‘බුදු දහමෙහි
අපාය සංකල්පය’
ලිපි මාලා අංක – 14
ප්‍රේතියකට
පින් අනුමෝදන් කිරීම
ශාස්ත්‍රපති
රාජකීය පණ්ඩිත
මහරැඹෑවැවේ පාලිත හිමි
තෙරුන් වහන්සේලා තමන් වහන්සේලාගේ ගමන ප්‍රමාද කොට ඇය කෙරෙහි
අනුකම්පාවෙන් ඇය කී නිවෙස වෙත වැඩම කළහ. ගේ හිමියා පැමිණ භික්ෂූන්
වහන්සේලා දැක පැහැදී උන්වහන්සේලාගේ පාත්‍ර රැගෙන දන් පිළිගැන්වූහ.
තෙරුන් වහන්සේලා ප්‍රේතිය පිළිබඳ සියලු පුවත් ගේ හිමියා ඇතුළු පිරිසට
දේශනා කළහ. එයින් කම්පාවට පත් සියලු දෙනා භික්ෂූන් වහන්සේලාට දන්
පිළිගන්වා ඇයට පින් අනුමෝදන් කළහ.
උඳුවප් පසළොස්වක පොහෝ දිනයේ දී අප අවධානය යොමු කළේ ප්‍රේත (ප්‍රේත
අපාය) යනුවෙන් හඳුන්වන ලෝකය හා ජීව කොට්ඨාසය පිළිබඳ විමසා බැලීමටයි.
එහිදී අප පේත යන්නත්, ඤාතී පේත යන්නත් විස්තර කළෙමු. අද ලිපියෙන් ඔබගේ
අවධානය යොමු කරවන්නේ බෞද්ධ සාහිත්‍යයේ සඳහන් පේත ලෝකයේ වර්ගීකරණයන් හා
සත්ත්වයින් පේත ලෝකයේ ඉපදීමට බලපාන පොදු හේතු සාධකයන් කෙරෙහිය.
සද්ධම්මෝපායන නම් බෞද්ධ ග්‍රන්ථයේ පේත යන්නට අර්ථකථන සපයා ඇත්තේ මෙසේ
ය. තමන්ගේ ම කර්මය විසින් වළකන ලද බත්පැන් ඇත්තාහු අනලස්ව සැනසීමක්
නැතිව ආහාර සඳහා ඔබමොබ යෙතියි යන අදහස නිසා පේත නමින් හඳුන්වන බවයි.
එහි සඳහන් පරිදි ප්‍රේත වර්ග හතරක් ඇත. එනම්,
01. නිජ්ඣාමතණ්හික
02. ඛුප්පිපාසිකා
03. පංසුපිසාචිකා
04. පරදත්තුපජිවි
තමන් කළ කර්ම බලයෙන් ඇතුළත දැවෙමින් දුක්විඳින ප්‍රේතයෝ නිජ්ඣාමතණ්හික
නම් වේ. සෙම් සොටු මල - මුත්‍ර ආදි පමණකුදු ආහාර නැතුව දුක්විඳින
පේ‍්‍රතයෝ ඛුප්පිපාසිකා නමින් හඳුන්වයි. කසල ගොඩවල් ආදී අපවිත්‍ර
තැන්වල ආහාර සොයමින් හැසිරෙමින් දුක්විඳින ප්‍රේතයෝ පංසුපිසාචිකා යන
නමින් හඳුන්වයි. අනුන් දෙන ලද පිනින් ජීවත්වන ප්‍රේතයෝ පරදත්තුපජිවි
නමින් හඳුන්වයි.
පේතවත්ථුවේ සඳහන් පරිදි ප්‍රේතයින් වී ඉපදීමට ප්‍රධාන වශයෙන් බලපාන
පොදු හේතු සාධක මෙසේ ය.
