Print this Article


පූජාච පූජනීයානං

දොඩමිපහළ චන්දසිරි මහා නා හිමි

ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ ගරු සභාපති ශ්‍රී කල්‍යාණිවංශ පාර්ශවයේ මහානායක ධූරන්දර කොළඹ කලපලුවාව ගෝතම තපෝවනය ප්‍රධාන ශාඛා මධ්‍යස්ථානාධිපති මහෝපාධ්‍යාය කල්‍යාණ වංශ කීර්ති ශ්‍රී වංගීස වංශාලංකාර විපස්සනා කම්මට්ඨානාචරිය අතිපූජ්‍ය දොඩම්පහළ චන්දසිරි මහානායක හිමිපාණන් වහන්සේ 2015 දෙසැම්බර් මස 20 දින ට 76 වන ජන්ම දිනය යෙදී තිබිණි.

රුහුණු දේශයට අයත් මාතර දිසාවේ දික්වැල්ල නගරයට අයත් දොඩම්පහළ නම් ගම් පියසේ දී 1939.12.20 දින මෙලොව එළිය දුටු අප මාහිමිපාණන් වහන්සේගේ දෙමාපියන් වූයේ එදිරිවීර පටබැඳි ගේ සරනේලිස් සිල්වා හා එදිරිවීර පටබැඳිගේ මිසිනෝනා වන දෙපළයි.

පාසල් අධ්‍යපනය සඳහා දොඩම්පහළ මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් වූ මේ කුමරුවා පූර්වකෘත බල මහිමය නිසාවෙන් 1950.11.25 දින කුඩාවැල්ල වාලුකාරාමයේ දී මාතර නූපේ ජයමහා විහාරාධිපතිව වැඩ විසූ විද්‍යා විශාරද පණ්ඩිත මාතර මේධානන්ද මහා නාහිමියන් සහ කුඩාවැල්ල වාලුකාරාමාධිපති මාතර සද්ධාරාම නාහිමියන්ගේ ආචාර්යත්වයෙන් දොඩම්පහළ චන්දසිරි නමින් කුඩාවැල්ල වාලුකාරාමයේ දී උතුම් සසුන් දයාදය ලැබූවේ සිය දිවියේ එකොළොස්වන වියෙහිදීය.

උතුම් පැවිදි භූමියට පත්වීමෙන් අනතුරුව මෙම තෙරණපාණෝ සිය වෘද්ධ මහතෙරුන් වහන්සේලාගේ අවවාද අනුශාසනා එකී අයුරින් ම පිලිපැද උගත මනා බණ දහමි පිළිවෙත් ප්‍රගුණ කළහ. කුඩා කල සිට ම පාත්‍රය අතට ගෙන ගෙපිළිවලින් පිණ්ඩපාතයේ වඩින්නට පුරුදු විය. පුරා වසර දහයකට ආසන්න කාලයක් මාතර වීරබා පිරිවෙන්හි දී ධර්ම ශාස්ත්‍ර පුහුණුව ලබා 1960 දී පමණ ගාල්ලේ විද්‍යාලෝක පිරිවෙණට ද ඇතුළත් ව එවකට මෙරට වැඩසිටි කීර්තිමත් මහායතිවරයෙකු වූ රාජකීය පණ්ඩිත අකුරටියේ අමරවංශ නාහිමියන්ගේ පා සෙවණෙහි හිඳ අධ්‍යාපනය හැදෑරීය.

නිසි විසි වයස් එළැඹීමෙන් පසුව 1962.07.25 දින චන්දසිරි හෙරණපාණෝ මාතර නිල්වලා උදකුක්ඛෙප සීමා මාලකයේදී ශ්‍රී කල්‍යණිවංශික භික්ෂු සංඝයා වෙතින් උපසම්පදාව ලැබීය.

