Print this Article


පෘථග්ජන බව සහ දුක

පෘථග්ජන බව සහ දුක

තථාගතයන් වහන්සේ පිරිනිවන් පා වසර දෙදහස් පන්සිය පනස් අටකටත් වඩා කාලය ඉකුත්ව ඇති වුවද උන්වහන්සේ දේශනා කොට වදාළ ශී‍්‍ර සද්ධර්මය බිඳකුදු ශේෂ නොවී අද දක්වා පැවතීම බෞද්ධයන් වන අප ලද ඉමහත් භාග්‍යයකි. එම වාසනාව හේතුකොටගෙන මේ ගෞතම බුද්ධ ශාසනය තුළ දී ම සසරින් ගැලවීමේ මඟ අපට ඉතිරිව ඇත්තේ පෙර පින හේතුවෙනි.

යමක් වැරදුණ විට හෝ පාපකාරී ක්‍රියාවක් සිදු වී විට අපගේ පෘථග්ජන ස්වභාවයයි කියමින් නිදහසට කරුණු ඉදිරිපත් කර ඉන් මිදීයාම වෙනුවට පුහුදුන් බව යනු කුමක්දැයි අවබෝධ කොටගෙන ඉන් බැහැර වීම බෞද්ධයාගේ වගකීම හා යුතුකම වන අතර එය බුදුපියාණන් වහන්සේට කරන අග්‍රගණ්‍ය පූජාවක් ද වන්නේය.

“පෘථග්ජන” බව හඳුනාගැනීමට මාර්ගඵල අවබෝධයේ දොරටුවට පිවිසීම වන හෙයින් ඒ සඳහා කළ යුතු කාර්යය කුමක්දැයි අපි විමසා බලමු. ශ්‍රද්ධාව ,ධර්ම ශ්‍රවණය සහ භාවනාමය සිත මේ සඳහා මූලික වේ. ශ්‍රද්ධාව යනු තෙරුවන් කෙරෙහි වූ අවබෝධයෙන් යුතු අචල බැඳීම වන තර එය ගොඩ නඟා ගැනීම බුද්ධිමත් ශ්‍රාවයකයෙකු හට බරපතළ කාරණයක් නොවේ. තථාගතයන් වහන්සේ හැර උන්වහන්සේගේ ධර්මය හැර හෝ උන්වහන්සේගේ ආර්ය ශ්‍රාවක සංඝරත්නය හැර වෙනත් පිහිටක් පිළිසරණක් බෞද්ධයාට නොමැත. එහෙයින් අචල ශ්‍රද්ධාව ඇතිකොට ගැනීම අපගේ මූලික සූදානම වන බව සිහිතබා ගත යුතුය.

මීළඟ කරුණ වන ධර්ම ශ්‍රවණය අනිවාර්ය අංගයක් වීම අත්‍යවශ්‍ය වන්නේ, ඉන් ලබන ධර්මාවබෝධය සුළුපටු නොවන හෙයිනි. ධර්මාවබෝධය යනු නිවැරදි ගමන් මඟ තෝරා බේරාගැනීම සඳහා මහෝපකාරි වන අවශ්‍යම සාධකයක් වන හෙයිනි. එය ධර්ම ශ්‍රවණය මෙන්ම දහම් පත පොත පරිශීලනය කිරීමෙන් ද ලැබිය හැකිය.

ඊළඟ කරුණ වන භාවනාමය සිත යනු පුඵල් පරාසයක ක්‍රියාවලියකි. එය යෝනිසෝ මනසිකාරයෙන් යුතුව ධර්මය නිරතුරුව මෙනෙහි කිරීම වන අතර දිනපතා හෝ පහසු අවස්ථාවක භාවනා කිරීම ඇරැඹීමෙන් පිවිසිය හැකි දොරටුවකි. ආරම්භයකි. භාවනා කිරීම යයි අදහස් කරන්නේ විශේෂයෙන් ත්‍රිලක්ෂණය මෙනෙහි කිරීම වේ. අප මෙතැන් සිට එදෙසට යොමු වෙමු.

