Print this Article


උඳුවප් අමාවක පෝදා දම් දෙසුම

කය සිත මනාව රැක ගැනීම

තමාගේ සිත මනාව රැකගත යුතුය” යන්න එහි උපදේශයයි. ඇතුළතින්ද පිටතින්ද මනා ලෙස ආවරණය කරන ලද පිටිසර නගරයක් මෙන් තමාව ආරක්ෂා කර ගත යුතුය. තමා ලද උතුම් මිනිස්කම වරදවා ගන්නෝ නිරයෙහි ඉපිද ශෝක කරති

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නගරං යථා පච්චන්තං
ගුත්තං සන්තර බාහිරං
ඒවං ගෝපේථ අත්තානං
ඛණෝ වේ මා උපච්චගා
ඛණාතිනා හි සෝචන්ති
නිරයම්හි සමප්පිතා

සුපින්වත්නි, අද උඳුවප් අමාවක පෝදා ධර්මදේශනාව වශයෙන් මා තෝරා ගත්තේ බෞද්ධයාගේ හස්තසාරය වන ධම්මපදයේ නිරය වග්ගයට අයත් ගාථා රත්නයක් “තමාගේ සිත මනාව රැකගත යුතුය” යන්න එහි උපදේශයයි. ඇතුළතින්ද පිටතින්ද මනා ලෙස ආවරණය කරන ලද පිටිසර නගරයක් මෙන් තමාව ආරක්ෂා කර ගත යුතුය. තමා ලද උතුම් මිනිස්කම වරදවා ගන්නෝ නිරයෙහි ඉපිද ශෝක කරති. එම නිසා බුද්ධෝත්පාදය පවත්නා මේ උතුම් අවස්ථාව තම තමා විසින් වරදවා නොගත යුතුය”. යන්න ඉහත ගාථාවේ සරල අදහසයි.

අප භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දෙව්රම් විහාරයේ වැඩ සිටි දිනයක අග්‍ර උපස්ථායක ආනන්ද තෙරුන් මං පෙත් අමදිමින් සිටින වෙලාවේ එක්තරා භික්ෂූ පිරිසක් කිළිටු වූ සිවුරු පොරවා අප්‍රාණික ශරීර ඇතිව විහාරස්ථානට වැඩම කළහ. උන්වහන්සේලා කුමන හෝ කරදරයකට මුහුණදී ඇතැයි අනඳ තෙරුන්ට වැටහුණි. ආගන්තුක සත්කාර සියල්ල ඉටුකළ පසු මේ සියලු දෙනා වහන්සේ බුදුරදුන් හමුවට කැඳවා ගෙන යන ලදී. බුදුරදුන්ට වැඳ නමස්කාර කළ එම ආගන්තුක භික්ෂු පිරිස එකත් පස්ව සිටි අතර සුවදුක් දැන්වූහ.

පිටිසර ගම්මානයක් ඇසුරු කරමින් වස්වසා වැඩ සිටින ගම්වැසියන් බොහෝ උපස්ථාන කළා. ටික දිනක් ගතවූ විට සොරු කණ්ඩායමක් ගමට පැමිණ ගෙවල් බිඳ වස්තුව මිල මුදල් පැහැර ගෙන ගිය හෙයින් ගම්වැසියෝ බොහෝ අසරණ වුණා. මේ හේතුවෙන් භික්ෂූන් වහන්සේලාට කරගෙන ආ දන් පැන් නතර වුණා. අපහසුවෙන් වස්කාලය ගෙවා අපහසුවෙන් දිවි රැක ගෙන ආපසු පැමිණි බව සියලු දෙනා වහන්සේ බුදුරදුන්ට පැවැසුවා. බණ භාවනා කරමින් වස් විසීමට ගිය මෙම භික්ෂු පිරිසට මුහුණදීමට සිදුවු අත්දැකීම අරමුණු කරගෙන ඉහත සඳහන් ගාථා දේශනාව බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක. දේශනාවසානයේ එම භික්ෂු පිරිස අධිගමලාභීන් බවට පත්වූහ.

නගරයක ගමක ස්වභාවය හැම විටම සොරසතුරු කරදරවලට මුහුණපෑමයි. එමෙන්ම ජීවිතයේ ස්වභාවයත් විවිධාකාර දුක්කරදරවලට මුහුණ දීමට සිදුවීමයි. මෙය ලෝක ස්වභාවයකි. නගරයට හැම පැත්තෙන්ම ජනයා පැමිණෙයි. එමෙන්ම හොර හතුරු කරදර ඇතිවෙයි.

