Print this Article


සැපතට යොමුවීම

උඳුවප් පුරඅටවක පෝදා දම් දෙසුම

සැපතට යොමුවීම

සැප ලැබීම පිළිබඳව බුදුසමය ප්‍රතික්ෂේප කොට නැත. මෙහිදී සැපය ප්‍රධාන කොටස් කිහිපයකට බෙදා දක්වා ඇති අයුරු ත්‍රිපිටකයේ අන්තර්ගත විවිධ සූත්‍රානුසාරයෙන් අවබෝධ කරගත හැකිය.

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
සුඛ කාමානි භුතානි
යෝ දණ්ඩේන විහිංසති
අත්තනෝ සුඛමේසානෝ
පෙච්ච සෝ න ලභතේ සුඛං

පින්වත්නි,

බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මස්ඛන්ධය නිවන් සුව සාක්ෂාත් කර ගැනීම පිණිස මෙන්ම මෙලොව, පරලොව දියුණුව ලබා ගත හැකි අන්දම ද පහදා දී ඇත. සැපය පිළිබඳ උන්වහන්සේ නිරන්තර දේශනා කළ අතර මෙයින් සම්භාවනාවට පාත්‍ර වන්නේ ලෝකෝත්තර සැපයයි. මුලින් සඳහන් කළ ගාථා පාඨයේ අර්ථය ගෙන බැලීමේ දී එයින් පෙන්වාදෙන්නේ සියලු සත්ත්වයින් දඬුවමට හිංසනයට අකැමැති බවත් ඒවායින් තොරව සැප ලැබීමට කැමති බවත් ය.

සැප ලැබීම පිළිබඳව බුදුසමය ප්‍රතික්ෂේප කොට නැත. මෙහිදී සැපය ප්‍රධාන කොටස් කිහිපයකට බෙදා දක්වා ඇති අයුරු ත්‍රිපිටකයේ අන්තර්ගත විවිධ සූත්‍රානුසාරයෙන් අවබෝධ කරගත හැකිය. එහි ඇති එක් බෙදීමක් නම් දිට්ඨධම්ම සුඛ හා සම්පරායික සුඛ යනුවෙනි. මෙහි අරුත් නම් මෙලොව හා පරලොව සැප යනුවෙනි. තවත් තැනෙක ලෞකික සැප හා ලෝකෝත්තර සැප යනුවෙන් ද බෙදා ඇත. මෙලොව සැප නොවිඳ පරිහානියට පත්ව මියයන තැනැත්තාට පරලොව දී සැපයක් ලබාගත නොහැකි බව බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක.

ඉහතින් සඳහන් කළ සැපයන් අතර ප්‍රධාන බෙදීම් දෙක ලෙස ලෞකික සැපය හා ලෝකෝත්තර සැපය සඳහන් කළ හැකිය. අනෙක් අංශයන් ද මේ බෙදීම් හා එකඟව ඇති අයුරු වචනාර්ථයෙන් ම අවබෝධ කරගත හැකි ය. අංගුත්තර නිකායේ අණන සූත්‍ර දේශනාවේ දී දේශනා කර ඇත්තේ මෙලොව දිවියේ දී සැපය වින්දනය කරගත හැකි අන්දමයි. එහි දී එය කොටස් හතරකට බෙදා දක්වා ඇත. එනම්,

