ධම්මපදට්ඨකතා - 35
ගස් ගල් පර්වත සරණ ගිය
අග්ගිදත්ත
බුදුන් දැක නිවන් දකී
කොළඹ විශ්වවිද්‍යාලයේ
සිංහල අධ්‍යයන අංශයේ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
මහාචාර්ය
අගලකඩ සිරිසුමන හිමි
අග්ගිදත්ත බුද්ධකාලීනව මහා අනුගාමික පිරිසක් එක්ව විසූ, කොසොල් රජුගේ
පුරෝහිතයාය. රජ පරපුරේ සෑම රජෙකුගේම පුරෝහිතයා වී ඇත්තේ අග්ගිදත්තගේ
පිය පරපුරය. මේ නිසා රජතුමා ඔහුට විශේෂ ගරු සැලකිලි දැක්වූ අතර
අග්ගිදත්ත රාජ සේවයට එන විට රජතුමා සිහසුනෙන් නැගී සිට පෙරගමන් කිරීමට
තරම් ගෞරවයක් රජ පරපුරේ විය. එමෙන්ම මෙහි වාඩිවෙන්නයි අසුන පැනවීම පවා
රජතුමාට සිදු කරයි.
රාජකීය පුද සත්කාර නිරතුරු ද ලබන අග්ගිදත්ත බමුණා කල්පනා කරන්නේ
රජුන්ගෙන් මෙවැනි පුද සත්කාර ලැබීම ලෝකයේ නව පරපුර ලද ඉතා දුර්ලභ
කාරණාවක් බවයි. එබැවින් තමා දැන් මහලු වියට පත්ව ඇති බැවින් මීටත් වඩා
උපහාර ලැබීම සඳහා පැවිදිවීම වඩාත් යෝග්‍ය බවයි. එසේ සිතා රජුගෙන් ඒ
සඳහා නිසි අවසරය ලබා තම ධනය හා අවශේෂ දේපළ දන් දී පැවිදි විය. ඔහුට ගරු
කළ ඔහු මග ගිය ඔහුගේ අනුගාමිකයෝ දහසක් ද පැවිදි වූහ. ගෞතම බුද්ධ ශාසනයේ
පිළිවෙත් කිසිවක් නොදත් මේ අග්ගිදත්තයෝ ඔහුගේ අනුගාමික පිරිසට මෙසේ
අවවාද දුන්හ.දරුවනි, ඔබට ප්‍රවෘජ්‍යා දිවියට බාධාව වන්නේ කාම විතර්ක
සිතට පහළ වීමයි. එය නැති කර ගැනීම සඳහා එවැනි සිතිවිල්ලක් පහළ වූ වහාම
වැලි ගොටුවක් බැගින් මෙතැනට ගෙනැවිත් දමන්නැයි කීය. අනුගාමිකයෝ කාම
විතර්ක පහළ වන හැම විටෙකම වැලි ගොටුවක් රැගෙන විත් නිසි තැන දැමූහ.
කල්යාමේ දී එතැන මහා වැලි කන්දක් විය. මේ වැලි ගොඩ නාගරාජයෙක් තම
නිවෙස්න බවට පත් කර ගත්තේ ය.
මේ අග්ගිදත්ත බ්‍රාහ්මණ ප්‍රවෘජ්‍යා හා පිරිසට බොහෝ ජනයා දන් පහන් සකසා
පිළිගන්වති. මහත් සත්කාර දක්වති. ඒ සියලු දෙනාට අග්ගිදත්ත අවවාද කළේ
‘ශ්‍රාවකයිනි, පර්වත සරණ යමු, වන සරණ යව්, ආරාම සරණ යමු ගස් ගල් සරණ
යව්, එසේ සරණ ගොස් සියලු දුක් වලින් මිදෙව්’ යනුවෙනි.
මේ අතරේ අප ලොවුතුරා බුදුහිමියෝ එක් දිනක් කරුණාවෙන් ලොව බලන්නේ
අග්ගිදත්ත බ්‍රාහ්මණයා සමඟ තම අතවැසි පිරිස තම නුවණ දැලෙහි බැඳී මොහු
දමනය කොට මාර්ග ඵලයෙහි පිහිටුවීම අද දවසේ කාර්ය බවට පත් කරගන්නේ යැයි
සිතා වදාළහ. මේ සඳහා මුගලන් තෙරුන් කැඳවා, ජනයා පාපයට හා
මිථ්‍යාදෘෂ්ටියට යොමු කරවන මෙම අග්ගිදත්ත දමනය පිණිස නික්ම යන ලෙසත්
තමා පසුපසින් පැමිණෙන බවත් වදාළහ.
