උත්තරා මහරහත් තෙරණින් වහන්සේ
මොරගොල්ලාගම
උපසමා සිල්මාතාව
"මහරහත් උතුමෝ ද වසනුයේ රාගාදි කෙලෙස් මඩ වතුරින් පිරුණු ලෞකික
ලෝකයේමය. එහිම පහළව එයින්ම පෝෂිතව දිවිගෙවුවද ඒ කෙරෙහි නොඇලෙති.
නොඉක්මවා සිටිති. දුක් සහිත සසරින් එතෙර වූ පරතෙරට ගිය පහනක් නිවී
ගියාක් මෙන් නිවීමට පත් වූ නුවණින් අග්‍රප්‍රාප්ත උතුමෝ වෙති. "
විමුක්තිලාභි උත්තම පෞරුෂ ඇති මහරහත් උතුමෝ නෙළුම්මලක් හා සමවෙති.
නෙළුම හටගන්නේ අපිරිසුදු ජලයෙහිය. එම ජලයෙහිම වැඩුනේ ය. එම මඩ
ගොහොරුවෙන්ම පෝෂණය ලබයි. මඩ සහිත වූ ජලය ඉක්මවා සිටි එහි නොගෑවී නොඇලි
නොකිළිටි වෙති. හිරුරැස් පහස විඳිමින් විකසිතව බබළයි.
මහරහත් උතුමෝ ද වසනුයේ රාගාදි කෙලෙස් මඩ වතුරින් පිරුණු ලෞකික ලෝකයේමය.
එහිම පහළව එයින්ම පෝෂිතව දිවිගෙවුවද ඒ කෙරෙහි නොඇලෙති. නොඉක්මවා
සිටිති. දුක් සහිත සසරින් එතෙර වූ පරතෙරට ගිය පහනක් නිවී ගියාක් මෙන්
නිවීමට පත් වූ නුවණින් අග්‍රප්‍රාප්ත උතුමෝ වෙති. එවන් වූ මහරහත්
තෙරණියක ලෙස ලොව පහළව නිවුණ වූ ගෞතම සම්බුදු සසුනින් උපරිම ඵල ලැබූ
උත්තරා මහරහත් තෙරණින් වහන්සේ පිළිබඳව ගෞරවය ඇතිකරගෙන එම මඟෙහි සුව
විඳීමට උත්සුක වෙමු.
ඕ පෙර බුදුවරයන් වහන්සේලා ලොව පහළ වූ සමයක ලොව පහළව නිවන් අරමුණු කොට
ත්‍රිහේතුක පින්කම්කොට දෙව්මිනිස් දෙගතියෙහි උපත ලබමින් බොහෝ කාලයක්
දෙව්මිනිස් සැප වින්දාය.
ශාක්‍යමුනි ගෞතම බුදුපියාණන් වහන්සේ ලොව පහළ වන සමයෙහි ද කිඹුල්වත් පුර
එක්තරා ශාක්‍යවංශික උසස් කුලයක ඉපිද උත්තරානම් ලදව සිද්ධාර්ථ කුමරුගේ
අන්ත:පුර කුමාරිකාවක වූවා ය.
සිද්ධාර්ථ කුමාරයාණෝ සියලු සතුන් සසර දුකින් මුදා නිවනින් සැනසීම
උදාකරනු වස් සියලු සැප හැරදා අභිනික්මන් කොට උතුම් අභිසම්බෝධිය ලැබ
ශ්‍රී සදහම් යථාර්ථවාදී පණිවිඩය සකල සතට බෙදා වදාළ සේක. අනතුරු භික්ෂු
සංඝයා ලොව පහළ වූ ඉක්බිතිව භික්ෂුණි ශාසනය මහා ප්‍රජාපතී ගෝතමී
දේවියගෙන් ආරම්භව කාන්තාවගේ විමුක්තියේ දොර විවර විය.
එවක් පටන් යශෝධරා දේවියද කසාවත දරා භික්ෂුණියක ලෙසින් පැවිදි උපසම්පදාව
ලද පසුව පරිවාර ස්ත්‍රීහු විමුක්තිය ලද කැමතිව භික්ෂුණී ශාසනයට
පිවිසියෝ ය. ඒ අතර වූ භික්ෂුණියකි, උත්තර තෙරණියෝ.
දිනෙක ඕ තොමෝ වනසෙනසුන් ඇසුරු කරමින් හුදකලාවේ සුව විඳිමින් සසර දුකින්
එතෙර වීම උදෙසා සෘජු සිරුරින් වීර්යය වඩා විදර්ශනාවට මනස යොමු කළෝ ය.
එකල්හි ගන්ධ කුටියෙහි වැඩ සිටි භාග්‍යවතුන් වහන්සේ ඇගේ සිත කෙලෙසුන්
කෙරෙන් මිදීමට ආසන්න අවස්ථාවක පවතින බව දැක ඇය සිටිනා ස්ථානය වෙත
දීප්තිමත් ආලෝක ධාරාවක් යවා තමන් වහන්සේ ඇය ඉදිරිපිට වැඩ සිටින ආකාරය
දක්වමින් ගාථා රත්නයෝ ප්‍රකාශ කොට වදාළ සේක.
“කායෙන සංවුතා ආසිං - වාචාය උද චෙතසා
සමූලං තණ්හං අබ්බුය්හ - සිතිභූතම්හි නිබ්බුතාති”
“කයින් සංවර වීමි, වචනයෙන් සංවර වීමි, මනසින් ද සංවර වීමි, තෘෂ්ණාව
සහමුලින් උපුටා දමා නිවුණෙමි. සිසිල් වීමි.”
