අසිරිමත් ධාතු පුරාණය 9 කොටස
ද්‍රෝණ හතක් ධාතූන් වහන්සේ එකම ස්ථානයක
තැම්පත් වූ වගයි
පොල්ගහවෙල මහමෙවුනා
භාවනා අසපුවේ නිර්මාතෘ
කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි
උඳුවප් පුර අටවක පෝදා පුවත්පතින් අප වාම ශ්‍රී දළදා වහන්සේ ලංකාදීපයට
වැඩම කර වූ ආකාරයත්, පළමු ස්තූප දහය ඉඳි වූ ආකාරයත් කථා කළා. අද එතැන්
සිට. . . .
මහාකස්සප මහ රහතන් වහන්සේ අසළට ඇවිත් “පෝත” නගරයේ කුමාරයෙක් කියනවා
ස්වාමිනි අපටත් වන්දනා කරන්න ධාතුන් ලබා දෙන්න. එවිට ද්‍රෝණ අටක්
ධාතුන් වහන්සේ, ධාතු බෙදූ පාත්තරය මෙන්ම චිතකය ගිනි දැල්වීමෙන් ඉතිරි
වූ අඟුරු සියල්ලම බෙදා අවසන්. දැන් ඉතුරු වී තිබෙන්නේ රන්දෙණ පමණයි.
මහාකස්සප මහ රහතන් වහන්සේ සෘර්ධියෙන් සර්වඥතා ධාතුන් වහන්සේ කිහිප නමක්
වඩම්මවා රන් දෙණේ තැන්පත් කර එය පෝත නුවර කුමාරවරුන්ට දුන්නා. ඒ
කුමාරවරුන් ඒ රන්දෙණ තැම්පත් කොට එකොළොස්වැනි ස්තූපය ඉදිකළා. පෙර රජවරු
මෙන්ම සංඝයාත් ඒ සෑයට වන්දනාමාන කොට තිබෙනවා.
අජාසත් රජතුමාට ලැබුණ ධාතුන් වහන්සේ පෙරහරකින් මගධයට වඩමවාගෙන යෑමට
අවුරුදු හතයි, මාස හතක් මේ වනවිට ගතවෙලා. එයට හේතුව මාවතේ පිපී තිබෙන
සියලුම මල් රජතුමා ධාතුන් වහන්සේ උදෙසා පූජා කිරීම නිසායි.
ඒ පිරිසේ සිටි සමහර අය කියනවා මේකනම් කරදරයක්. මේ ධාතුන් වහන්සේ
ප්‍ර‍්‍රදර්ශනය නිසා අපේ වැඩ පාඩුවෙනවා. මේකනම් කරදරයක් යැයි කියනවා.
මේ ගැන මහාකාශ්‍යපයන් වහන්සේ දිවැසින් දුටුවා. ඒ පිරිසේ සිත අපහදවාගත්
අසූහය දහසක් සිටියා. කස්සපයන් වහන්සේ කල්පනා කළා මේ පිරිස සිත අපහදවා
ගත්තොත් දුගතියේ උපතක් සැකසෙනවා. ඒ නිසා එයට පිළියමක් ලෙස උන්වහන්සේ
ශක්‍ර දේවේන්ද්‍රයාට කියනව දෙවිඳුනි, මේ පිරිසේ අය සිත අපහදවාගෙන
සිටින්නේ. ඒ නිසා රජතුමාට ඉක්මනට ධාතුන් වහන්සේ මගධයට වඩමවන්න ක්‍රමයක්
පෙන්වා දෙන්න. ශක්‍රයා කියනවා ස්වාමිනි, මේ පෘතුවියේ පෘතග්ජන
ශ්‍රද්ධාවන්තයන් අතර අජාසත් රජුට දෙවැනි වන තව කෙනෙක් නැහැ. ඒ නිසා එයට
මම උපක්‍රමයක් ලෙස ධාතුන් වහන්සේ වඩම්මවන පෙරහර රාත්‍රියේ සමහර තැන්වල
නවතිනවා. එහිදී භයානක ශබ්ද කර මිනිසුන් බයට පත් කරන්නම් කිව්වා.
ශක්‍රයා එසේ කළා. මිනිසුන් ඇවිත් රජතුමාට පැමිණිලි කළා. රජතුමා කස්සප
මහරහතන් වහන්සේගෙන් අසනවා ස්වාමිනි, මෙසේ වන්නේ ඇයි? රජතුමනි, දෙවිවරු
කිපුන නිසයි මේ. ඉක්මනට ධාතුන් වහන්සේ මගධයට වඩම්මන්න. එසේය ස්වාමිනි,
කියා ධාතුන් වහන්සේගේ උපහාර පූජාවට හානි නොකරගෙන රජතුමා දින හතකට පසු
ධාතුන් වහන්සේ මගධයට වඩම්මවා තිබෙනවා.
