Print this Article


අසිරිමත් ධාතු පුරාණය 10 කොටස අශෝක රජතුමා සිදුකළ මහා ධාතු නිධානය

අසිරිමත් ධාතු පුරාණය 10 කොටස

අශෝක රජතුමා සිදුකළ මහා ධාතු නිධානය

අනාගතයේ පහළවන අශෝක නම් රජතුමා මේ ධාතු රැගෙන ස්තූප තනනවා. ඒ ස්තූපවලට උපකාර සඳහා මේ මැණික තැන්පත් කරන බව ලියා තබා ද්‍රෝණ හතක් වූ ධාතුන් වහන්සේ තැන්පත් කළ ස්තූපය අජාසත් රජු විසින් වසා දැමූ බව අප කථා කළා. අද එතැන් සිට. . . .

අශෝක රජතුමා රජවී කාලයත් සමඟ බුදු සසුනට පැහැදුනා. රජතුමා සෑම බුද්ධ භූමියක්ම වන්දනා කරන්නත්, බුද්ධභූමි දකින්නත් ආශා කළා. අශෝක රජතුමා මුල් කාලයේදී ශාසන බ්‍රහ්මචරියාව සහ ශාසන පිළිබඳව ඉගෙන ගත්තේ මොග්ගලිපුත්තතිස්ස මහා රහතන් වහන්සේගෙන්. එසේ ඉගෙන ගෙන බුද්ධ ශාසනයට වඩ වඩාත් ශ්‍රද්ධාව ඇතිකර ගෙන ශාසනය දියුණුවට වැඩ කටයුතු සිදුකළා. වෙහෙර විහාර ඉදිකිරීමට උපදෙස් ලබා ගත්තේත්, ධාතුන් වහන්සේ පිළිබඳව දැනකියා ගත්තේත් උපගුප්ත මහා රහතන් වහන්සේගෙන්. දැන් රජතුමා වෙහෙර විහාර දැක ගැනීමට යන අතරේ උපගුප්ත මහ රහතන් වහන්සේ කියා දෙනවා රජතුමනි මෙතැනයි තථාගතයන් වහන්සේ ඉපදුනේ, මෙතැනයි බුදුවුණේ, මෙතැනයි පිරිනිවන් පෑවේ කියා ස්ථාන පෙන්වා දෙනවා. ඒ ඒ ස්ථානයන්ට පැහැදෙන රජතුමා එතැන කුළුණක් සිටවනවා.

ඊළඟට අසූමහා ශ්‍රාවකයන්ගේ වෙහෙර තිබෙන තැන් දැක අසනවා ස්වාමිනි, මේ ස්තූප කාගේද? රජතුමනි මේ ස්තූපය සාරිපුත්ත මහරහතන් වහන්සේගේ. සාරිපුත්ත මහාරහතන් වහන්සේ කියන්නේ කොහොම කෙනෙක්ද? රජතුමනි, උන්වහන්සේ කරුණාවෙන් අග්‍රේෂ්වරයි. සංඝයාගේ හිතසුව පිණිස කැපවෙනවා. අනේ උන්වහන්සේ කෙතරම් ශ්‍රේෂ්ඨ කෙනෙක්ද? සිතා කහවණු ලක්ෂයක් ගෙන සාරිපුත්ත මහරහතන් වහන්සේගේ සෑය ළඟ තබා වැඳ අණකළා මේ කහවනු වලින් මේ සෑය ප්‍රතිසංස්කරණය කරන්න කියා. ඊළඟට මුගලන් මහ රහතන් වහන්සේගේ සෑය ළඟට ගොස් අහනවා මුන්වහන්සේ කෙහොම කෙනෙක්ද? ස්වාමින් වහන්සේ කියනවා මුගලන් මහරහතන් වහන්සේ සෘර්ධි බලයෙන් අග්‍රයි. සංඝයාට බොහෝ උපකාර කර තිබෙනවා කියා. එතැනදීත් පැහැදි කහවනු ලක්ෂයක් සෑය ළඟ තබා වැඳ කියනවා මෙයින් සෑය ප්‍රතිසංස්කරණය කරන්න කියා. අංගුලිමාල මහරහතන් වහන්සේ, සරභූ මහ රහතන් වහන්සේ, ආදී රහතන් වහන්සේලාගේ සෑය අසලදීත් එසේම කළා.