සත්ත්ව ඝාතනය, ලෝභය හා තද මසුරු බව, ඊර්ෂ්‍යාව හා වෛරය, පරදාර හා
පරපුරුෂ සේවනය, සඟසතු දේ අයථා පරිභෝගය, බොරුකීම හා බොරුවට දිවිරීම, අන්
අය කරන පින්කම්වලට අකුල්හෙලීම, හොර තරාදි පඩි හා හොර මැනුම් භාවිත
කරමින් වංචා කිරීම වැනි අකුසල් ය. පේතවත්ථුවේ සඳහන් කතාවන්ගේ සාරය
ගත්විට එහි සඳහන් සියලු ප්‍රේතයන් ප්‍රේත ආත්මයන් ලැබීම සඳහා බලපා
ඇත්තේ ඉහත සඳහන් කරුණුවලින් එකක් හෝ කිහිපයක්ය. මෙතැන් සිට පේතවත්ථුවේ
සඳහන් පේ‍්‍රත ලෝකයේ කතා කිහිපයක් විමසා බලමු.
අන් අයගේ දරුවන් මැරූ පවින් තමන්ගේ ම පුතුන් කන ප්‍රේතිය
සැවැත් නුවරට නුදුරෙහි එක්තරා ගමක කෙළෙඹි පුත්‍රයෙක් එම ගම සමීපයෙන් ම
එක් ස්ත්‍රියක් බිරිඳ ලෙස සරණපාවා ගත්තේ ය. කලක් ගතවූවත් දරුවන් නොලැබූ
ඇය වඳ ස්ත්‍රියක් විය. ඔහුගේ දෙමාපියාදී ඤාතීන් පැමිණ වෙනත් ස්ත්‍රියක්
සරණපාවා ගන්නා ලෙස ඔහුට ඇවටිලි කළහ. එහෙත් ඔහු තමාගේ බිරිඳ කෙරෙහි වූ
දැඩි ස්නේහය නිසා එසේ නොකළාය. පසුව ඔහුගේ බිරිඳ ද ඔහුගේ කුල පරම්පරාව
ආරක්ෂා කර ගැනීම සඳහා දරුවන් අවශ්‍ය බැවින් වෙනත් කාන්තාවක් සරණපාවා
ගෙන එන ලෙස ඇවිටිලි කළ නිසා අකමැත්තෙන් වුවද වෙනත් කාන්තාවක් රැගෙන ආවේ
ය. බිරින්ඳෑවරු දෙදෙනා ම මුල් කාලයේ සමගියෙන් විසූ අතර ටික කලක් යන විට
පරණ බිරිඳට මෙසේ සිත් විය. එනම් ‘මැය දරුවන් ලැබ ගෙදර ප්‍රධාන තැන
ගත්විට මා හට අයත් වන්නේ ගෙදර දාසියක්ව වැඩ කිරීමටය. එබැවින් මැය
දරුවන් නැත්තියක් කරන්නෙමි’යි යනුවෙනි. මෙසේ සිතූ ඇය දෙවන බිරිඳ
ගැබ්ගත් බව දැන ආහාරයට විෂක් යොදා ගැබ හෙළීමට කටයුතු කළා ය.
ටික දිනකින් පසු අතිශය දුකට පත් දෙවන බිරිඳ ලේ සහිතව ගැබ හෙළීය. මෙය
පරණ බිරිඳගේ ක්‍රියාවක්යැයි දැන ඇය තම දෙමාපියන්ට දැන්වීය. පසුව
දෙමාපියන් පැමිණ මේ අපරාධය පිළිබඳ ඇගෙන් විමසීය. එහෙත් ඇය එය නොපිළිගත්
බැවින් දිවුරන්න යැයි පැවසූහ. එවිට ඇය දිවුරා කියා සිටියේ තමා එබඳු
කටයුත්තක් නොකළ බවත්ය. එසේ කළේ නම්, මතු උපදින ආත්මයන්හි දුගතිගාමීව
ආහාරපානාදිය නොලැබ දිනකට පුතුන් දහදෙනෙක් බිහිකොට එයින් පසදෙනෙක්
උදේටත් තවත් පස්දෙනෙක් සවසටත් වශයෙන් අනුභව කරමින් දුර්ගන්ධය වහනය වන
ශරීරයෙන් යුක්තව නිතර නිල මැස්සන් වසන ලද ශරීරයක් ලැබෙන්නේ ය. යනුවෙන්
දිවුරා තමන්ට ම ශාප කරගත්තාය.
