Print this Article


අනුරාධපුර මහමෙවුනාව

 අනුරාධපුර මහමෙවුනාව

‘සමණාමයං මහාරාජ’ යනුවෙන් තමා විසින්ම තමන් හඳුන්වා දෙමින් සම්බුද්ධ ශාසනය කැටිකරගෙන මිහින්තලාවෙන් ශී‍්‍ර ලංකා භූමියට පය තැබූ මිහිඳු මහරහතන් වහන්සේ එවකට ශ්‍රී ලාංකේෂ්වරයා වූ දේවානම්පියතිස්ස රජුගේ ආරාධනයෙන් අනුරපුර අගනුවර තුළ පිහිටි “නන්දන” උයනට වැඩම කළේය.

“නන්දන” උයන අවට පරිසරය තේරුම්ගත් මිහිඳු මාහිමියන් තමන්ගේ බණ භාවනා ආදියට එම පරිසරය අගෝචර යයි දේවානම්පියතිස්ස රජුට දැන්වීමෙන් පසු දේවානම්පියතිස්ස රජතුමා විසින් මහමෙව්නා උයන (මහා මේඝ වනෝද්‍යානය) මිහිඳු මහරහතන් වහන්සේට ගෝචර වනසේ “මහා මේඝවනාරාමය” සකස් කොට මිහිඳු මාහිමියන්ගේ දෝතට රන් කෙන්ඩියෙන් පැන් වඩා මහා මේඝවනාරාමය සහිත මහ මෙවුනාව සඟ සතු කොට පූජා කරන ලද බව මහා වංශයේ සඳහන් වේ. මේ අනුව අනුරපුර මහමෙවුනාව මිහිඳු මාහිමිපාණන්ගේ පාදස්පර්ශය ලත් මහා පින්බිමකි. මෙම මහා පුණ්‍ය භූමිය සඟ සතු කළ මොහොතේ මහ පොළව කම්පා වූ බව මහා වංශයේ සඳහන් වේ. මහ පොළව එසේ කම්පාවූයේ සම්බුද්ධ ශාසනය ශ්‍රී ලංකා පොළෝ තලයේ ස්ථාපිත වූ බවට දැක්වූ ශුභවාදී සලකුණක් හැටියට යයි මහානාම හිමියෝ දක්වති.

“මහමෙවුනා පින්බිම” දෙවන පෑතිස් රජු විසින් මායිම් සලකුණු කොට සඟසතු කරන ලදැයි මහා වංශයේ විවරණය වේ. රජතුමා විසින් මේ සඳහා මහා පදුම සහ කුංජර යන සෙනෙවියන් දෙදෙනාට අසුන් බැඳි රන් නගුල් දී සීසාමින් මායිම් ලකුණු කිරීම් පටන්ගෙන ඇත්තේ කොළොම් ඔයේ “ගංගලතිත්ථ” නම් වු තොටුපළෙන් බව මහාවංශය කියයි. එතැනින් පටන්ගත් මහමෙවුනාවේ මායිම් ලකුණු කිරීම අවසන් කර ඇත්තේද ගංගලතිත්ථ තොටුපළෙන්මය.

මහා වංශයේ මහානාම හිමි සඳහන් කරන අන්දමට මහමෙවුනා උයන වූකලී මේ කල්පය තුළ පහළ වූ බුදුවරුන්ගේ පාදස්පර්ශය ලැබූ මහා පින්බිමකි. උන්වහන්සේලා බුද්ධත්වයට පත්වීමේදී පිටදුන් බෝධි වෘක්ෂයන්ද මහමෙවුනා උයනේ පැවති බව මහාවංශයේ සඳහන්ය.

මිහිඳු මහරතන් වහන්සේට මහමෙවුනාව පූජා කිරීමෙන් පසු, ඒ පින්බිම තුළ ස්ථාපනය කළ යුතුවූ පුණ්‍යස්ථාන අටක් මිහිඳු මාහිමියන් විසින් දෙවන පෑතිස් රජුට පෙන්වා දී ඇත. එම පුණ්‍යස්ථාන අට මෙසේය.

