Print this Article


ජීවිතයට ඔවදනක්

උඳුවප් අවඅටවක පෝදා දම් දෙසුම

ජීවිතයට ඔවදනක්

මිනිසුන් ලෙස සසර එක් භවයක් තුළ ගත කරන මෙම ඉතා කෙටි කාල සීමාව තුළ ජීවිතය මෙලොව හා පරලොව වශයෙන් ජය ගැනීම සඳහා අපි අනේකවිධ වූ ක්‍රියාකාරකම්වල නිරත වන්නෙමු. එයින් මෙලොව ජීවිතය ධාර්මික ලෙස ජය ගැනීම යනු පරලොව ජීවිතය ද ජය ගැනීමක් බව අප හොඳින් දන්නා කරුණකි.

සැදැහැවත්නි,

අපි මිනිසුන් වශයෙන් මෙලොව උපත ලබා ඇත්තෙමු. ඒ සසර අපමණ කුසල් රැස් කර ගත් නිසාවෙනි. නො එසේ නම් අප උපත ලබනුයේ තිරිසන් ගත ජන්මයන්හි ය.

මෙසේ මිනිසුන් ලෙස උපත ලැබූ අපි සෙසු සියලු සත්ත්ව වර්ගයා සේම මොහොතින් මොහොත මරණය කරා ළඟා වන්නෙමු. මිනිසෙකුගේ පරම ආයුෂ වසර 120 ක් ලෙස සම්මතව පැවතිය ද නූතන සමාජය තුළ එපමණ කලක් ජීවත් වන්නෝ නොවෙති. ඉකුත් 2000 වසර උදාවීමට පෙර නව සහස්‍රකය උදාවන්නේ යැයි, මාධ්‍ය හරහා පුළුල් ප්‍රචාරයක් දියත් කෙරිණ, එය අද ඊයේ මතකයන් මෙන් අප සිත් තුළ පැවැතිය ද දැනට එය සිදු වී වසර 15 ක්ම ඉකුත් වී ඇත. ගිහි පැවිදි බොහෝ දෙනෙකු ගත කරන පෙර මිනිසුන් තුළ නොවුවිරූ අන්දමේ අධික කාර්ය බහුල ජීවන රටාව නිසා කාලය නොදැනුවත්වම සේ ඉකුත්ව යන ස්වභාවයක් පෙන්නුම් කෙරෙයි.

මිනිසුන් ලෙස සසර එක් භවයක් තුළ ගත කරන මෙම ඉතා කෙටි කාල සීමාව තුළ ජීවිතය මෙලොව හා පරලොව වශයෙන් ජය ගැනීම සඳහා අපි අනේකවිධ වූ ක්‍රියාකාරකම්වල නිරත වන්නෙමු. එයින් මෙලොව ජීවිතය ධාර්මික ලෙස ජය ගැනීම යනු පරලොව ජීවිතය ද ජය ගැනීමක් බව අප හොඳින් දන්නා කරුණකි. එලෙස මෙලොව ජීවිතය සාර්ථකව ජය ගැනීම සඳහා සිදුකරන කිසියම් යහපත් කාර්යයක් ආරම්භ කොට ඉදිරියට පවත්වාගෙන යාමේ දී එහි සාර්ථකත්වය සඳහා පියවර සයක් අනුව ගමන් කළ යුතු බව අත්තකාර සූත්‍රයේ සඳහන් වී තිබේ. ඉන් පළමුවැන්න ආරම්භ ධාතු ලෙස දැක්වේ. එහි අර්ථය ක්‍රියාව ඇරඹීමයි. ආරම්භ කළ ක්‍රියාව ඉදිරියට පවත්වාගෙන යාම දෙවැන්නයි. තෙවැන්න බාධා මැඩගෙන යාමයි. නොසැලී පැවතීම සිව්වැනි කරුණ වන අතර වීර්යයෙහි පිහිටා සිටීම පස්වැනි කරුණයි. අවසානයට ඉගැන්වෙනුයේ උපක්‍රමශීලීවීමයි.