ඊළඟට බක්කුල මහරහතන් වහන්සේගේ සෑය ළඟට ඇවිත් අහනවා මුන් වහන්සේ කොහොම කෙනෙක්ද? උපගුප්ත රහතන් වහන්සේ වදාළා බොහෝම නිරෝගියි. දීර්ඝායුෂ වින්ඳා. හැබැයි රජතුමනි පැවිදිවූ ඒ අවුරුදු අසූවටම එකම බණ පදයක්වත් දේශනා කොට නැහැ. කිසිවෙකු මහණ හෝ උපසම්පදා කර නැහැ. රජතුමා කියනවා මුන් වහන්සේ රහත් බවනම් සැබෑව. නමුත් අනෙක් අයටනම් යහපතක් කර නැහැ වගේ කියා ඒ සෑය ළඟින් තුට්ටුවක් තිබ්බා. (ඒ කාලයේ තිබූ මුදල්වල අඩුම ගණන) තිබ්බ ගමන්ම ඒ කාසිය කැරකිලා කැරකිලා රජතුමාගේ කකුල ළඟට වැටුණා. රාජපුරුෂයෝ කියා සිටියා රජතුමනි, ඔබතුමාගේ තුට්ටුවටවත් උන්වහන්සේ කැමැති නැහැ කියා. රජතුමා සංවේගයට පත්වෙලා එතැනත් කහවනු ලක්ෂයක් තබා සෑය ප්‍රතිසංස්කරණය කිරීමට අණ කොට රහතන් වහන්සේගෙන් සමාව ලබා ගත්තා.

අසූහාරදහසක් සෑයන් ඉදිවීම

මෙහෙම යන අතරේ රජතුමා රහතන් වහන්සේගෙන් අහනවා තථාගතයන් වහන්සේගේ ධර්මය කොතරම් ද? රජතුමනි, සුවාසූ දහසක්. රජතුමාට ආසා හිතුනා අසූහාරදහසක් ධර්මස්කන්ධයට සෑයන් අසූහාරදහසක් ඉදිකිරීමට. ඒත් ඒ සෑයන්ට ධාතුන් වහන්සේ ලබාගන්නේ කොහොමද? ධාතුන් වහනසේ තිබෙන තැනක් කිසිවෙක් දන්නේ නැහැ. ඊළඟට තීරණය කළා සෑයන් අටක් තිබෙනවානේ. මේ සෑයන් බිඳ ධාතු ලබා ගමු කියා. දාගැබ් කඩ කඩා බැලුවා. ධාතුන් වහන්සේ සුළු වශයෙන් තිබුණේ. රාම ග්‍රාමයට ගියා. ඒ සෑය වටා සිටි නාගයන් පිරිසට එතැනට එන්න දුන්නේ නැහැ. ඒ නිසා එතැනට ගියේ නැහැ. දැන් රජතුමාට සෑයන් සඳහා ධාතුන් වහන්සේ කෝ?

මේ වනවිට තථාගතයන් වහන්සේ පිරිනිවන් පා වසර තුන්සියයකට කිට්ටු වෙනවා. අජාසත් රජුගෙන් අවුරුදු සිය ගණනක් දැන් පිටුපසට ඇවිත්. සංඝයා රැස්කර අශෝක රජතුමා අසනවා ස්වාමිනි, ද්‍රෝණ හතක් ධාතුන් වහන්සේ කොහේද වැඩ සිටින්නේ? එතැන සිටියා අවුරුදු එකසිය හැටක් වයස රහතන් වහන්සේ නමක්. උන්වහන්සේ කියනවා මගේ ගුරු ස්වාමින් වහන්සේ වයස අවුරුදු එකසිය හැටක් ජීවත් වුණා. මට මතකයි උන්වහන්සේ මම අවුරුදු හතේ සාමණේරව වැඩ සිටිද්දී එක්කගෙන ගියා යම් ස්ථානයකට. සාමණේර මට මහා කැලයේ ඒ ස්ථානය පෙන්වා කිව්වා පොඩිනම මෙතැනට වඳින්න. එය ඔබට බොහෝ හිතසුව පිණිස පවතීවි කියා. මට මතකයි මම කැලේ එක් ස්ථානයක සෑයකට වන්දනා කළා.

රජතුමා ඒ ඔස්සේ සොයාගෙන ගියා. යම් තැනකට ගිහින් පොළොව හෑරුවා. මුලින්ම ලෝහ ගෙය හම්බවුණා. වහලය අයින් කර වටේ හාරනවිට වාලසංඝාඨය ඇතුලේ කැරකෙනවා. දැන් කොහොමද එය නවතාලන්නේ? එය නවතාලන්නෝ කවුරුද? මන්තර දන්න අය ගෙන්වූවා. බලිතොවිල් කළා. කිසිම දෙයකින්ම වාලසංඝාඨය කැරකෙන එක නැවතුනේ නැහැ. රජතුමා අධිෂ්ඨානයක් කළා. නමුත් නැවතුනේ නැහැ. ශක්‍ර දේවේන්ද්‍රයා විශ්කම් දෙව්පුතුට කියනවා දේවේන්ද්‍ර, ධාතු ගර්භයේ දොර අරින කාලය දැන් හරි. එය ඔබට බාරයි කිව්වා. දේවපුත්‍රයා අවුරුදු හතක ළමයෙකුගේ වෙස් ගෙන දුන්නක් සහ ඊතලයක් අරගෙන පිරිස අතරට ආවා. රජතුමනි, මම මේ යන්ත්‍රය නවතාලන්නම්. හොඳයි කිව්වා. විස්කම් වැඩ කෙතරම්ද කියනවානම් අර කැරකෙන යන්ත්‍රයේ තිබෙන බොත්තම ඉලක්ක කර විද්දා හරියටම බොත්තමට වදින්න. යන්ත්‍රය ක්ෂණයෙන් නැවතුනා. රජතුමා දොර ඇරියා. මුලින්ම මැණිකක් හමුවුණා. දැන් ධාතු ගර්භය ඇරගෙන ඇරගෙන යනවා. කරඬු එකසිය අසූවක් ඇතුළේ ද්‍රෝණ හතක් ධාතුන් වහන්සේ වැඩ සිටියා. රජතුමාට බොහෝම සතුටුයි. බොහෝ පුදසත්කාර මැද රජගෙදරට ධාතුන් වහන්සේ වඩමවා අසූහාරදහසක් වෙහෙර විහාර තනවා ඒ ධාතුන් තැන්පත් කළා. පාත්‍රයක් ධාතුන් වහන්සේ රජතුමා සන්තකයේ තබා ගත්තා. නිතර වන්දනා මාන කළා. ධර්මාශෝක රජතුමාට තිබූ එකම වස්තුව වූයේ තමාගේ ගෘහයේ තිබෙන ධාතුන් වහන්සේ පමණයි.