මහා විහාරය පිහිටි ස්ථානය

සංඝ කර්ම කෙරෙන සඟසතු මාලකය පිහිටවිය යුතු තැන

ස්නානයට උණු පැන් ලබාගත හැකි ගිණිහල් පොකුණ පිහිටවිය යුතු තැන

ශ්‍රී මහා බෝධින් වහන්සේ වඩා හිඳුවිය යුතු තැන

සංඝයා වහන්සේ පොහොය කෙරෙන තැන

සඟ සතු දේ සංඝයා අතර බෙදා හරින තැන

චතුස් ශාළාව පිහිටවන තැන

ස්වර්ණමාලි චෛත්‍ය රාජයාණන් පිහිටවිය යුතු තැන

මේ අනුව ජයසිරිමා බෝධිය, ලෝවා මහා ප්‍රාසාදය, මිරිසවැටිය, යන පුණ්‍ය ස්ථාන මහා විහාර සීමාව තුළ පිහිටි අතර ථූපාරාමය ජෝතිය වනය තුළ ස්ථාපනය කරනු ලැබීය. “ලක්දිව බුදු සමයේ ඉතිහාසය” නමැති මහාචාර්ය වල්පොල රාහුල හිමියන්ගේ ග්‍රන්ථයේ මේ පිළිබදව විමර්ශනයක් කරමින් සංඝ කර්ම සඳහා මාලකයක්, සංඝයාට උණු දිය නාන පොකුණත්, ශී‍්‍ර මහා බෝධියට ස්ථානයක්, සංඝයාගේ උපෝෂථ ශාලාවක්, ලඟ බත් ගෙයක්, සංඝයාට බත් හලක්, රුවන්මැලි සෑ පිහිටන තැන, යන ස්ථාන කරා කැටුව යමින් මිහිඳු මාහිමියන් විසින් දෙවන පෑතිස් රජුට පෙන්වා දී ඇති බව සඳහන් කර ඇත.

මිහිඳු මහ රහතන් වහන්සේ වැඩ විසූ මහා මේඝවනාරාමය හෙවත් මහා විහාරය, පසුව ශී‍්‍ර සම්බුද්ධ ශාසනය ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කරමින් ව්‍යාප්ත කිරීමේ කේන්ද්‍රස්ථානය බවට පත්විය. සම්බුද්ධ ශාසනය අධ්‍යයනය කරමින් පුළුල් ආගමික ජීවනයක් ඇති කිරීම උදෙසා මහා විහාරය ආශි‍්‍රතව කාල ප්‍රසාද පිරිවෙන, සුංහාත පිරිවෙන දීඝ වංක පිරිවෙණ, ඵලග්ග පිරිවෙණ, දික්සඳ සෙනෙවි පිරිවෙණ වැනි පිරිවෙන් රැසක් ස්ථාපනය වූ අතර මේවායේ අධ්‍යාපනය ගොනුවී තිබුණේ ත්‍රිපිටක ධර්මය මුල්කර ගෙනය. මේ යුගයේ ශ්‍රී ලකාවට වැඩම කළ බුද්ධ ඝෝෂ හිමියන් පාලි ත්‍රිපිටකයට අටුවා සම්පාදනය කර ඇත.

වළගම්බා රජුන් රජකළ මේ සමයේදී ලංකාවේ සුප්‍රකට ‘බැමිණිටියා සාය’ ඇතිවිය. මේ දුෂ්කර අවස්ථාවේ දාන මාන හිඟවීමේ හේතුවෙන් මහා විහාරයේ සඟ පරපුර මාතලේ අළු විහාරයට වැඩම කරන ලදුව වළගම්බා රජුගේ අනුග්‍රහයෙන් ත්‍රිපිටකයම ග්‍රන්ථාරූඬ කරනු ලැබීය. දීපවංශය , මහාවංශය බෝධිවංශය, තූපවංශය ආදී ආගමික ග්‍රන්ථ රැසක් මෙහිදී සම්පාදනය වී තිබේ’.

