Print this Article


උඳුවප් පුර පසළොස්වක පෝදා දම් දෙසුම රහතන් වහන්සේ වැඩි මඟ

උඳුවප් පුර පසළොස්වක පෝදා දම් දෙසුම

රහතන් වහන්සේ වැඩි මඟ

නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස


ශ්‍රද්ධාවන්ත පින්වතුනි

ලොව්තුරා තථාගත අර්හත් සම්බුදු පියාණන් වහන්සේගේ පහළවීම තරම් උතුම් ශාන්තියක්, සැනසීමක් ගෙන දෙන තවත් කරුණක් නම් දෙව් මිනිස් ප්‍රජාව සහිත මේ තුන්ලෝකයටම නැත. ඒ භාග්‍යවතුන් වහන්සේ පන්සාලිස් වසක් මුළුල්ලේ දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මය තුලින් තමයි අපට මේ සසර කතරින් නිදහස් වීමට අවකාශය ලැබෙන්නෙ. ඒ නිසා ඒ භාග්‍යවත් බුදුපියාණන් වහන්සේ දේශනා කරපු ධර්මය අප ඉතාමත් ශ්‍රද්ධාවෙන් ඉගෙන ගෙන මේ සසරින් නිදහස් වෙන්න කල්පනා කරන්න ඕන.

අද දවසේ මේ පින්වතුන්ට කියල දෙන්න බලාපොරොත්තු වෙන්නෙ ඉතා උතුම් දේශනාවක්. ඒ සූත්‍රය තිබෙන්නෙ අංගුත්තර නිකායෙ දසක නිපාතයේ ආකංඛ වර්ගයෙ. දේශනාවේ නම තමයි කණ්ටක සූත්‍රය. මේ සූත්‍ර දේශනාවෙන් කටුව ගැන තමයි දේශනා වෙන්නෙ. අපේ භාග්‍යවතුන් වහන්සේ එක් කාලයක විසාලා මහනුවර මහා වනයෙහි කූටාගාර ශාලාවේ වැඩ සිටියෙ. ඒ අවස්ථාවේදී මේ මේ නම් තිබෙන ආයුෂ්මතුන් වහන්සේලා එහි වාසය කළා. ඒ තමයි චාල,උපචාල, කක්කට කටිම්බ, කට, කටිස්සංග කියන බොහෝ ප්‍රසිද්ධ ස්ථවිර ශ්‍රාවකයන් වහන්සේලා.

එකල සිටි බොහෝ ප්‍රසිද්ධ ලිච්ඡවීන් ඉතාමත් සුන්දර යානාවලින් බුදුරජාණන් වහන්සේ බැහැ දකින්නට පැමිණියා. හැබැයි ඔවුන් පැමිණියේ ඔවුන්ට ඉදිරිපසිනුත් පසුපසිනුත්, මහා සේනා සහිතව උස් හඬින් මහ හඬින් යුක්තව. එතකොට පින්වතුනි, අර ස්වාමීන් වහන්සේලාට සිතුණා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ධ්‍යානයෝ ශබ්දයෙන් රිදුම් දෙන කටු සහිතයි (සද්ධකණ්ඨකා ඛෝ යන ක්ධානා වුත්තා භගවතා) කියල. ඒක නිසා අප ගෝසිංහ සාල වනයට යනවනම් හොඳයි කියල. මොකද එහි අල්ප වූ ශබ්දත් අල්ප වූ ජනයාත් වාසය කරන නිසා.

පින්වතුනි, ඊට පස්සෙ ඒ ආයුෂ්මතුන් වහන්සේලා ගෝසිංහසාල වනයට වැඩම කළා. බුදුපියාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලා ආමන්ත්‍රණය කරල ඒ ආයුෂ්මතුන් වහන්සේලා කොහෙද? කියල විමසා සිටියා. ලිච්ඡවී රජදරුවන්ගේ පැමිණීම නිසා ඇති වූ ජනාකීර්ණ හා ඝෝෂාකාරි තත්ත්වය නිසා ඒ ස්ථවිර භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේගේ උපදේශය සිහිකරගෙන ගෝසිංහ සාල වනයට වැඩම කළ බව අර භික්ෂූන් වහන්සේලාට ප්‍රකාශ කර සිටියා.

එතකොට අපේ භාග්‍යවතුන් වහන්සේ ඒ අදහස ‘සාදු’ ‘සාදු’ කියල අනුමත කරල. උන්වහන්සේ විසින් ධ්‍යානයෝ ශබ්දයට කටු වගේ කියන කරුණ ඒ ස්වාමින් වහන්සේලා ඉතා මැනවින් ප්‍රකාශ කරන ලද බව දේශනාකොට වදාළා.