තථාගතයන් වහන්සේ සම්මා සම්බුදු නුවණින් අවබෝධ කොටගෙන යථා පරිදි හෙළි කොට පෙන්වා වදාළ ලෙසින් මේ සංසාරය තුළ සැරිසැරීම ඉපදි ඉපදී මැරි මැරී යන්නා වූ මේ භවාන්තර ගමන දුකින් නිර්මාණය වී දුකම විෂය කොට ඇත්තේය. එසේ දුක් සහිත වූ සංසාරයෙහි දී ඉතා කුඩා අංශුමාත්‍රයක් පමණක් වූ මේ කය නමැති රූපස්කන්ධය, පඨවි, ආපෝ, තේජෝ, වායෝ නමැති සතර මහා ධාතූන්ගේ සංකලනයක් ලෙස පවතින්නේය. මෙසේ සිව්මහා භූතයන්ගේ එක්රැස්වීමක් වූ මේ කය අනිත්‍ය වන්නේය. අනිත්‍ය වූ හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගෙන අනිත්‍ය වූ හේතු ප්‍රත්‍යයන් මතම යැපෙන්නා වූ හෙයින් ක්ෂණිකව බිඳී යා හැකි වූ ද ස්වභාවයෙන් ම දිරායමින් ගෙවී යමින් පවතින්නා වූ ද මේ කය යනු බාහිර වශයෙන් පවතින්නාක් ලෙස පෙනුන ද මොහොතක් මොහොතක් පාසා විවිධ හේතුන් නිසා හටගන්නා වූ ද, නැවත බිඳී යන්නා වූ ද හටගනිමින්, බිඳීයමින් හටගනිමින් බිඳී යමින් පවතින්නා වූ කිසිදු පියවි ස්වභාවයකින් දැකිය නොහැකි තරම් කුඩා වූ සියුම් වූ රූප කලාපයන්ගේ නිබඳ එක්රැස්වීමක් පමණක්ම වන්නේය. එසේ හෙයින් කිසිම විටෙකත් අවශ්‍ය ලෙස නොරැදෙන නොපවතින, රඳවා පවත්වාගත නොහැකි ක්ෂණයක් ක්ෂණයක් පාසා වෙනස් වන දිරායන, ගෙවීයන, මහලු වන අවසානයේ මරණ ස්වභාවයට පත්ව වියැකී යන්නා වූ දුක් සහිත වූ ස්වභාවයකි.

මෙසේ අනිත්‍ය අස්ථාවර වන හෙයින් දුක් සහිත වන මේ කය තුළින් නිත්‍ය ස්ථාවර වු සැපවත් වූ හරවත් වූ පැවැත්මක් කිසිවිටෙකත් ගොඩනගා ගත නොහැකි හෙයින් එවැනි පැවැත්මක වන ආත්මයයි ගත හැකි පදනමක් මේ කය තුළ ගැබ් නොවන්නේය. එහෙයින් මේ නිසරු කය මාගේ ආත්මයය, මාගේ ජීවිතයය. මමය, මට අයත් දෙයකැයි ගත නොහැකි අතර එසේ ගැනීම,දැකීම හුවා දැක්වීම ,අවිද්‍යාව වන්නේය. මුලාව වන්නේය.රැවටීම වන්නේය. යථාභූත ඥාන දර්ශනයෙන් තොරව දැකීම,ගැනීම වන්නේය. මේ කය නිසරු වූ තාවකාලික වූ පෙණ පිඬක් හා සමාන දුර්වල ස්වභාවයක් ම වේ.

මෙසේ වූ මේ කය යනු මේ ඇසය. මේ කනය, මේ දිවය, මේ නාසයය, මේ ශරීරය යන ඉන්ද්‍රියයන්ගේ ම සම්පිණ්ඩනය වන නිසා ඉන්ද්‍රියයන් කිසිවක් නිත්‍ය නොවන්නේය.සුඛ වූ හරවත් වූ පැවතුම් නොවන්නේය.එසේ හෙයින් ආත්මයයි ගත හැකි කිසිදු පදනමක් කිසිදු ඉන්ද්‍රියයක් තුළ ගැබ් නොවීම යථා ස්වභාවයයි.