සාගත සමය නිමවීමෙන් පසු යළිත් මහා විහාරයට වැඩම කළ සංඝරත්නය ශාසනික කටයුතු කරගෙන යද්දී මහාතිස්ස හිමියන් කරන ලද විනය විරෝධි ක්‍රියාවක් නිසා මහා විහාරයෙන් පිටුවහල් කර ඇත. මේ සංඝ භේදය මුල්කොට මහාතිස්ස හිමියන් විසින් අභයගිරි විහාරාමය ආරම්භ කරන ලද අතර එවකට අනුරපුර අගනුවර රජකම් කළ මහසෙන් රජු විසින් අභයගිරි විහාරී පැත්ත ගත් නිසා අභයගිරිය වහ වහා දියුණු විය. එපමණක් නොව මහසෙන් රජු විසින් මහා විහාරය පොළවට සමතලා කර දමා උදු වැපුරූ බවට වංශකථාවල විස්තර වේ. කෙසේ වුවද මහසෙන් රජු කරන ලද මහා පාප කර්මයන් පසුව තේරුම් ගැනීමේ හේතුවෙන් නැවත මහා විහාරය යථා තත්ත්වයට පත් කරන ලද අතර කළ පව් ගෙවී යන්නට මෙන් රජ රට පුරා මහවැව් ගණනාවක් ඉදිකරමින් වැව් කප්පිත්තා බවට පත්ව ජාතියෙන් සමාව ලබාගෙන ඇත.

ක්‍රිස්තු වර්ෂ පස්වෙනි සියවසදී ලංකාවට පැමිණී පාහියන් භික්ෂුවගේ වාර්තාවලට අනුව එකල අභයගිරියේ සංඝ සමූහය පන්දහසක් වූහ. මහා විහාරයේ තුන්දහසක් වැඩ විසූහ. චේතියගිරියේ හෙවත් මිහින්තලාවෙන්’ දෙදහසක් භික්ෂූ සමූහය වැඩවාසය කර ඇත.

සජීවී සම්බුද්ධ හිමියන් බඳු වූ උන්වහන්සේගේ ස්පර්ශය ලත් එකම සජීවී සංකේතය වූ ශී‍්‍ර මහා බෝධින් වහන්සේ මහමෙව්නාවේ වඩා හිඳුවීමෙන් මහමෙව්නාව මහා පුණ්‍ය භූමියක් බවට පත් විය. ඒ උතුම් ශාසනික සංසිද්ධිය සිදුවූයේ ශ්‍රී මහා බෝධින් වහන්සේගේ දක්ෂිණ ශාඛාව බුද්ධ වර්ෂ 236 උඳුවප් මස (දෙසැම්බර්) පුර තුදුස්වක දා සන්ධ්‍යා සමයේ රෙහෙන නැකත යෙදී තිබූ ශුභ මොහොතේදීය.

මේ අවස්ථාව මහාවංශයේ ග්‍රන්ථ ගත කළ මහානාම හිමියෝ සතියක් මුළුල්ලේ ජයසිරිමා බෝ සමිදුන් රෝපණය කළ තැනින් අතුරුදහන් වී සවණක් රැස් පමණක් විහිදුවද්දී මිහිකත සැලෙමින් මහ වැස්සක් ඇති වූ බව විවරණය කරති. මහාවංශයේ 15 පරිච්ඡේදයේ 32,33,78,154 ගාථා වලින්ද, බෝධිවංශයේ 326 හා 327 පිටු වලින්ද මේ අති උතුම් මොහොත සවිස්තරව දක්වා ඇත.

මිහිඳු මහ රහතන් වහන්සේගේ ලංකා ගමන, දෙවන පෑතිස් රජු මුල් කොට ශී‍්‍ර ලංකා ජනතාව බෞද්ධ ආගමිකයන් බවට පත් කිරීම, මහමෙව්නාවේ ශාසනික සේවාව, සංඝමිත්තා මෙහෙණින් වහන්සේ සහ පිරිවරින් ශී‍්‍ර මහා බෝධින් වහන්සේගේ දක්ෂිණ ශාඛාව ලංකාවට වැඩම කොට මහමෙව්නාවේ රෝපණය කිරීම, අනුලා දේවිය මුල්කොට භික්ෂුණී ශාසනය ඇරඹීම යන මේ සියලු කරුණු වලට මුල් වී ඇත්තේ උඳුවප් මාසයයි. උඳුවප් මාසය “ශ්‍රී ලංකා බෞද්ධයන්ගේ මාසය” හැටියට සැලකීමට තරම් ඓතිහාසික ශාසනික සේවාවන් රැසක් උඳුවප් මාසය සහ උඳුවප් මස පෝ දින තුළ සිදුවී තිබේ.

