Print this Article


සදහම් දැනුම

ප්‍රශ්නය
ජිගච්ඡා පරමා රොගා
සංඛාරා පරමා දුඛා
එතං ඤත්වා යථාභූතං
නිබ්බානං පරමං සුඛං

පරමාර්ථ වශයෙන් ගත්කළ සියල්ල දුක් වුවද සම්මුති සුවයක් නැතැයි බුදුන් වහන්සේ නොවදාළහ. එබඳු ‘සුඛ’ වර්ග රාශියක් ඇතිබව බුදුහු වදාළහ. උත්සාහ විය යුත්තේ හීන සැප හැකි තරමින් දුරුකරමින් උතුම් සැප ළඟා කරගැනීමටය. පැහැදිලි කරන්න.

පිළිතුර
බුද්ධ දේශනාවට අනුව නුවණැත්තා මහත් සැපය දෙස බලමින් අල්පමාත්‍ර වූ සැපය අත් හරින්නේ ය. ධම්මපද ග්‍රන්ථයෙහි සඳහන් පරිදි වෛර සහිතව ජීවත්වන්නවුන් අතර අවෛරීව ජීවත්වීම සැපයකි. ආතුරයන් අතර අනාතුරව ජීවත්වීම සුවයෙකි. පස්කම් සැපතෙහි ලොල් වූ මිනිසුන් අතරෙන් එසේ නොමැතිව ජීවත්වීම සැපයකි. ජය ගැනීම ගැන සිතන ලොවක ජය පරාජය දෙකම අත්හැර ජීවත් වීම සැපයකි. සද් පුරුෂයන් එකට වාසයද සුවයකි. පාපකාරී අනුවණයන් නොදැකීම වඩාත් සැපයකි. බුදුන් වහන්සේ කෝළියන්ගේ නියම්ගම වසන සමයෙහි දීඝජානු කෝලිය නම් තැනත්තා විසින් අයැද සිටියේ ‘පුත්ත සම්බාධ සයන’යෙහි නිදන ගිහිව කම්සැප විඳිමින් දරබරින් මිරිකී වත්සුණු සඳුන් සුණු ඇඟ තවරා සිටින අපට මෙලොව පරලොව සැප පිණිස හේතුවන ධර්මයක් දේශනා කරන්නට අයැද සිටි අවස්ථාවෙහි දී බුදුන් වහන්සේ ගිහිව කම්සැප විඳිතැයි දීඝජානුකෝලිය සිටු පුත්‍රයාට චෝදනා කළේ නැත. ඔහුට තවත් සැපවත්ව ජීවත්වීමට මග කියා දුන්නේ ය.

ප්‍රශ්නය
බුද්ධ චරිතයෙහි මුල්ම යුගය පිළිබඳව සූත්‍රාගත තොරතුරු පැහැදිලි කරන්න.

පිළිතුර
අභිනිෂ්ක්‍රමණයෙන් පසු බෝසත්තුමා වරෙක රජගහනුවරට පැමිණියේ ය. එහිදී මගධාධිපති බිම්බිසාර රජුත් බෝසත්තුමාත් අතර සාකච්ඡාවක් ඇතිවිය. බෝසතුන් හඳුනාගැනීමේ ආශාවෙන් සාකච්ඡාවෙහි යෙදුනු බිම්බිසාර රජුට බෝසත්තුමා මෙසේ පැවසීය. කෙළින්ම ඇති මේ හිමාලය පාර්ශවයෙහි ධනයෙන් හා වීර්යයෙන් සම්පන්න කෝසල ජන පදයෙහි පරම්පරානුයාත ජනපදයක් වෙයි. ඔවුහු ගෝත්‍රයෙන් ආදිත්‍ය නම් වෙති. ජාතියෙන් ශාක්‍ය නම් වෙති. මම කාමයන් නොපතමින් ඒ කුලයෙන් පැවිදිවීමි. මෙයින් බෝසත්තුමා කෝසල පරම්පරාවෙන් පැවතෙන ශාක්‍ය ජනපදිකයෙකු බව පැහැදිලි වෙයි.

ප්‍රශ්නය
මානව සංහතියේ අපූර්වතම සිද්ධි මාලාවක් අඹු, සැමි සංභෝගය හෙවත් ස්ත්‍රී + පුරුෂ එකතුව පිළිබඳව සටහන්ව ඇත. බුදුදහමෙහිදී ස්ත්‍රී පුරුෂ එකමුතුව පිළිබඳව විවිධ තොරතුරු සටහන්ව ඇත. මේවායින් සමහරක් පෙළදහමෙහි දේශනා පාඨ වශයෙන්ද වර්තමානය දක්වාම එක්ව පවතී. කාන්තාවකගේ හා පුරුෂයෙකුගේ සහ සබඳතාවය ගොඩනැගෙන අයුරු දේශනා පාලියෙහි එන එක් අවස්ථාවක් පැහැදිලි කරන්න.