ඉන් අනතුරුව අපට මේ සූත්‍ර දේශනාව තුලින් ඉගෙන ගැනීමට තිබෙන ඉතාමත් වැදගත්ම කරුණු වන කණ්ඨක හෙවත් කටු පිළිබඳව ඉතාමත් වටිනා ගැඹුරු විවරණය ඉදිරිපත් කළා. බොහෝ දෙනෙක් කටු කිව්වම ගස්වල කටු, ප්‍රතිශක්තිකරණ කටු ආදිය ගැන හිතන්න පුළුවන්. හැබැයි අපේ බුදුරජාණන් වහන්සේගේ විග්‍රහය තමයි අපට ඉතාමත් වැදගත් විග්‍රහය බවට පත් වෙන්නේ. දැන් අපි ඒ කරුණු ටික ඉගෙන ගනිමු.

පිරිස සමඟ හුදෙකලා වාසය කරන කෙනාට ඇලී සිටීම කටුවක් (පව්වේකාරාමස්ස සංගණිකාරාමතා කණ්ටකෝ) අසුභ නිමිත්ත දියුණු කරමින් සිටින කෙනෙකුට සුබ නිමිත්ත ඇතිවීම කටුවක් (අසුබ නිමිත්තානුයෝගමනුයුත්තස්ස සුභනිමිත්තානුයෝගෝ කණ්ටකෝ) ඇස කන,නාසය, දිව,කය, ආදි ඉන්ද්‍රිය නම් වූ දොරටු වසාගෙන සිටින කෙනෙකුට විකාර දර්ශන පෙනීම කටුවක් (ඉන්ද්‍රියේසු ගුත්තද්වාරස්ස විසූක දස්සනං කණ්ටකෝ) බ්‍රහ්මචාරි ශීලය ආරක්ෂා කරන කෙනෙකුට ස්ත්‍රියක් සමඟ හිතවත්වීම කටුවක් (බ්‍රහ්මචාරිස්ස මාතුගාමෝ පව්චාරෝ කණ්ටකෝ) පළවන ධ්‍යානයට ශබ්දය කටුවක් (පඨමස්ස ඣානස්ස සද්දෝ කණ්ටකෝ) දෙවෙනි ධ්‍යානයට විතක්ක විචාර කටුවක් (දූතියස්ස ඣානස්ස විතක්ක විචාරා කණ්ටකෝ) තුන්වෙනි ධ්‍යානයට පී‍්‍රතිය කටුවක් (තතියස්ස ඣානස්ස පීති කණ්ටකෝ) හතරවෙනි ධ්‍යානයට ආශ්වාස ප්‍රශ්වාස කටුවක් (චතුත්ථස්ස ඣානස්ස ආස්සාසපස්සාසා කණ්ටකෝ) සංඥාවේදයිත නිරෝධ සමාපත්තියට සංඥාවක් විඳීමත් කටුවක් (සඤ්ඤාවේදයිත නිරෝධ සමාපත්තියා සඤ්ඤාච වේදනාච කණ්ටකෝ) රාගය කටුවක් (රාගෝ කණ්ටකෝ ) ද්වේෂය කටුවක් (දෝසෝ කණ්ටකෝ) මෝහය කටුවක් (මෝහෝ කණ්ටකෝ)

ඒනිසා අපේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනව කටු රහිතව වාසය කරන්න කියලා (අකණ්ටකා භික්ඛවේ විහරථ) කටුවෙන් තොරව වාසය කරන්න කියලා (නික්කණ්ඨකා භික්ඛවේ විහරථ) රහතන් වහන්සේලා කටු රහිතයි කියල උන්වහන්සේ දේශනා කරනව(අකණ්ඨකා භික්ඛවේ අරහන්තෝ) රහතන් වහන්සේලා කටුවෙන් තොර වූවෝ (නික්කණ්ටකා භික්ඛවේ අරහන්තෝ) ඒ වගේම උන්වහන්සේ අවසාන වශයෙන් දේශනා කරනව රහතන් වහන්සේලා කටු රහිත කටුවෙන් තොර වූ උත්තමයන් බව (අකණ්ට නික්කණ්ටකා භික්ඛවේ අරහන්තෝති) ඒ නිසා පින්වතුනි අපත් කටු රහිත පුද්ගලයන් බවට පත් වී කටයුතු කිරීමට අධිෂ්ඨාන කර ගනිමු.