විශේෂයෙන් ශී‍්‍ර ලංකාවේ භික්ෂුණී ශාසනය පිහිටුවීමට මුල්වූයේ අනුලා දේවිය පැවිදි වීමට පෙරුම් පිරීමයි. එසේම ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාව ශ්‍රී ලංකාවට වැඩම වීමට මුල්වූයේද අනුලා දේවියගේ ප්‍රාර්ථනාවයි. ඇයගේ සසුන් ගත වීමේ ආශාව ගැන මිහිඳු මහරහතන් වහන්සේ විසින් මේ අන්දමට දේවානම්පියතිස්ස රජුට කරුණු දැක්වූ බව සිංහල බෝධි වංශයේ දක්වා තිබේ.

“මහරජ්ජුරුවෙනි... ස්ත්‍රින් මහණ කරන්න අපට කැප නොවන්නේය. පැලලුප් නුවර මගේම නංගී වු සංඝමිත්තා නම් වූ බහුශ්‍රැත භික්ෂුණියක් ඇත්තීය. මහ රජ්ජුරුවෙනි.... මේ ශී‍්‍ර ලංකා ද්වීපයේ පූර්ව සර්වඥයන් තිදෙනා වහන්සේගේ බෝධින් පිහිටියේය. ඒ අනුව අපගේ බුදුපියාණන්ගේ බෝධින් වහන්සේද මෙහි පිහිටුවා ලිය යුතුය. එසේ හෙයින් මේ කරුණු සැලකිල්ලට ගෙන තොපගේ සබඳ වූ ධර්මාශෝක රජ්ජුරුවන්ට යම්සේ සංඝමිත්තා නම් ස්ථවිරි තොමෝ ශී‍්‍ර මහා බෝධියේ දක්ෂිණ ශාඛාව මෙහි ගෙන එන ලෙසට හසුන් යවා ඕ තොමෝ ෙමි පැමිණි පසුව මෙම අනුලා දේවීන් මහණ කරවන්නීය”.

සිංහල බෝධි වංශයේ මෙම සංසිද්ධිය විවරණය කරන අන්දමට අනුලා දේවිය ඇතුළු කාන්තාවන් පැවිදි බිමට ඇතුළත් කිරීම සඳහා සංඝමිත්තා මෙහෙණිය වැඩමවීමත් සමඟ ශී‍්‍ර මහා බෝධියේ දක්ෂිණ ශාඛාවද මෙහි වැඩම කරවීමට පියවර ගෙන ඇති බව පෙනේ. මිහිඳු මහ රහතන් වහන්සේගේ මෙම අනුශාසනාවට අවනත වූ දෙවන පෑතිස් රජතුමා තමන්ගේ ඇවැස්ස බැණනුවන් වූ අරිට්ඨ කුමරු පෙරමුණේ රාළ ලෙස දූත මෙහෙවරෙහි යෙදවූ බව මහාවංශය විස්තර කරයි. තවදුරටත් මේ දුත මෙහෙවර විස්තර කරන සිංහල බෝධි වංශය, ධර්මාශෝක රජු වෙත ගෙන ගිය පයිංඩය සඳහන් කර තිබේ.

මේ මහා ආශ්චර්යය දුටු ධර්මාශෝක රජතුමා මුළු මහත් දඹදිව රාජ්‍යයම ශී‍්‍ර මහා බෝ සමිඳුන්ට ඒ මොහොතේම පූජා කරන ලද බව බෝධි වංශය විස්තර කරයි. ඉන් පසු ධර්මාශෝක රජතුමා සිඳී ගිය ශී‍්‍ර මහා බෝධියේ දක්ෂිණ ශාඛාව සිය හිස මත තබාගෙන කරවටක් මුහුදේ ගිලී ඒ සඳහා සූදානම් කර තිබූ නැවේ මණ්ඩපයේ තැන්පත් කර සංඝමිත්තා මෙහෙණින් වහන්සේට අතපැන් වඩා බාරදුන් බව බෝධි වංශයේ දැක්වේ. මෙහි වගකීම බෝධිගුප්ත හා සුමිත්ත කුමාරවරුන් මුල්කොට කුමාරවරුන් අට දෙනෙකුට භාර දී ඇති අතර ඊට අමතරව බමුණුකුල අටක්ද දහසය කුලයක පිරිවරද ශී‍්‍ර මහා බෝධි ශාඛාව සමඟ ලංකාවට එවා ඇත.