පිරිනිවන් පෑ ශාස්තෘන් වහන්සේගේ ද්‍රෝණ අටක් ධාතුන් වහන්සේ චෛත්‍ය අටක
තැන්පත් කර තිබු බව ඔබ දන්නවා. මහාකාශ්‍යප මහරහතන් වහන්සේ දිනක්
දිවැසින් බැලුවා මේ සෑයන් හි ආරක්ෂාව පිළිබඳව. උන්වහන්සේ දුටුවා මේ
සෑයවල් කඩා වැටෙන දවසක් එනවා. එවිට ධාතුන් වහන්සේට හානිවෙන්න පුළුවන්.
එනිසා ධාතුන් වහන්සේ එකතුකර එකතැනක නිධන් කරන්නට ඕන කියා සිතා කස්සපයන්
වහන්සේ අජාසත් රජුට කියනවා රජතුමනි, සියලුම ධාතු එක්තැන් කොට අප ධාතු
නිධානයක් කරන්න අදහස් කළා කියා. රජතුමා කියනවා “අනේ ස්වාමිනි, ධාතුන්
වහන්සේ බෙදන දවසේයි යුද්ධයක් ඇතිවෙන්න ගියේ. දැන් ඒ දුන් ධාතු එකතු
කළොත් අපට යුධ වදින්න වෙනවාමයි”. “රජතුමනි, ඔබතුමා ධාතු නිධානයට අවශ්‍ය
කටයුතු සකසන්න. ධාතුන් වහන්සේ වැඩමවීම මම කරන්නම්”. නමුත් රජතුමනි, මේ
ධාතු නිදන්වීම කාටවත් නො දැනුවත්වමයි සිදුවිය යුත්තේ.
දැන් මහාකස්සප මහරහතන් වහන්සේ හැම සෑයකටම සෘර්ධියෙන් වැඩම කොට ධාතු ලබා
ගෙන ඒ ඒ සෑයන් හි ධාතුන් වහන්සේ කිහිප නමක් ඉතුරු කළා. රාම ග්‍රාමයටත්
ගියා. රාම ග්‍රාමයේ චෛත්‍යය නාගයන් වටකරගෙනයි සිටියේ. රහතන් වහන්සේ
දිවැසින් බැලුවා මේ සෑයේ තිබෙන ද්‍රෝණයක් ධාතුන් වහන්සේ අනාගතය
පිළිබඳව. ලංකා ධරණීතලයේ පිහිටන තුන් ලෝකයේම මහා ස්තූපය වන “ස්වර්ණමාලි
චෛත්‍යයේ” එම ධාතුන් තැන්පත් වන බව උන්වහන්සේ දුටුවා. එනිසා
රාමග්‍රාමයේ ධාතුන් වහන්සේ හැර අනෙක් ද්‍රෝණ හතක් ධාතුන් වහන්සේ තමන්
වහන්සේගේ අතට අත්පත්කර ගෙන සූදානම ද්‍රෝණ හතක් වූ ඒ ධාතුන් වහන්සේ
නිදන් කරන්නයි.
ධාතු නිදන් කිරීම
ධාතු නිධානය අප්‍රසිද්ධියේ කළයුතු නිසා රජතුමා රටේ ප්‍රසිද්ධ කළා
අසූමහා ශ්‍රාවකයන්ගේ චෛත්‍ය ඉදිකිරීමට අවශ්‍ය බවත් ඒ සඳහා පස් ලබාගත
යුත්තේ එක් තැනකින් යැයි පවසා කැලේ මැද සම්පූර්ණ සමතලා බිමක් සකස් කර
එතැන පස් ගැනීමට කියා පොළොව හෑරුවා. රියන් අසූවක් දුරට පොළොව හාරා
තිබෙනවා.
