්සේ සිටියේ අපේක්ෂා භංගත්වයෙනි. කලකිරීමෙනි.
විජයවංස හිමියන්ගේ භික්ෂු ජීවිතය ස්ථාවර කරන්නේ ද කලකිරුණු සිත සන්සුන් කරවන්නේද
ගුවන්විදුලි සංස්ථාවට පින්සිදු වන්නටය. එවකට ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ පළමු
සේවයෙන් ආරම්භ කළ දහම් පාසල්, දහම් දැනුම ප්‍රශ්නෝත්තර වැඩසටහන මෙහෙයවීම සඳහා තෝරා
ගැනෙන්නේ වහුමුවේ විජයවංස ස්වාමීන් වහන්සේ වීම භාග්‍යයකි. කලකිරීමේ ස්වභාවය පහව
ගොස් නව ප්‍රබෝධයකින් බෝසත් ගුණ මතු වෙමින් බෝසත් ළමා ළපැටියන් සමඟ ගත කළ ඒ යුගය
උන්වහන්සේගේ ජීවිතයේ වසන්ත සමය සේ විය.
ඈත හද්දා පිටිසර සිට ගම් දනව් නගර සිසාරා හමන සිසිලස රැඳී ගුවන්විදුලි තරංග ඔස්සේ
හද රැඳුණු වහුමුවේ විජයවංස නාමය මුද්‍රාගත වන්නේ මෙවන් වූ පසුබිමක් යටතේ ය. ඒ
සවිමත් පදනම මත වසර 22 ක් වැනි දිගු කලක් දහම් දැනුම තරගයේ ප්‍රශ්න විචාරක සුහද හඬ
පෞරුෂය අදත් අප මතකයෙන් නොගිලිහී පවතින්නේ උන්වහන්සේ පළ කළ ප්‍රතිභා ශක්තියේ
දක්ෂතාව නිසාය. එතැනින් පිරිවෙන් ගුරු සේවයට සම්බන්ධවන අප හාමුදුරුවන්ට පළමු පත්වීම
ලැබෙන්නේ මාතර මහාමන්තින්ද පිරිවෙනටය.
විශාල ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ සමූහයකට මැදිව ආධුනික තරුණ ගුරුවරයකු වශයෙන් කටයුතු
කිරීම නුහුරු අත්දැකීමක් වුවද එම අලුත් වෙනසට උන්වහන්සේ සාර්ථකව මුහුණ දෙති. එදා
පසළොස්වක පොහොයට ජාතක පොත දිගහැර එහි කතා හද බැඳි ස්වරයෙන් කියැවීමේ දී කාගේත්
අවධානය යොමු වුණේ ගුවන්විදුලියෙන් පදම් කරගත් හඬ පෞරුෂයේ බලපෑම නිසා විය හැකි ය.
විජයවංස හිමියන්ගේ අනුශාසකත්වයෙන් එහිදී සුජාතා නමින් කුළඟන සමිතියක් ආරම්භ වන අතර
අදත් එය සවිමත්ව පිරිවෙනහි නඩත්තුව වෙනුවෙන් විශාල මෙහෙවරක නියැළී සිටියි.
මෙම පිරිවෙනෙහි ප්‍රථමවරට බැදිගම ශ්‍රී රතනපාල නා හිමි නමින් දහම් පාසලක් 1971
වර්ෂයේ බිහිවන්නේද අපේ හාමුදුරුවන්ගේ මූලිකත්වයෙනි. එමෙන්ම කොටුව මිගදාය ධර්මායතනයද
ආරම්භ වූයේ විජයවංස නාහිමියන්ගේ ප්‍රමුඛත්වයෙනි.
