Print this Article


සසරින් එතෙර වූ සේක ඒ මහ රහත් තෙරණිවරු සුමනා මහරහත් තෙරණින් වහන්සේ

සසරින් එතෙර වූ සේක ඒ මහ රහත් තෙරණිවරු

සුමනා මහරහත් තෙරණින් වහන්සේ

සියලු ධර්මයෝ වෙසෙසින් දැන සසරෙහි දුක්ඛිත ස්වභාවය මැනවින් අවබෝධකොට සියලු දුක්ඛයන්හි හේතුකාරක තෘෂ්ණාව ප්‍රහාණය කොට අරි අටඟ මඟට නිසිලෙස පිළිපන්ව අමෘත වූ සුඛ ප්‍රණිත වූ නිවනින් සැනසීම ලද සුමනා මහරහත් තෙරණින් වහන්සේගේ ගුණ මාත්‍රයකුදු සිහිකළ සැනින් ශ්‍රද්ධාවෙන් සිත් පිරි ඉතිරී යනු නියතය.

තුන්ලොවට තිලකයක් බඳු වූ ගෞතම සම්බුදුපියාණන් වහන්සේගේ දහම් රසයෙන් ප්‍රමුදිතව රහත් භූමියට වැඩමකොට සසර ගමන නිමාකොට වදාළ සුමනා මහරහත් තෙරණින් වහන්සේ පිළිබඳව සිත පහදවා ගනිමු.

පෙර කරන ලද පින් බලයෙන් පුරන ලද පාරමිතා ශක්තියෙන් යුක්ත වූ සුමනාවෝ ශාක්‍යවංශයෙහි ඉපිද ක්ෂත්‍රීය කන්‍යාවක වූවෝ ය. අප බෝසතාණන් වහන්සේගේ අන්ත:පුර වාසය කොට මහබිනික්මනින් ඉක්බිති මහා ප්‍රජාපතී ගෝතමී තෙරණිය සමඟ නික්ම සසර දුකින් අතමිදෙනු වස් එකලාව බවුන් වඩන්නට වූවා ය. එම අවස්ථාවේ දී මහා කාරුණික වූ ශාන්තිනායකයන් වහන්සේ සුමනාවන්ට උපකාරී පිණිස ආලෝකයක් විහිදුවා භාග්‍යවතුන් වහන්සේ ඉදිරිපිට වැඩ සිටින්නාක් මෙන් තමන් වහන්සේ දක්වා වදාළ සේක. එමෙන්ම වීර්යය කරනු වස් භාග්‍යවතුන් වහන්සේ ගාථා ධර්මයක් දේශනා කොට වදාළ සේක.

“ධාතුයො දුක්ඛතො දිස්මා
මා ජාතිං පුනරාගමි
භවෙ ඡන්දං විරාජෙත්වා
උපසන්තා චරිස්සසිති”

“චක්ෂුරාදි ධාතූන් දුක් හැටියට දැක, නැවත ඉපදීමකට නොපැමිණෙන්න. භවයෙහි කැමැත්ත දුරුකොට සන්සුන්ව උපශාන්තව හැසිරෙන්න.”

මෙසේ වූ බුද්ධාවවාදයෙන් ප්‍රමුදිතභාවයට පත් වූ සුමනා තෙරණිය. මනා සිහියෙන් යුක්තව, විදර්ශනා වඩා ත්‍රිලක්ෂණ අවබෝධ කොට රාගාදි සකල ක්ලේශයන් ප්‍රහාණය කරමින් රහත් භූමිය ප්‍රත්‍යක්ෂ කොට ලොවට මහරහත් තෙරණියෝ ලෙසින් පහළ වූ සේක. අසාර වූ අතෘප්තිකර වූ, තුච්ඡ වූ, අර්ථ ශූන්‍ය වූ, ජාති ජරා මරණාදියෙන් අභිභූත වූ දුක් සහිත සසරින් එතෙරව විමුක්ති සුවය ක්ෂාත්ෂාත්කරණයෙහි යෙදුන සේක.

