Print this Article


පඤ්චසීල ප්‍රතිපදාව

පඤ්චසීල ප්‍රතිපදාව

සීලය යනු හික්මීමයි. එනම් කය වචනයන්හි මනා වූ පාලනයයි. එය සාමාන්‍ය ජීවිතයේ දී චාරිත්‍ර වාරිත්‍ර ලෙස අරුත් ගැන්වේ. කළ යුතු දේ සහ නොකළ යුතු දේ වශයෙනි. බෞද්ධ පඤ්චසීලය ගිහියාගේ නිත්‍ය ප්‍රතිපදාවයි. ඒ තුළ ජීව අජීව පරිසරයේ යහපැවැත්මට විශාල දායකත්වයක් සැපයේ. එනම් සමාජය යම් පාලනයකට නතු කිරීම තුළිනි. පාලනයකින් ශික්ෂණයකින් තොර යමක් හෝ යම් කණ්ඩායමක් ඇත්ද, එය විනාශයට පත්වීම සාමාන්‍ය තත්ත්වයකි. එහෙයින් සීලය තුළින් සිදුකරනුයේ මිනිස් පාලනය තුළින් සමස්ත ජීව අජීව පරිසරය පාලනය කොට යම් ක්‍රමික රටාවකට හැඩගැස්වීමය.

ආධ්‍යාත්මික දියුණුව මෙන් ම බාහිර හෙවත් ලෞකික ජීවිතය වඩාත් අර්ථ සම්පන්නවීමට ශීලය අවශ්‍යය. සංයුත්ත නිකායේ ජටා සූත්‍රය තුළ “සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ”...... ලෙස සීලයෙහි පිහිටා ප්‍රඥාව ළඟාකරගත යුතු බව දක්වන්නේ එහෙයිනි. ‘එසේම සීලගන්ධසමෝ ගන්ධෝ’ ලෙස දක්වන්නේ ද සීල සුවඳ අන් සියලු සුවඳ ඉක්මවා යන බවයි. සීලය පුද්ගලයෙකුට ආභරණයකි. මන්දයත්? ඔහු ඉන් බැබළීමට පත්වන බැවිනි. ආර්ය මාර්ගයේ පදනම වන්නේ ද සීලයයි. මේ සියල්ලෙන් ම ගම්‍ය වන කාරණය වන්නේ කායික වාචසික පාලනය දෙලොව දියුණුව ඇතිවීමට ඉවහල් වන බවයි. කායික වාචසික සංවරය හෙවත් පාලනය වැදගත් වනුයේ ආධ්‍යාත්මික දියුණුවට පමණක් නොවේ. භෞතික ජීවිතයට ද අවශ්‍යය. පාලනයකින් තොර ජීවිත ශ්‍රේෂ්ඨ බවට පත් නොවේ. සාමාන්‍ය ජීවිත පඤ්චසීල ප්‍රතිපදාවෙන් යුක්ත විය යුතු බව බුදු දහම අවධාරණය කරන්නේ නිවන් ලැබීමේ අර්ථයෙන් ම නොවේ. සමාජය සමතුලිතව පවත්වාගෙන යාමේ අවශ්‍යතාවය මතය. අසමතුලිත බව වටිනාකම් නැතිවී සමස්තය අගාධයට පත්වීමට හේතුවේ.

සාමාන්‍ය ජීවිතයේදී සීලය සම්පූර්ණවීමට අවශ්‍ය කාරණා කිහිපයක් ඇත. එම අවශ්‍යතා ඉටුනොවන්නේ නම් ලෝකමානයට සිල්පද සමාදන් වූවාට එය වැදගත් නොවේ. කෙතෙක් සිල් සමාදන් වූව ද සීලයෙන් වන්නේ කරුණු දෙකකි. එනම්

1. කය සංවර වීම
2. වචනය සංවර වීම

ඉහත අවශ්‍යතා ඉටු නොවන්නේ නම් එතන සීලයක් නැත. සීලය ප්‍රඥාව සමඟ මිශ්‍රව පවතින්නකි. සීලය ඇති තැන ප්‍රඥාව ඇත. ප්‍රඥාව ඇති තැන සීලය ඇත. සිල්වතාට නුවණ ඇත. නුවණැත්තාට සිල් ඇත. යනුවෙන් සෝණදණ්ඩ බමුණා ප්‍රකාශ කළේ ද එහෙයිනි. සීලය සම්පූර්ණවීමට අදාළ කරුණු මෙසේ පෙළගැස්විය හැකිය.