මේ ගමනේ දී උන්වහන්සේ 1979 වසරේ දී කොළඹ හුනුපිටියේ ඥානිස්සර පිරිවෙණට ගුරු තනතුරකට
පැමිණිය පසු එතැනින් ‘යුනිසෙෆ්’ ආයතනය අනුබද්ධ විෂයමාලා සංවර්ධන ජලාශි‍්‍රත
අධ්‍යාපන ඒකකයෙන් කඩිනම් මහවැලි සංවර්ධනය ව්‍යාපෘතියට අනුයුක්තව 1980 සිට 1994
දක්වා මහවැලි සංවර්ධන වැඩපිළිවෙළට සම්බන්ධ වී කටයුතු කිරීමට අවස්ථාව ලැබිණි.
එපමණක් නොව 80 දශකයේ මුල් භාගයේ සිට එවකට මහවැලි සංවර්ධන අමාත්‍යව සිටි ගාමිණි
දිසානායක මැතිතුමා යටතේ පැවැති පහත් බිම් සංවර්ධන මණ්ඩලයේ (වත්මන් ශ්‍රී ලංකා ඉඩම්
ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාව) බෞද්ධ සංගමයේ ප්‍රධාන අනුශාසක ලෙස කටයුතු
කරනු ලැබීය.
උන්වහන්සේ මහවැලි සංවර්ධනයට සම්බන්ධ වන විට ගොඩනැඟී තිබුණේ මහවැලි එච් කලාපය පමණි.
එහි ජනපදිකයන් 250 ක් පමණ පදිංචි කර තිබිණි. කඩිනම් සංවර්ධන ව්‍යාපෘතියෙන් නව ජනපද
ඇතිවන විට විවිධ තලවල මිනිසුන් එම කලාපවල පදිංචියට පැමිණෙන්නේ තම උපන් ගම්බිම්
අතහැර දැමීමට සිදුවීමෙනි. එසේ වන්නේ තම උපන් ගම කඩිනම් මහවැලි ව්‍යාපාරයේ
අවශ්‍යතාවන්ට හෝ මහා ජලාශ වෙනුවෙන් පරිත්‍යාග කිරීමට සිදුවන නිසා ය.
මෙවන් පසුබිමක නුහුරු පරිසරයකට ඇද වැටෙන මිනිසාගේ මානසික ව්‍යාකුලත්වයට උත්තර සෙවිය
යුතු ය. ගැටලු නිරාකරණය කර සිත් සමනය කර අපේක්ෂා සහගත ප්‍රබෝධවත් නව සවිමත් මිනිසකු
ගොඩනැඟිය යුතු ය. ගොවිකම හා යා වෙන වැව, වැව ඉස්මත්තෙන් ඉදිවන විහාරස්ථානය වැනි වූ
අපගේ කෘෂිකාර්මික ආර්ථිකය හා සබැඳුණු ආගමානුකූල, සුවදායක, සාම්ප්‍රදායික පරිසරය පෙර
රජදරුවන්ගේ කාලයේ මෙන් ගොඩනැඟීමට අවශ්‍ය විය.
ආර්ථිකයේ ශීඝ්‍ර දියුණුවක් මහවැලිය තුළින් සිදුවන විට එයින් ව්‍යාකූල නොවන සංයමයට
පත් ගුණවත් මිනිසකු මේ තුළින් රටට දායාද කරදිය යුතු ය. ඒ වෙනුවෙන් ආධ්‍යාත්මික
සංවර්ධනය ප්‍රවර්ධනය වෙනුවෙන් මඟ පෙන්වීම වහුමුවේ විජයවංස නාහිමියන්ගේ මුඛ්‍ය
පරමාර්ථය බවට පත් විය. මෙය භාරදූර කාර්යයකි. ඒ සඳහා නැවතී සිටින්න හෝ විඩා හරින්න
වේලාවක් නැත.