ධාතු නිධානය සඳහා කැලේ මැද සම්පූර්ණ සමතලා බිමක් සකස් කර පොළොව රියන්
අසූවක් දුරට හෑරුවා. ඒ මත ලෝහ තහඩුවක් ඇතිරූවා. ඒ මත රන්, රිදී, නා නා
මාණික්‍යයන් අතුරා ඒ මත නවරත්න සුවඳ කුඩු විසුරුවා ඒ මැද සඳුන් කරඬුවක්
තබා ද්‍රෝණ හතක ධාතුන් වහන්සේ තැන්පත් කර ඒ කරඬුව තවත් සඳුන් කරඬු
සතකින් වසා, ඒ කරඬු අට රත් සඳුන් ස්තූප අටකින් වැසුවා. ඒ ස්තූප රත්
සඳුන් කරඬු අටකින්ද, ඒ කරඬු රතුපාට සඳුන් ස්තූප අටකින් ද වැසුවා. ඒ
ස්තූප ඇත්දත් කරඬු අටකින්ද, ඒ කරඬු ඇත් දත් ස්තූප අටකින්ද වැසුවා. ඒ
ස්තූප මැණික් කරඬු අටකින්ද, ඒ කරඬු මැණික් ස්තූප අටකින්ද,වැසුවා. ඒ
ස්තූප ස්වර්ණමය කරඬු අටකින්ද, ඒ ස්වර්ණමය කරඬු ස්තූප අටකින්ද වසා ඒ
ස්තූප රිදී කරඬු අටකින්ද, ඒ රිදී කරඬු රිදී ස්තූප අටකින්ද වැසුවා. ඒ
ස්තූප නැවත මැණික් කරඬු අටකද, ඒ කරඬු නැවත මැණික් ස්තූප අටකින්ද
වැසුවා. ඒ ස්තූප පද්මරාග කරඬු අටකින්ද වැසුවා. ඒ ස්තූප පද්මරාග ස්තූප
අටකද, ඒ ස්තූප වෛයිරෝඩි කරඬු අටකද, ඒ කරඬු වෛයිරෝඩි ස්තූප අටකද තැන්පත්
කොට ඒ ස්තූප පළිඟු කරඬු අටකද, ඒ කරඬු පළිඟු චෛත්‍යයක් තුළ ද තැන්පත්
වුණා. මේ ආකාරයට කරඬු අසූවකින්ද ස්තූප අසූවකින්ද ධාතුන් වහන්සේ වසා
තිබෙනවා. අවසන් පළිඟු ස්තූපය ථූපාරාම සෑය තරම් වූ බව සඳහන් වෙනවා. ඒ
මත්තේ ස්වර්ණ ගෘහයක්ද, ඒ මත්තේ රිදී ගෘහයක්ද, ඒ මත්තේ තඹ ලෝහ ගෘහයක්ද
වූවා. ඉන් අනතුරුව රතනමය වැලි අතුරුවා ජලයේ සහ ගොඩබිම සෑදෙන මල් දහස්
ගණනක් විසිරුවා පන්සියයක් ජාතක කථාවන්ද , අසූමහා ශ්‍රවකයන්ද, සුද්ධෝදන
මහා රජ, මහාමායා දේවිය සහජාත සප්ත වස්තූන් සියල්ල රනින් කරවා තැන්පත්
කළා. පන්සියයක් බැඟින් රන්, රිදී පුන්කළස්ද, පන්සියයක් රන් දද ද,
පන්සියක් ස්වර්ණ ප්‍රදීපද, පන්සියයක් රජත ප්‍රදීපද තබවා ඒ ප්‍රදීප සුවඳ
තෙලින් පුරවා දුහුල් පහන්තිර දල්වා තැබුවා.
මහා කස්සපයන් වහන්සේ මේ මල්මාලාවන් පර නොවේවා යැයිද, සුවඳ නො නැසේවා
යැයිද තෙල් පහන් නො නිමේවායි අධිෂ්ඨාන කොට පහන් දල්වා අනාගතයේදී
දෙවියන්ට පි‍්‍රය වූ පියදාස නම් රජු අශෝක නමින් අභිෂේක ලබා රජෙකු මේ
ධාතුන් වහන්සේ ලබාගන්නා බවත් රන්පතක ලියා තබා ධාතු ගැබෙහි දොර වසා යතුර
මුදුවේ තබා ඒ මත විශාල මැණිකක් තබා වසා දැමුවා. දෙව්ලොවට අධිපති
සක්දෙව් රජ මේ උතුම් නිධානය දැක විශ්කම් දෙව්පුතු ලවා වාලසංඝාඨ
යන්ත්‍රයක් කරවූවා. ඒ කෙසේ ද යත් සියලු ධාතු ගර්භය එක් ගෘහයකින් වැසෙන
ලෙසත් පළිඟු වර්ණවලින් අඩු එළියක් විහිදෙන ලෙසත්, වාතයට බඳු වේගයෙන්
හාත්පස කැරකෙන යන්ත්‍රයක් කරවා ඒ කැරකෙන යන්ත්‍රයේ යතුර තැබුවා. ඒ
කැරකෙන යන්ත්‍රයේ දෙපැත්ත කැපෙන කඩු ගත් මිනිස් රූප තිබෙනවා. කිසිවෙකුට
ස්පර්ෂ කරන්න බැහැ. කැරකෙන යන්ත්‍රයේම බොත්තමක් තිබෙනවා. එයින් තමා
යන්ත්‍රය නවතාලිය යුත්තේ. එය කවුරුනම් නවත්වන්නේ ද? මේ ගැන වැඩි විස්තර
පූජාවලිය හා ථූප වංශය සහිත බොහෝ පත්වල සඳහන්ව තිබෙනවා.
ඉන්පසු අජාසත් රජු පොළොව වසා පොළොව සම කොට පස් දමා ඒ මත්තේ පාශාණ
ස්තූපයක් කරවූවා. මෙසේ ධාතු නිධානය නිමවුණා. මහකස්සපයන් වහන්සේද
පිරිනිවන් පෑවා. අජාසත් රජුද, එකල විසූ මිනිසුන්ද කාලයාගේ ඇවෑමෙන්
මියගියා. දැන් ඒ උතුම් ධාතු නිධානය ගැන දන්නෝ කවුරුන්ද? වසර තුන්සියකට
අධික කාලයක් අසිරිමත් අද්විතීය ධාතු නිදානය මිනිස් මතකයෙන් ඈත්වුණා.
නයනා නිල්මිණි
|