නාහිමිපාණන් තම වැඩිමහල් පැවිදි සහෝදරයෙකු වූ තමාගේ ගුරුවරයාමෙන් සැලකූ කුඩාවැල්ලේ වංගීස නාහිමියන් සමඟ කොළඹට පැමිණ බෞද්ධාලෝක මාවතේ පිහිටි ජර්මන් ධර්මදූත ආශ්‍රමයට වැඩම කර එහිදී තම ධර්මඥානය පුළුල් කර ගත්හ. එම වකවානුව තුළ දෙමටගොඩ මහා විසුද්ධාරාමයට වැඩම කොට අභිධර්ම විශාරද දෙවිනුවර ඤාාණවාස හිමිපාණන් වෙතින් තවදුරටත් ධර්මය ප්‍රගුණ කළහ. එසේම එම කාලය තුළදී කඳුබොඩ විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති කහටපිටියේ සුමතිපාල නාහිමිපාණන් වෙතින් හා මහාසි ස්‍යාඩෝ යන හිමිවරුන්ගෙන් වැඩිදුර භාවනා පුහුණුව ලබා කම්මට්ඨානාචරිය සංගමයේ සාමාජිකත්වයටද පත්වූහ.

තම සහෝදර කුඩාවැල්ලේ වංගීස අධිකරණ සංඝ නාහිමියන් සමඟ සිරිලක නානා ප්‍රදේශ කරා වැඩමකොට බොදුනුවන්ට දහම් රසය බෙදාදෙමින් වනවාසී සම්ප්‍රදාය අගය කරගෙන විදර්ශනා භාවනා පුහුණු කරවමින් කටයුතු කළහ. මෙම කාලය තුළ බෞද්ධ ජනතාවගේ ශ්‍රද්ධාව ප්‍රඥාාව අවධිකරනු වස් කුඩාවැල්ලේ වංගීස නාහිමියන් බිහිකළ තපෝවන රාශියේ ම වැඩ සිටිමින් පැවිදි ජීවිතයෙන් පල නෙළීමට උත්සාහ දැරූහ.

1982.07.24 දින දේශීය විදේශීය දහස් සංඛ්‍යාත ජනතාවට දහම් ප්‍රදීපයක් බඳු වූ කුඩාවැල්ලේ වංශීස නාහිමියන් අපවත් වූ හෙයින් එතැන් සිට සිරිලක පුරා පිහිටි තපෝවන රාශියේ ම නියාමක ධූරයට දොඩම්පහළ මාහිමියන් පත් වූහ.

තදනන්තර ව 1989 වසරේ දී ශ්‍රී කල්‍යාණිවංශ නිකායේ අනුනායක ධුරයද තත් නිකායික භික්ෂු සංඝයා වහන්සේ විසින් ලබා දෙන ලදී. ශ්‍රී කල්‍යාණිවංශික භික්ෂු මහා සංඝයා වහන්සේ තම නිකායෙහි මහානායක තනතුරෙන්ද 1996 මාර්තු 31 දින උන්වහන්සේට පුදන ලදී.

තනතුර නිසා උන්වහන්සේ කිසිදා බැබලුනේ නැත. නමුදු උන්වහන්සේ නිසා තනතුර බැබලවිය. අනාථ, අසරණ පුද්ගලයන්ට හැකි හැම අයුරින්ම පිහිටවීම මහානායක හිමිපාණන්ගේ චරිතයෙහි උදාර ගති ලක්ෂණයකි. වරෙක උන්වහන්සේ පිළිකා රෝහලේය. තවත් විටෙක වික්ටෝරියා විකලාංග රෝහලේ තවත් දිනෙක උතුරු යුධ බිමේ දී පීඩිත වූ අසරණ මිනිසුන් අතරය.

