භාෂා සාහිත්‍ය පෝෂණයට
මහෝපකාරී වූ
බෝධි වන්දනාව
අස්ගිරි මහා සංඝ සභාවේ මහෝපාධ්‍යාය
ශාස්ත්‍රවේදී පණ්ඩිත
අමුණුපුර පියරතන හිමි
අප සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය පෙරදිග භාෂා සාහිත්‍ය
පෝෂණය වීමට මහෝපකාරී වූ වග ශාසන ඉතිහාසය විවරණය කිරීමේ දී පැහැදිලි
වන්නේය. මාතලේ අළුවිහාරේ සිදු වූ ත්‍රිපිටක සංඝායනාව හා ලේඛනගත කිරීම
බුද්ධ ශාසනය පිළිබඳ සන්ධිස්ථානයක් විය. එතැන් සිට පාලි භාෂාව ලේඛනගතව
ඉතා පුළුල් මාර්ගයක ගමන් කිරීමෙන් එය, සිංහල හා සංස්කෘත භාෂා
සාහිත්‍යයට ද ආධාර උපකාර වන්නට වූයේ ඉතා සීග්‍රයෙනි.
මිහිඳු මහ රහතන් වහන්සේ විසින් උතුම් බුද්ධ ධර්මය හඳුන්වාදීමත්,
සංඝමිත්තා මෙහෙණින් වහන්සේ ජය ශ්‍රී මහා බෝධීන්වහන්සේ අනුරාධපුරයට
වැඩමවා ගෙනවිත් රෝපණය කිරීම, ලංකා මෙහෙණි සස්න ආරම්භ කිරීම, ප්‍රධාන
සියලුම සිද්ධීන් ප්‍රකාශයට පත්කොට තහවුරු කිරීමට භාවිතා කළ භාෂා මාධ්‍ය
වූයේ පාලි හා සිංහලයි. එහෙත් ප්‍රකාශන මාධ්‍ය පුළුල් වීම නිසා සංස්කෘත
භාෂාව ද උපයෝගී කරගන්නට විය.
ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ මාතෘකාව කරගෙන ප්‍රධාන වශයෙන් ලියන ලද
ග්‍රන්ථ
පාලි බෝධි වංශය
සිංහල බෝධි වංශය
සුළු බෝධි වංශය
ධර්ම ප්‍රදීපිකාව
මහා බෝධි වංශ ගැටපද විවරණය
පසු කාලීනව ලියන ලද ග්‍රන්ථ හා වාර්තා
අනුරාධ පුර මහා විහාරය පෙරදිග ලෝකයේ පැවති ශ්‍රේෂ්ඨ අධ්‍යාපන ආයතනයක්
වූ අතර එහි මහා සංඝරත්නය භාෂා ශාස්ත්‍ර පිළිබඳ ප්‍රවීණ විචක්ෂණ
බුද්ධියෙන් සම්පූර්ණ වූ බැවින් ථේරවාදී බුද්ධාගම ලංකාවට හඳුන්වාදීමේ දී
ප්‍රධාන සිද්ධීන් හෙළ බසින් වාර්තා කොට ඒවා විශේෂ ග්‍රන්ථ වශයෙන් මහා
විහාර පුස්තකාලයේ තැන්පත් කොට පැවතුනි. හෙලුබෝවස, පසුකාලීනව පාලි භාෂාව
ජාත්‍යන්තරව දියුණු වූ බැවින් පාලි භාෂාවට පරිවර්තනය කිරීමෙන් පාලි
බෝධි වංශය නිර්මාණය විය.
ලක්දිවට ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩම වීම සමාජමය වශයෙන් අර්ථ සාධනීය
වූ බැවින් එම සිද්ධිය ඓතිහාසික හා සංස්කෘතික මෙන් ම ආර්ථික වශයෙන් ද
ලක්වැසි ජනතාවගේ ජන ජීවිතයට ඉතා සමීප විය.
ජාතියක ජීවය ප්‍රකාශනයට පත්වන්නේ විශිෂ්ඨ භාෂා ශාස්ත්‍රයෙනි. ස්වයං
චින්තනයට විවේක බුද්ධිය ලබාගත්තේ බුදු දහමේ පවත්නා නිදහස් නිවහල් හා
පුළුල් භාවයෙනි. මෙතරම් අනර්ඝ මනස්කාන්ත ධ්වනිථාර්ථ භාෂාවක් අපට ඉතිරි
වී ඇත්තේ ඒ නිසාය.