පිළිතුර
අංනි, අට්ඨක නිපාත සූත්‍ර,

සැවැත්නුවර ජේතවනාරාම දම්සභාවෙහි බුදුරජාණන් වහන්සේ විසින් ශ්‍රාවක භික්ෂූන්අමතා මෙසේ වදාළහ.

අට්ඨහි භික්ඛවෙ ආකාරෙහි ඉත්ථ පුරිසා බන්ධති. ‘මහණෙනි ආකාර අටකින් ස්ත්‍රී පුරුෂ සහ සම්බන්ධතාවය ඇතිවෙයි. එම අට ආකාරය මෙසේය.

1. රූපයෙන් – රූපෙන , 2. සිනහවෙන් – හසිතෙන , 3. කතා කිරීමෙන් – භණ්තෙන , 4. ගීතයෙන් – ගීතෙන , 5. හැඬිමෙන් - රොණ්ණොන , 6. ආකල්පයෙන් – ආකප්පෙන , 7. මල්, ගෙඩි, පලතුරු, පරිත්‍යාගයෙන් – වනභංගෙන , 8. ස්පර්ශයෙන් – ඵස්සේන

ප්‍රශ්නය - සත්වයා ‘උප්පත්තියා - සහෙ වෙදං මරණං ආගතං සදා’ උපතේ සිට මරණය කරා ගමන් කරයි. මේ සසර ගමනෙහිදී එකොළොස් ගින්නකි. ඔහු දැවෙමින් ගමන්කරන බව ධර්මයෙහි සඳහන් වෙයි. මේ එකොළොස් ගින්න නාමික වශයෙන් සඳහන් කරන්න.

පිළිතුර
සත්වයා නිරතුරුව දැවෙන ගිනි එකළොස මෙසේ ය.

රාග - ද්වේෂ - මෝහ – ව්‍යාධි – ජරා - මරණ - සෝක – පරිදේව - කායික දුක චෛතසික දුක – උපායාස

ප්‍රශ්නය -
පුද්ගල පුනර් ජන්මය ඇතිවන්නේ මරණ මොහොතෙහි බලවත්ව සිටින කුසල හෝ අකුසල කර්මය අනුව බව පෙළ දහමෙහි ඉගැන්වෙයි. මෙබඳු කර්ම කුමන නමකින් හැඳින්වෙන්නේ ද? පැහැදිලි කරන්න.

පිළිතුර
පුද්ගලයෙකුගේ මරණය නම් හුදෙක් තාවකාලික සංසිද්ධියක තාවකාලික නැවැත්මක් පමණි. භෞතික ශරීරය විසිරයාමත් සමඟ මෙතෙක් ක්‍රියාත්මක වූ කර්මශක්තිය මුළුමනින්ම විනාශයට නොයන හෙයින් වර්තමාන රූපය විනාශ වුවද ඊට මුළුමනින්ම වෙනස් හෝ මුළුමනින්ම සම නොවන තවත් රූපයක් මරණ මොහොතේ බලවත්ව පැවැති සිතට ගැළපෙන පරිදි ඇති වන්නේ ය. පුද්ගලයෙකුගේ අනතුරු භවය, විනිශ්චය කරන මෙම අවසන් ‘චීත්ත වීථිය’ ජනක කම්ම නමින් හැඳින් වේ.

තවද ජනක කර්මය සක්‍රීය වීමට බාධාකාරී ලෙස හෝ උපකාරක ලෙස සක්‍රීය වීමට (ක්‍රියාත්මකවීමට) තවත් අතීත කර්ම ඉදිරිපත් විය හැක. එබඳු කර්ම ලෙස උපත්ථම්භක (සහයෝගීවන) කම්ම හා උපපීඩක (බාධාකරන) කම්ම යන දෙවර්ගය හඳුන්වා ඇත.

ප්‍රශ්නය -
බුදු දහමෙහි ‘සාධු’ යන පාලි පාඨය යෙදී ඇත්තේ යහපත් යන අර්ථය සඳහායි. ‘සුදුසු’ යන අර්ථය සඳහා ද ‘කතං සාධු’ යන දේශනා පාඨවලින් හඳුනාගත හැක. ඒ අනුව ජාතක කතා සාහිත්‍යයෙන් නුසුදුසු පුද්ගලයෝ හතර දෙනෙක් පිළිබඳව (නසාධු) සඳහන්වෙයි. ගති ලක්ෂණ අනුව ඒ පුද්ගල සතර දෙනා කවුද?

පිළිතුර -
අලසො ගිහි කාමභෝගී න සාධු
අසක්ඤතො පබ්බජිතො නාඩු
රාජා න සාධු අනිසම්ම කාරී

යො පණ්ඩිතො කොධනො තං නසාධු (රථලට්ඨි ජාතකය) කුසීත කාමභෝගී ගිහියා යහපත් නොවේ. සන්සිඳීමක් (සන්සුන්බවක්) නැති පැවිද්දා යහපත් නොවේ. විමසිලිමත් නොවී තීරණ ගන්නා රාජ්‍ය පාලකයා යහපත් නොවේ. බුද්ධිමත් පඬිවරයා ක්‍රෝධ, වෛරය යුතුබව යහපත් නොවන්නේ ය.