අත්ථි සුඛ
භෝග සුඛ
අණන සුඛ
අනවජ්ජ සුඛ

යනුවෙනි. මෙහි දී තමන්ට ‘ඇතැයි’ යන්නෙන් සිතීමෙන් ඇතිවන සන්තෝෂය මේ නමින් හැඳින්වේ. ජීවිතය ගෙවීමේ දී අප සාධනය කරගත යුතු දෑ බොහෝ තිබේ. ඒ අතර සුදුසු වාසස්ථානයක් නිර්මාණය කරගැනීම, ආහාරපාන සොයා සපයා ගැනීම, සුදුසු රැකියාවක් කිරීම, ඉගෙනීමේ ක්‍රියාවලිය සාර්ථකව නිම කිරීම, සෞඛ්‍ය සම්පන්න බව උදාකර ගැනීමට මූලිකත්වය දැරීම ආදිය වේ. මේ අවශ්‍යතා ඉටුකර ගැනීම විෂයෙහි තමන් සියල්ල සාර්ථකව සපුරා ඇත්නම් අත්ථි සුඛය ඇතිවේ. කෙසේ නමුදු ඉහත දෑ සාදනයේ දී මූලිකවම අවශ්‍ය වන්නේ මුදල් ය. මුදල් මත සියලුදේම තීරණය කිරීමට නොහැකි වුව ද බොහෝ දෑ ඒ මත පදනම් වේ. කුඩා කල සිට අප වෙහෙසෙන්නේ සමාජයේ යහපත් පුරවැසියෙකු ලෙස දිවිගෙවීමටය. ප්‍රාථමික අධ්‍යාපනය, ද්විතීයික අධ්‍යාපනය හොඳින් නිමකරන්නේත් ඒ සඳහා ය. තම පවුල් පරිසරය කුමන තත්ත්වයක තිබුණ ද ඒ සාධිත තත්ත්වයෙන් මිඳී ආරෝපිත තත්ත්වයක් උදාකර ගැනීමට සෑම දෙනාම වෙහෙසෙන්නේ ය. උපන් දා සිට මියයන තෙක්ම අන්‍යයන්ට හිරිහැරයක් නොවන අයුරින් ජීවත් වීමට අදිටන් කරගත යුතු ය. නො එසේ වුවහොත් තමන්ගේ මෙන්ම අන්‍යයන්ගේ ජීවිතයන්ට සිදු වන්නේ අයහපතකි. ඊට ප්‍රබලවම බලපාන්නේ ආර්ථිකයයි. මේ සෑම දේ සපිරීම තුළින් අත්ථි සුඛය විඳිය හැකිවන්නේ ය.

අනතුරුව ඇත්තේ භෝග සුඛයයි. භව - භෝග තමන්ට ඇතැයි තුටු වීම මෙහි අර්ථයයි. ලෝකයේ ඇති නැති පරතරය විෂයෙහි බොහෝ සෙයින් බලපෑම් කරන්නේ භව භෝග නොමැති වීමයි. සොරකම, වංචාව, මංපැහැරීම ආදී විවිධ අකෘතඥ ක්‍රියාවන්ට පෙළඹෙන්නේ භවභෝග නොමැති අය විසිනි. ඒ නිසා භෝග ඇතැයි සිතා සැපයක් විඳින්නට නම් ඒ සඳහා උත්සාහවත්ව කටයුතු කළ යුතුවේ. අණන සුඛ යනුවෙන් දක්වා ඇති තෙවැනි කරුණ ද අතිශයින්ම වැදගත් වන්නේ ය. එයින් කියැවෙන්නේ තමන් අනුන්ට ණය නැතැයි සිතීමෙන් පුද්ගලයෙකුට ඇති වන්නා වූ සන්තුෂ්ඨියයි. යම් අවස්ථාවන්හිදී තමන්ගේ භෞතික දෑ දියුණු කරගැනීමෙහිලා අවශ්‍ය මුදල් ණයක් මඟින් ලබාගැනීමට පෙළඹේ. කෙසේ වුවද වේපුල්ල සූත්‍රයේ දී පෙන්වා දෙන්නේ තමන් ගත් ණය ගෙවා දැමීමට තමන්ට නොහැකි වේයැයි සිතන්නේ නම් ණය නොවී සිටීම වැදගත් වන බවයි. ණය ගැනීම නිසා දඬුවම් විඳීමටත්, ලෝකාපවාදයට පත්වීමටත්, තමන් කෙරෙහි අවිශ්වාසය ඇති වීම පිණිසත්, පොලී ගෙවීමටත් සිදු වේ. ඒ නිසා ණය නොවී සිටීම අතිශයින්ම සැපයට හේතුවේ. වසල සූත්‍රයේ දී පෙන්වා දෙන්නේ ගත් ණය ගෙවා නොදමන තැනැත්තා වසලයෙකු වන බවයි. මේ හේතු නිසා තමන් ණය නොවීම නිසාවෙන් සැබැවින්ම තමන්ගේ මෙලොව දිවියෙහි වැඩ පිණිස හේතුවේ.