කුරුණෑගල රාජධානි සමයේ දෙවන පණ්ඩිත පරාක්‍රමබාහු මහරජතුමන්ගේ ඇරයුමෙන්
විල්ගම්මුල මා හිමියන් විසින් රචනා කළ සිංහල බෝධි වංශය අනුරාධපුර සමයේ
ලියන ලද පාලි බෝධි වංශයේ කාලානුගත භාෂානුරූපව උසස් නිර්මාණයකි. හෙල
බසින් පාලි භාෂාවටත් යළි සිංහල භාෂාවටත් පරිවර්තනය කිරීමේ දී චින්තනය
වශයෙන් මෙන් ම මිශ්‍ර භාෂා ශෛලිය වශයෙන් ද විවිධ වෙනස්කම් දක්නට
පුළුවන. මධ්‍යකාලීන සිංහල භාෂාව පාලි සිංහල, සංස්කෘත, දමිළ යන භාෂා
සංකලනයෙන් වේගවත් ප්‍රගතිශීලී ගමනකට පිවිසුණු අයුරු පොළොන්නරු,
කුරුණෑගල, දඹදෙණි යන යුගවල බිහිවූ ග්‍රන්ථවලින් ප්‍රකට වන්නේය.
සිංහල බෝධි වංශය ප්‍රධාන බෞද්ධ සාහිත්‍යයේ ප්‍රධාන ලක්ෂණ කීපයක් ඇත.
ප්‍රධාන මාතෘකාව,
බුද්ධ ධර්මය,
සාහිත්‍යාත්මක වර්ණනා, ප්‍රධාන සිද්ධිය පමණක් වාර්තාමය වශයෙන් දක්වන්නේ
නම් එය පාඨක හදවතට සම්බන්ධ නොවන්නේ ය. එමෙන් ම ලේඛකයාගේ පරමාර්ථ අනුව
ධර්ම, අර්ථ, කාම, මෝක්ෂයන ප්‍රතිඵලද නොලබන්නේ ය. මේ නිසා සියලු
සංසිද්ධීන් විවේක බුද්ධියෙන් සිතා, සංවර අක්ෂරමාලා ගලපා භාෂා ශාස්ත්‍ර
නීතිරීතිවලට අනුව පාඨක චින්තනයට රසයක්, ධර්මයක්, සාධනීය අර්ථයත්,
නිර්මාණයත් එක්වන්ව ලබා ගැනීමට හැකිවන පරිදි කතුවරයා භාෂාව හසුරුවන්නේ
ය.
මහා වංශ, දීපවංශ, චූලවංශ, ධාතුවංශ, ථූපවංශ ආදී වංශ සාහිත්‍යයෙන් අපට
දක්වන, ඉතිහාසයත්, භාෂා ශෛලියත්, උතුම් ධර්මයත්, අර්ථයත් නිසා ලබන
ජීවය, ශක්තිය නිසා අප ලොව්තුරු ලෝකයකට ගෙනයන්නේය.
සිංහල සාහිත්‍යවංශයේ මහා ධර්ම ග්‍රන්ථය නම් ධර්මප්‍රදීපිකාවයි.
පොළොන්නරු යුගයේ ගුරුළු ගෝමී නම් මහා පඬිවරයා විසින් ත්‍රිපිටක
සාහිත්‍ය සංස්කෘත ග්‍රන්ථ, වෙනත් සිංහල පාලි ග්‍රන්ථ පරිශීලනය කොට
සිංහල පාලි, සංස්කෘත යන භාෂා තුනෙන් ම, ශාසන ඉතිහාසය, බුද්ධ ධර්මය
සමකාලීන දර්ශන, චින්තන ආදී සෑම කාරණයකම උපරිම හරය දක්වමින් මෙම
ග්‍රන්ථය උසස්තම නිර්මාණයකි. අර්ථ වර්ණනාවකි. විවරණයකි.
භාෂාව පිළිබඳ සියලු අංගෝපාංග අක්ෂරයක් වචනයක්, වාක්‍යයක්, ඡේදයක් පාසා
දක්නට ඇති අතර ඉතා ඉක්මනින් සිද්ධියෙන් සිද්ධියට පාඨක චින්තනය ගෙනයන්නේ
ලෝකෝත්තර රසයක් සමඟය. ජය ශ්‍රී මහා බෝධිය, ආනන්ද බෝධිය, අෂ්ඨඵලරුහ
බෝධි, දෙතිස්ඵලරුහ බෝධි හා ශාඛා මහා බෝධි විස්තර දක්වන්නට අප ගෞතම
බුදුරජාණන් වහන්සේගේ ජීවන චරිතයත්, අතීත ඉතිහාසයත්, කල්ප වශයෙන්
දක්වමින් ඉතා ප්‍රෞඪලෙස පාඨක චින්තනයට නිර්මාණශීලි ජවයක් ලබාදෙන්නේ ය.
ධර්ම ප්‍රදීපිකාවේ මෙන් ම සිංහල බෝධි වංශයේ ද එකසේ දක්වන ආනන්ද බෝධි
කතා විස්තරය අප බුදුරදුන්ගේ ආශ්චර්ය ගුණයත් ලොව්තුරු දහම් රසයත් පාඨක
හදවතේ මූර්තිමත් කරන්නේය. සිංහල ගද්‍ය සාහිත්‍යයේ හෙළබසින් රචනා කරන ලද
ශ්‍රේෂ්ඨතම නිර්මාණයක් වශයෙන් කාලිංග බෝධිසත්ව චරිත කතාව අගය කළ යුතු
වන්නේය.