අපේ සිතේ ස්වභාවයද නගරයක් වැනිය. එයට ඇතුළු වීමට දොරටු හයකි. ඇස, කන, නාසය, දිව, ශරීරය සහ මනස යනුවෙනි. එම දොරටුවලින් ඇතුල් වන්නේ හොඳ දේට වඩා නරක දෙයයි. “ඒවං ගෝපේථඅත්තානං” තමන් ගන්නා අරමුණු සිහි නුවණින් විමසා බලා එහි ඇල්මක් නොමැතිව සිත රැකගත යුතුය. “ඛණාතීතා”ඉතා දුර්ලභව ලත් මේ මිනිස් ජීවිතය බුද්ධෝත්පාද කාලයේදීම නියම ඵල නෙලාගත යුතුය. පුණ්‍ය ධර්මයන්ට හිත යොමුකර අප්‍රමාදීව කුසල ධර්මයෙහි යෙදිය යුතුය. එතුළින් මග ඵල ලබා ගැනීමට කටයුතු කර ගැනීම තම තමන් සතු කාර්යයකි.

ධර්මයෙන් ප්‍රඥාවත්, විනයෙන් හික්මීමත්,ඇතිකර ගෙන හැඟීම් පාලනය කරගැනීම කරදර මග හැරීමකි. හිත අලවා තබන පංචකාම වස්තු පාලනය කර ගත යුතුය. සිත නිතරම අපිරිසුදු වෙයි. එය හරියට අඳුරු කුටියක් මෙනි. අඳුරු කාමරයේ ස්වභාව අඳුර හැමතැනම පැතිර තිබීමයි. එහි කිසිවක් දැකගත නොහැකි තරමට අඳුරුය. නමුත් මෙම අඳුරු කාමරයේ පහනක් දැල්වුවහොත් අඳුරට තවදුරටත් පැතිර තිබිය නොහැකිය. ආලෝකය හැම තැන පැතිරෙයි. එසේ අපේ සිත තුළත් නිතර ලෝභ,දෝෂ මෝහාදි කෙලෙස්වලින් අඳුරු බවට පත්ව ඇත. එම අඳුර දුරුකිරීමට පින්කම් නමැති පහන් දැල්විය යුතුය. පහන ටික වේලාවකින් නිවෙයි. එවිට ආපසු අඳුර පැමිණෙයි. නැවත නැවත පහන් දල්වන විට ගණ අඳුර දුරුවී ආලෝකය විහිදෙයි. නිතර නිතර පින්කම්වල නිරතවීමෙන් කෙලෙස් ධර්ම යටපත්වී සිතේ කිළිටි බව දුරුවී සිත පිරිසුදු බව ඇතිවෙයි.

සිතේ පිරිසුදු බව ඇතිකිරීමට නීවරණ ධර්ම ඉවත් කළ යුතුය. ඒ සඳහා භාවනාව වඩාත් වැදගත්වෙයි. භාවනා වඩන යෝගියා ක්‍රම ක්‍රමයෙන් තම චිත්ත සන්තානයේ රජයන කෙලෙස් දහම් තුනී කරයි. සසර බැඳතබන දස සංයෝජන ධර්ම පියවරෙන් පියවර ලබන අධිගමයන් තුළින් අයින්වන අයුරු ධර්මයේ පැහැදිලි කරයි. අනාගාමී මාර්ග ඵලයට පත්වන විට ඕරම්භාගිය සංයෝජන පහ සම්පූර්ණයෙන් නැති කෙරේ. ඉන්පසු රහත් භාවයට පත්වන විට උද්ධම්භාගිය සංයෝජන සම්පූර්ණයෙන් දුරුවෙයි. දස සංයෝජන දහම් යම් සිතකින් සම්පූර්ණයෙන් දුරුවන විට සිතේ පිරිසුදු බව ඇතිවේ.ආසකවක්ඛය සියලු කෙලෙස් සන්සිද වූ හෙයින් නැවත නැවත උපතක් සිදු නොවේ.

පසිඳුරන් මගින් එම මනසට ගෙන එන්නේ යහපත් වූ සිතිවිලි ධාරාවෝ, පමණි. එවිට ආය¸ යන උතුම් ලක්ෂණයෙන් යුක්ත වෙයි. පංච ඉඳුරන්ගෙන් අරමුණු ගත්තත් එහි ඇලීමක් නැත. උපාදානයක් නැත. උපාදානය නැති කළ නිසා නැවත භවයක්ද නැත. බෞද්ධයාගේ පරම නිෂ්ඨාවද එයයි.

බුද්ධෝත්පාද කාලයක, ක්ෂණ සම්පත් ලබා ගත් ඔබත් ශ්‍රී සද්ධර්මයට නැඹූරු වී දියුණු මනසක් ඇතිකරගෙන නිවන් පසක් කර ගැනීමට අදිටන් කරගන්න. ඔබ සැමට තෙරුවන් සරණයි.