ඉන්ද්‍රියයන් ක්ෂණයක්, ක්ෂණයක් පාසා බාහිර ලෝකයෙහි විවිධ වූ අරමුණු හා ගැටීමේ ස්පර්ශ වීමේ හුදු මාධ්‍යයන් කොට පවතින හෙයින් මේ ඇස නිසා පෙනීම, දැකීම, මේ කන නිසා ඇසීම ශබ්දය මේ නාසය නිසා ආඝ්‍රණය ගඳ සුවඳ මේ දිව නිසා රස විඳීම, මේ ශරීරය නිසා නොයෙක් ආකාරයේ ස්පර්ශයෙන් ලැබීම ආදි වශයෙන් මෙන්ම කාලත්‍රය ඉලක්ක කොට ක්ෂණිකව ගොඩනැඟෙන චිත්තක්ෂණ හේතුකොට ගෙන ද කිසියම් වූ විඳීමක් , වේදනාවක්, වින්දනයක්, හටගන්නා අතර එය හටගන්නා අවස්ථාවේ ස්වභාවය අනුව විටෙක සුබ වේදනා ලෙසින් ද විටෙක දුක් වේදනා ලෙසින් ද තවත් විටෙක මධ්‍යස්ථ වූ උපේක්ඛා වේදනා ලෙසින් ද හටගත හැකිය. හටගත් ආකාරය කුමක් වුවද හටගෙන එකලෙස එලෙසම නොපැවත වෙනස් වී බිඳීයාම වේදනාවේ ද ස්වභාවයයි. මෙසේ වෙනස් වී බිඳී යාම හටගැනීම බිඳීයාම හටගැනීම බිඳීයාම ලෙස වූ වේදනාවන්ගේ අස්ථාර බව හේතුකොටගෙන මේ වේදනාවන්ගේ ද අවශ්‍ය ලෙස නොරදෙන නොපවතින රඳවා පවත්වාගත නොහැකි ස්වභාවය කරණකොටගෙන හටගත් ආකාරය කුමක් වුවත් ඕනෑම වේදනාවක් අවසානයේ දුක් වේදනාවක් බවටම පත්වීම යථා ස්වභාවයයි. අනිත්‍ය අස්ථාවර වූ හෙයින් මේ ලෙසින් දුක් සහිත වන පැවැත්මක තුළින් නිත්‍ය වූ හරවත් වූ සැපවත් වු පැවැත්මක් වන ආත්මය යයි ගත හැකි තිරසාර වූ තත්ත්වයක් ගොඩනොනැගෙන හෙයින් මේ වේදනාවන් ද මාගේ ආත්මයය මාගේ ජීවිතයය මම මට අයත් දෙයකැයි ගත නොහැකි අතර එසේ ගැනීම, දැකීම, හුවා දැක්වීම අවිද්‍යාවය. මුලාව රැවටීමය. යථාභූත ඥාන දර්ශයෙන් තොරව දැකීම ගැනීම වන්නේය. වේදනාවක් යනු අරමුණක් හා ගැටුණ ඉන්ද්‍රියයක් හේතුවෙන් එම අරමුණ කෙරේ දැනුවත් වීම පිණිස වූ ආරම්භය වන අතර, නිරතුරුව දියබුබුළු මෙන් හටගෙන බිඳි බිඳී යාම වේදනාවන්ගේ ස්වභාවය වේ.

මෙසේ වේදනාවක් ලෙසින් ඇරඹෙන්නා වූ චිත්තක්ෂණය , සංඥාව ලෙස හඳුනා ගැනීමෙන් ද, සංස්කාරය ලෙස සකසා පිළියෙල කොට ගැනීමෙන් ද පසු විඤ්ඤාණය ලෙස දැනුවත් වීම් වශයෙන් සම්පූර්ණ වන අතර එසේ සම්පූර්ණ වූ සැණින් චිත්තක්ෂණයක ක්ෂණික හට ගැනීම කරණ කොට ගෙන පැවති චිත්තක්ෂණය යටපත් වී බිඳීයන්නේ ය. මෙලෙස හටගන්නා වූ චිත්තක්ෂණය හේතුකොටගෙන පැවති චිත්තක්ෂණයාගේ බිඳී යාම හට ගැනීම බිඳී යාම හටගැනීම බිඳීයාම ලෙස වූ එකක් පසුපස එකක් ලෙස වූ මේ චිත්තක්ෂණයන්ගේ පෙළගැස්ම කිසිදු බාහිර මිම්මකින් මැනිය නොහැකි තරම් වූ වේගයකින් ක්ෂණිකව සිදුවීම හේතුකොටගෙන එය නොකැඩෙන නොබිෙඳන නිත්‍ය ධාරාවක් ලෙස මතුපිටින් දැනෙන අතර එය වූ කලී සිත නමැති නාමස්කන්ධයාගේ පැවැත්ම වන්නේය.