මෙසේ ටික දිනක් ගත වීමෙන් තමා කළ අකුශල කර්මය නිතර සිහිවීමෙන් ඉවසාගත
නොහැකිව ලෙඩ වී මරණයට පත්ව ඇය අන් අයට මුසා බස් දොඩා තමාම රවටා, තමාට ම
දිවුරා ශාප කරගත් පරිදි ඒ අසල ම නිල මැස්සන් වසාගත්, දුර්ගන්ධය හමන,
ශරීරයෙන් යුක්තව ලෙයින් වැකුණු ශරීර ඇතිව සා පිපාසාදියෙන් පීඩිතව
පුතුන් කමින් ජීවත්වන පේ‍්‍රතියක්ව උපන්නා ය.
එකල්හි ජනපද වාසී වූ භික්ෂූන් වහන්සේලා අටනමක් වස්කාලය ගත කොට එය නිමවා
බුදුරජාණන් වහන්සේ දැකීමට වන මැදින් වැඩම කරනුයේ ගමන් මහන්සිය නිවා
ගැනීම සඳහා මහත් සෙවන ඇති ගසක් මුල වැඩ හුන්හ. එම අවස්ථාවේ එතනට පැමිණි
නග්න වූ, අප්‍රසන්න දැකීම් ඇති, දුර්ගන්ධය වහනය වන තමා වැදූ පුතුන් කන
මේ ප්‍රේතිය දුටහ. මෙසේ අප්‍රසන්න ගති ඇති මේ ප්‍රේතියගෙන් එක් තෙරනමක්
මෙසේ විචාළහ. නග්න වූ, දුර්වර්ණ ශරීර ඇති ඔබේ ශරීරයෙන් දුර්ගන්ධය වහනය
වෙයි. නිල මැස්සන් පිරිවරා ඇත. මෙසේ අප්‍රසන්න වූ ඔබ මෙහි සිටින්නේ කා
උදෙසා ද?
එවිට ඇය පවසනුයේ ‘ස්වාමීනි මම ප්‍රේතියක්මි, මා විසින් කළ පව්කම් නිසා
දුගතියෙහි ඉපිද දුක්විඳ කර්මය ක්ෂය නොවූ බැවින් ප්‍රේතියක්ව ඉපිද එම
කර්ම විපාක ගෙවමි’ යනුවෙනි.
මම උදේට පුත්‍රයන් පස්දෙනෙක් ද, සවසට පුත්‍රයන් පස්දෙනෙක් ද බිහිකරමි.
උදේ බිහිකරන පස්දෙනා උදේ ආහාරයට ගනිමි. සවස බිහිකරන පස්දෙනා සවස ආහාරයට
ගනිමි. එහෙත් මාගේ සා පිපාසාව නොසන්සිඳේ. මාගේ ශරීරය අභ්‍යන්තරයෙන්
නිතර දැවෙයි. දුම් දමයි. කෑම බීමට කිසිවක් නොලැබෙයි. ඒ මා විසින් කළ
අකුශල කර්මයේ බලවත්කම නිසා ය.
එය ඇසූ භික්ෂූන් වහන්සේ ඇය මෙවැනි දුක්ඛිත තත්ත්වයකට පත්වීමට හේතුව
අකුශල කර්මය විමසයි. මෙසේ තමන් විසින් ම බිහි කරන පුතුන් කෑමට තරම්
සාහසික වීමට ඔබ කයෙන් කළ අකුශල කර්මය කුමක්ද? වචනයෙන් කළ අකුශල කර්මය
කුමක්ද?