1. වතාවත් (කළයුතු දෑ එදිනෙදා කිරීම)
2. සිල් රැකීමේ අනුසස් දැකීම
3. සිල් බිඳගැනීමේ විපාක දැකීම, ආත්මාර්ථකාමී වුවමනාවන් වෙනුවෙන් සීලය යොදා නොගැනීම
4. කායික ක්‍රියා තමන්ටත් අනුන්ටත් හානි නොවීම
5. සමාදන්වූ සීලය අවංකව රැකීම

මෙහිදී සාමාන්‍ය ජීවිතයේ දී වත් සිදුකිරීම සීලය සම්පූර්ණවීමට හේතුවකි. "වත්" යනු කළ යුතු ක්‍රියාවන් වගකීම්ය. භික්ෂුවගේ වගකීම ගිහියාගේ වගකීම දෙමාපියන්, දරුවන්, ආයතන මට්ටමින් තම වගකීම මනාව ඉටුකිරීමයි. තම වගකීම යුතුකම ජාතියක් ලෙස රටක් ලෙස ඉටුනොකර අයිතිවාසිකම් පමණක් ඉල්ලීම යුතු නොවේ. තම ‘වත්’ නිසිලෙස ඉටුනොවන්නේ නම් එය ඍජුව, වක්‍රව තමන්ටත් රටටත් බලපෑම් ඇති කරයි. එදිනෙදා ජීවිතයේ දී මිනිසාට මෙන් ම සතා සිව්පාවට සේම ගහකොළට ද සංවේදී වෙමින් තමා විසින් කළ යුතු දෑ නිවැරදිව කළ යුතුය. එවිට සුළු සුළු පාපකර්මයන් ද පිරිසුදු බවට පත්වේ. බුදු දහම ‘වත්තං නපරිපූරෙන්ති න සීලං පරිපූරති’ ලෙස දක්වන්නේ ද එයයි. එනම් වත් නොපුරන්නාට සිල් නොපිරෙන බවයි.

තම පෞද්ගලික වාසි සලකමින් බොහෝ දෑ පරිහානියට හෙලීම සිල් නොවේ. එවැනි සීලය අර්ථවත් නොවේ. පොදු අරමුණු සාධනය කිරීමට යාමේ දී යම් යම් අලාභහානි පවා සිදුවිය හැක. ඇතැම්විට නිවැරදි කළ නොහැකි අලාභ මෙලොව වශයෙන් සිදුවිය හැකිය. නමුත් තමාට තමා පිළිබඳව ආඩම්බර විය හැකි සීල ප්‍රතිපදාව සහිත ජීවිතයක් ඇති කරගත හැකි නම් එය දෙලොව වාසනාවකි. තම දිවි දෙවැනි කොට සිල් රැකිය යුතු බව බුදු දහම අවධාරණය කරන්නේ එහෙයිනි. බිත්තර රකින කිරලෙකු මෙන් ද වලිගය රකින සෙමර මුවකු මෙන් ද එකම පුතු රකින මවක මෙන් ද, එකම ඇස රකින පුද්ගලයෙකු මෙන් සිල් රැකිය යුතුය.