2004 දෙසැමිබර් මස 26 දින සිදු වූ සුනාමි ව්‍යසන අවස්ථාවේ දී පරිත්‍යාග ශීලිත්වයෙහි යෙදීමෙන් ක්‍රියා කළ ආකාරය ආදර්ශමත්ය. එසේම මහා සැඩ පහරට හසුව විනාශ වූ දකුණු සිරිලක වෙහෙර විහාර පුස්තකාල ගොඩනැගිලි ආදියට සිය දේශීය විදේශීය දානපතියන්ගේ ලද ආධාර හා තමන් ලද සිව්පසයෙන් නොමසුරුව පරිත්‍යාග කිරීමෙන් කරන ලද මහඟු සමාජ මෙහෙවර මානව දයාවේ උතුම් ගුණාංග පසක් කරන්නකි.

මෙවැනි උත්කෘෂ්ට ශාසනික හා සමාජමය වශයෙන් මෙහෙවරක නිරත වන නාහිමිපාණන් උතුම් සංඝ සෝභන ගුණ වලින් උපලක්ෂිතය. ගමනෙහි ශාන්ත බව හා දුටුවන් පහදින අයුරු ආකල්ප සම්පත්තියෙන් ද පරිපූර්ණ උන්වහන්සේගේ දෙසුමෙහි පවතින නිරවුල් බව ශාන්ත බව ශ්‍රාවක සිත් හි කුසල් සිතිවිලි ඉපදීමට පොහොසත්ය. තවද සිය ජීවන දැක්ම දුර දක්නා නුවණින් අලංකාරවත් කොටගෙන ඇත.

සකල බෞද්ධ ජනතාවටම අධ්‍යාත්මික වශයෙන් මහත් සන්සිඳීමක් ලබාදීමට සමත් මේ නාහිමිපාණන් දුටු අමරපුර භික්ෂු මහා සංඝයා සිය ඒකමතික තීරණයෙන් 2012 වසරේදී අමරපුර මහා සංඝ සභාවේ සභාපති ධූරයටද දොඩම්පහළ චන්දසිරි මහානාහිමියන් පත් කර ගන්නා ලද්දේ උන්වහන්සේ ගේ ධර්මධර ප්‍රතිපත්ති ගරුකතාවයට කරන උපහාරයක් වශයෙනි.

මෙසේ සාසනික චර්යා ධර්මයන් මැනවින් ප්‍රගුණ කරමින් පුත්‍ර ප්‍රේමයෙන් අන්තේවාසික සද්ධිහාරිකයන්ටද කුලුණු බර හදවතින් ක්‍රියා කරමින් කල් යවන ශීල වෘද්ධ වූ ගුණ වෘද්ධ වූ තපෝ වෘද්ධ වූ අතිපූජ්‍ය දොඩම්පහළ චන්දසිරි මහානාහිමිපාණන් වහන්සේට උතුම් තුණුරුවන් ගුණ බලෙන් දීර්ඝායුෂ ලැබේවායි ප්‍රාර්ථනා කරමු.


නුගේතැන්නේ පඤ්ඤානන්ද නා හිමි

අනුරාධපුර ශ්‍රී සම්බුද්ධ ජයන්ති මහා විහාරාධිපති ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ ,උතුරු හා උතුරුමැද දෙපළාතේ ප්‍රධාන සංඝ නායක පණ්ඩිත මංගල ධර්මකීර්ති ශ්‍රී සෝභිත නුගේතැන්නේ පඤ්ඤානන්ද නාහිමිපාණන් වහන්සේගේ 54වැනිි ජන්මදිනය නිමිත්තෙනි.

මහනුවර දිස්ත්‍රික්කයේ නුගේතැන්න නම්වූ රමණීය ගම්පියසෙහි විසූ අත්තනායක අබේකෝන් වාසල මුදියන්සේලාගේ හීන්බණ්ඩා නිලමෙතුමාට හා මන්තිලක මුදියන්සේලාගේ හීන්මැනිකේ උපාසිකා මාතාවට 1863 ජනවාරි මස05 වෙනි දින පුත්රුවනක් ලැබිණි.

නිමල් අත්තනායක ලෙස නම් තැබූ මේ පුත්රුවන එදා ගමේ පාසල වූ නුගේතැන්න මහා විදුහලේ අධ්‍යාපනය ලැබූහ.