ශ්‍රී ලංකාවේ දඹකොළ පටුනට ශී‍්‍ර මා බෝධී ශාඛාව රැගත් නෞකාව සේන්දු වීමෙන් පසු තැන ඉදිකර තිබුූ“සමුද්රාසන ශාලාව“ වෙත ශී‍්‍ර මහා බෝධිය වැඩමවා වඩා හිඳුවා පසුදා තිවංක නම් වූ බමුණු ගමට හෙවත් තන්තිරිමලේට වැඩමවා ගිමන් හැර ඊළඟ දිනයේදී අනුරපුර මහමෙව්නා උයනට ශී‍්‍ර මහා බෝධි ශාඛාව මහ පෙරහැරින් වැඩම කරවා ඇත. යටකී පරිදි බුද්ධ වර්ෂ 236 උඳුවප් මස පුර තුදුස්වක දා සැන්දැ සමයේ රෙහෙණ නැකත යෙදී තිබූ මොහොතේ රජවාසල දකුණු පසින් පිහිටි භූමියේ ශ්‍රී මහා බෝධි දක්ෂිණ ශාඛාව දෙවනපෑතිස් රජුගේ අතින් රෝපණය කර ඇත.මේ මොහොතේ ශී‍්‍ර මහා බෝධි ශාඛාවේ’ හටගෙන තිබූ ඵල පහෙන් එකක් මිහිඳු මාහිමියන්ගේ සුරතට වැටී ඇති අතර එයින් බෝධි අංකුර අටක් පහළ වී ඇත. මේවා අෂ්ටඵල බෝධී රුක් ලෙස නම් කර තිබේ. මේ අෂ්ඨඵල බෝධී රුක් දඹකොළ පටුන, .තන්තිරිමලේ, ථූපාරාමාය, කසුන්ගිර වෙහෙර, පඨමක චෛත්‍යභූමිය, සෑගිරිය බිම, කතරගම ,රුහුණේ සඳුන්ගම යන ස්ථානවල රෝපණය කර ඇත. බෝධීන් වහන්සේගේ ඉතිරි ඵල හතරෙන් පැළ තිස් දෙකක් මතු වී ඒවා දෙතිස් ඵල රුක් බෝධි ලෙස දිවයිනේ විවිධ ස්ථානවල රෝපණය කර තිබේ.

මේ අන්දමට සංඝරත්නයේ කැපවීමෙන් සම්බුද්ධ ශාසනය දිවයින පුරා පැතිරි ගිය අතර ශ්‍රී මහා බෝධියේ පැළ 40 ක් රට පුරා විසිරී රෝපණය වීමෙන් සම්බුද්ධ ශාසනයේ සජීවි සංකේතය මගින් සම්බුද්ධ ශාසනය ස්ථාවරව රට පුරා පැලපදියන් වී ඇත.

මේ සියලු ශාසනික මෙහෙවරයන්ට මුල් වූයේ උඳුවප් මස පුන් පෝදා අනුරපුර අගනුවර මහමෙව්නාවේ සිද්ධ වූ සම්බුද්ධ ශාසනික අහිංසාවාදී විප්ලවයයි. බුද්ධාගමත්, බෞද්ධ ශිෂ්ඨාචාරයත්, ආගමික සංස්කෘතියත් ශී‍්‍ර ලංකා ජනතාව තුළ පැලපදියන් වන්නට මුල්වූ අනුරපුර මහමෙව්නාවේදී උඳුවප් පුර පුන් පෝදා සිදුවූ සම්බුද්ධ මංගල්‍යය ශ්‍රී ලංකාවේ ජන ජීවිතය සදාචාරයෙන් යුතුව දැහැමියා දහමින් සුවපත් කරන්නට පහළ වූ උතුම් ශාසනික මෙහෙවරක් හැටියට අවධාරණය කළ යුතු වේ.