සිව් වැනි කාරණාව නම් තමන් නිවැරදි ජීවිකාවෙන් යුතුව ජීවත් වෙන්නේ යැයි ඇතිවන සතුටයි. මැදුම් පිළිවෙතේ දී සම්මා ආජීව යනුවෙන් පැහැදිලි කරන්නේ මෙයයි. මෙය ද අතිශයින්ම වැදගත් අංගයක් වනු අමුතුවෙන් සඳහන් කළ යුතු නොවේ. කෙතරම් ධනය හෝ බාහිර වස්තු තිබුණ ද නිසි ජීවිකාවක් නොමැති නම් ඒ ජීවිතය හිස් එකකි. උඨඨාහි වීරියාධිගතේහි බාහාබල පරිචිතේහි සේදා චක්ඛිත්තේහි ධම්මේහි ධම්ම ලද්දේහි යනුවෙන් පෙන්වා දෙන්නේ උත්සාහයෙන් බාහුබලය යොදා දහදිය කඳුළු වගුරුවමින් දැහැමිව උපයන්නා වූ භෝගය, ධනය තමාගේ ජීවිතය සාර්ථක කරගැනීම උදෙසාත් අන්‍ය ජීවිතයන්ගේ පැවැත්ම පිණිසත් යෙදවීම සුදුසු ක්‍රියාවක් ලෙසයි.

ඉන්පසු වැදගත් වන්නේ ලෝකෝත්තර සුවයයි. ලෞකික සුවයට වඩා බොහෝ සෙයින් බැහැර වන මේ සංකල්පය පුද්ගලයාට අතිශයින්ම වැදගත් වේ. මන්දයත් බෞද්ධයන් කිසිවිට ලෞකික සුවම පතමින් එහිම ඇලෙමින් නොසිට සසරින් මිඳීමේ ක්‍රියාවලියට මෙයින් නියුක්ත වන බැවිනි. ලොවෙහි ඇති අනිත්‍යතාව හා සසරෙහි ඝොර බිරම් බව වටහාගැනීම පෘථග්ජන අපට අසීරු කරුණකි. අප නිරන්තර සිතන්නේ නිවන් සම්පත්තිය ලබාගැනීම පිණිස නොව මේ ලැබූ ජීවිතයේ හැකි තරම් කම්සුව විඳිය හැක්කේ කෙසේද යන්නයි. එය බුදුදහමට අනුව මහත් විනාශයක් කරා ළඟා වීමකි. සෑම දේකම සීමාවක් තිබේ. අසීමාන්තිකව කම්සුව විඳීමට පෙළඹීම තුළින් සසර තව තවත් දිගු කරගැනීමකි සිදුවන්නේ. ඒ නිසා කුසල කර්ම සිදු කොට නිවන් සම්පත්තිය උදාකර ගැනීම සඳහා පුද්ගල චින්තනය මෙහෙයවිය යුතුවන්නේ ය. එයින් ලෝකෝත්තර සුවය විඳිය හැකි වන්නේ ය. මේ අනුව අපට පැහැදිලි වන්නේ ලෞකික සුව විඳීම හා ලෝකෝත්තර සුව විඳීම කෙරෙහි පුද්ගලයා හික්මවිය යුතු බවයි.