“පෙර අත් බවයේ මාගේ ස්වාමියා විසින් රැගෙන එන ලද අනෙක් බිරිඳ දරු ගැබක්
ලත් කල්හි ද්වේෂයෙන් මඩනා ලද සිත් ඇත්තේ ඊර්ෂ්‍යියාවෙන් යුක්තව ඇගේ දරු
ගැබ හෙළීමට ආහාර සමඟ විෂ යෙදුවාය. දෙමසක් වූ ඇගේ දරු ගැබ ලේ සහිතය. ඇයට
අතිශය දුක් පමුණුවමින් හෙළීය. ඇගේ දෙමාපියන් පැමිණ මා විමසන කළ ඔවුන්
බොරුවෙන් වංචා කොට රැවටුවෙමි. ඔවුන් මා හට දිවුරන්න යැයි කිවූ කල එසේ
මා ඔවුන් වංචාකොට එසේ මා කළේ නම් මෙසේ වන්නේයැයි දිවුරුවෙමි. එහි
ප්‍රතිඵල මා මෙසේ වඳිමි” යනුවෙන් ප්‍රේතිය දුක් මුසුව පැවසුවා ය.
මෙසේ තමාගේ කර්ම විපාක පවසා දුක් මුසු වූ ඇය එම භික්ෂූන් වහන්සේලාගෙන්
ඉල්ලීමක් කළා ය. ස්වාමීනි, මම ඒ අපරාධය කළේ මේ ගමෙහි ම අසවල් ගෙදර
ස්වාමියාගේ බිරිඳටය. එබැවින් ඔබ වහන්සේලා ඒ නිවසට වැඩම කොට එහිදී දන්
පිළිගෙන කරුණු පහදා දී මා හට පින් අනුමෝදන් කළහොත් මා මේ දුක්ඛිත
ප්‍රේත අත් බවෙන් මිදෙන්නේ ය.’ යනුවෙන් පැවසුවාය. ඒ ඇසු තෙරුන්
වහන්සේලා තමන් වහන්සේලාගේ ගමන ප්‍රමාද කොට ඇය කෙරෙහි අනුකම්පාවෙන් ඇය
කී නිවෙස වෙත වැඩම කළහ. ගේ හිමියා පැමිණ භික්ෂූන් වහන්සේලා දැක පැහැදී
උන්වහන්සේලාගේ පාත්‍ර රැගෙන දන් පිළිගැන්වූහ. තෙරුන් වහන්සේලා ප්‍රේතිය
පිළිබඳ සියලු පුවත් ගේ හිමියා ඇතුළු පිරිසට දේශනා කළහ. එයින් කම්පාවට
පත් සියලු දෙනා භික්ෂූන් වහන්සේලාට දන් පිළිගන්වා ඇයට පින් අනුමෝදන්
කළහ. පින් අනුමෝදන් වූ ඇය ප්‍රේත අත් බවින් මිදී මහත් සම්පත් ලැබ
රාත්‍රියෙහි ගෙහිමියා වෙත පැමිණ ඔහු ඇතුළු පිරිසට ප්‍රශංසාකොට ගොස් ඇත.
තෙරුන් වහන්සේලා ද ක්‍රමයෙන් සැවැත් නුවරට පැමිණ බුදුරජාණන් වහන්සේට
සිදු වූ සියලු පුවත් සැළකළහ. බුදුරජාණන් වහන්සේ එය අරමුණු කොටගෙන රැස්
වූ පිරිසට දහම් දෙසූහ. බොහෝ දෙනාට ධර්මාභිසමය විය.
මතු සම්බන්ධයි,
පසුගිය සතියෙන් -
‘බුදු දහමෙහි අපාය සංකල්පය’ ලිපි මාලා අංක – 13 පේත අපාය යනු කුමක්ද? |