චිත්තක්ෂණයන්ගේ පෙළගැස්ම වන මේ සිත එහෙයින් චංචල වන්නේය. වෙනස් වන්නේය. ඔබ ලිපිය කියවන මේ මොහොතේ දී පවා විවිධ අරමුණු කරා දසත දිවයන්නා වූ අනිත්‍ය අස්ථාවර ස්වභාවයක්ම වන අතර ඒ බව එකවරම බාහිරව ප්‍රකට නොවේ. මෙලෙස අනිත්‍ය අස්ථාවර වන හෙයින් අවශ්‍ය ලෙස රඳවා පවත්වාගත නොහැකි වීම ස්වභාවය කොට ඇති මේ නාමස්කන්ධයාගේ පැවැත්ම නොහොත් මේ සිත දුක ජනිත කරන දුකටම හේතුවන දුකෙහිම උල්පත හා සමාන ස්වභාවයකි. පැවැත්මකි. මෙලෙසින් අනිත්‍ය අස්ථාවර වූ නිසා දුක් සහිත වන මේ සිත තුළින් ද නිත්‍ය වූ සුඛ වූ හරවත් වූ පැවැත්මක් වන ආත්මය යයි ගත හැකි පදනමක් ගොඩනගා ගත නොහැක්කේය. එසේ හෙයින් මේ සිත මාගේ ආත්මයය මාගේ ජීවිතයය. මමය මට අයත් දෙයකැයි ගත නොහැකි අතර එලෙස ගැනීම, දැකීම, හුවා දැක්වීම අවිද්‍යාව වන්නේය. මුලාවය. රැවටීමය. යථාභූත ඥානයෙන් තොරව දැකීම, ගැනීම වන්නේය. සිත නොහොත් නාමයාගේ පැවැත්ම යනු මොහොතක් පාසා හටගෙන බිඳි බිඳී යන චිත්තක්ෂණයන්ගේ වේගවත් පෙළගැස්ම විනා නිත්‍ය ස්ථාවර දාමයක් පැවැත්මක් නොවීම වීම යථා ස්වභාවයයි.