දැන් රජතුමාට ආසයි අසූහාරදහම වෙහෙර විහාර එකවර විවෘත කරන්න. විශාල ප්‍රදේශ ප්‍රමාණයකයි ඒ වෙහෙර පිහිටියේ. එය කළ හැකි දෙයක්ද? ඔබ දන්නවා ධර්මාශෝක රජතුමා චක්‍රවර්ති රජ කෙනෙක්. මුළු දඹදිවට පහළ වූ එකම එක රජතුමා අශෝක රජතුමායි. රජතුමාගේ ආශාව සංසිඳවීමට මොග්ගලිපුත්තතිස්ස මහරහතන් වහන්සේ ප්‍රාතිහාර්යයක් පෑවා. එය “මහා විවිට ප්‍රාතිහාර්ය” ලෙස සඳහන් වෙනවා. ඒ ප්‍රාතිහාර්යෙන් සිදුවුණේ රජතුමා එක වෙහෙරක දොර අරිනවිට වෙහෙර අසූහාර දහසේම දොර එකවර ඇරෙනවා. රජතුමා ශ්‍රද්ධාවෙන් ඉපලී ගියා.

කාලයත් සමඟ රජතුමා බුදුසසුන වෙනුවෙන් තවත් කළයුතු දේ කල්පනා කළා. ඒ වෙලාවේ පුතා සසුනට පූජා කරන්න තීරණය කළා. මිහිඳු මහ රහතන් වහන්සේ. දියණියත් සසුනට පූජා කළා. සංඝමිත්තා මහා තෙරණිය. ධර්මාශෝක රජතුමා නොවෙන්න අද අපට ධර්මයක් අසන්නට ලැබෙන්නේ නැහැ. ඇයි ඒ? ධර්මාශෝක රජතුමාගේ අදහසක් අනුව තමා රටවල් නවයකට ධර්මය ප්‍රචාරය කිරීම සිදු වුණේ. ත්‍රිපිටකය රන් ඉරුපත්වල ලියා එක එක තැන්වල තැන්පත් කළා. සූත්‍ර දේශනා ගල් කණුවල සටහන් කළා. ඒ තරමට ඔහු මේ ධර්මය ප්‍රචාරය කරන්න ආශා කළා. නමුත් මේ රජතුමාට වැරදුන එක් තැනක් තිබුණා. ඒ තමා ඉක්මනින් කෝප වීම. පුරුද්දට මෙන් තරහ යනවා. වෙහෙර විහාර අසූහාරදහසක් හැදු රජතුමාටත් මරණාසන්න මොහොතේ තරහා සිතිවිල්ලක් ආවා. මරණින් පසු පිඹුරෙක් වෙලා ඉපදුනා. අසූ හාරදහසක් වෙහෙර විහාර කරවූ, දරුවෝ රහත් වහන්සේලා වූ පියාට එසේ වූවානම් අප ගැන කවර කථාද? කිසිවක් නැති ඔබ, ඔබ ගැන සිතන්න. දින හතකට පසු නැවත මිනිස් ලොව ඉපදී රහතන් වූ බව පොත්පත් වල සඳහන් වෙනවා.

ධර්මාශෝක රජතුමා විසින් තැන්පත් කළ ඒ ධාතුන් වහන්සේ ඔබත් මෙසේ දිනපතා වන්දනා කරන්න.

මහාධාතු නිධානංතං
අබ්භූතං ලෝමහංසනං
වන්දේහං සිරසා කිච්චං
විපස්සන්නේන චේතසා

ඒ මහා ධාතු නිධානය අද්භූතයි. ලොමුදහ ගැන්වන සුළුය. සිත මනාව පහන් කොට ගෙන මම සිරසින් ඒ මහා ධාතු නිධානය වන්දනා කරමි.


පසුගිය සතියෙන් - අසිරිමත් ධාතු පුරාණය 9 කොටසද්‍රෝණ හතක් ධාතූන් වහන්සේ එකම ස්ථානයක තැම්පත් වූ වගයි