හතේ පන්තිය දක්වා නුගේතැන්න මහාවිද්‍යාලයේ ඉගෙනුම ලැබූ නිමල් අත්තනායක 1977 සැප්තැම්බර් 22 වැනි දින සසුන්ගත විය. ගුරුදේවයන් වහන්සේලාවන නුගේතැන්නේ චන්දානන්ද, නුගේතැන්නේ සෝභිත ධම්මානන්ද යන ස්වාමීන් වහන්සේලා ආචාර්ය ධුරයේ තබාගෙන වන පොත්කිරීමට නුගේතැන්නේ පොඩිහාමුදුරුවන්ට අවස්ථාව ලැබිනි.

උන්වහන්සේ අනුරාධපුරයට වැඩම කළේ 1978 පෙබරවාරි 16 වැනි දින දීය. එවක අනුරාධපුරය නගරය ජනාකීර්ණවී නොතිබුණි. අනුරාධපුර ජයන්ති විහාරය පිහිටා ඇතිතැන තිබුණේ ඉතා පුංච් ආවාස ගෙයකි.

ජයන්ති විහාරය පිහිටි භූමිය ඒවනවිට ගැඹුරු වළවල්වලින් ගහන එකක් විය. ප්‍රදේශය අවට පිහිටුවා තිබූ වී මෝල් සියල්ලේ ගොඩගැහෙන දහයියා කඳු ගෙනවිත් දමනු ලැබුවේ මේවළටය. එහි පිහිටා තිබූ කුඩා ආවාසය නිසා කවුරුත් එම ස්ථානය හැඳින්වූයේ දහයියවළ පන්සල යනුවෙනි.

පසුකලෙක ඉතා සීමිත දායක පිරිසක් බිහිවිය. දායක සභාව් ප්‍රථම සභාපතිවරයාවූයේ මහාදානපතියෙකු වූ ඩබ්. පුංච්බණ්ඩා මුදලාලි මහතාය. මෙහි දායක සභාවට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායකව සිටි කේ. බී. රත්නායක මහතාද එක්වීම මහත් ශක්තියක් විය.

දහයියාවළ පන්සලේ වැඩ සිටියේ නුගේතැන්නේ චන්දානන්ද ලොකු හාමුදුරුවෝ සහ නුගේතැන්නේ පඤ්ඤානන්ද පොඩිහාමුදුරුවන් පමණි.

1978 වසරේදී අනුරාධපුර සිරිසඟබෝ අධ්‍යාපන මධ්‍යස්ථානයටද පසුව 1979 වසරේදී අනුරාධපුර ශ්‍රී සාරානන්ද මහ පිරිවෙනට ඇතුළත්ව අධ්‍යාපනය ලැබූහ. වැඩිදුර අධ්‍යාපනය සඳහා 1983 දී මාදන්වල පිරිවෙනට ඇතුළත් වූහ. උන්වහන්සේගේ අධ්‍යාපනයට තිබූ බාධක හා මූල්‍ය අපහසුකම් මගහැරීගියේ දායක සභාවේ සභාපති පුංච්බණ්ඩා මුදලාලි නිසාය. අධ්‍යාපන කටයුතු සදහා අනුරාධපුර බුද්ධශ්‍රාවක භික්ෂු විශ්වවිද්‍යාලයට උන්වහන්සේ ඇතුළත් වූහ.

1990 අගොස්තු 15 වෙනි දින නුගේතැන්නේ චන්දානන්ද ලොකු හාමුදුරුවන් වහන්සේ අපවත්වී වදාළ සේක. ඒ අවස්ථාව වනවිට උන්වහන්සේ පිරිවෙනෙහි ඉගැන්වීමේ කටයුතුවල නිරතවී සිටියහ. ගලෙන්බිඳුණුවැව දුටු වැව පිරිවෙනේද විජයපුර සිරි විදර්ශනා පිරිවෙනේද අවස්ථා දෙකකදී ගුරුවරයෙකු වශයෙන් සේවය කළහ.