මේ ආකාරයෙන් මුළුමනින්ම අනිත්‍ය වූ දුක් සහිත වු අනාත්ම වූ මේ සිත ද, කය ද එකිනෙකා හා එක්ව සහයෝගයෙන් ක්‍රියකාරී වීම වන මෙම නාම-රූප, නාම- රූප විඤ්ඤානස්කන්ධයාගේ පැවත්ම ක්‍රියාකාරීත්වය දෙස පවතින මොහොත තුළ බාහිර වශයෙන් පෙනෙන දකින, දැනෙන පරිදි ඒ තුළින්ම දැකීමේ, ගැනීමේ බැලීමේ අවදිමත් බවම හේතුකොටගෙන මේ කයෙහි පැවැත්ම නිත්‍ය ස්ථාවර එකකැයි හටගන්නා වූ චිත්තක්ෂණයාගේ අවිද්‍යාත්මක බව හේතුකොටගෙන මේ කය නිත්‍ය ස්ථාවරයැයි ගැනීම ද මෙසේ තිරසාර පැවැත්මක් ලෙස ගන්නා වූ මේ කය ආශි‍්‍රතව ගොඩනැඟෙන්නා වු මේ සිතෙහි ඒකාබද්ධ වූ බැඳීම හේතුවෙන් මේ කය මා හා බැඳී ඇති මට අයත් දේපළකි. එනිසා මේ කය මාගේ යයිද මම යයිද අවිද්‍යාත්මකව ගැනීම ද ඒකකය එසේ මා සතු වන හෙයින් ඒ කය ලෙස වූ ඉන්ද්‍රියයන් මා සතුවූ යයි ද ඒ ඉන්ද්‍රියයන් මා සතුවන නිසා ඒ ඉන්ද්‍රියයන් තුළින් මා අරමුණූ ස්පර්ශ කරමි. ඒ මාගේම ස්පර්ශ යයිද ඒ ස්පර්ශය මා සතුවන හෙයින් ඒ තුළින් ගොඩනැඟෙන විදීම, වේදනාව මා සතුය. එය මාගේමය යයි අවිද්‍යාත්මකව ගැනීම ද ඒ විදීම් එලෙස මා සතුවන නිසා ඒ වේදනාවන්ට හේතුවන අරමුණු මවිසින් මාගේ පැවැත්ම පිණිස නැවත හඳුනා ගනිමි. එ මාගේම සංඥාව යයිද, ඒ සංඥාව ඒ හඳුනා ගැනීම එලෙස මා සතුවන නිසා ගැටුණා වූ අරමුණ මට අවශ්‍ය පරිදි මාගේ පැවැත්ම පිණිස සුදුසු වන පරිදි සකසා පිළියෙල කොටගනිමි. ඒ මාගේම සංස්කාරය යයි ද ඒ සංස්කාරය ඒ සකසා ගැනීම පෙර පරිදිම මා සතුවන හෙයින් ඒ අනුව ගැටුණා වූ අරමුණූ කෙරෙහි දැනුවත් වෙමි. ඊට අනුරූපව ඊළඟ මොහොතේ සැකසී ගොඩ නැඟෙමි.ඒ මාගේම විඤ්ඤාණය යයි අවිද්‍යාත්මකව ගැනීමද මොහොතක් මොහොතක් පාසා සිදුවන්නා වූ ක්‍රියාවලිය වන අතර එය වූ කලී මේ නාම–රූප විඤ්ඤාණස්කන්ධයාගේ යථා පැවැත්ම උඩුයටිකුරු කොට ගන්නා වූ උඩුයටිකුරු කොට ගත්තා වූ මූලික වූ ද ප්‍රබල වූ ද අවිද්‍යාව අනවබෝධය වූ සක්කාය දෘෂ්ටිය ගොඩනඟා සකසා තහවුරු කොට ගැනීම වේ.

මෙසේ මේ නාමරූප විඤ්ඤාණස්කන්දයාගේ පැවැත්ම ක්‍රියාකාරීත්වය උඩු යටිකුරු කොටගෙන නිත්‍ය වූ සුඛ වූ පැවැත්මකි. පදාර්ථයකි. සත්ත්වයෙකි. ආත්මයකි. ඒ මම යයි මවා ගන්නා වූ මවා ගත්තා වු ප්‍රතිරූපයෙන් පසු එසේ මවාගත් ඒ ප්‍රතිරූපය ම රැකගැනීම පිණිස නිරතුරුව ක්‍රියාකාරී වීම, වෙහෙස වීම සංසාරික දුකෙහි පැවැත්ම සකසා පවත්වාගෙන යාම ම වන්නේය. එය එසේ වන්නේ ඕනෑම අරමුණක් හා ඉන්ද්‍රියයක් ගැටුණ සැණින් එම අරමුණ සකසා පිළියෙල කොට ගන්නේ මවාගත් ප්‍රතිරූපය වූ සක්කාය රැකගැනීම පිණිස විනා යථා පරිදි නොවන හෙයිනි. ඒ ලෙස වූ ඒ සංස්කාරයන්ගේ අවිද්‍යාත්මක බව කරණකොටගෙන නැවත නිරායාසයෙන් ම අවිද්‍යාත්මක වු විඤ්ඤාණවත් වීමක් ම ක්ෂණිකව ගොඩනැඟෙන අතර ඊට අනුරූපව ගොඩනැඟෙන අවිද්‍යාත්මක වූ නාමරූප තත්ත්වයක් ලෙස සිත ද කය ද අනුවර්තනය වන්නේ සක්කාය රැකගැනීමේ සූදානම ලෙසය.