මෙලෙසින් භාග්‍යවත් බුදුවදන සිත දරා වීර්යය වඩා විදසුන් නුවණින් යුක්තව
භවකතරින් එතෙර වූ නිවුණාවූ සැනසුනු විතරාගී, වීතදෝසි, වීතමෝහි සිතක්
දරා ශාසන බ්‍රහ්මචරියාව සම්පූර්ණත්වයට පත්කොට වදාළ උත්තරා මහරහත්
තෙරණියෝ ලොවට පහළ වූහ. භාග්‍යවත් දසබලධාරී බුදුහිමි දෙසූ ගාථාවෝම උදාන
ගාථා වශයෙන් උත්තරා මහරහත් තෙරණියෝ දේශනා කොට වදාළ සේක.
සම්‍යක් කර්මාන්තයෙන් හැම ආකාරයෙන්ම වැරදි කර්මාන්ත දුරු කිරීමෙන්
මාර්ග සංවරයෙන්ම සිරුරෙන් සිදුවන වැරැදිවලින් සංවර වූයේ වෙයි. යහපත්
වචනයෙන් වැරදි වචනය දුරුකොට වචනයෙන් සංවර වේ. එනම් කය, වචනය දෙක්හි
හික්මීම සීලයෙන් සිදුවේ. කාම බන්ධනයන්ගෙන් වියුක්ත වූ සසරින් එතෙර වීමේ
අධිෂ්ඨානයෙන් යුක්ත වූවෝ කය, වචනය සංවර භාවයට පත්කොට සීලය ආරක්ෂා කර
ගනී. ජීවිත පරිත්‍යාගයෙන් බිජුවට රකින කිරල් දෙනමෙන්ද, ජීවිත
පරිත්‍යාගයෙන් වල්ගය රක්නා සෙමෙර මුවා මෙන්ද, ජීවිත පරිත්‍යාගයෙන්
පුත්‍රයා රක්නා එක් දරුවෙකු ඇති මව මෙන්ද සිල්වන්තයෝ සිල් ගුණ ආරක්ෂා
කරති.
සියලු ලෞකික ලෝකෝත්තර ගුණයන්ගේ මූලය ශීලයයි. සත්ත්වයින්ගේ යම් රාගාදි
කෙලෙස් මලයන් සීල නමැති ජලයෙන් පිරිසුදු කරන නිසාවෙන් පැවිද්දාගේ ආර්ය
ධනය වන්නේ ශීලයයි. ශීලය තුළින් කෙලෙසුන්ගේ ව්‍යාතික්‍රමණ ප්‍රහාණය
සිදුවන්නේ ය. එතුළින් සමාධිමත් සිතක් ගොඩනැඟේ. සම්‍යග් සමාධිය ගැනීමෙන්
සම්‍යග්දෘෂ්ටිය ඇති වේ. ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙන්, යෝනිසෝ
මනසිකාරයෙන් යුක්තව සියලු දෙයෙහි හටගැනීම හා විනාශවීම මත නුවණින් දැන
ගනීද සියලු දුක් නැති කිරීමට හේතු වන්නා වූ ආර්ය මාර්ගයේ ගමන් කොට
අභිධ්‍යාදි වූ අසංවරය සම්පූර්ණයෙන් බිඳහෙළන්නේ වෙති. සෑම අයුරින්ම
පරිපූර්ණව කෙලෙස්ගිනි නිවා දමා සිහිල් බවට පත්වී වසන්නෝ ය.
මේ අයුරින් කායික, වාචසික, මානසික සංවර භාවයෙන් යුක්තව සසරට බැඳ තබන
වරපට තෘෂ්ණාව දුරු කිරීම, සිඳීම පිණිස උත්තරා මහරහත් තෙරණියෝ සමත්වූවෝ
ය. ලද මිනිසත් බවින් උපරි ඵල ලැබෙන්නට සිත් පහළ කරගත්තෝ නිරතුරුව රහත්
උත්තමයන් වහන්සේලා ගත් මඟ අනුගමනය කරති.
අල්පේච්ඡතා ගුණයෙන් යුක්තව චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලානප්‍රත්‍යය,
සිව්පසයෙහි ලද දෙයින් සතුටුව සීලය දිවිහිමිකොට ආරක්ෂා කර ගනිමින්
සත්පුරුෂ වූ කල්‍යාණ වූ ශ්‍රී සද්ධර්මයට අනුගත වූවෝ නිවනට පිවිසීමට
සුදුස්සෝම වෙති.
එනයින් ප්‍රේත, තිරිසන්, අසුර, නරකය යන සතර අපාය නම් වූ මහගෙදරට නොයන
ලෙස ගිය මඟ ආමඟ නොදන්නාවූ, නිවුණු සැනසුණු සිතැති වූ කතක වුවද උත්තරා
නම් උත්තරීතර කාන්තාවක වූ උත්තරා මහරහත් තෙරණිය උදාන පාඨ කරගත් කායික,
වාචසික, මානසික සංවරත්වයෙන්, ත්‍රිලක්ෂණාවබෝධයෙන් තෘෂ්ණාවේ බලවේග සිඳ
නිවෙන්නට විමුක්තියේ දොර විවර කරන්නට වෙසෙසින් වීර්යය වඩන්නට උත්තරා
මහරහත් තෙරණියගේ වීර්යය උපස්තම්භක වේවා! |