ලොකුහාමුදුරුවන්ගේ අපවත්වීමෙන් පසුව අඩපණ වෙමින් පැවතුන විහාරස්ථ ආගමික කටයුතු යළි ප්‍රාණවත් කළයුතු බව සිතාගත් උන්වහන්සේ ගුරුසේවයෙන් ඉල්ලා අස්වූහ. ඉන්පසුව පන්සල සකස්කර ශිෂ්‍ය පිරිසක් හදාවඩා ජාතික ආගමික කටයුතු ශක්තිමත් කිරීම උන්වහන්සේගේ අරමුණ විය. අනුරාධපුර ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරය නිර්මාණය වන්නේ මේ පසුබිම යටතේය.

අනුරාධපුර බටකැත්තර පන්සලේ වැඩසිටි බටකැත්තර ශ්‍රී රේවත නාහිමියන්ද සමඟ එක්ව නුගේනැන්නේ පඤ්ඤානන්ද නාහිමියෝ පොදුසේවා කටයුතු වෙනුවෙන් ක්‍රියාකළහ. ජයග්‍රහණය නමින් සංවිධානයක් අරඹා එම සංවිධානයේ සභපතිවරයා වූයේ නුගේතැන්නේ පඤ්ඤානන්ද හිමියන්ය.

රජරට බෞද්ධ ජනතාවගේ දූ දරුවන් උදෙසා නොමිලයේ අධ්‍යාපනය ලබාදීමට හැකිවන පරිදි පළමු ළදරු පාසල අනුරාධපුර ගුවන්තොටුපළ පාරේ පිහිටි

සංඝමිත්තා උපාසිකාරාමයේදී සංඝමිත්තා පෙර පාසල නමින් ආරම්භ කරනු ලැබීය. මෙම ව්‍යාපෘතිය දිස්ත්‍රික්කයේ සෑම දුෂ්කර ගම්මානයක් කරා ව්‍යාප්ත කර හරිනු ලැබීය. මහවිලච්චිය ඔයාමඩුව වැනි ඈත දුෂ්කර ගම්මානවල ද පෙර පාසල් ඉදිකෙරිණි. මේවායේ උගන්වන ගුරුවරුන් සඳහා දීමනාවක් ලබාදී ඔවුන් දිරිමත් කිරීම පිණිස විවිධ ආයතනවල සහයෝගය ලබාගැනීමටද උන්වහන්සේ සමත්වූහ.

උන්වහන්සේ විචිත්‍ර ධර්ම කථිකයාන නමකි. ශ්‍රී ලංකා ගුවන්විදුලියේ රජරට සේවය ඔස්සේ ධර්මදේශනා පැවැත්වීම ආර්ම්භ කළ පසු කොළඹ සිට සමස්ත ගුවන්විදුලියෙන් රටපුරා උන්වහන්සේගේ ධර්ම දේශනා ප්‍රචාරය කර හැරිණි.

ඒ අවස්ථාව වන විට නුවර ගම් පළාත ප්‍රධාන සංඝනායක ධුරය හිස්ව පැවතුනි ඒ සදහා නුගේතැන්නේ පඤ්ඤානන්ද හිමියන් සුදුසු බවට අස්ගිරි මහා කාරක සංඝ සභාව තීරණය කරන ලදී. ඒ අනුව 1995 අගෝස්තු 08 වැනිදින මහනුවරදී නායක පදවිය පිළිබද සන්නස් පත්‍රය ප්‍රදානය කෙරිණි. ඊට දෙදිනකට පසුව අනුරාධපුරයේ පැවති පිළිගැනීමේ උත්සවයේදී නුවරගම් පළාතේ ප්‍රධාන සංඝනායක පදවිය පිළබද ශ්‍රී සන්නස්පත්‍ර‍්‍රය පිළිගන්වන ලද්දේ හිටපු අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය විසිනි.