භාග්‍යවත් බුදුපියාණන් වහන්සේ ධාතු සංයුක්තයේ දී ධාතූන් පිළිබඳව විග්‍රහ විවරණයක යෙදී ඇත්තේ ය. ප්‍රමුඛ වශයෙන් සතර මහා ධාතූන්ගෙන් සමෘද්ධ වූ එම ධාතූන් පිළිබඳ විග්‍රහය විවිධය. චක්ඛු ධාතුව, රූප ධාතුව, චක්ඛු විඤ්ඤාණ ධාතුව, සෝත ධාතුව, සද්ධධාතුව, සේත විඤ්ඤාණ ධාතුව, සෘණ ධාතුව, ගන්ධ ධාතුව, සෘණ විඤ්ඤාණ ධාතුව ජිව්හා ධාතුව, රස ධාතුව, ජීවියා විඤ්ඤාණ ධාතුව, මනෝ ධාතුව, ධම්ම ධාතුව, මනෝ විඤ්ඤාණ ධාතුව මෙසේ ධාතූන්හි නානාත්වය පෙන්වා වදාළ සේක.

චක්ඛු ධාතුව නිසා චක්ඛු සම්පස්සය උපදී. සෝත ධාතුව නිසා සෝත සම්පස්සය උපදී. ඝාණ ධාතුව නිසා ඝාණ සම්පස්සය උපදී. ජිව්හා ධාතුව නිසා ජිව්හා සම්පස්සය උපදි. මෙලෙස හටගන්නාවූ චක්ඛු සම්පස්සය නිසා හටගත් වේදනාව උපදී. වේදනාවෙන් සඤ්ඤා උපදි. මෙලෙස භවය සකස් වේ.

එනිසාවෙන් ඇස මුල්කොට භවගමන සකස් වන නිසාවෙන් භාග්‍යවතුන් වහන්සේ මෙම පසිඳුරන් යථාරූපීව දකින ආකාරය පෙන්වා වදාළ සේක.

“මහණෙනි, ඇස අනිත්‍යයි. යමක් අනිත්‍ය නම් එය දුකයි. යමක් දුක්නම් එය අනාත්මයි. යමක් අනිත්‍ය නම් එය මගේ නොවේ. ඒ මම නොවෙමි. ඒ මාගේ ආත්මය නොවෙයි කියා නුවණින් විදසුන් නුවණින් ඇති සැටියෙන් දකී.”

මෙසේ දක්නා වූ ප්‍රඥාවන්තයා ඇසකෙරෙහිත්, කන කෙරෙහිත්, නාසය කෙරෙහිත්, දිව කෙරෙහිත් එහි යථාර්ථය දැක එහි අරමුණු පිළිබඳව නුවණින් දැන කලකිරෙයි. කලකිරි ඒ කෙරෙහි නොඇලෙයි. නොඇලුන කල මිදීමක් උපදී. මිදුනු කල්හි තමා මිදුනෙමියි යන ඥානය ඇතිවේ. ජාතිය ක්ෂය වේ. බඹසර වැස නිමවන ලදී. කළයුත්ත ඉටුකොට උත්තරීතර වූ රහත් භූමියට සැපවත්ව සුවසේ වසයි. නැවත උප්පත්තියක් නැත්තේමය.

එසේම භාග්‍යවත් බුදුපියාණන් වහන්සේ තවත් අවස්ථාවකදී චක්ෂු ආදි ධාතු හි නිස්සාර ස්වභාවය හා එම තත්ත්වයන්හි යථා ස්වභාවය පැහැදිලිව දේශනා කොට වදාළ සේක.