මොනතරම් ව්‍යාකූලත්වයක පැටලී සිටියත් ගමේ මනුෂ්‍යයා කහ චීවරයක් දුටු පමණින්
තාවකාලික හෝ සංයමයට පත්වීම සිරිතය. ඒ වෙනුවෙන් වහුමුවේ විජයවංස හිමියන් දිනෙන් දින
ශීඝ්‍රයෙන් දියුණු වූ කලාප 08 ම ආවරණය කළේ වෙලාවද අවේලාවෙද නොබලාය.
මිනිසුන් දහසකගේ ප්‍රශ්න උන්වහන්සේ තමාගේ කරගනිමින් විසඳුම් සොයා දුන්හ. ව්‍යාකූල
සිතකට අවැසි සියලු උත්තර ඇති උතුම් සම්බුදු දහමේ පෝෂණයෙන් වැඩුණු ආධ්‍යාත්මයෙන්
වහුමුවේ විජයවංස නාහිමියන්ට ගැටලු නිරාකරණය කරදීම අභියෝගාත්මක වුවද ගෙදර ආදර්ශවත්
පියකු මෙන් උන්වහන්සේ දිවා රෑ නොබලා මහවැලි කලාප පුරා ඇවිද ගියේ අභියෝග ජයග්‍රහණය
කළ හැකි බව පසක් කරගත් නිරවුල් සවිමත් ප්‍රාර්ථනාවන් සමඟිනි.
ඒ අනුව කලාප 08 තුළ විහාරස්ථාන 400 ක් පමණ ගොඩනැඟුණේ වහුමුවේ විජයවංස නම් සැමරුම්
සිහිවටන ඵලකයත් සමඟය. එසේම දරුදැරියන් වෙනුවෙන් දහම් පාසල් 487 ක් පමණ බිහි විය.
විහාරස්ථාන බහුතරයක් තරුණ භික්ෂූන් වහන්සේට පවරා දී උන්වහන්සේගේ අධ්‍යාපනය සහ යටිතල
පහසුකම් වෙනුවෙන්ද පසුබිම සකස් කෙරුණේ ය. ජලාශයේ නිල් දියද කෙතේ කමතේ හේනේ හරිත
පැහැයද සමඟ අරිහත් ධජයේ කසාවත් පැහැය මුහුවීමෙන් ඉතා රමණීය පරිසරයක් බිහි විය. ඒ
රමණීය පසුබිමේ යෝධ සෙවණැල්ල වහුමුවේ විජයවංස නාහිමියන් යැයි පැවසුවහොත් එය
අතිශෝක්තියක් නොවනු ඇත. එතැනින් වහුමුවේ නාහිමියන්ගේ භික්ෂු ජීවිත චාරිකාව හැරෙන්නේ
නැවතත් පිරිවෙන් ගුරු සේවය වෙතටය.
1994 වසරේ දී අනුරාධපුරයේ රුවන්වැලි සෑය පිරිවෙනෙහි පරිවේණාධිපති තනතුරට පත්වීමක්
ලැබ ශාස්ත්‍රිය, ආගමික, ශාසනික, සමාජ මෙහෙවරක නියැළෙන උන්වහන්සේ අනුරාධපුරයේ
සංවර්ධන කටයුතු වෙනුවෙන් තම පූර්ණ දායකත්වය සැපයූහ.
මේ අතර වහුමුවේ විජයවංස හිමියන්ට මහනුවර අස්ගිරි පාර්ශවයේ සංඝ සභාව මඟින් කොළඹ නව
කෝරලයේ සහ නව තොටමුණේ ප්‍රධාන සංඝනායක තනතුර ප්‍රදානය කරන්නේ උන්වහන්සේ විසින් කළ
ශාසනික ආගමික මහත් වූ සද් කාර්යයන්ට උපහාර වශයෙනි.
මේ වන විට වහුමුවේ විජයවංස නාහිමියන් විහාරාධිපති නමක් වශයෙන් හඳුන්වාදීමට හැකි
වුවද ඒ කිසිවක අයිතියක් උන්වහන්සේගේ සන්තකයේ තබාගෙන නොමැත. |