Print this Article


ගෙවී ගිය වසරක කාලය තුළ ජාතීන් අතර සමගියත් ආගමික සහජීවනයත් වර්ධනය වූවා

ගෙවී ගිය වසරක කාලය තුළ ජාතීන් අතර සමගියත් ආගමික සහජීවනයත් වර්ධනය වූවා

ජනපති පදවි ප්‍රාප්ති වර්ෂ පූර්ණය නිමිත්තෙනි.


ජාතීන් අතර සමඟියත් ආගම් අතර සහජීවනයත් රටක තිරසාර ඉදිරි ගමනක් සඳහා අත්‍යවශ්‍ය වන්නාවූ සාධකයකි. අද වන විට ලෝකයේ අති බහුතරයක් වන රටවල් සංඛ්‍යාවක් ජාතීන් කිහිපයක් හා විවිධ ආගම්වලට අයත් වූ පිරිස් ජීවත්වීම නිසා මෙම සහජීවනය යන කාරණය පොදුවේ මුළු මහත් ලෝකයට ම බලපාන්නා වූ කාරණයක් බවට පත්ව තිබේ.

ජාතීන් වශයෙන් හෝ ආගමික වශයෙන් බෙදී වෙන්ව රටක් ලෙස ජාත්‍යන්තරය තුළ ඉදිරි ගමනක් යන්නට කිසිදු රටක් සමත් වී නොමැත. ඊට උදාහරණ ඕනතරම් ගෙනහැර දැක්විය හැකිය. ලිච්ඡවී රජ දරුවන් එදා අනුගමනය කළ සමඟියෙන් රැස්ව සමඟිව සාකච්ඡා කර සමඟියෙන් විසිර යෑම යන සංකල්පය අදට පෙරටත් වඩා වංලගු වෙයි. ලොව පහළ වූ ශ්‍රේෂ්ඨ ශාස්තෘන් වහන්සේලා සැවොම කිසිදු අන්‍ය ජාතියකට හෝ අන්‍ය ආගමිකයෙකුට හිරිහැර කළ යුතු යැයි දේශනාකර නොමැත. අවිහිංසාව මුල්කර ගනිමින් සෑම ආගමක් ම ගොඩනැගී තිබේ. තිස් වසරක කුරිරු ත්‍රස්තවාදයෙන් බැටකෑ මෙරට සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් හා මැලේ යන ජාතීන් අතර පසුගිය කාලය තුළ කිසියම් දුරස් බවක් නිර්මාණය වී තිබිණි. ඊට යුද්ධය විසින්ම සමාජය තුළ ස්ථාපිත කැර තිබූ සැකය, බිය, කෝපය යන කරුණු හේතු විය. එක් ජාතියක් තවත් ජාතියක් දෙස සැකයෙන් හා අවිශ්වාසයෙන් බලන්නට පුරුදු වී සිටියේ ය. මේ ඔස්සේ මෙරට පැවති ජාතික, ආගමික, සමඟියට බරපතළ ලෙස හානි වීමේ ප්‍රතිඵලයක් ලෙස රටේ ඉදිරි ගමන අඩාළ විය. මෙරට තුළ පැවති මෙම අර්බුද ජාත්‍යන්තරයෙන් නොයෙක් අත පෙවීම් අප රටට කරන්නට ද හේතුවිය. ඔවුන් මේ සියල්ල සාධාරණීකරණය කළේ රටේ පැවති ජාතික හා ආගමික අසමඟිය උළුප්පා දක්වමිනි. මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී.ල. නි. ස මහ ලේකම් ලෙස කටයුතු කැරමින් සිටිය දී ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකු ලෙස ඉදිරිපත් වූයේ සියලු ජන කොටස්වල ආශිර්වාදයෙනි. ඒ තුළ සියලු ජනකොටස් ආගම් මෙන්ම සෑම දේශපාලන පක්ෂයක් ම නියෝජනය වීමද සුවිශේෂී තත්ත්වයකි. එක් පුද්ගලයකු වටා එලෙස සියලු ජන කණ්ඩායම් ඒකරාශී වීමේ පසුබිමක් මෑත කාලීන දේශපාලන ව්‍යුහය තුළ දක්නට නොලැබිණි. එම ජනපතිවරණය පැවති කාලසීමාව වන විට මෙරට තුළ යම් ආකාරයකට ජාතීන් අතර විරසකයක් ආගම් අතර සමඟියේ බිඳවැටීමක් ඇති වී තිබීම පොදු අපේක්ෂක ලෙස මෙලෙස ජනතාව ඒකරාශීවීමට මූලික හේතුව වී තිබිණි.

තිස් වසරක් පැවති ත්‍රස්තවාදය නිමා කැර රටට සාමය උදා කර දුන් මහින්ද රාජපක්ෂ මහතාට තවත් වසර දෙකක කාලයක් බලයේ සිටින්නට අවකාශ තිබිය දී එතුමා විසින් ම කැඳවූ ජනපතිවරණයෙන් ඒ මහතාට පරාජය අත් විඳින්නට සිදු වූයේ විවිධ ජාතීන් එකට අත්වැල් බැඳ ගැනීමේ ප්‍රතිඵලය නිසාවෙනි. රටක ජාතීන් අතර පවත්නා සමඟියට කෙතරම් දේ කළ හැකිද? යන්නට එය ප්‍රබල සාක්ෂියකි.

ගෙවුණු වසරක කාලය තුළ ජාතීන් අතර සමඟියත් ආගමික සහජීවනයත් ක්‍රමයෙන් වර්ධනය වූ අතර එහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් ක්‍රියාමාර්ග ජාත්‍යන්තර වශයෙන් පවා පැසසුමට ලක්විණි. දේශීයත්වය අගයන නායකයකු වන හෙතෙම මෙරට සංස්කෘතිය කෙරෙහි පැහැදිලි අවබෝධයකින් ක්‍රියාකරන්නෙකි. මහා සංඝරත්නයේ මෙන්ම සෙසු ආගමික නායකයින්ගේ ද අදහස්වලට කන්දෙමින් මෛත්‍රීපාල සිරිසේන මහතා ක්‍රමයෙන් ගොඩනන්වන යහපාලන වැඩපිළිවෙළ සඳහා ප්‍රධාන පක්ෂ දෙකේ එකමුතුවෙන් සැඳුම්ලත් ජාතික ආණ්ඩුව ශක්තියකි.

ස්වාධීන රාජ්‍ය සේවා කොමිසම, මෙන්ම අධිකරණය, පොලිසිය, මැතිවරණ යන අංශ සඳහා ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීම පසුගිය කාලය තුළ ජනතාව අපේක්ෂා කළ කරුණකි. ජනපති අගමැති සුසංයෝගයෙන් රට නව මාවතකට යොමුවීම ජාත්‍යන්තරයද සුබවාදීව අප දෙස බලන්නට තරම් හේතුවිය. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වාදෙමින් මැතිවරණ ක්‍රමයේ සාධනීය වෙනසක් ඇති කර රට තව තවත් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය තුළ ශක්තිමත් කිරීමට ජනපතිවරයා ගන්නා වෑයම අගය කළ යුතු යි. ආගමික පදනම මත ජනතාව ආධ්‍යාත්මික වශයෙන් පෝෂණය කිරීම වැදගත් කරුණක් වන අතර ජනපතිවරයා ඒ සඳහා ගන්නා ක්‍රියාමාර්ග ප්‍රසංශනීය ය.

- සටහන නිහාල් ජයවර්ධන