“මහණෙනි, ඔබලාට සියල්ල දුරුකිරීමට දහම් දෙසමි. ඇස දුරුකළ යුතුයි. රූප දුරු කළ යුතුයි. චක්ඛු විඤ්ඤාණය දුරුකළ යුතුයි. චකුඛු සම්පස්සයද දුරුකළ යුතුයි. චක්ඛු සම්පස්සය නිසා හටගන්නා සැප හෝ නොසැප නොදුක් හෝ වේදනාවක් ඇත්නම් එයද දුරුකළ යුතුයි. පීඩාවන් පිළිබඳව නුවණින් අවබෝධ කොට නුවණැත්තෝ නැවත අනාගතයේ දී උපතකට නොඑන්නේ ය. කාමභවාදී සියලු ආශ්‍රවයන්හි තෘෂ්ණාව නම් වූ දැඩි ආශාව දුරුකළ අයෙකු කෙලෙසුන්ගෙන් මිදෙන්නේ ය.

භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාරන ලද ආකාරයට අප්‍රමාණ වූ සංසාර දුකට පත්වීමට හේතුව නම් තෘෂ්ණාවයි. පුනරුත්පත්තිය ඇති කෙරේද, නන්දිරාගය හෙවත් ඒ ඒ දෙයෙහි ඇලීමෙන් බැඳීමෙන් යුක්තද ඒ ඒ භවයෙහි ඇලීමක් ඇති කර ගනී. තෘෂ්ණාවෙන් භවයට ඇලුණෝ අපායගාමී ශක්තියෙන් යුක්ත වෙයි. තෘෂ්ණාවෙන් අරමුණක ඇලුනු කල එයින් බේරීම ඉතා දුෂ්කර වේ.

ආශාව, ආලය, රාගය, ප්‍රේමය, ආදරය ඕනෑම ආදි නම් වලින් තෘෂ්ණාව පෙනී සිටී. ඉපදීමට උපකාරීවන ආරම්මනයක් වන අතර රූප, තණ්හා, සද්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ඨබ්බ තණ්හා වශයෙන් උපදී. සත්ත්වයා අවිද්‍යාව හෙවත් මෝහය ප්‍රහීන කරන තුරු සංස්කාර ධර්මයන්ගේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ගාථා ස්වභාවය දක්නා තුරු සංස්කාර ධර්ම විෂයෙහි තෘෂ්ණාවශයෙන් ඇලීම නැවතීමක් නොමැත.

රූප තණ්හා ආදි සයවැදෑරුම් තෘෂ්ණාව වැඩෙනුයේ රුකක් වැළඳගෙන වැඩෙන මාලුවා වැලක් මෙනි. වනයෙහි වසන වඳුරා ඵල සොයමින් ගසින් ගසට පනින්නාක් මෙන් තෘෂ්ණාවට වසඟවූවෝ භවයෙන් භවයට පැන යති.

සියලු ධර්මයෝ වෙසෙසින් දැන සසරෙහි දුක්ඛිත ස්වභාවය මැනවින් අවබෝධකොට සියලු දුක්ඛයන්හි හේතුකාරක තෘෂ්ණාව ප්‍රහාණය කොට අරි අටඟ මඟට නිසිලෙස පිළිපන්ව අමෘත වූ සුඛ ප්‍රණිත වූ නිවනින් සැනසීම ලද සුමනා මහරහත් තෙරණින් වහන්සේගේ ගුණ මාත්‍රයකුදු සිහිකළ සැනින් ශ්‍රද්ධාවෙන් සිත් පිරි ඉතිරී යනු නියතය.

භාරතීය සමාජය තුළ කාන්තාව දෙවෙනි කොට සලකමින් ඇයගේ සියලු අයිතීන් උදුරාගත් සමයක බමුණන්ගේ නිරතුරු ගැරහුමට ලක් වූ අවධියක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ මහා කාරුණික සිතින් පිළිසරණ ලද කත මනුෂ්‍යයකු වශයෙන් ලැබිය හැකි උපරිභාවය ලැබීම වන්නේ නම් ස්ත්‍රියක, උත්තරීතර රහත් තෙරණියක වීමම උතුම්යැයි සැමට පසක් වනු ඇත. සුමනා මහරහත් තෙරණියෝ ගෞරවයෙන් නිති වන්දනාවට හේතුවනු නියතය.