"කියග සොඳුර මහබඹ තෙමෙහෙ සඳින් සොමි ගෙනැ රන්ගලින් පහන් බැහැ උකහා
ගෙනැ, වනවිලින් මත්හස් යුවළක් ගෙනැ තුන්රත් පියුමක් ඇරැ එයින් එකක් තබා
දෙකක් හිරාගෙන සිනිඳු සුනිල් මහනෙල් මල් දෙකක් ගෙනැ ලහොපල්ලෙහි
මෙළෙකක්ගෙනැ ළහෙල්මැල්ලෙහි සිහිලස් ගෙනැ සැහැසී හනා වනා බමරබර පුල් ළෙල
ලියෙක්හි එව තී මවමින් ළය කිසෙ ගල කෙළේ."
මෙම රචනා පරිච්ඡේදයේ ඇති ව්‍යක්ත නිපුන භාෂාවේ යෙදුම් කුමන අංශයකින්
බැලුවත් ඉතා උසස් තලයක වැජඹෙන්නේය. උපමා රූපක, අනුප්‍රාස මගින් භාෂාවේ
ඕජෝගුණය හා අර්ථාලංකාර ශබ්දාලංකාර ප්‍රකාශයට පත්වන්නේය. ශබ්දය, අර්ථය
ගුණය, අලංකාරය, රසය එක්වන්ව පාඨකයාගේ මනසට මූර්තිමත්වන්නේ ය. ලබාගැනීම
අක්ෂර නමැති මුත්තාවලිය
බෝධිය හා බෝධීන්වහන්සේ මාතෘකා වශයෙන් තබාගෙන අඛ්‍යාන වශයෙන්, අර්ථ
වර්ණනා වශයෙන් එමෙන් ම ඓතිහාසික වාර්තා වශයෙන් මෙන් ම ගැටපද විවරණ
වශයෙන් ද මෙතරම් පුළුල් සාහිත්‍යයක් නිර්මාණ කිරීමෙන් බෞද්ධ ලේඛකයන්ගේ
ශ්‍රද්ධාව, බුද්ධියේ පරිණතභාවය, ලේඛන කුසලතාවය, ශබ්ද විද්‍යාව මොනවට
පිළිබිඹු වන්නේය.
ගුරුළුගෝමී පඬිවරයා සමස්ත ත්‍රිපිටක ධර්මයම මනාව ප්‍රගුණ කළ භාෂාන්තර
දැනුමෙන් අතිවිශිෂ්ඨ වූ ව්‍යක්ත විශාරද දැනුමෙන්, දේශනයෙන් මෙන් ම මානව
ගුණයෙන් සපිරි සත්පුරුෂයෙක් බව ධර්ම ප්‍රදීපිකාව නම් ග්‍රන්ථයෙන්
ප්‍රකට වන්නේ ය.
ලාංකික ජනතාවගේ චිත්ත සන්තාන තුළ බෝධි වන්දනාව ප්‍රධාන කාරණා තුනක්
මුල් කරගෙන පැවති වග දක්නට පුළුවන,
මෙලොව ආරක්ෂා සම්පත්තිය
පරලොව සුගතිය
චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් උතුම් නිවන් සම්පත් ලබාගැනීම
අප බුදුරජාණන් වහන්සේ මාරසෙනඟ පරදා තම පරමාර්ථ ලබාගත්තා සේම පොදු ජනතාව
ද තම තමන්ගේ ජීවන ප්‍රශ්න විවිධාකාරයෙන් ප්‍රකාශයට පත්කරගෙන මෙලොව
ශාන්තිය, පරලොව සුගතිය අවසානයේ උතුම් නිවන් සම්පත් ලබාගැනීමේ
පරමාර්ථයෙන් බෝධි වන්දනාව සිදු කරන්නේය.
දඹදිව ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පටන් භාරතය, ලංකාව ආදී ථේරවාදී සෑම
රටකම ගමක් නගරයක් පාසා බෝධීන් වහන්සේ රෝපණය කොට වන්දන, මානන,
පූජාසත්කාර භාරහාර කිරීමෙන් ජනීජනයා තම තමන්ගේ මානසික ශක්තිය
නීරෝගිභාවය ලබා ගනිති. එම ජනප්‍රියතාවය පදනම් කරගෙන ලියන ලද ග්‍රන්ථ,
ලිපි, ලේඛන, සඟරා ගද්‍ය, පද්‍ය සාහිත්‍ය අපමණය. එම සෑම නිර්මාණයකින් ම
භාෂා සාහිත්‍ය පෝෂණය වූ අතර බෞද්ධ යන්ගේ ප්‍රධාන පරමාර්ථය වූ උතුම්
නිවන පසක් කරගැනීම ද හේතු වාසනා වන්නේ ය.
බෝධි යන උතුම් වචනය පදනම් කරගෙන මේ සා විශාල පාලි ත්‍රිපිටක ධර්මයක්
බිහි වූවා සේම බෝධි වන්දනාව ප්‍රධාන කරගෙන ලක්දිව සිංහල, පාලි, සංස්කෘත
භාෂා සාහිත්‍ය පෝෂණ විය. |