කය වචන දෙක සංවර වූ පුද්ගලයාගෙන් සමස්ත පරිසරයට ම ඇත්තේ ආශිර්වාදයකි. මේ ජීවිතයේදී සතුට, අල්පේච්ඡ බව, පහසුවෙන් පෝෂණය කළ හැකි බව නැතිවන්නේ, කය, වචන දෙකෙහි අසංවර බවයි. සිල්වතාගෙන් මානවයාට පරිසරයට ස්වභාවදහමට, ස්වභාවික සම්පත්තීන්වලට කිසිදු හානියක් නැත. පඤ්චශීල ප්‍රතිපදාව අනුදැන වදාරන්නේ ද මෙම අරමුණ සාධනය කරගැනීමටය. මිනිසාගේ මූලික අයිතිවාසිකම වූ ජීවත්වීමේ සිට සියල්ල මෙම සීලයෙන් ආරක්ෂා වේ. ජීව අජීව පරිසරයට අහිතකර බලපෑම් බොහොමයක් සිදුවනුයේ මිනිස් ක්‍රියාකාරකම් නිසාය. එය පාලනය වන්නේ නම් අයහපත පාලනය කරගත හැක. බොහෝ අණ පනත් පැනවීමේ අවශ්‍යතාවය පැනනගින්නේ ද කය වචන දෙකේ අසංවරයයි. මානව හිමිකම් පිළිබඳ ප්‍රඥප්ති නීති සම්පාදනය කිරීමේ අවශ්‍යතාවය බොහෝ විට පැනනැගුණේ ‘පාණාතිපාතා’ ශික්ෂාපදය ආරක්ෂා නොකිරීම නිසාවෙනි. යමෙකු මෙම ශික්ෂාපදයෙන් යුක්ත වන්නේ නම් ඔහුගෙන් අනෙකාට පමණක් නොව, ගහකොළට පවා හානි නොපැමිණේ. මානවයා මානවයාට ගරු කරමින් මනසින් ලෝකය දකින්නේ මෙවන් පසුබිමකය. අනෙකාගේ ගෞරවය අභිමානය රැකීමට පුද්ගලයා පෙළඹෙන්නේ නම් පළමු ශික්ෂාපදය ආරක්ෂා වේ. අවිශ්වාසයෙන් තරහෙන් වෛරයෙන් සිටිය යුතු නොවේ. කෙසේ හෝ කොහොම හෝ පවතිනවා යනුවෙන් මිනිස් සිත සැකසෙන්නේ පුද්ගල හෝ සම්පත් වටිනාකම් හඳුනානොගැනීම තුළය. පළමු ශික්ෂාව නිසිලෙස රැකෙන්නේ නම් එවන් පරිසරයක් නිර්මාණය නොවේ. තමාට ජීවත්වීමට අයිතියක් නිදහසක් ඇතිවාක් මෙන් ම සමස්ත පරිසරයට ම එසේ පැවතීමට ඉඩහසර සකසාදිය යුතුය. අවු. 60/70 ක ජීවිතයක් නිසා සියගණන් මිනිස් ජීවිත විනාශකිරීම සම්පත් නාස්ති කිරීම අපාගතවන පාපයකි. ගහක අත්තක් හෝ නොකැපිය යුතුය ලෙස උපසම්පදා භික්ෂූන්ට උපදෙස් දෙනුයේ එහෙයිනි.

අන්‍යයන් සතු දේ පැහැර ගැනීම, ඒ සඳහා අලාභ ඇති කිරීම දෙවන ශික්ෂාපදය උල්ලංඝනය කිරීමකි. මිනිසුන් සතු දේ මෙන් ම ස්වභාවදහම සතු දෑ අනවශ්‍ය ලෙස ගැනීම මේ යටතට ගැනේ. පාරාජිකා පාලියෙහි භික්ෂුවක් කුරුල්ලන්ගෙන් පිහාටු ඉල්ලීම පවා පවක් ලෙස බුදුරදුන් දේශනා කරන්නේ එහෙයිනි. ජීවත්වීම සඳහා විවිධ අවශ්‍යතා ඇතිමුත් තවත් පාර්ශවයක් පෙළා එය අත්පත් කරගැනීම උචිත නොවේ. දායක පිරිසට පවා බරක් නොවෙන ලෙස භික්ෂු ඇවතුම් පැවතුම් සකසාගත යුතු බව අවධාරණය කරයි.

මල නොතලා රොන් ගන්නාසේ භික්ෂුව සිව්පස ලබාගත යුතුය. දැඩි තෘෂ්ණාව පදනම් කරගනිමින් යහමින් තිබූ පමණින් සම්පත් නාස්ති කිරීම නොවැදගත්ය. සියල්ලෝම පරිභෝජනයේ සීමාවන් හඳුනාගන්නේ නම් අන්‍ය වස්තුවට ආශාවක් ඇතිකර නොගනී. ධනය හෝ සම්පත් නිර්මාණය වන්නේ ආත්මාර්ථකාමීව තමා සතු කරගැනීමට නොවේ. අද උපන් පරපුරට මෙන්ම මතු උපදින පරපුර සඳහාය. ඒ බව අවබෝධ කර ගනිමින් අන් සතු දේ පැහැර ගැනීමෙන් විනාශ කිරීමෙන් වැළකිය යුතුය.