මුගලන් හිමියන් එහි වඩින විට අග්ගිදත්ත විශාල ශ්‍රාවක පිරිසක් පිරිවරා
සිටියේ ය. මුගලන් තෙරුන් තම ඍද්ධ්‍යානුභාවයෙන් සිහින පොද වැස්සක්
වැටෙන්නට සැලැස්වීය. එය ටිකින් ටික වැඩි කළේ ය. එවිට එම පිරිස ක්‍රම
ක්‍රමයෙන් නැගිට තම තමන්ගේ ආරාමවලට නික්ම ගියේ ය. මුගලන් තෙරණුවෝ
අග්ගිදත්තගේ ආරාමය ඉදිරිපිටට ගොස් අග්ගිදත්ත යයි ඇමතූහ. එය ඇසූ
අග්ගිදත්ත තම නමින් අමතන මේ පුද්ගලයා කවරෙකුදැයි ඇසීය. එවිට තමා මුගලන්
හිමි බව පවසා එක රැයක් මෙහි වසන්නට ඉඩ දෙන්නැයි ඉල්ලීය. මෙහි ඉඩ ඇත්තේ
එක මිනිසෙකුට පමණක් බැවින් එය ප්‍රතික්ෂේප කළේ ය. එවිට මුගලන් තෙරණුවෝ
විවිධ දේ කියමින් නැවත නැවතත් ආයාචනා කළහ. එවිට කෝපයට පත්ව වහා මෙයින්
නික්ම යන්නැයි උන්වහන්සේට තර්ජනය කළහ. එවිට ඉදිරියෙහි ඇති මහා වැලිගොඩ
පෙන්වා මෙහි එක් රැයක් වසන්නට අවසර දෙන්නැයි ඉල්ලීය. එහි නාගරාජයෙකු
වසන බැවින් ඔහු ඉතා බිහිසුණු බව කියා එහි ද ඉඩදිය නොහැකි බව කියා පෑවේ
ය.
අග්ගිදත්තයෝ විරෝධය මධ්‍යයේම මුගලන් හිමියෝ වැලිකන්දෙහි රැය ගත කරන්නට
සිතා ඒ දෙසට වැඩම කළහ. එය නවතා ගත නොහැකි වූ අග්ගිදත්ත නාගයාගෙන් විය
හැකි විපතෙහි වගකීමක් භාර ගන්නැයි කියා සිටියේ ය. වැලිකන්දෙහි සිටි නාග
රාජයා මුගලන් හිමියන් ඒ දෙසට එනු දැක මේ ශ්‍රමණයා මාගේ බලය නොදැන මා
වෙත පැමිණෙයි. දුම් පිට කර මරමියි, සිතා මහා දුමාරයක් නිකුත් කළේ ය.
මුගලන් හිමියන්ගේ සෘද්ධිමත් බව නොදත් නාගයා එසේ කළ විට උන්වහන්සේ ද මහා
දුමාරයක් පිට කොට මුළු පළාත දුමින් වැසෙන්නට සැලැස්වීය. නාගයා පිට කළ
ධූමය තෙරුන්ට හානියක් නොකළමුත් තෙරුන් පිට කළ ධූමය නාගයාට ඉවසිය නොහැකි
විය. නාගයා දිලිසෙන්නට විය. තෙරුන් තේජෝ සමාපත්තියට සමවැද මහා
ගින්දරකින් වැසී යන්නට සැලැස්වීය. එය මහා ගිනි ජාලාවක් විය. අග්ගිදත්ත
කල්පනා කළේ තම උපදෙස් නොතකා ගිය ශ්‍රමණයා නාගයා විසින් ගිනි පිටකර මරා
දමන්නට ඇති බවයි. එහෙත් සියල්ල කෙළවර සිදු වූයේ තෙරුන් වහන්සේ නාගයා
දමනය කොට වැලිකන්ද පාමුල වැඩ සිටින විට නාගයා දරණයෙන් ඔතා වටකොට කුලු
ගෙයක් තරම් පෙනයක් මවා තෙරුන් වහන්සේට සෙවණ සැලසීමයි. තෙරුන්ට විපතක්
වනු බලා සිටි පිරිස් පැමිණ ආශ්චර්ය දැක තෙරුන් පිරිවරා සිටියහ. එකෙණෙහි
බුදුහු එතැනට වැඩියහ. තෙරුන් වහන්සේ නැගිට බුදුහිමියන්ට වැන්දහ. තෙරුන්
වහන්සේ පිරිස හමුවේ මේ භාග්‍යවතුන් වහන්සේ බව පැහැදිලි කර දුන්හ.
ගෝලයා මේ තරම් ආනුභාව ඇත්තේ වී නම් ගුරුවරයාගේ ආනුභාව කවර තරම්දැයි
කල්පනා කළ පිරිස් දොහොත් මුදුණේ තබා බුදුරදුන් වැන්දහ. එවේලෙහි
බුදුහිමියෝ අග්ගිදත්ත අමතා ඔබ ඔබේ ශ්‍රාවකයන්ට අවවාද දෙන්නේ
කුමකින්දැයි විමසූහ. එවිට ඔහු කීවේ මේ ගස්, මේ පර්වත, මේ ගල් තලා සරණ
ගොස් දුකින් මිදෙන ලෙස මා අනුශාසනා කරන බවයි. එවිට බුදුහිමියෝ
අග්ගිදත්ත අමතා ආරාම, රුක්ගේ, පබ්බත ආදිය සරණ යමින් කිසිදා දුකින්
මිදිය නොහැකි බවත් බුද්ධ, ධම්ම, සංඝ සරණයාමෙන් පමණක් සසර දුකින් මිදිය
හැකි බවත් පෙන්වා දී වදාළහ. අග්ගිදත්ත ඇතුළු පිරිස උතුම් පැවිද්ද ලබා
සිව්පිළිසිඹියා රහත් බවට පැමිණියහ.
|