යහපත් කටයුත්තක් සඳහා මෙම පියවර සය නිවැරදිව ක්‍රියාත්මක කරන්නේ නම් කිසිදු කාර්යයක් අතරමග නතරකර දැමීමට සිදු නොවේ. පුද්ගල ශ්‍රමය වැය කිරීමේ දී බාහිර බලවේග පිළිබඳ විශ්වාසය නොතබා ස්වකීය ශක්තියම යෙදවීමට කරන උත්සාහයක් මෙමගින් අදහස් වෙයි. මෙහිදී යහපත් ක්‍රියාවක් ඇරඹීම පළමු කාර්යයි. යමක් කිරීමේ දී පළමුව ඇතිකර ගන්නා වීර්යය එම ක්‍රියාවෙහි සාර්ථකත්වය සඳහා අතිශයින්ම ඉවහල් වෙයි. නිදසුනක් ලෙස "සොත්ථිය" නමැති බමුණෙකු පිදූ කුසතණ අතුරා අසුනක් පනවා ගත් බෝසතාණන් වහන්සේ ඇතිකරගත් චතුරංග සමන්නාගත වීර්යය දැක්විය හැකිය. ‘මාගේ ශරීරයේ ඇට, සම්, නහර පමණක් ඉතිරිවන සේ මස් ලේ වියලී ගිය ද සම්බුද්ධත්වයට නොපැමිණ මේ ආසනයෙන් නැගී නොසිටිමි’ යනු එම අධිෂ්ඨානයි. එබැවින් තමන් පටන්ගත් යහපත් කාර්යය සාර්ථකත්වයට පත්කර ගැනීමට නොලැබෙන පරිදි සිය දහසක් බාධා පැමිණිය ද ඒවා තණ පතක් තරමටවත් ගණන් නොගෙන වීර්යයෙන් දිගින් දිගටම පවත්වාගෙන යාම ධෛර්ය සම්පන්න උතුම් පුද්ගලයින්ගේ සිරිතක් බව නිතර මෙනෙහි කළ යුතු ය. වීර්යයක් නොමැතිව කිසිවෙකුටත් කිසියම් කාර්යයක නිසි පල නෙළාගත නොහැකි ය.

මෙලොව ඇතැමුන් ජීවත් වනුයේ කිසිදු පැහැදිලි අරමුණක්, බලාපොරොත්තුවක් නැතිවය. ඔවුහු දුර්ලභ වූ මිනිසත් බවෙන් නියම පල නොලබති. එහෙත් නුවණැත්තා, සෑම විටෙකම නොබසුබස්නා වීර්යයෙන් ක්‍රියා කරයි. කෙතෙක් බාධා පැමිණියත් ස්වකීය ක්‍රියාව ඉදිරියට පවත්වාගෙන යයි. ඔහුට ඕනෑම දියුණුවක් සලසා ගත හැකි ය. එබැවින් කුඩා කාලයේ සිටම ඇති කරගත යුත්තේ නො පසුබස්නා වීර්යයයි. යම් යහපත් ක්‍රියාවක් ආරම්භ කොට එය බාධා මැඩගෙන ඉදිරියට පවත්වාගෙන යාමේදී නොසැලී සිටීම ද අත්‍යවශ්‍යය. උපක්‍රමශීලීව ක්‍රියා කිරීමට හුරුවීම ද ඉතා අගනේ ය. උපායෙහි දක්ෂ බව ද දියුණුවට අවශ්‍ය දෙයකි.

“උපාය දන්නෝ අපායේ නොවැටෙති” යන සිංහල ප්‍රස්ථාව පිරුළ ඇතිවන්නට ඇත්තේ ද ඒ නිසා විය යුතු ය. මෙහි උපාය යනු වැරදි උපාය මාර්ග නොවේ. නිවැරදි උපායයි. උපායෙහි දක්ෂව ක්‍රියාකොට ඉතා සුලු දෙයකින් පවා දියුණු විය හැකි බව මළ මී කුණක් විකුණා ක්‍රමයෙන් දියුණුවට පත් පුද්ගලයෙකු අවසානයේ දී සිටුවරයෙකු වූ ආකාරය විස්තර වන "චුල්ලසෙට්ඨි" ජාතකයෙන් පැහැදිලි වේ.

අලසකම කෙනෙකු තුළ පවත්නා වීර්යය අවම කිරීමට හේතුවක් වේ. අලසකමින් තොරව අද කළ යුතු දේ අදම කිරීම ඉතා හොඳ පුරුද්දකි. එවිට වැඩ ගොඩගැසීමක් සිදු නොවේ. එහෙත් අලසකම නිසා සිදුවන්නේ අද කළ යුතු දේ හෙටට කල් දැමීමයි. එවිට හෙට වැඩ අධික වනු ඇත. මෙසේ ක්‍රමයෙන් දිනපතාම වැඩ කටයුතු අවුල් වෙයි. ක්‍රියාව ආරම්භ කළ ද එය ඉදිරියට පවත්වාගෙන යාම නිසියාකාරව සිදු නොකිරීම එයට හේතුවයි. යහපත් ක්‍රියාව මනා ඇරඹුමකින් යුක්තව බාධා මැඩගෙන ඉදිරියට පවත්වාගෙන යාම වඩාත්ම හරවත් පිළිවෙතයි. මෙහි දී සැමවිටෙකම ‘පසුබට නොවන්න ඉදිරියට ම එන්න’ යන බුද්ධ දේශනය සිහි කිරීම අපට බෙහෙවින් ම වැඩදායකය.