සදාචාර සීමාවන් උල්ලංඝනය නොකරමින් පඤ්චකාම සම්පත් විඳීම ගිහියාට වරදක් නොවේ. එහෙත් කාම ගින්න පදනම් කර ගනිමින් සීමා උල්ලංඝනය කරමින් කටයුතු කිරීම යහපත් නොවේ. තාවකාලික තෘප්තියක් මත දීර්ඝ කාලීන අවාසි අලාභ ඇතිවීම අනුමත කළ නොහැකිය. ගින්නට හොඳ සහ නරක මෙන් ම වැදගත් අවැදගත් සියල්ල විනාශ කළ හැකිය. ශාරීරික එක් ඉන්ද්‍රියක් නිසා සමස්තය හානියට පත්වීම නුසුදුසුය. වැරදි ලෙස ඇස කන නාසය දිව ශරීරය පිනවීම නිසා පරිහානිය ඇතිවේ. ඉන් අත්මිදීමට මනස මෙහෙය විය යුතුය. ඇත්ත ඇති සැටියෙන් හඳුනාගත යුතුය.

සමාජය දූෂණය වීම හා හොඳ හිත පළුදුවන ක්‍රියාකරකම් සමූහයක් ඇත. මුසාවාදා ශික්ෂාවෙන් එය පාලනය වේ. වැරදි සංකල්ප අදහස් සමාජගත කිරීම ගැරහිය යුතුය. දෙලොව වැඩදායී ආකල්ප ඇති කළ යුතුය. වචනය අයහපත් ලෙස යෙදවීම නිසා ඇතිවන්නේ මහා විපතකි. එය අසත්පුරුෂයන්ගේ ලක්ෂණයක් බැවින් ඒ සඳහා වටිනාකම් ලබාදිය යුතු නැත. බුදුරදුන් පවා සසර නොකළ වරදක් වූයේ ද බොරුකීමයි. ආර්ථික වාසි හෝ වෙනයම් ලාභයක් මත අසත්‍යය, බොරුව, පාවිච්චි නොකළ යුතුය. ආත්මාර්ථය සඳහා වචන භාවිතයෙන් ඉවත්වීම මුසාවාද ශික්ෂාවෙන් යුක්ත වීමයි.

මත්වීම ප්‍රමාදයට පත්වීම නිසා යහපත අයහපත හඳුනාගැනීමට නොහැකිවේ. එසේ සිදුවීම පුද්ගලයෙක් ලෙසත් රටක් ලෙසත් සමස්ත ක්‍රියාවලියට ම බාධාවකි. එසේ නොවී පියවි සිහියෙන් ලෝකය දැකීමට නම් මත්ද්‍රව්‍යයන්ගෙන් ඉවත්විය යුතුය. එය පස්වන ශික්ෂාවයි. මත්වීම නිසා ඕනෑම දෙයක වටිනාකම හඳුනාගැනීමට නොහැකිවේ. එය අවාසනාවන්ත තත්ත්වයකි. තමා තුළ ඇති ශක්තිය හීන වනවා පමණක් නොව ඔහුගෙන් රටට ඇවැසි ශක්තිය දැනුම ලබාගැනීමට නොහැකිවේ. එය පැසසිය යුත්තක් නොවේ.

සීලය සමස්ත පරිසරයම පාලනය කරනවා පමණක් නොව එය ධනයකි. ‘ශීලධනං’ ලෙස පංචධන සූත්‍රයේ දී දක්වන්නේ එහෙයිනි. සාමාන්‍ය මිල මුදල්වලට එහා ගිය වටිනාකමක් ශීලය තුළ ඇත. සීලයට ඇත්තේ වටිනාකමකි. එය අමිලය. සිල්වත් සමාජයක් නිර්මාණය වීම තුළ ජීව අජීව සියලු සම්පත් ආරක්ෂා වී සෙතක් ශාන්තියක් යහපතක් ඇතිවේ.

"බුදුදහම කියාදෙන පරිසර සංරක්ෂණය හා අරපිරිමැස්ම" ලිපි මාලාවේ හත්වන ලිපිය මෙසේ පළවේ.